Featured Post

අග්ගඥ්ඥ සුත්‍රය, ආභස්සර බඹලොව හා පිටසක්වල ජීවින් Aggagna sutra & Aliens


මේ කාලය තරම් ධර්මය බැබළෙන කාලයක් වගේම ධර්ම විකෘතිකයන් බිහිවන කාලයක් මෑතකාලීන ඉතිහාසයේ දකින්න ලැබෙන්නේ නෑ. මෛත්‍රී බෝධිසත්වයන්, සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු සම්‍යක්දෘෂ්ඨික සුර දෙවිවරුන් ධර්මය පැතිරවීමට ක්‍රියා කරද්දී මාර සේනාවත් අසුර සේනාවත් අමනුශ්‍යනුත් ධර්මය විනාශ කිරීමට දුර්වල මිනිසුන්ගේ මනස් පාලනය කිරීම සිදුකරනවා. ධර්ම විකෘතීන් හා ව්‍යාජ රාවණ ප්‍රවාද පතුරවන සියලු දෙනා මෙලෙස පහත් බලවේග වල රූකඩ ලෙස නැටවෙන පිරිස්. නමුත් ඔවුන් සමාජයේ පෙනී ඉන්නේ භාවනා වඩන ආධ්‍යාත්මික ගුරුවරුන් විදියට. ඔවුන්ට භාවනා දියුණුවක් තබා අඩුම ගණනේ තමන් අමනුෂ්‍යයන් විසින් පාලනය වෙන බව දැකීමේ හැකියාවක් වත් නෑ.

මෙවැනි විකෘතිකයන් වගේම බුදුදහම හා විද්‍යාව පුට්ටු කරන්න උත්සහ කරන පුගලයන් විසින් කාලයක් තිස්සේ පතුරවන එක් විකෘතියක් තමයි අග්ගඥ සුත්‍රය පරිණාමයට හා පිටසක්වල ජීවයට සම්බන්ධ කිරීම. පෘථිවිය තුල මිනිස් ජිවය පිටසක්වල ආගමනයකින් ඇතිවුන බව සිතන ෆැන්ටසියක සිරවී සිටින මේ පුද්ගලයන් තමන්ගේ ෆැන්ටසිය තහවුරු කිරීමට අග්ගඥ්ඥ සුත්‍රය විකෘති කර භාවිත කරනවා. අග්ගඥ සුත්‍රය පිළිබඳ වත් බ්‍රහ්ම ලෝක පිළිබඳ වත් පරසක්වල ලෝක පිළිබඳවත් බුදුන් දේශනා කල කරුණු නොදන්නා බොහෝ පිරිසක් මෙම විකෘති වලට රැවටී ඉන්නවා. ව්‍යාජ රාවණ ප්‍රවාද පැතිරවීමත් සමග ඔරායන් බඳ පටියේ තරු තුන තුල ඇති ඇල්නිලම් වැනි තරු වල සිට පිටස්ක්වලයන් මෙලොවට පැමිණ මිනිස් ලොව ජනාවාස කිරීමක් ගැන සාවද්‍ය මතයක් අග්ගඥ සුත්‍රයට පටලවා පැතිරවීමත් දකින්න ලැබෙනවා. එවැනි මත පතුරවන්නන් අඩුම තරමේ තරුවක් යනු සුර්යයෙක් බවවත් සුර්යයන් තුල ජිවින්ට වාසය කරන්න බැරිබව වත් දන්නේ නැති වීම කණගාටුවක්.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්, වැලිවිටියේ සෝරත හිමියන් ඇතුළු ලංකාව පුරා ධර්මධර විනයධර බුදුදහම පිළිබද මහාචාර්ය තනතුරු දැරූ මෙන්ම  භාවනානුයෝගී හිමිවරුන් එකතුවෙන් බිහිකළ බුද්ධ ජයන්ති ත්‍රිපිටක සිංහල පරිවර්තනය දැන් අන්තර්ජාලයේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට තමන් අසන දකින ධර්ම කරුණු සත්‍යද කියා පරික්ෂා කිරමට www.pitaka.lk හෝ   thripitakaya.org අඩවියට ගොස් බුද්ධ ජයන්ති  පාලි - සිංහල ත්‍රිපිටක පරිවර්තනය කියවා විසදාගන්න පුළුවන්. එම වෙබ් පිටුවට ගොස් අග්ගඥ්ඥ සුත්‍රය ලෙස ටයිප් කර පාලි හා සිංහල සුත්‍ර එකවර කියවීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඒවායේ mobile apps ලබාගැනීමටත් හැකියාව තිබෙනවා.




අග්ගඤ්ඤ  සුත්තං

මෙතැන් සිට අග්ගඥ සුත්‍රය සිංහලින් පැහැදිලි කරනවා. නියම බුද්ධ වචනයම හෙලිකල යුතු නිසා වෙනත් කිසිවෙකුගේ සිංහල පරිවර්තනයක් භාවිත නොකර පාලි ත්‍රිපිටකයේ සදහන් අග්ගඤ්ඤ සුත්‍රය පද එකින් එකට පරිවර්තනය කර එහි සරල අදහස දක්වනවා.
බොහෝ දෙනෙක් අග්ගඥ්ඥ සුත්‍රය ජීවයේ ආරම්භය පිළිබඳ නවීන විද්‍යාත්මක මතයට විරුද්ධ යයි සිතා සිටින නිසා ඒවායේ සමානතාත් මේ සමගම දක්වනවා.

බුදුරජාණන් වහන්සේ අග්ගඥ සුත්‍රයේ දේශනා කරන පරිදි දීර්ඝ කාලයක් ගතවූ පසු ලෝකයේ විනාශය සිදුවෙනවා. එවිට මෙලොව බොහෝ දෙනා ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපත ලබනවා. මේ ලොව සත්වයන් ආභස්සර ලෝකයේ උපදින්නේ ඕපපාතික විදියටයි.
(බුදුරජාණන් වහන්සේ මජ්ජිම නිකායේ මහා සීහ නාද සුත්‍රයේදී සත්වයන් උපදින ආකාර හතරක් අණ්ඩජ, සංසේදජ, ඕපපාතික හා ජලාබුජ ලෙස දේශනා කර තිබෙනවා.

* අණ්ඩජ - බිත්තරය බිඳගෙන උපදින ජීවින් - කුරුල්ලන් ,මාළුන් ආදීන්
-|
* ජලාබුජ
 - ගර්භකොශය බිඳගෙන උපදින ජීවින්  - මිනිසුන්, සිවුපාවන් ආදීන්
* සංසේදජ  - කුණු පිරුණු තැන් වල තෙතමනය සහිත පරිසර වල උපදින ජීවින් - පණුවන් , ක්ෂුද්‍රජිවින් ආදීන්
* ඕපපාතික - ඉහත ක්‍රම තුනම රහිතව ඉබේ පහළවන ජීවින් - දෙවියන්, ප්‍රේතයන් (සියලු අමනුෂ්‍යයන්), නිරයේ උපත ලැබුවන් හා
මහර මනුෂ්‍යයන් 

* මෙහිදී සමහර මනුෂ්‍යයන්ද ඕපපාතිකව උපත ලබන බව බුදුන් දේශනා කර තිබෙනවා. මේ කාලයේ බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් නවීන තාක්ෂණ හරහා කෘතිමව මිනිසුන් බිහි කලොත් ඔවුන් අයත් වෙන්නේ බුදුන් දේශනා කල කුමන උපතටද කියන ප්‍රශ්නය. බුදුන් එයට පිළිතුර අවුරුදු 2500 කට පෙරම ලබාදී තියෙනවා. විද්‍යාගාර වල කෘතීම උපත් වගේම සමහර දෙවිවරුන් මිනිස් ලොව ඉපදිමේදීත් ඕපපාතික මිනිස් උපත් ලෙස උපදිනවා. රාමායනයේ රාම, සිතා ලක්ෂණ ලෙස දෙවියන් උපත ලැබුවේත් පත්තිනි දේවිය අඹ ගෙඩියකින් උපත ලැබුවා ලෙස සඳහන් වෙන්නේ මෙම ඕපපාතික මිනිස් උපත් ක්‍රමය පිළිබඳව. ඕපපාතිකව මිනිස් උපත් බුද්ධ සමයේ සිදුවූ අවස්ථා කීපයක්ම ත්‍රිපිටක දේශනා තුලත් අන්තර්ගත වෙනවා.)

ඕපපාතිකව ආභස්සර ලොව උපත ලබන බ්‍රහ්මයන්ගේ ලක්ෂණ හයක් බුදුන් දේශනා කරනවා.

මනොමයා- ඝන ශරීර නැති මනෝමය ශරීර ඇති
පීතිභක්ඛා- මිනිසුන් මෙන් ඝන කබලින්කාර ආහාර අනුභව නොකරන ප්‍රීතිය ආහාර කර සිටින
සයංපභා - ශරීරයෙන් විහිදෙන ස්වයං ආලෝකයකින් දිදුලන
අන්තලික්ඛචරා - අහසින් ගමන් කරන
සුභාට්ඨායිනෝ - සුවසේ වාසය කරන
චිරං දීඝමද්ධාන - බොහෝ කාලයක් වාසය කරන

මේ සියලු ලක්ෂණ දෙවියන් බ්‍රහ්මයන් සතු ලක්ෂණ මිසක් පිටසක්වල මිනිසුන්ගේ ලක්ෂණ නෙවෙයි. දෙවියන් හා බ්‍රහ්මයන් ගැන දේශනා කරන වෙනත් දේශනා වලදීත් මිනිසුන්ගෙන් දෙවියන් බ්‍රහ්මයන් වෙනස් වන කරුණු විදියට මෙම ලක්ෂණ බුද්ධ දේශනා තුල දකින්න පුළුවන්.

