Featured Post

මහා සම්මත නොහොත් මනු රජ Maha Sammata Manu

මහා සම්මත මනු රජු

බුද්ධ උප්පත්තිය හා රාවණ පිළිබඳ මිත්‍යා මත සමාජගත කරමින් මිනිසුන් මුලාකරනා පුද්ගලයන් එම මතවාද දෙක සදහාම යොදාගන්නා චරිතයක් තමයි මහා සම්මත හෙවත් මනු රජු රජු. මෙම ඉතිහාස විකෘතිකයින් තමන්ගේ විකෘති පතිරවිමේදී "මහා සම්මත මනු රජු හෙළයේ සිටි පළමු රජු" බව නිතර ප්‍රකාශ කරනවා. මෙය මොවුන්ගේ නුගත් කම මත පතුරවන අමුලික මිථ්‍යා මතයක්. " මහා සම්මත මනු" යන යෙදීමම ඉතාම සාවද්‍ය යෙදීමක්. මහා සම්මත මනු කියා රජෙකු පිළිබඳ ලෝකයේ කිසිම තැනක කිසිම සඳහනක් ඇත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකය ආරම්භය පිළිබද දේශනා කිරීමේදී මහා සම්මත රජු පිළිබඳව දේශනා කර තිබෙනවා. වේදය තුල මනු රජු පිළිබඳව සදහන් කර තිබෙනවා. මෙම රජවරු දෙදෙනා පිළිබඳ තොරතුරු එකිනෙකින් ඉතාම පරස්පරයි. මේ මුලාශ්‍ර දෙකේදීම මෙම රජු පිළබඳව ඉතාම පැහැදිලිව සදහන් වෙන්නේ ඉන්දියාවේ සිටි රජෙකු පිළිබඳව මිසක් ලංකාවේ රජෙකු පිළිබඳව නෙවෙයි. මහා සම්මත හෝ මනු රජු පිළිබඳව ඇති තොරතුරු වලින් කිසිවක ලංකාවේ විසු බවක් සදහන් වෙන්නේ නෑ. 

මහා සම්මත රජු හා එම පෙළපත පිළිබඳව
අග්ගඤ්ඤ , පාඨික, අම්බට්ට යන සුත්‍ර වලත්,
දීඝ නිකාය අටුවාව, අම්බට්ඨ අටුවාව තුලත්
මහා මන්ධාත හා චේතිය ජාතක කතා වලත්,
මහා වංශය, දීපවංශය, බෝධි වංශය, වංසත්ථප්පකාසිනිය, බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය, කුරුනෑගල විස්තරය, රාජාවලිය, වන්නි රාජාවලිය හා පුජාවලිය තුලත්
කෝලම්, සුනියම් කැපීම ආදී ශාන්ති කර්ම කවි, කතා, මන්ත්‍ර තුළත්
පුරාවිද්‍යා අභිලේඛන, සන්නස් හා මංගල කවි ආදිය තුලත් තොරතුරු ඇතුලත් වෙනවා.

මනු රජු හා එම පෙළපත පිළිබඳව
මනුස්මෘතිය, මහා භාරතය තුලත්
විෂ්ණු පුරාණ, මස්ත්‍ය පුරාණ, බ්‍රහ්ම පුරාණ, ශිව පුරාණ, භගවත පුරාණ ආදී පුරාණ තුලත්
ඍජ් වේදය, අතර්ව වේදය ආදී වේද ග්‍රන්ථ තුලත්
ශතපාත බ්‍රාහ්මණ ආදී පැරණි ඉන්දිය ලේඛන සිය ගණනක් තුලත්
පැරකුම්බා සිරිත, රඝු වංශය, සන්නස්, මන්ත්‍ර හා කවි ආදී ලාංකීය මුලාශ්‍ර තුලත් සදහන් වෙනවා.