ලෝක විනාශයෙන් දීර්ඝ කාලයකට පසු නැවත ලෝකය සකස් වූ විට ආභස්සර ලොව උපත ලැබූ බ්‍රහ්මයන් ඕපපාතික ලෙස මිනිස් ලොව පහල වන බව බුදුන් දේශනා කරනවා. ආරම්භයේදී ඔවුන් සිටින්නේ බ්‍රහ්ම ලෝකයේ සිටි ආකාරයෙන්ම මනෝමය ආලෝකය විහිදෙන ශරීර වලින් යුක්තවමයි. 





මේ කාලයේ ලෝකයේ සියල්ල ජලයෙන් වටවී එකම ජලාශයක් ලෙස පවතින බවත් කිසිදු ආලෝකයක් රහිතව අන්ධකාරයෙන් වැසි පවතින බවත් දිවා රෑ වෙනසක් නැති ඍතු වෙනසක් නැති දින මාස අවුරුදු හදුනාගැනීමක් නැති බවත්  ස්ත්‍රී පුරුෂ වෙන් කර හදුනාගැනීමක් නැති බවත් සත්ත්වයන් ලෙස පමණක් එකිනෙකා හදුනාගැනීම සිදුකරන බවත් බුදුන් දේශනා කරනවා.
ලෝකය ආරම්භය පිළිබඳ නවීන විද්‍යාත්මක මතය අනුවත් ආරම්භයේ ඝන අන්ධකාරයක් තිබුන බවත් පෘථිවියෙන් බොහෝ ප්‍රදේශයක් ජලයෙන් වැසි තිබුණු බවත් සදහන් වෙනවා.


මෙලෙස කාලයක් ගතවීමෙන් පසු ජලයේ රසපොලව පහළවෙනවා. උණු කිරි නිවෙන විට යොදය ඇතිවෙනවා මෙන් මෙම රසපොලව නම් දෙය පොළව මත ඇතිවන බව බුදුන් දේශනා කරනවා. පෘථිවියේ ආරම්භය පිළිබඳ විද්‍යාත්මක මතය අනුව අධිකව රත්වී ලාවා ගුලියක් ලෙස තිබුණු පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වී පොළව ඇතිවීමත් ලෝකය වසාගෙන තිබු මුහුදු තුල කාබනික රසායනික අණු එකතුවී ඇතිවුණු "ආදී සුපය" පිළිබඳ තොරතුරුත් මේ කරුණට සමාන බව හිතන්න පුළුවන්.

මෙම රස පොළව නම් දෙය වර්ණවත් සුගන්ධවත් රසවත් දෙයක් බවත් යහපත් ගිතෙල් හෝ වෙඬරු (බටර්) වැනි පැහැයකින් යුක්ත බවත් , පිරිසිදු මී පැණි මෙන් රසයෙන් යුක්ත බවත් බුදුන් දේශනා කරනවා. රස පොළව ඇතිවූ පසු එය දැක ආශාවක් ඇතිවූ ආභස්සර බ්‍රහ්මයෙක් එය ඇගිල්ලෙන් ගෙන රස බලා එහි රසයෙන් මත්වී අනෙක් පිරිසටත් එය කියසිටිනවා. එවිට අනෙක් බ්‍රහ්ම  පිරිසත් මෙම රස පොළව රසබලනවා. එහි රසයෙන් මත්වන ඔවුන් තුල අධික ආශාව ඇතිවෙනවා. කාලයක් තිස්සේ වර්ධනය වන  අධික ආශාව නිසා මොවුන් ඇගිල්ලෙන් ගෙන රස බැලීම වෙනුවට අතින් ගුලි ලෙස ගෙන ආහාරයට ගැනීම සිදුකරනවා. මේ විදියට අතින් ගුලි කර රසපොලව ආහාරයට ගන්නා විට ඔවුන්ගේ ශරීරයෙන් විහිදෙන ආලෝකය නැතිවී යනවා. ශරීර ආලෝකය නැතිවී ගිය කාලයේදී පොළව වසාගෙන සිටි අන්ධකාරය නැතිවී හිරු සදු ග්‍රහ තාරකා දර්ශනය වීම ආරම්භ වෙනවා. ඒ නිසා රෑ දහවල් දින මාස අවුරුදු වල වෙනස්කම් ප්‍රකට වූ බවත් මෙම අවස්ථාවට ලෝකය නැවත හටගැනීම ලෙස හදුන්වන බවත් බුදුන් දේශනා කරනවා.
නවීන විද්‍යා මතය අනුව පොළව ආරම්භයේ පොළව වසා සිටි දුලි වලාව ඉවත්වී සුර්යයාලෝකය පොලවට ලගාවීම මෙම සිදුවීමට අනුරුපයි.
ඇගිල්ලෙන් ගෙන රස බැලීම හා අතින් ගුලි කර අනුභව කිරීම නිසා මෙතැනදී බුදුන් දේශනා කරන්නේ කිසිසේත්ම ආදී සුපයේ ඇතිවූ ක්ෂුද්‍ර ජීවින් ගැන නෙවෙයි. රස පොළව අනුභව කරන්නේ මනෝමය බ්‍රහ්මකායික ආභස්සර බ්‍රහ්මයන්.
* දෙවියන්ට දේවාල වල පුජාවට තබන පලතුරු කන්න පුලුවන්ද කියල ප්‍රශ්න කරන අයට මේ තුලින් පිළිතුරු ලැබෙනවා. සියුම් ශරීර තිබෙන දිවය බ්‍රහ්මයන් හට ඝන ආහාර ආහරයට ගත හැකි බව මේ තුලින් පැහැදිලි වෙනවා.


දීර්ඝ කාලයක් තිස්සේ රස පොළව ආහාරයට ගනිමින් ජිවත් වීම නිසා ආභස්සර බ්‍රහ්මයන්ගේ මනෝමය ස්වභාවය නැතිවී ශරීර ඝන ස්වභාවයට පත්වුනා. ඝන ශරීර ඇති මිනිස් ස්වභාවයට පත්වුනා. එමනිසා එක් එක්කෙනාගේ ශරීර වල වර්ණ වෙනස්කම් මතුවී පෙනෙන්න ගත්තා. එවිට වර්ණවත් ශරීර ඇති අධිමානයට පත්වී  අය දුර්වර්ණ ශරීර ඇති අයව පහත් කර අවමන් කළා. මේ විදියට වර්ණය නිසා ඇතිවූ අධිමානය හේතුවෙන් පිටකළ සිතුවිලි නිසා රසපොළව නැතිවී ගිය බව බුදුන් දේශනා කරනවා.

රස පොළව නැතිවී ගිය පසු භුමිපප්පට (බිම් පතුරු ) නම් දෙය පහල උනා. මේ බිම් පතුරු පහල වුයේ බිම්මල් (හතු) පහල වෙන ආකාරයට මෙන් බවත් ඒවාද වර්ණය ඝන්ධය රසය අතින් රසපොළවට සමාන බවත් බුදුන් දේශනා කරනවා. මෙම බිම් පතුරු නම් දෙයද ආහාරයට ගනිමින් දීර්ඝ කාලයක් මෙම පිරිස කල් ගත කළා. කාලයක් ගතවනවිට තවදුරටත් ශරීර ඝනවිමෙන් එකිනෙකාගේ වෙනස්කම් තවදුරටත් ඉසමතු වෙන්න ගත්තා. එවිටත් වර්ණවත් ශරීර ඇති අය දුර්වර්ණ අය හෙලා දකිමින් අවමන් කළා. මෙම අධික මානයෙන් පිටකළ සිතුවිලි නිසා බිම් පතුරු නැතිවී ගියා.

බිම්පතුරු නැතිවී ගිය පසු පදාලතා ඇතිවුනා. පදාලතා යනු උණ ගස් වැනි ස්වභාව ඇති දෙයක් බව දේශනාවේ සදහන් වෙනවා.  ලතා යනපදය නිසා මෙය වැල් වර්ගයක් බව අර්ථ දැක්වුවත් පදාලතා පිළිබඳව විස්තර කෙරෙන්නේ පඳුරු වැනි ශාක වර්ගයක් පිළිබඳව.
ඒවාද වර්ණය ඝන්ධය රසය අතින් රසපොළවට සමානයි. මෙම පදාලතාද ආහාරයට ගනිමින් දීර්ඝ  කාලයක් ගතවනවිට තවදුරටත් ශරීර ඝනවිමෙන් එකිනෙකාගේ වෙනස්කම් තවදුරටත් ඉසමතු වෙන්න ගත්තා. එවිටත් වර්ණවත් ශරීර ඇති අය දුර්වර්ණ අය හෙලා දකිමින් අවමන් කළා. මෙම අධික මානයෙන් පිටකළ සිතුවිලි නිසා පදාලතා නැතිවී ගියා.