මහාසම්මතරාජා
මහා සම්මත මනු රජු
මහා සම්මත මනු රජු 

මහා සම්මත රජු පිළිබඳව බුදුරජානන් වහන්සේ ප්‍රධාන වශයෙන අග්ගඤ්ඤ හා පාඨික සුත්‍ර වලදී දේශනා කර තිබෙනවා. තවත් දේශනා කිහිපයකදීත් ජාතක කතා තුළදීත් මහා සමමත රජු පිළිබඳව සදහන් වෙනවා. අග්ගඤ්ඤ සුත්‍රය, ආභස්සර බඹලොව හා පිටසක්වල ජීවින් ලිපියේදී (click here) අග්ගඤ්ඤ සුත්‍රය පිළිබඳව විස්තර සහිතව පැහැදිලි කල නිසා මෙහිදී මහා සම්මත රජු ඇතිවීම පිළිබඳ කොටස පමණක් ඇතුලත් කරනවා.

අග්ගඤ්ඤ සුත්‍රයේ සදහන් මහා සම්මත රජු 

"වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රැස්වූහ. රැස්ව ඔවුනොවුන් (මෙසේ) කථා කළාහුය. “පින්වත්නි, යම් හේතුවකින් හොරකම් කිරීම පෙනේද, ගර්හා කිරීම පෙනේද, බොරු කීම පෙනේද, අනුන්ට හිංසා පිණිස දඬු ගැණීම පෙනේද, එසේ ඒකාන්තයෙන් සත්වයන් කෙරෙහි පාප කර්මයෝ පහළවූහ. අපි එක් සත්වයෙකු සම්මත කරගන්නෙමු නම් යෙහෙක හෙතෙම අපට මනාකොට ප්‍රකාශ කටයුත්තක් ප්‍රකාශ කරන්නේය. ගැරහිය යුත්තහුට හොඳින් ගරහන්නේය. නෙරපිය යුත්තෙකු හොඳින් නෙරපන්නේය. අපි ඔහුට ඇල්වී කොටසක් (ඒ පිණිස) දෙමු” කියායි.

“වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වීද, බොහෝ ලක්ෂණ වීද බොහෝ පැහැදීම ගෙණ දෙන්නේ වීද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වීද, ඒ සත්වයා කරා පැමිණ මෙසේ කීවාහුය, “පින්වත් සත්වය, (මෙහි) එව හොඳින් ප්‍රකාශකටයුත්ත ප්‍රකාශකරව, ගර්හා කටයුත්තහුට හොඳින් ගර්හාකරව, නෙරපිය යුත්තහු හොඳින් නෙරපව, අපි තට ඇල්වීවලින් කොටසක් දෙන්නෙමුයි” කීවාහුය. වාසෙට්ඨය, පින්වත්නි, එසේයයි (හොඳයකියා) ඒ සත්ව තෙම ඒ සත්වයන්ට උත්තරදී ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කෙළේය. ගැරහිය යුත්තහුට හොඳින් ගැරහුයේය. නෙරපිය යුත්තහු හොඳින් නෙරපුයේය. ඔහුතුමූ ඒ සත්වයාට ඇල්වීවලින් කොටසක් දුන්නාහුය.

“වාසෙට්ඨය, එසේ මහජනයා විසින් සම්මත කරණ ලද්දේය යන අර්ථයෙන් මහාසම්මතය, මහාසම්මතයයි කියා පළමුවන නාම (ව්‍යවහාර)ය ඇතිවිය වාසෙට්ඨය, ක්ෂෙත්‍රයන්ට (ඉඩම්වලට) අධිපතිය යන අර්ථයෙන් ක්ෂත්‍රියය ක්ෂත්‍රිය යයි කියා දෙවන නාම (ව්‍යවහාර)ය විය. වාසෙට්ඨය, ධර්මයෙන් අන්‍ය සත්වයන් පිණවයි යන අර්ථයෙන් රජය, රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍රයයි දන්නා ලද්දාවූ ලොකොත්පත්ති වංශ කථාවෙන් මේ ක්ෂත්‍රිය සමූහයාගේ පහළවීම වූයේය, ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමානවූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධ මේ ලෝකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රේෂ්ඨය. "