පදාලතා නැතිවීමෙන් පසු කුඩු රහිත, පොතු රහිත , ප්‍රසන්න සුගන්ධයකින් යුක්ත සහල් ඇතිවුනා. මෙම සහල් වර්ගය අද ඇති සහල් මෙන් පොත්තක් දරන්නේ නෑ. මේ සහල් වැවීමට කුඹුරු තනා පොළව සකස් කල යුතු නෑ. සකස් නොකළ ස්වභාවික පොලවේ මේ සහල් වැවී ඵල ඇතිවෙනවා. ඒ වගේම මේ සහල් දිනක් ඇතුලත ඉතා ඉක්මනින් වැවී ඵල ඇතිවෙනවා. සහල් වලින් යම් කොටසක් උදේ ආහාරයට ගෙන නැවත සවස එතැනට ගිහින් බලනවිට උදේ තිබුණු ලෙසම එතන සහල් පිරි තිබෙන බවත් කිසිම වේලාවකදී සහල් වල අඩුවක් දකින්න නොලැබෙන බවත් බුදුන් දේශනා කර තිබෙනවා. මෙම සහල් වර්ගයත් දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් මේ පිරිසගේ ශරීර තවදුරටත් ඝන වී ස්ත්‍රීන්ගේ ස්ත්‍රී ලක්ෂනත් පුරුෂයන්ගේ පුරුෂ ලක්ෂනත් මතුවෙමින් ශරීර වල ලක්ෂණ ඉස්මතු වුනා. මේ නිසා ස්ත්‍රීන් පුරුෂයන් දෙසත් පුරුෂයන් ස්ත්‍රීන් දෙසත් බොහෝ වෙලා බලා සිටියා. මේ විදියට බොහෝ වෙලා එකිනෙකා බලා සිටීමේදී එකිනෙකා කෙරෙහි කාම රාගය ඇතිවීමෙන් ස්ත්‍රීන් පුරුෂයන් කාමයෙහි හැසිරීම ආරම්භ වුනා. කාමයෙහි හැසිරෙන පුද්ගලයන් දකිනා විට කාමයෙහි නොහැසිරෙන පිරිස ඔවුන්ට පස්, ගොම ආදියෙන් දමා ගසා කාමයේ හැසිරෙන ස්ත්‍රීන්ට "අපිරිසිදු ස්ත්‍රිය නැසේවා" ආදී විදියට පරිභව කිරීම සිදුකල බව බුදුන් දේශනා කර තිබෙනවා. මෙම පස් ගොම ආදියෙන් ගැසීම ඒ කාලයේ සිට බුදුන් දවස දක්වාම පැවතගෙන විත් එකල සමාජයේ විවාහ වලදී විවිද දේ මංගල යුවලට ඉසින චාරිත්‍රයක් ඇතිවී ඇති බව දේශනාවේ සදහන් වෙනවා. ඒ පුරුද්ද අද දක්වාත් පවතින බව විවාහ මංගල්‍ය වලදී විළඳ පොරි ආදිය ඉසීම තුලින් දකින්න පුළුවන්.

*ගොම ආදියෙන් දමා ගසනවා යන්නෙන් මේ වෙනවිට පරිනාමිකව ගවයන් එළුවන් වැනි සතුන් බිහිවී තිබෙනවා කියන කරුණ තේරුම්ගන්න පුළුවන්._

* ඇල් වී/ හැල් වී/ ස්වයංජාත ඇල් වී ලෙසින් හදුන්වන්නෙත් මෙම පොතු රහිත සහල් වර්ගය පිළිබඳවයි. මෑතකාලීනව වහරක අභයරතනාලංකාර නම් භික්ෂුවක් විසින් නිධානයකින් හමුවුනා යයි කියමින් ගව ආහාර ලෙස ලබාදෙන ඉරිගු වර්ග ස්වයංජාත ඇල් වි ලෙස ප්‍රචාරය කළා. ඒ මෙම ස්වයංජාත සහල් නෙවෙයි. ඒ පිළිබඳව අතර්ජාලයෙන් උපුටාගත් සටහනක් :-

" නිධානයකින් ලැබුනා යයි කියන ස්වයංජාත නම් සහල් වර්ගයක් මේ වන විට ලංකාවේ සංසරණය වෙමින් පවතී. සාමාන්‍ය සහල් වලට වඩා ඉතා පෝෂ්‍යදායි බව පරීක්ෂණ වලින් තහවුරු වූ බවද මොවුන් ව්‍යාජ පුවත් ප්‍රචාරය කරයි.

ස්වයංජාත සහල් දැන් ලෝකයේ නොමැත.
ඒ නමින් ප්‍රසිද්දව ඇත්තේ සෝගම් හෙවත් ඉදල් ඉරිගු නම් සත්ව ආහාර වර්ගයයි.
එය මිනිස් පරිභෝජනයට නුසුදුසු අතර ජීර්ණය අපහසුය. පෝෂණයද සාමාන්‍ය සහල් වලටත් වඩා ඉතා දුර්වලය.

එය ස්වයංජාත නමින් ප්‍රසිද්ද කිරීම වහරක නම් ධර්ම විකුර්ති ආගමික කල්ලියක සැලසුමකි.

"
නිධානයකින් ලැබුනා"
"
වසවිස නැති හාලක්"
"
සාමාන්‍ය හාල් වලට වඩා පෝෂ්‍යදායි"
යයි බොරුවක් පවසා සෝගම් ගව අහාරය ස්වයංජාත බවට පත් කිරීමට මොවුන් කුට ලෙස ක්‍රියා කලද ශාඛ හඳුනාගැනීම,තහවුරු කිරීම පිලිබඳ රටේ තියෙන ප්‍රධානම ජාතික ආයතනය
"
ජාතික ශාඛාගාරය" ලැබුනු නිදර්ශක සේරම සෝගම් බවට තහවුරු කළේය.
මීට අමතරව "වී පර්‍යේෂණාගරයෙනුත්" තහවුරු කර ඇත.

ඇතැමුන් මෙය වී වර්ගයක් ලෙස හඳුන්වනු ලැබුවත් එය විද්‍යාත්මක වශයෙන් ඉරිඟු කුලයට (Sorghum) අයත් තෘණ ශාක විශේෂයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට පැවසුවාය.

අවශ්‍ය අයට වී පර්යේෂනායතනයෙන් මේ පිලිබස සත්‍යය දැනගත හැකිය


අග්ගඤ්ඤ සූත්‍රයේ උදෘතය

"
දිගුකලක්‌ ඇවෑමෙන් මහ පොළොව මෙපිට විවිධ තුරුලතා හටගැනීම ආරම්භ විය. ඒ වන විට බදුලතා වැල් විනාශ වී යැමේ තර්ජනය එල්ල විනි. ඒ අතරතුර ස්‌වයංජාත ඇල්වී නම් ගොයම් වර්ගයක්‌ ශීඝ්‍රයෙන් බෝවන්නට විය. එහි වී කරල ඉතා විශාලය. පොත්තක්‌ද නැත. සවිමත් බවක්‌ද නැත. ප්‍රසන්න සුවඳ මෙන්ම කිරි රස මිශ්‍ර මධුර රසයෙන් යුක්‌ත විය. මෙය කා බැලූ මානවායට බදුලතා වැල්වලට වඩා රසවත් බව දැණුනේය. නෙළාගත් සැණින් බත් මෙන් අනුභව කිරීමට හැකිවූ බැවින් දැඩි විශේෂත්වයක්‌ මානවයා තුළ ඇතිවිය. "

ලංකාවේ පැතිරෙමින් යන සහල් වර්ගය තම්බා ගත යුතු පොත්තක් සහිත ඉරිගු වර්ගයකි.
ස්වයංජාත යයි ලංකාවේ පැතිරෙන සෝගම් අමුවෙන් කෑ හැක්කේ එළු බැටළු හරක් ආදීන්ට පමණි.
එක් අතකට එහි වරද්දකුත් නැත. වහරක වැනි අතේ පැලවෙන බොරුබෙගල් ගහමින් ධර්මය විකෘති කල හොර චිවරධාරියෙකු පසුපස යන්නේ ගවයන් මිස මිනිසුන් නොවේ. ඔවුන් ගව ආහාර  අනුභව කිරීම වැරද්දක් නැත.
බුදුන් ලංකාවේ උපන්නේය යන ධර්ම විකෘතිය පැතිරවීම ආරම්භ කල වහරක විසින් තම අනුගාමිකයන් හරකුන් බව ඒ තුලින් ඔප්පු කර ඇත. "


කාමයෙහි හැසිරෙන පුද්ගලයන් හට මාසයක් දෙකක් පමණ කාලයක් යනතෙක් ගම්මාන වලට (පිරිස එක්වී සාමුහිකව ඉන්නා ප්‍රදේශ) ඇතුළුවීමට ඉඩ නොදී වලක්වාගත්තා. එමනිසා අනෙක් පිරිසට නොපෙනෙන ලෙස එක්ව වාසය කිරීම සදහා නිවාස තැනීම ආරම්භ වුනා.
මේ විදියට කාලය ගතවෙද්දී අලස පුද්ගලයන් උදේ සවස වේල් දෙකම සදහා එකවර සහල් ගෙන තබාගන්න පටන්ගත්තා. මෙය දැක තවත් අය දින දෙකකට දින හතරකට ,දින අටකට ආදී ලෙස එකවර සහල් ගෙනත් තබාගැනීම ආරම්භ කළා. මෙසේ කිරීමේදී ඇතිවන නව සහල් වසාගෙන කුඩු සහ පොතු ඇතිවීම සිදුවුනා. සහල් ගෙනගිය තැන් වල නැවත සහල් ඇතිවීම නැතිවී ගියා. ඒ නිසා සහල් රහිත  පඳුරු පමණක් ඉතිරිවුනා.

මෙම සිදුවීම දැකීමෙන් කම්පා වුන පිරිස එකිනෙකා සදහා සහල් සහිත භුමිය සිමා වෙන් කර බෙදීම සිදුකලා. බෙදා වෙන් කිරීමෙන් පසු සමහර දුෂ්‍ය පුද්ගලයන් තමන්ගේ කොටස තබා අනුන්ගේ කොටසින් සහල් සොරකම් කර භාවිත කරන්න පටන්ගත්තා. එවැනි පුද්ගලයන් හසුවුණු විට පිරිස එක්වී අවවාද කළා. නැවත නැවතත් දෙවන වර තුන්වන වරටත් සොරකම් කර අසුවුන පුද්ගලයන් හට සමහරුන් අතින් පහරදීමටත් සහමරුන් දඬු මුගුරු වලින් පහර දීමත් සිදුකලා. මේ සමග ලෝකයේ සොරකමත්, දඩු මුගුරු වලින් හිංසා කිරීමත්, ගරහා කිරීමත් බොරුකිමත් යන අකුසල් ක්‍රියා ආරම්භ වුන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

~~~~~ පරිණාමය හා පිටසක්වල ජිවය ආදියට සම්බන්ධ දේවල් අඩංගු වෙන්නේ මෙම කොටස තෙක් පමණයි ~~~~~~


මේ කොටසින් පසු බුදුරජාණන් වහන්සේ මහජනයා එකතු වී සම්මතයෙන් මහා සම්මත  රජු ඇතිවුණු ආකාරයත් බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කුල සතර ඇතිවුන ආකාරයත් දේශනා කර තිබෙනවා.
මේ වන විට ලංකාවේ විකෘති ඉතිහාස පතුරවන පුද්ගලයන් පසුපස යන අන්ධ රාවණ භක්තිකයන් මහා සම්මත  යනු ලංකාවේ රජ කෙනෙක්යයි අමුලික මිත්‍යා මතයක ගිලි ඉන්නවා. අග්ගඥ සුත්‍රයේ බුදුන් ඉතා පැහැදිලිව දේශනා කර ඇති ආකාරයට මහා සම්මත  ඇතිවුනේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය ශුද්‍ර වෛශ්‍ය කුල ඇතිවුන ඉන්දියාව තුල මිසක් ලංකාවේ නෙවෙයි. මහා සම්මත  රජු සිටියේ ඉන්දිය භුමිය මත බවට චතුර්වේද හා පුරාන ග්‍රන්ථ වල වගේම ජනප්‍රවාද සියදහස් ගණනක සාක්ෂි තිබෙනවා. ඒ පිළිබඳව වෙනම ලිපියකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මනුෂ්‍ය වර්ගයාගේම ආරම්භක මුලික පුද්ගලයෙකු වන මහා සම්මත රජු පිළිබඳව අසත්‍ය මිත්‍යා පැතිරවීම ශාපයට ලක්වනවා වැනි අහිතකර ප්‍රතිපල උදාකරන ක්‍රියාවක්. මහා සම්මත රජු හා පෙළපත ගැන සම්පුර්ණ ලිපිය කියවීමට :- (මෙතන ක්ලික් කරන්න )


අග්ගඥ සුත්‍ර දේශනාවේ ඇති කරුණු අනුව එහි සදහන් ආභස්සර බ්‍රහ්ම ලෝකය කිසිසේත්ම පිටසක්වල ලෝකයක් නොවෙන බව පැහැදිලි වෙනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝක පිළිබඳ දේශනා කරන වෙනත් අවස්ථා වලදීත් දේශනා කර තිබෙනවා.

* ඒ වගේම අග්ගඥ්ඥ සුත්‍රයෙන් කිසිසේත්ම පිටස්ක්වලයන් පැමිණීමක් ගැන කියවෙන්නේ නෑ. මේ ලෝකයේ සිටින මනුශ්‍යන්ම ලෝක විනාශය කාලයේදී ධ්‍යාන වඩා ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදී නැවත ඒ බ්‍රහ්මයන් පොළවට පැමිණීමක් ගැනයි බුදුන් දේශනා කර තිබෙන්නේ. ඒ නිසා වෙනත් ලෝකයක වෙනම ජීවින් පිරිසක් පැමිණීමක් ගැන මෙහි සදහන් වෙන්නේ නෑ.

ඒ වගේම ආභස්සර බ්‍රහ්ම ලෝකය කියන්නේ වෙනත් සක්වලක පිහිටා තිබෙන පිටසක්වල ලෝකයක් නෙවෙයි මේ මිනිස් ලෝකය ආශ්‍රය කරගෙනම පවතින ඉහල තලයක් පමණයි. ඒ නිසා මේ මිනිස් ලෝකයේ මිනිසුන් මේ සක්වලේ සිට වෙනත් සක්වල ලෝකයකට යාමක් අග්ගඥ්ඥ සුත්‍රයේ සදහන් වෙන්නේ නෑ.

*** පිටසක්වලින් ජිවය පැමිණ මිනිස් ලෝකයේ පරිණාමය වීමක් අග්ගඥ්ඥ සුත්‍රයෙන් දේශනා වෙන්නේ නෑ. විද්‍යාඥයන් අද පිළිගන්නා පරිණාමය වෙනම සිදුවූ බවත් එම පරිනාමයේ ආරම්භයේ පටන්ම මිනිසුන් මේ ලෝකයේ වාසය කල බව අග්ගඥ්ඥ සුත්‍රය හොදින් පරික්ෂා කිරීමෙන් දකින්න පුළුවන්. ජෛව පරිණාමික මතයේ සදහන් බොහෝ කරුණු වලට සමාන කරුණු අග්ගඥ සුත්‍රයේ සදහන් වෙනවා. විද්‍යාඥයන් පැහැදිලි කරන පරිණාමය ශාක හා වෙනත් සතුන් පිළිබඳව සත්‍ය උනත් මිනිසා පිළිබඳව සත්‍ය නෑ.
පරිනාමිකව දියුණු නොවූ මිනිසුන් සිටි කාල වලදීත් පැරණි ශිෂ්ටාචාර වල ඉතා ඉහල තාක්ෂණ පැවති බවට අදවන විට සාක්ෂි හමුවෙන්නේ මේ නිසා. පරිණාමිකව නොදියුණු මිනිසුන් සිටි කාල වලට අයත් ඔරලෝසු වැනි ඉතා සංකීර්ණ සියුම් උපකරණ හා පිරමිඩ වැනි ඉතා විශාල සංකීර්ණ ගොඩනැගීම් විශාල ප්‍රමාණයක් මේ වනවිට හමුවෙලා තිබෙනවා. ඒවායේ කාල නිර්ණ අයත් වෙන්නේ නොදියුණු මිනිසුන් සිටි කාල වලට.

විද්‍යාත්මක මතය අනුව වදුරන්ගෙන් පරිණාමය වී ඇතිවුණු මිනිසුන් නිට්ටාවන් වැනි සතුන් හා ගෝත්‍රික මිනිසුන් වෙන්න පුළුවන්. රාමායනයේ සදහන් හනුමන් වැනි වදුරන්, හිමාලයේ යෙටී වැනි ජීවින් මේ විදියට වදුරන්ගෙන් පරිණාමය වෙලා මිනිසුන් ඇතිවීමේදී ඇතිවුන හුදකලා විශේෂ. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ මනුෂ්‍ය භාවයට පත් මිනිසුන්ට සමාන මිනිසුන් විද්‍යාඥයන් පැහැදිලි කරන පරිණාමය හරහාත් ඇතිවී තිබෙනවා. ලංකාවේ සාමාන්‍ය ජනයා හා වැදිජනයා විදියට කාණ්ඩ දෙකක් පවතින්නේ මේ නිසා වෙන්න පුළුවන්. මෙතරම් දියුණු ලෝකයේ කිසිදු ශිෂ්ටාචාර වීමක් නැතිව නවීන ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නැතිව තවමත් ගෝත්‍රිකයන් ලෙස ජිවත් වන මිනිසුන් ඉන්න දුපතක් ශ්‍රී ලංකාවට දකුණින් අන්දමන් දුපත් අතර තිබෙනවා.  (click here )

-

-


 අග්ගඥ්ඥ සුත්‍රයේ සදහන් ආකාරයට ආභස්සර බ්‍රහ්මයන් පොලවට පැමිණ මනුෂ්‍ය භාවයට පත්වුන ආකාරයටම වෙනත් බ්‍රහ්ම ලෝක වලින් බ්‍රහ්මයන් පැමිණීම සිදුවුනා. එය ප්‍රධාන වශයෙන්ම සිදුවුනේ ආයුර්වේදය, මන්ත්‍ර, යෝග, ජොතිශය වැනි ශාස්ත්‍ර බිහිකිරීම සදහා. මෙහිදී ඒ බ්‍රහ්මයන් ආභස්සර බ්‍රහ්මයන් වගේ සම්පුර්ණයෙන් තණ්හාව ඇතිකරගන්නේ නෑ. ඝන මනුෂ්‍ය  ශරීර ඇතිවන මට්ටමට පමණක් සිත පාලනය කරමින් තණ්හාව ඇතිකරගෙන ඔවුන් මිනිස් භාවය ලබාගන්නවා. අර්ධ බ්‍රහ්ම -අර්ධ මනුෂ්‍ය ස්වභාවයෙන් සිටින මේ බ්‍රහ්මයන් හට ඕනෑම වෙලාවක නැවත බ්‍රහ්ම ලෝකයට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. මිනිස් ලොවට පැමිණ තමන්ට අදාළ ශාස්ත්‍රය මිනිසුන්ට ඉගැන්වීම පමණක් සිදුකරන මේ බ්‍රහ්මයන් බ්‍රහ්ම භාවය පවත්වා ගැනීමට දවස පුරා ධ්‍යාන වඩනවා. මෙලෙසින් බ්‍රහ්ම ලෝක වල සිට මිනිසුන්ට ශාස්ත්‍ර ලබාදීමට මනුලොවට පැමිණ අර්ධ බ්‍රහ්ම-අර්ධ මනුෂ්‍ය භාවයෙන් සිටින නිතර ධ්‍යාන වඩන බ්‍රහ්මයන් හට තමයි "ඍෂිවරු" "මුනිවරු" විදියට නම් කලේ. එහෙම නැතුව යෝග වඩන ධ්‍යාන වඩන මිනිසුන් හට නෙවෙයි. පසුකාලීනව මේ අර්ථය නොදන්නා පිරිස විසින් ධ්‍යාන වඩන සියලු දෙනා ඍෂි/ මුනි නාමයෙන් හැදින්වීම සිදුකිරීම ආරම්භ වුනා. අදටත් මෙවැනි බ්‍රහ්මයන් බ්‍රහ්මලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයටත් මනුෂ්‍ය ලෝකයේ සිට බ්‍රහ්මලෝකයටත් ගමන්කිරීම සිදුකරනවා. මේ හේතුව නිසා තමයි විවිද ශාස්ත්‍ර නිර්මාණය කල  ඍෂිවරුන් පිළිබඳව සදහන් වීමේදී ඔවුන් මහා බ්‍රහ්මයාගෙන්/ ඊශ්වර දෙවියන්ගෙන් ඉගෙනගෙන පැමිණ මිනිසුන්ට එම ශාස්ත්‍ර ඉගැන්වූ බව සදහන් වෙන්නේ.