වාසෙට්ඨය, සමහර ඒ සත්වයන්ටම මෙබඳු අදහසක් විය. “පින්වත්නි, ඒකාන්තයෙන් පාපධර්මයෝ සත්වයන් කෙරෙහි පහළවූහ, යම් හෙයකින් හොරකම් කිරීම පෙනේද, අනුන්ට ගැරහීම පෙනේද බොරුකීම පෙනේද, සත්ව හිංසා පිණිස දඬු ගැණීම පෙනේද, නෙරපාලීම පෙනේද, එහෙයින් අපි ලාමකවූ අකුශල ධර්මයන් නසන්නෙමු නම් ඉතා යෙහෙකැ’යි කියායි, ඔව්හු ලාමක අකුශල ධර්මයන් දුරුකළහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරුකෙරෙති, යන අර්ථයෙන් බ්‍රාහ්මණ බ්‍රාහ්මණයයි පළමුවන නාම (ව්‍යවහාර)ය වූයේය. ඔහු තුමූ වන ප්‍රදෙශයෙහි පන්සල් (කොළ සෙවිලි කළ පැල්) කොට ගෙණ එකී පන්සල්වල ධ්‍යාන කෙරෙති. ගිනි අඟුරු නැත්තාහු දුම් නැත්තාහු මොහොල් නැත්තාහු සවස් බත පිණිස සවස් වේලෙහිද උදය බත පිණිස උදෑසනද පිඬු සිඟීම් වශයෙන් කැඳ බත් සොයමින් ගම් නියම් ගම් රාජධානිවලට ඇතුල්වෙති. ඔහු ආහාර ලබා ගෙණ නැවතද වන ප්‍රදෙශයෙහි පන්සල්වලට වැද ධ්‍යාන කෙරෙති. මිනිස්සු ඒ මේ බ්‍රාහ්මණ සමූහයා දැක, පින්වත්නි, “මේ සත්වයෝ වන ප්‍රදෙශයෙහි පන්සල් කොට
ගෙණ ඒ පන්සල්වල ධ්‍යාන කෙරෙති. ගිනි අඟුරු නැත්තාහු දුම් නැත්තාහු මොහොල් නැත්තාහු සවස බත පිණිස සවස් වේලෙහිද උදය බත පිණිස උදෑසනද පිඩු සිඟීම් වසයෙන් කැඳ බත් සොයමින් ගම් නියම් ගම් රාජධානිවලට ඇතුල්වෙති. ඔහු තුමූ ආහාර ලබාගෙණ නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්යයි කීවාහුය. “වාසෙට්ඨය, ‘ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාර)ය විය.
වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදෙශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහු) ගම් වෙතටද නියම් ගම් වෙතටද පැමිණ ත්‍රිවෙදය සකස් කෙරෙමින්ද උගන්වමින්ද වෙසෙති. මිනිස්සු ඒ මේ සමූහයා දැක මෙසේ කීය.
“පින්වත්නි, මේ සත්වයෝ වන ප්‍රදෙශයෙහි පන්සල්වල ඒ ධ්‍යාන කළ නොහැකි වන්නාහු ගම් වෙතටද නියම් ගම් වෙතටද පැමිණ ත්‍රිවෙදය සකස් කෙරෙමින්ද උගන්වමින්ද වෙසෙති. මොහු දැන් ධ්‍යාන නොකෙරෙති.” “දැන් මොහු ධ්‍යාන නොකෙරෙති” යන අර්ථයෙන් අජ්ඣායකයා අජ්ඣායකය යන තුන්වන නාම (ව්‍යවහාර)ය විය.
වාසෙට්ඨය, (වෙද මන්ත්‍ර දැරීමය වෙද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත්යයි සම්මත විය. (ඒ මන්ත්‍ර දැරීම හා කියවීම දැන් ශ්‍රේෂ්ඨයයි සම්මත වෙයි.
වාසෙට්ඨය, මෙසේ මේ පුරාණවූ ලෝක උත්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.