* හිමාලයේ ධ්‍යාන වඩන යෝගීන් ආහාර නොගෙන ජිවත් වීමේ රහස අග්ගඥ සුත්‍රය තුල සැඟවී අන්තර්ගත වෙනවා. හිමාලය, ටිබෙටය, රිෂිකේෂ් වැනි ප්‍රදේශ වල නිවැරදි යෝග ආශ්‍රම වල සිදුකෙරෙන පුහුණුවීම් වලදීත් වනගත යෝගීන් සමග පුද්ගලික පුහුණුවීම් තුළදීත් පුහුණු වන්නන් හට ඉතාම අල්ප ආහාරයෙන් යැපීමට පුරුදු කෙරෙනවා. බත්, ඉරිගු ආදී බර ආහාර වලින් වැලකි කිරි, පලතුරු ආදී සුළු ආහාර වලින් කුසගිනි නිවාගැනීමට පුරුදු කෙරෙනවා. එසේ කිරීමෙන් සිදුකරන්නේ සිරුරේ ඝන ස්වභාවයේ සිට සුක්ෂම ස්වභාවයට පත්වීමට උපකාර වීම සඳහා. එසේ කිරීමේදී ඇතිවන ආහාර අවශ්‍යතාව සපුරාගන්නේ යෝග භාවනාවෙන් ඇතිකරගන්නා සමාධියෙන් ඇතිවන ප්‍රීතිය මගින්. ආභස්සර බ්‍රහ්මයන් ආහාරයට ගත් ප්‍රීතිය ලෙස සඳහන් කර තිබෙන්නේ සිතේ කෙලෙස් යටපත් කිරීමෙන් ඇතිවන ප්‍රීතිය මිස සාමාන්‍ය ජිවිතයේ ප්‍රීතිය නෙවෙයි. මේ විදියට ප්‍රීතිය ආහාරයට ගෙන ජිවත් විය හැකි මට්ටමට සිත දියුණු වුනු යෝගීන් හට දීර්ඝ කාලයක් ආහාර නොමැතිව ජීවත්වීමේ හැකියාව පතිනවා. ඕනෑම භාවනාවකින් ඇති කරගත් සමාධියෙන් මෙය සිදුකල හැකි වුනත් මේ සදහාම හිමාල යෝගීන් වඩන වෙනම භාවනා ක්‍රමයක් මිට පෙර ලිපියකින් ඉදිරිපත් කළා. එම ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න)

දීඝ නිකායේ - පාඨිකවග්ගපාළියේ- පාඨිකසුත්‍රයේ - ලෝකෝත්පත්ති කතා කොටස තුල බුදුරජාණන් වහන්සේ නැවතත් ආභස්සර බ්‍රහ්මයන් මනුලොවට පැමිණ මිනිසුන්ගේ ආරම්භය ඇතිවූ ආකාරයත් මහා බ්‍රහ්ම සංකල්පය ඇතිවූ ආකාරයත් දේශනා කර තිබෙනවා.


* "දෙවියන් යනු පිටසක්වලයන්ය" ආදී ප්‍රකාශ කරන්නේ එම ලෝක දිවැසින් දැකීමට හැකියාවක් තබා සම්මා දිට්ඨියවත් නොමැති අබෞද්ධ මිත්‍යාදෘෂ්ඨිකයන්.

ලෞකික හා ලෝකෝත්තර ලෙස සම්මා දිට්ටිය ආකාර දෙකක් තිබෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ටිය චතුරාර්ය සත්‍ය පිළිබද අවබෝධයයි.
ලෞකික සම්මා දිට්ඨිය විවිද අංග වලින් සමන්විතව බුදුන් දේශනා කර ඇති අතර එයින් දස වත්තුක සම්මා දිට්ඨියට අයත් අංග 10ක් බුදුන් දේශනා කර තිබෙනව.
* ඒවායින් 8 වන අංගය දෙවියන්, යක්ෂයන් ආදී ඕපපාතික උපත් විශ්වාස කිරීමයි.
දෙවියන්, යක්ෂයන් අසුරයන් ප්‍රේතයන් ඕපපාතික උපත් බව දේශනා කලේ තුන්ලොව පිරිසිද දක්නා බුදුරජාණන් වහන්සේ. බුද්ධ දේශනා සිය ගණනක එම උපත් පිලිබදව සදහන් වෙනවා.
ධ්‍යාන අභිඥා සහිත පුද්ගලයන් දෙවියන් හා අමනුෂ්‍යයන් දැකීමෙන්ම එම උපත් පිලිගන්නවා. ධ්‍යාන අභිඥා නොමැති වුනත්බුදුන් සරණ ගියා නම් සම්මා දිට්ඨිය තිබෙනවා නම් බුද්ධ වචනය පිළිගන්නවා.

දවසක් එක් දෙවියෙකු බුදුන් හමුවට පැමිණ දේව ස්වභාවයෙන්ම සිටියදී ක්‍රමයෙන් පොළව තුලට ගිලාබැස ගියා. දෙවියන් ඉර්ධියෙන් පොළව මතුපිටට නැග සිටියදී නැවතත් ගිලා බැසීමට මෙන් පොළව තුලට යාමට පටන් ගත්තා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම දෙවියන්ට මිනිස් ලොව තුල දේව ස්වභාවයෙන් සිටිය නොහැකි නිසා ශරීරය ඝන කරගන්නා ලෙස උපදෙස් දුන්නා. දෙවියන් යනු පිටසක්වල ජීවින් වැනි භෞතික ශරීර නොමැත්තන් බව මෙයින් පැහැදිලි වෙනවා.

අනාථ පිණ්ඩික සිටු වරයාගේ නිවසෙහි විසු දේවතාවියක් එම නිවසට නිතර භික්ෂුන් පැමිණීමේදී නිතර නිතර තමන් සිටි තැනින් බිමට පැමිණ ගෞරව කරන්න වූ නිසා එය කරදරයක් ලෙස සිතා දිනක් අනාථ පිණ්ඩික සිටුවරයාට දර්ශනය වී මෙතරම් දන් දීමේ පලක් නැති ආදී ප්‍රකාශ සිදු කළා. ඒ අසා අනාථ පිණ්ඩික සිටුවරයා අපැහැදි දේවතාවිය හට තම නිවසින් පිටවී යන ලෙස අණ කළා. වාසය කිරීමට ස්ථානයක් නොමැතිව ඒ දේවතාවිය සක්‍ර දෙවියන් හමුවී තමන් හට පිහිට වන ලෙස ඉල්ලා සිටියා. එවිට සක්‍ර දෙවියන් අනාථ පිණ්ඩික සිටුවරයාගේන් මුදල් ගෙන යලි නොදී සිටින ණයකරුවන් සිහිනෙන් බිය කර මුදල් නැවත ලබාදීමට මෙහෙයවන ලෙස දේවතාවියට පවරා ඒ තුලින් නැවත සිටු නිවසේ විසීමට අවසර ලබාදුන් බව දේශනාවේ සදහන් වෙනවා.

දෙවියන් යනු ඕපපාතික උපත් මිස පිටසක්වලයන් නොවන බවට මෙවැනි උදාහරණ දහස් ගණනක් ත්‍රිපිටකය පුරා තිබෙනවා.

ඒවාට අමතරව ඛුද්දක නිකායේ විමානවත්ථු පේත වත්ථු දේශනා වල දෙවියන් හා අමනුෂ්යන් පිලිබදව ඉතා පැහැදිලිව තොරතුරු සදහන් වෙනවා. දෙව්ලොව යනු පුණ්‍ය කර්ම වල විපාක නිසා උපත ලබන උසස් තලයක් මිසක් පිටසක්වල මිනිස් ලෝකයක් නොවන බව විමානවත්ථු දේශනා කියවීමෙන් ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්. දෙව්ලොව උපන් එක් එක් දෙවියන් දෙව්ලොව උපදීමට හේතු වූ මිනිස් ලොවේදී තමන් කල පුණ්‍ය විපාකය එම දෙවියන් විසින්ම ප්‍රකාශ කරන දේශනා විමාන වත්ථු දේශනා වල තිබෙනවා.
-


* බුදුරජාණන් වහන්සේ වෙනත් සක්වල වල පිහිටා ඇති මිනිස් ලෝක ගැන විවිද අවස්ථා වලදී දේශනා කර තිබෙනවා.


චතු සහස්සී, දස සහස්සී ආදී ලෝක ධාතු පිළිබද දේශනා කරන විට පරසක්වල ලෝක පිළිබද අංගුත්තර නිකායේ අභිභු සූත්‍රයේදී දේශනා කර තිබෙනවා.

ආනන්ද තෙරුන් නැවත නැවතත් ප්‍රශ්න කල පසු විශ්වය නිර්මාණය වී ඇති ලෝක ධාතු ප්‍රභේද තුනක් පිළිබඳව දේශනා කර තිබෙනවා. ඒ ලෝක ධාතු තුන වෙන්නේ 

සහස්සී චූලනිකා ලෝක ධාතුව, 
ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුව 
තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව. 

එම සූත්‍රයට අනුව, 
එක ඉරකුත්, එක සඳකුත් වශයෙන් හිරු සඳු දෙදෙනකු ආලෝකය විහිදුවමින් පරිභ්‍රමණය වන්නේ යම්තාක් දුරක්ද එය සක්වළක් විදියට හදුන්වනවා. එබඳු වූ සක්වළ දහසක් ‘සහස්සධා’ ලෝක ධාතුව වෙනවා. සහස්සී ලෝක ධාතුවෙහි අන්තර්ගත ප්‍රභේද 16ක් (සොළොසක්) දැක්වෙනවා. 

චන්ද්‍රයන් - 1000 (දහසකි) 
සූර්යයන් - 1000 (දහසකි) 
සිනේරු පර්වත - 1000 (දහසකි) 
ජම්බුදීප - 1000 
අපර ගෝයාන - 1000 
උතුරුකුරු දිවයින් - 1000 
පූර්ව විදේහ - 1000 
සිවුමහා මුහුදු - 1000 
සිවුමහා දෙවි රජවරු - 1000 
චාතුම්මහාරාජික - 1000 
තවුතිසා - 1000 
යාම - 1000 
තුසිත - 1000 
නිම්මානරති - 1000 
පරනිම්මිත වසවර්ති - 1000 
බ්‍රහ්මලෝක - 1000 

ඒ අණුව සහස්සී ලෝක ධාතුව තුල මිනිස් ලොව 1000ක් තිබෙන බව පැහැදිලියි. මෙම දේශනාව ආනන්ද හිමියන් තෙවරක් විමසන තෙක් බුදුන් නිහඩව සිටියා. එයින් අදහස් වන්නේ මෙම කරුණු එකල මිනිසුන් හට අවබෝධ කරගැනීමට අපහසු බැවින් දේශනා කිරීමට කැමැත්තක් නොදැක්වූ බව.
සිනේරු පර්වත, ජම්බුදීප, අපර ගෝයාන, උතුරුකුරු දිවයින්, පූර්ව විදේහ, සිවුමහා මුහුදු තිබෙනවා යයි අදහස් කරන්නේ මිනිස් ලෝකයක් පවතින බව. ඒ පිලිබදව බුදුන් ඍජුව දේශනා නොකලේ එවැනි ධර්මයක් විමසීමට තරම් එකල විද්‍යාත්මක දැනුමක් නොතිබුණු නිසා විය හැකියි.

ලෝක ධාතු විඥාපන සුත්‍රයේදීත් මෙම සක්වල විග්‍රහය බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර තිබෙනවා.
* බුදුවරු පහල වන බැවින් අප සිටින මෙම සක්වල මගුල් සක්වල ලෙසින් හැදින්වෙන බව දේශනාවේ සදහන් වෙනවා. එයින්ද පැහැදිලි වන්නේ බුදුවරු පහල නොවන වෙනත් මිනිස් ලෝක සහිත සක්වල තිබෙන බවමයි. එම මිනිස් ලෝක ආශ්‍රය කරගෙනද මෙම සක්වලෙහි මෙන්ම දේව බ්‍රහ්ම හා සතර අපා තලයන් පවතිනවා.
-

දෙවියන් බ්‍රහ්මයන් පිටසක්වලයන් නම් අප සිටින මිනිස් ලෝකය මගුල් ලෝකය කියා නම් කරනවා මිසක් දේව බ්‍රහ්ම මනුෂ්‍ය සියල්ල සහිත සක්වල මගුල් සක්වල ලෙස නම් කරන්නේ නෑ. මේ සක්වලට අදාල මනුෂ්‍ය බ්‍රහ්ම දේව ආදී  31 තලයන් අතරින් වටිනාම තලය හෙවත්  මගුල් තලය මනුෂ්‍ය තලය බව  දැක්වීම කරන්න පුළුවන් සක්වල ගැන සදහන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. සක්වල ගැන විශේෂ සදහනක් කරන්න අවශ්‍ය වෙන්නේ වෙනත් සක්වල වලත් මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී තලයන් තිබෙන නිසා. එනම් මේ සක්වලේ තියෙන  දේව ලෝක බ්‍රහ්ම ලෝක පිටසක්වල ලෝක නොවන නිසා.



* නියත විවරණ ලත් මහබෝසත්වරයෙක් සසර සැරිසරන විට උන්වහන්සේ වෙත හිමිවන විශේෂතා 18ක් බුදුන් දේශනා කර තිබෙනවා . ඒවා නම් 

1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම.
2.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම.
3.උන්මත්තකයෙකු නොවීම.
4.ගොතගසමින් කථා කරන්නෙකු නොවීම.
5.අත් පා කොර වූවෙකු නොවීම.
6.ම්ලේච්ඡයන් සිටින ප්‍රදේශයක නො ඉපදීම.
7.දාසියකගේ කුසෙහි නොඉපදීම.
8.මිනිසත් බවක් ලැබුවේ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයෙකු නොවීම.
9.ලිංග පරිවර්තනයකට හසු නොවීම. (ස්ත්‍රියක නොවීම.)
10.පඤ්චානන්තරීය පාපකර්ම නොකිරීම.
11.කුෂ්ඨ ‍රෝගියෙකු නොවීම.
12.තිරිසන් ආත්ම භවයක ඉපදුණත් වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක නොඉපදීම හා හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සතෙකු නොවීම.
13.ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්මභාවයන්හි නොඉපදීම.
14. අසුර නිකායයන්හි නොඉපදීම.
15.අවීචි මහා නිරයෙහි නොඉපදීම.
16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම.
17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ,රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම.
18.වෙනත් සක්වලකට නොයෑම.

* මෙයින් අවසාන අංගය වන්නේ පරසක්වල ලෝකයක උපත නොලබන බව. එයින් අදහස් වන්නේ පරසක්වල මිනිස් ලෝක ඇති බව. බෝධිසත්වයන් වහන්සේ ඕනෑතරම් දේව හා බ්‍රහ්ම ලෝක වල ඉපදි තියෙනවා. ජාතක කතා හා සුත්‍ර දේශනා වලදී ඒ බව අවස්ථා සිය ගණනක සදහන් වෙනවා. දෙවියන් හා බ්‍රහ්මයන් කියන්නේ පිටසක්වලයන් නම් බෝධිසත්වයන් දේව හා බ්‍රහ්ම ආත්ම වල උපදින්න විදියක් නෑ. ඒ නිසා ඒ තුලින්ම තහවුරු වෙනවා දෙවියන් බ්‍රහ්මයන් කියන්නේ පිටසක්වලයන් නෙවෙයි. දේවලෝක බ්‍රහ්ම ලෝක කියන්නේ පිටසක්වල ලෝක නෙවෙයි

* ඉර්ධිමත් තෙරණින් වහන්සේලා අතරින් අගතැන්පත් භද්ද කච්චායනා මහා රහත් තෙරණින් වහන්සේ පිරිනිවන අවස්ථාවේ දක්වන ඉර්ධි ප්‍රාතිහාර්ය නැරඹීමට වෙනත් සක්වල වල දෙවිවරුන්ද පැමිණි බව එම කතා ප්‍රවෘත්තිය සහිත දේශනාවේ සදහන් වෙනවා.


* දිනක් බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩින අවස්ථාවකදී එක් කාන්තාවක් දානය පුජා කළා. මද වෙලාවකින් ඒ මාර්ගයේම බුදුරජාණන් වහන්සේ මෙන්ම රුව ඇති මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ පිඬුසිඟා වැඩියා. මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ බුදුන් වහන්සේ යයි වරදවා සිතා ගත් කාන්තාව වහා දුව ගොස් බුදුරජාණන් වහන්සේට පුජා කල දානය නැවත ලබාගෙනවිත් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට පුජා කළා. මෙයට හේතුව කුමක්ද කියා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් විමසා බලන විට එම කාන්තාව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට වෙනත් සක්වලක ඉපදී සිටි බවත් ඒ නිසා බෝසතානන් වහන්සේට එක් භවයකදී හෝ එම කාන්තාවට ආහාර දන් දීමට ලැබී නැති බවත් දුටුවා. මේ තුලිනුත් මිනිසුන් උපදින ලෝක වෙනත් සක්වල තුල කල්ප කාලාන්තරයක් තිස්සෙම ඇති බව පෙනියනවා.


රාජගිරියේ අරියඥාන හිමියන් ධ්‍යානගත සිතින් දකින බොහෝ දේ විස්තර කරමින් ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනෙක් හදුනනවා. උන්වහන්සේ ධ්‍යාන සිතින් දෙවියන් අමනුෂ්යන් බ්‍රහ්මයන් හා එම ලෝක දුටු අවස්ථා උපුටා දක්වමින් විවිද දේශනාවන් සිදු කර තිබෙනවා. ඒ වගේම  උන්වහන්සේ එක් දේශනාවකදී සදහන් කර තිබෙනවා  මිනිසුන්ගේ පෙනුම ඇති අගුටුමිටියන් වැනි කුරු    මිනිසුන් සහිත පිටසක්වල ලෝකයක මිනිසුන් පිරිසක් දර්ශනය වූ අවස්තාවක් පිලිබදව. එම දේශනය ශ්‍රවණය කිරීමට :- ( මෙතන ක්ලික් කරන්න )