* අග්ගඤ්ඤ සුත්‍රය අනුව මහා සම්මත රජු පහළ වී තිබෙන්නේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර යන සතර කුල සහිත ඉන්දියාවේ මිස කිසිසේත්ම ලංකාවේ නොවන බව ඉතාම පැහැදිළියි. ඉන්දියාව තුල අදටත් පවතින්නේ මේ කුල ක්‍රමයයි. ලංකාවේ කිසිදාක මෙම කුල ක්‍රමයක් හෝ සමාජ වර්ගීකරණයක් පැවතුනේ නෑ. මේ තුලින්ම මහා සම්මත රජු ලංකාවේ යන මිත්‍යාව සහමුලින්ම බිඳ වැටෙනවා. නමුත් මහා සමමත හෝ මනු ලංකාවේ රජවරු නොවන බවට තවත් සාධක දහස් ගණනක් තිබෙනවා.


මහා සම්මත - ජාතක කතා 

මහා මන්ධාතු ජාතකය තුල මහා සම්මත සිට මහා මන්ධාතු රජ තෙක් රාජාවලිය බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා.
" යටගිය දවස ප්‍රථමකල්පයෙහි සූර්යපුත්‍රවූ මහාසම්මත නම් රජ්ජුරු කෙණෙකුන් ඇතිවූහ. ඔහුගේ පුත් වරරොජ නම් රජ්ජුරුකෙණෙකක් ඇති වූවාහ. ඔවුන් පුත් කල්‍යාණ නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ. ඔවුන් පුත් චර කල්‍යාණ නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ. ඔවුන් පුත් ඌපෝස්ථ නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ. ඒ රජ්ජුරුවන්ට පුත්ව මහාමන්ධාතු නම් රජ්ජුරුකෙණෙක් ඇතිවූහ."

මහා සම්මත සිට චේතිය රජ තෙක් චේතිය ජාතකය තුල සදහන් වෙනවා.
"යට ප්‍රථම කල්පයෙහි මහා සම්මතය, රොජය, වරරෝජය, කල්‍යාණය, වරකල්‍යාණිය, ඌපොසථය, මන්ධාතුය, වරමන්ධාතුය, චරය, උපචරයයියන රජ දරුවෝ දස දෙනෙක් වූහ. ඉන් උපචරනම් රජ්ජුරුවන්ගේ පුත් චෙතිය නම් රජෙක් චේතිය රට සොත්තිය නම් නුවර රාජ්‍යය කරන්නේය. ඒ රජ්හුගේ කපිල නම් පුරෝහිත බ්‍රාහ්මණයක් ඇත."


දීඝ නිකාය අටුවාවේ මහා සම්මත රජ පෙළපත පිළිබඳව මෙසේ සදහන් වෙනවා.
"ප්‍රථම කල්පික මහා සම්මත නම් රජුගේ පුතු රෝජ නමින් පහළ විය. රෝජගේ පුතු වර රෝජය. වරරෝජ ගේ පුතු කල්‍යාණය. කල්‍යාණ ගේ පුතු වර කල්‍යාණ ය. වර කල්‍යාණ ගේ පුතු මන්ධාතු ය.  මන්ධාතුගේ පුතු වර මන්ධාතු ය. මන්ධාතුගේ පුතු වර මන්ධාතු ය. වර මන්ධාතු ගේ පුතු උපොසතය. උපොසතගේ පුතු වර ය. වරගේ පුතු උප වරය. උප වර ගේ පුතු මඛාදේවයන්, ඒ මඛාදේව පරපුරෙන් අසු හාරදහසක් ක්ෂත්‍රිය රජවරු පැවත ආහ. ඔවුන්ට පසුව ඔක්කාක වංශිකයෝ තිදෙනෙක් වුහ...."



මහා සම්මත - ඓතිහාසික මුලාශ්‍ර 
මහා සම්මත

මහා සමමත රජු පිළිබඳව ලංකාවේ ඓතිහාසික මුලාශ්‍ර වල යම් යම් වෙනස්කම් දකින්න ලැබෙනවා. මහා සමමත රජු හා පෙළපත පිළිබඳව පුජාවලිය හා රාජාවලිය තුල සවිස්තරව සදහන් වුනත් මහාවංශය හා දීපවංශය තුල දකින්න ලැබෙන්නේ නම් පමණයි. වර මන්ධාතු රජු පිළිබඳව පුජාවලි හා රාජාවලි ග්‍රන්ථ තුල තොරතුරු තිබුනත් මහා වංශ දීපවංශ ග්‍රන්ථ තුල එම රජු පිළිබඳ සදහනක් නෑ. චේතිය රජුගේ අපාගත වීම පිළිබඳ තොරතුරු ත් එම ග්‍රන්ථ දෙක තුල ඇතුලත් වෙන්නේ නෑ. චේතිය රජු පිළිබඳ පුජාවලියේ "කොරකලම්බක නම් බම්බුනාණන්ට " යන කොටස රාජාවලියේ දැක්වෙන්නේ " කෝරකලා බමුණා ලවා" ලෙසයි. චේතිය ජාතකයෙන් උපුටාගත් ගාතාවක්ද සහිතව ලියන ලද පුජාවලි විස්තරය තුල රාජාවලියට වඩා තොරතුරු සහිතව සවිස්තරව රචනා කර තිබෙනවා. දීපවංසය හා මහාවංශය තුල සාගර හා සාගරදේව නමින් හදුන්වන මහා සමමත පෙළපතේ රජවරුන් පුජාවලිය හා රාජාවලිය තුල හදුන්වා තිබෙන්නේ සගර හා සාගර විදියට. මේ ආකාරයට මෙම ග්‍රන්ථ තුල විවිද වෙනස්කම් සහිතව මහා සම්මත පෙළපත විස්තර කර තිබෙනවා. පුජාවලිය හා රාජාවලිය ත්‍රිපිටක දේශනාවම මුලාශ්‍ර කරගෙන රචනා කර ඇති බවත් මහාවංශ දීපවංශ ජනප්‍රවාද වැඩි වශයෙන් මුලාශ්‍ර කරගෙන රචනා වී ඇති බවත් හිතන්න පුළුවන්.

"මේ මහාසම්මත රජුගේ වංශයෙන් පැවත ආවා වූ තුන්ලක්‍ෂ සිව්නහුත හෙවත් තුන්ලක්‍ෂ සතළිස්‌ දහස්‌ තුන්සිය දෙනෙක්‌ පමණ වූ මහෙශාඛ්‍ය මහත් බල ඇත්තාවූ මෙතෙක්‌ පෘථිවි පාලක සියලු ක්‍ෂත්‍රීය රජවරු මහබෝසත්හුගේ සුපරිශුද්ධ ශාක්‍ය රාජවංශයෙහි උපන්නාහුය." (දීපවංශය, 48 පිට)

මහාවංශයේ
දෙවැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසෙහි ගාථා 23 ක්‌ ආධාර කරගනිමින් මේ පරම්පරාවේ ගලනය විස්‌තර කරනවා. මහාවංශයේ මේ පිළිබඳව ඉදදිරිපත් කරන විස්‌තරය වෙනත් මූලාශ්‍රයන් තරම් අතිශයෝක්‌ති බහුල නෑ. මහාවංශයේ මනුවංශය පිළිබඳ දැක්‌වීමේ මූලික අරමුණ වන්නේ බුදුරජාණන් වහන්සේ ද මහා සම්මත රජුගේ පටන් පැවතෙන එකී ක්‍ෂත්‍රීය පරම්පරාවට අයත් වන බව දැක්‌වීමයි.