* මේ සියල්ල මගින් දෙවියන් හා බ්‍රහ්මයන් යනු කිසිසේත්ම පිටසක්වලයන් නොවන බවත්
දේව බ්‍රහ්ම ලෝක මේ සක්වලේම වෙනත් ඉහල තලයන් බවත්
වෙනත් සක්වල වල වෙනත් මිනිස් ලෝක ඇති බවත්
ඒවා ආශ්‍රය කරගෙනද දේව බ්‍රහ්ම ලෝක ඇති බවත් තහවුරු වෙනවා.
 







අග්ගඥ්ඥ සුත්‍රය හා ආභස්සර ලෝකය පිළිබඳ පිළිබඳව විකෘති අසත්‍ය පතිරවිමේදී සමහරුන්  ඔරායන් බඳ පටියේ ඇති ඇල්නිලම් ආදී  තරු තුනෙහි සිට පිටසක්වලයන් අප සිටින ලොවට පැමිණ මනුෂ්‍ය වාසය ඇතිකළ බවත් බුදුන් අග්ගඥ්ඥ සුත්‍රයේදී දේශනා කර ඇත්තේ ඒ පිළිබඳව බවත් අසත්‍ය මතවාද පතුරවන බව දකින්න ලැබෙනවා. 

ඔරායන් බඳ පටියේ පෙනෙන්නේ තරු තුනක් මිස ග්‍රහලෝක තුනක් නෙවෙයි. තරු කියන්නේ අපගේ සුර්යයා වැනි ගිනිගෙන දැවෙන ලෝකයන්. ඒවායේ මිනිසුන්ට හෝ කිසිම සතෙකුට ජිවත් වීමේ හැකියාවක් නෑ. භෞතික ජිවින්ට තබා දේව බ්‍රහ්ම ආදින්ටව්ත් ඒවා තුල ජිවත් විය නොහැකි බව  බුදුරජාණන් දේශනා කල සප්ත සුරියෝද්ගමන සුත්‍රය කියවීමෙන් තේරුම්ගන්න පුළුවන්. ලෝක විනාශය වන කාලයේදී සුර්ර්යයන් හතක පහල වීම නිසා අකනිටා බඹ ලොවට වනතෙක් සියලු මනුෂ්‍ය දේව බ්‍රහ්ම ලෝක විනාශ වන බව බුදුන් දේශනා කර තිබෙනවා.

ඒ වගේම මේ තරු අතුරින් සමහර ඒවා එක තරුවක් විදියට පෙනුනත් තරු කිහිපයක් එකට පොකුරු විදියට පවතිනවා. ඒවා ඈතට පෙනෙන්නේ එක තරුවක් විදියටයි. අග්ගඥ සුත්‍රය හා ඔරායන් බඳ පටි තරු සමාන කරන්න දගලන පුද්ගලයන් හට ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නෑ.

ඒ වගේම මේ තරු කාණ්ඩ තුන පොලවට පෙනෙන ලෙස එකම රේඛාවක පවතින්නේ නෑ. ඒවා එකිනෙකින් වෙන වෙනම ඈත්ව පිහිටන ඒවා මිසක් එකම සරල රේඛාවක පිහිටන ඒවා නෙවෙයි.

මෙම තරු තුල කිසිසේත්ම කිසිම ආකාරයක ජීවින් සිටීමක් වෙන්නේ නෑ. ඒවා ආශ්‍රය කරගෙන තිබෙන ග්‍රහලෝක වල පමණයි ජීවින් සිටීමේ හැකියාවක් තිබෙන්නේ. නමුත් මෙම තරු ආශ්‍රය කරගෙන පවතින ග්‍රහලෝක වලත් ජිවින්ට වාසය කල හැකි පරිසරයක් ඇත්තේ නෑ. ජිවින්ට සුදුසු උෂ්ණත්වයක් පවතින ග්‍රහලෝක කිහිපයක් පමණක් තිබෙනවා. ඒවා තුල උෂ්ණත්වය ජිවින්ට සුදුසු උනත් ජිවින්ට සුදුසු වායුගෝලයක් පවතින්නේ නෑ. ඒ අනුව ඔරායන් බඳ පටියේ පෙනෙන තරු තුන ලෙස පෙනෙන තරු රාශිය තුල හා ඒවා ආශ්‍රය කරගෙන ඇති ග්‍රහලෝක කිසිවක ජීවින් කිසිවෙක් ජිවත් නොවෙන බව ඉතාම පැහැදිලියි.


ඔරායන් බඳ පටියේ තරු පිළිබඳව, ඒවායේ දුර ප්‍රමාණ, ආශ්‍රිත ග්‍රහලෝක, උෂ්ණත්ව , මතුපිට පෘෂ්ට ස්වභාව ඇතුළු සියල්ල ගැන ත්‍රිමාණ සජීවී දර්ශන සහිතව  ඉතාම පැහැදිලිව සිදුකරන හැදින්වීමක් මේ වීඩියෝවෙන් නරඹන්න පුළුවන් :-



අග්ගඥ සුත්‍රයේ සදහන් වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ ආරම්භයේ පළමුවරට මිනිසුන් ඇතිවීම සිදුවුණ ආකාරය පිලිබදව. ඒ කල්ප විනාශයකින් පසුව නැවත මිනිස් ලොව සකස් වෙනකොට මිනිසුන් ඇතිවෙන ආකාරය. කල්ප විනාශයක් ලෙස හදුන්වන්නේ කල්පයක් අවසානයේ මිනිස් ලොව සම්පුර්ණයෙන් විනාශ වීම. මිට අමතරව ලෝක විනාශය විදියට හදුන්වන්නේ පොලෝ තලය සම්පුර්ණයෙන් විනාශ නොවී වැසි සුළං ගංවතුර ගිනිකදු ආදී මහා ස්වභාවික ව්‍යසන සිදුවී මිනිස් සංතතිය ලොවින් අතුරුදහන් වී කාලයකට පසු  නැවත මිනිසුන් ඇතිවීම සදහා වෙන විනාශයන්. ලෝක විනාශ වලින් පසුව නැවත මිනිස් වාසය ඇතිවීමේදී ආභස්සර ලෝකයෙන් පැමිණීම වෙනුවට වෙනත් ආකාර වලින් මනුෂ්‍යයන් ඇතිවීම සිදුවෙනවා.
අග්ගඥ සුත්‍රයෙන් බුදුන් විස්තර කර තිබෙන්නේ පෙර කල්ප විනාශයෙන් පසු මිනිසුන් ඇතිවුණු ආකාරය. ඒ වගේම මිනිසුන් ඇතිවුන තවත් ආකාරයක් තමයි සිංහල ජනකතා සම්ප්‍රදාය තුල පැවතගෙන එන හිරු කුමරා හා සඳ කුමරිය මුණගැහෙන කතා පුවත. ලංකාවේ ජනකතා අතර වගේම මංගල අෂ්ඨක මංගල සිරිත් විරිත් තුලත් මේ කතා පුවත විස්තර වෙනවා. ලංකා ජනශ්‍රුතියේ වගේම වෙනත් ප්‍රධාන ආගමික ග්‍රන්ථයක මේ කතා පුවත සදහන් වෙලා තියෙනවා. චීන ජනකතා වලත් මේ කතා පුවත අතීතයේ සිට පැවතගෙන එනවා.





-

Comments

  1. ආදී චින්පන්සීන් වර්ගයක් පරිණාමය වී මිනිසුන් බවට පත් උනා නම් මිනිසුන්ට තියෙන්නෙ ජාන 23 ක් පමණක් වන නිසා චින්පන්සීන්ටත් හරිනම් තිබෙන්න අවශ්‍ය වෙන්නෙත් ජාන 23 යි. එත් චිම්පන්සින්ට ජාන 24 ක් තියනවා. ඒක නිසා විද්‍යාක්ඥයන් කරපු උපකල්පනය තමයි චිම්පන්සීන්ගෙ ජාන 24 න් මොකක්හරි ජාන දෙකක් එකට එකතු වෙලා තනි ජානක් බවට පත්වෙලා තිබිය යුතුයි කියන එක. එහෙම ජාන දෙකක් එකට එකතු වෙලා තියනවනම් ඒ එකතු වෙලා හැදුණු ජානය තරමක් විශාල ජානක් විය යුතුයි, සහ ඒ ජානය තුල චචින්පන්සීන්ට තිබෙන ජාන දෙකක ලක්ෂණ එනම් ඔවුන්ගේ ජාන වල අඩංගු දත්ත වලට ආසන්න දත්ත තිබිය යුතුයි. (ඒ තමයි පරීක්ෂණයට පෙර කරපු උපකල්පනයන්) ඒ උපකල්පනයන් නිවැරදි බව තහවුරු උනේ මිනිසුන්ගෙ ජාන පරික්ෂා කරපුවම ඒ ජාන වලින් දෙවැනි ජානය විශාල ජානයක් (ක්‍රෝමසෝන යුගලයක්) වෙලා තියෙන්නෙ කුඩා ජාන දෙකක් එකතු වීමෙන් බව සොයාගැනීමෙනුයි. ජාන දෙකක කෙළවරවල් එකතු වෙලා තමයි මිනිසුන්ගෙ දෙවන ජානය හැදිලා තියෙන්නෙ. එම ජාන දෙක එකතු වීමේදී අක්‍රිය වූ කොටස් නිසා වෙනත් වානරයන්ගේ මොළය Alzheimer's කියන රෝගයෙන් ආරක්ෂා වන නමුත් මිනිසුන්ට ඒ රෝගය හැදුනොත් එය සුව කිරීමට අවශ්‍ය එන්සයිමය නිපදවන ජාන දත්තයන් (genetic codes) අක්‍රීය වී තිබෙන නිසා එම රෝගය සුව නොවී මරණයට පත්වෙනවා (Humans appear to have lost a functional caspase-12 gene, which in other primates codes for an enzyme that may protect against Alzheimer's disease.). උදාහරණයක් විදියට මිනිසුන්ගෙ දෙවන ජානයේ එනම් දෙවන ක්‍රෝමසෝන යුගලයේ PGML ලෙස හදුන්වන ජානය phosphoglucomutase වගේ ජාණයක් උනත් එය අසම්පූර්ණ ජනයක්. මිනිසුන්ගෙ දෙවන ක්‍රෝමසෝන යුගලය නිර්මාණය වෙලා තියෙන්නෙ චචින්පන්සීන්ගෙ 12 සහ 13 වන ක්‍රෝමසෝන යුගල (ජාන) දෙක එකතු වෙලයි. ඒකත් ජාන දත්ත (genetic codes) මගින් තහවුරු වෙලා තියනව.
    (1. http://en.wikipedia.org/wiki/Chromosome_2_(human) 2. http://en.wikipedia.org/wiki/Chimpanzee_genome_project 3. Ken Miller Human Chromosome 2 Genome https://www.youtube.com/watch?v=8FGYzZOZxMw)

    කල්පය ආරම්භ වූ පසුව බ්‍රහ්ම ලොවකින් ආලෝකමත් ජීවින් පෘතුවියට පැමිණ පරිණාමයක් වන බව බුදු දහමේ සඳහන් වෙනවා. ඔවුන් වසර දහස් ගණනක් ජීවත් වී විවිධ සතුන් බවට පත්වී විවිධ ලෝක විනාශයන් වලදී වඳ වී ගොස් නැවතත් කුඩා ජීවින්ගෙන් පරිණාමය වී වානරයන් බවට පත්වී ඉන්පසුව නැවතත් මනුස්සයන් බවට පත්වීම බුදු දහමට ගැලපෙන බව ඔබ දන්නවාද? එහිදී පළමු පරිණාමය ආලෝකමත් ජීවින්ගෙන් සිදුවූ නමුත් උල්කාපාත වැටීම වැනි ලෝක විනාශයන් වලට පසුව සිදුවන පරිණාමයන් දිවි ගලවාගත් කුඩා සතුන්ගෙන් සිදුවී තිබෙනවා.

    Evolution (පරිණාමය) And The Universe (සහ විශ්වය): https://www.youtube.com/watch?v=r5YKq5sT9tA
    පරිණාමය සහ විශ්වය : වීඩියෝව බාගත කරන්න (Download Video): https://drive.google.com/file/d/11qryEZ-Vuq7jQRGX0trFLLUUFVQk_MNo/view?usp=sharing

    ජීවයේ පරිණාමය පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි (Evolution: Evidence and Acceptance): http://bauddha-tharka.blogspot.com/p/evolution-evidence-and-acceptance.html

    ReplyDelete
  2. Great lesson for increasing knowledge

    ReplyDelete
  3. ඒ කියන්නෙ ප්‍රථම කල්පයේ ආභස්සර බඹ ලොවින් ඇවිත් පහළ වෙලා, මිනිසුන් ඉහළ ශිෂ්ටාචාර ගත කරමිනුත් සිටින අතරතුර නේද ඔය Dinosaurs, Titanoboa වගේ සතුනුත් මේ ලෝකෙ ඉන්න ඇත්තෙ.පසුකාලීනව වදුරන්ගෙන් පරිණාමය වෙලා පැවතගෙන එන මිනිස් විශේෂයකුත් වෙනම ඉන්නව.

    1.එතකොට ආදී සූපය තුළ විෂමපෝෂී ඒකසෛලිකයෙක් මුලින් ඇතිවී ජලයෙන් ගොඩබිමට ආදී වශයෙන් පරිණාමිකව පැමිණද එම වදුරන් හටගත්තෙ?

    2.වැද්දන් පැවත එන්නෙ කුවේණි නම් යක්ෂණියට දාව විජයගෙන් නේද? වදුරන්ගෙන් නෙවේ නෙ?

    3.වර්තමාන මනුෂ්‍ය ප්‍රජාව තුළ(වැද්දන් ගෝත්‍රිකයින් නොවේ සාමාන්‍ය මිනිසුන්) පොදුවෙ ගත්තොත් ආදි කල්පික මනුෂ්‍යයන්ගෙනුත් වදුරන්ගෙනුත් පැවතගෙන ආපු මිනිසුන් දෙකොට්ඨාසයම අප අතර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. 1. ow. vidyawe parinamaya wisthara krana widiyata
      2. lamai dennekgen sampurna wedi paramparawakma hedenna puluwanda?
      3. ou . e erenna tawa widi walinut minissu athiwela thiyenawa

      Delete
    2. තෙරුවන් සරණයි!
      ඔබ වැනි සත්පුරුෂයෙකු ඇසුරු කිරීමට ලැබීම මා ලද භාග්‍යයකි.

      Delete
  4. ඉතාම වටිනා ලිපියක් 💙💙💙💙💙

    ReplyDelete
  5. නොමග ගියපු ගොඩක් අයට නිවැරැදි දේ පෙන්වා දෙන ඔබතුමාට ගොඩක් පින්. ඇත්තටම ගොඩක් අය මේ කියන පුද්ගලයො කියපු දේවල් වලට අහුවෙලා ඒ දේවල් විශ්වාස කරන් ඉන්නවා. සම හරක්ට මේ සත්‍ය දේවල් ගැන කොච්චර කිවුවත් පිළිගන්නෙ නෑ. අර මිථ්‍යා මත වලින් මත් වෙලා ඉන්නෙ. සාමාන්‍ය ජනයා සූත්‍ර කියවලා, ඒ කියපු දේවල් සූත්‍රත් එක්ක සංසන්දනය කරලා බලන්නෙ නැතුව ඉස් මුදුනෙන් පිළිගන්නවා.

    ඔබතුමා මේ දේවල් පැහැදිලි සිංහලෙන් තේරුම් කරලා දීලා ලොකු සේවයක් කරනවා වගේම ධර්මය ගැන නිවැරදි දේ පෙන්වා දෙමින් ධර්ම දානයක් කරන්නෙ.

    ReplyDelete
  6. ඉදිරිටත් මේ වගෙ නිවැරදි දේවල් පෙන්වා දෙනමෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමාගේ සියලු අභිමතාර්ථයන් ඉතා ඉක්මනින් ඉෂ්ඨ කර ගැනිමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන අතර, තව බොහෝ කාලයක් මේ වගේ දේවල් පිළිබඳව අපව දැනුවත් කිරිමට ඔබට හැකිවේවා..

    ReplyDelete
  7. යෝගිතුමනි,

    01. මෙහි පවසන ආකරයට මිනිසුන් ආභස්සර බ්‍රක්ම ලොකයෙන් පැමින ඇත. නමුත් ගොම ගැසිමෙදී හරක් වැනි සතුන් පරිනාමය වී ඇති බව පවසා ඇත. එම සතුන් හට විඤ්ඤාණයක් පැමිණියේ කොහෙන්ද?

    02. අපි මිය යෑමෙන් පසු වෙනත් සක්වලවල ඉපදෙනවද?

    03. ලෝක විනාශයකදි සියලුම මිනිසුන් හා සතුන් (තිරිසන්,නිර,අසුර,..) ආභස්සර බ්‍රක්ම තලයේ උපදිනවද?

    04. Bacteria වැනි ජීවින්ටද විඤ්ඤාණයක් තියනවද? නැත්තම් ඇයි ඒ? අපි කුඩා ජීවීන් මැරුවොත් එය පවක්ද?

    05. ලෝක විනාශයකදි අකනිටා බ්‍රක්ම ලෝකයතෙක් විනාශ වෙනවනම් ශිව දෙවියන් වැනි දෙවිවරුද ලෝක විනාශයකදි විනාශ වෙනවද?

    06. කාලය හරහා ගමන් කිරීමට භාවනා හෝ වෙනත් ක්‍රම තිබේද?

    07. පූජ්‍ය තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරුවෝ පවසන්නෙ බොරුද? ඔහු ධර්ම විකෘතිකයෙක්ද?

    08. සම්පුර්ණ ත්‍රිපිටකයේම (විනය,සූත්‍ර,අභිධර්ම) නිවැරදි සින්හල පරිවර්තනය තියන website or offline app එකක් තියනවද?

    09. ඉක්මනින්ම හා පහසුවෙන්ම හිත සමාදිගත කරගත හැකි භාවනාව කුමක්ද?

    10. අධ්‍යාපන කටයුතු වල දියුනුව සදහා වැද පිදිය යුතු දෙවිවරුන් කව්රුන්ද? ඒ සදහා කටයුතු කලයුතු ආකාරය (වැදිය යුතු ආකාරය) කුමක්ද?

    11. ඔබතුමා භාවනා වැඩසටහන් පවත්වනද?

    12. නිවැරදි භාවනා උගන්වන මොරටුව හෝ පානදුර ( Moratuwa to Panadura Old Galle Road) ආශ්‍රිත භාවනා මධ්‍යස්තනයක් තිබේද?


    Please answer above questions. Thank you very much for this service and the knowledge that you are giving. keep posting about meditation and yoga. Thank you !!

    ReplyDelete
  8. 1.දෙවියන් සමග කතා කරන්න භාවනාව කුමක්ද

    ReplyDelete
    Replies
    1. ඕනිම භාවනාවක් දියුණු කරගෙන යනකොට පුළුවන්

      Delete
  9. ස්වාමිනි.. කල්ප විනසයෙදි සතුන් ඩෙවියනුත් විනශ වෙනවඩ?

    ReplyDelete
    Replies
    1. දෙවියෝ විනාශ වෙන්නේ නෑ ආභස්සර බ්‍රහ්ම තලයේ උපදිනවා
      සත්තව් ලෝක දේව ලෝක විනාස වෙනවා

      Delete

Post a Comment