"...ඔවුන්ගේ අන්තිම රජ ජයසේන නම් විය. මොවුහු කිඹුල්වත් පුරයෙහි ශාක්‍ය රජහු යෑයි ප්‍රසිද්ධ වූහ. සිංහනු නම් මහරජ තෙම ජයසේන රජහුගේ පුත්‍ර වූයේය....... අංජන නම් ශාක්‍ය රජහුගේ මායා ය ප්‍රජාපතී යයි දූන් දෙදෙනෙක්‌ වූහ....... සුද්ධෝදනය ධෝතෝදනය සුක්‌කෝදනය අමිතෝදනය යයි මේ පංච පුත්‍රයෝය....... මායාය ප්‍රජාපතී යයි සුද්ධෝදන රජහුගේ මෙහෙසි දෙදෙනෙක්‌ වූහ. සුද්ධෝදන මහරජ හට දා ඒ මායා බිසවගේ පුත්‍ර තෙම සර්වඥ වූයේය...." (මහාවංශය, 7-8).
"මහා මුනි නම් වූ සර්වඥ තෙම මහා සම්මත රජහුගේ වංශයෙහි උපන." (මහාවංශය 2(1)
.

පූජාවලිය තුල මහා සම්මත රජු පිළිබඳ තොරතුරු දැක්වීමේදී ත්‍රිපිටක සුත්‍ර හා ජාතක කතා මුලාශ්‍ර කරගෙන රචනා කර තිබෙනවා.
"ප්‍රථම අන්තඃකල්පයෙහි සූර්ය පුත්‍ර මහා සම්මත නම් ඕපපාතික රජෙක්‌ විය. ඒ රජ මහාජනයාගේ සම්මතයෙන් පළමුවන අභිෂේකයට පැමිණි හෙයින් මහා සම්මත නම් විය. ඒ රජතෙම හිරු රැස්‌ කලඹක්‌ බඳු වූ සියළඟ ආලෝක ඇතියේය. ආකාශයෙහි පලක්‌ බැඳ වැඩහිඳ සියලු ජනයන්ට අනුශාසනා කරන මහත් වූ ඍධ් ඇතියේය. විද්‍යාධරයෝ සතර දෙනෙක්‌ කඩුගෙන රජුට රැකවල් ගෙන සිටින්නාහ. ඔහු සියළඟින් නිකුත් දිවසඳුන් සුවඳ හාත්පසින් සතර ගවුවක්‌ තැන් පැතිර සිටිනේය. ඔහු බැණ නැගි බස හා සමඟ මුඛයෙන් නිකුත් වන මහනෙල් මල් සුවඳ යොදුනක්‌ තැන් දිවෙයි. මෙසේ වූ සතර මහා ඉර්ද්ධීන් රාජ්‍යය කරන්නා වූ ඒ රජ ජරාවිලිපියක්‌ නැතිව රෝගාදී ව්‍යසනයකුත් නැතිව පුත්‍රදාරාදී ශෝකයකුත් නැතිව අසංඛ්‍යයක්‌ හවුරුදු මුළු දඹදිව රාජ්‍යය කෙළේය." (පූජාවලිය, 77 පිට)

"මේ රාජවංශයෙහි පාරමිතා පුරා සංසාරයෙහි ඇවිදුනා වූ මම් ම පළමුවන මහා සම්මත නම් රජව උපන්මි. මහාමන්ධාතු නම් චක්‍රවර්ති රජව උපන්මි. මහා සුදර්ශන නම් චක්‍රවර්ති රජව උපන්මි." (පූජාවලිය, 82 පිට)


රාජාවලියේ  සඳහන් වෙන ආකාරයට මහා සම්මත රජුගෙන් ආරම්භ වෙන රාජවංශය පහත ආකාරයට රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.
මහා සම්මත  - රෝජ - වරරෝජ - කල්‍යාණ - වරකල්‍යාණ - උපෝසථ - මහා මන්දාතු - වරමන්දාතු - චේතිය - චේතියගේ පලමු පුත්‍රයා - චේතියගේ දෙවන පුත්‍රයා - චේතියගේ තෙවන පුත්‍රයා - චේතියගේ සිව්වන පුත්‍රයා - චේතියගේ පස්වන පුත්‍රයා - මහා මුචලින්ද - මුචලින්ද - පළමුවන සාගර - දෙවන සාගර - භරත - රුචි - සුරුචි - පතාප - මහා පතාප - පහද - සුදස්සි - නෙරුප - මහා නෙරුප - අසිරිමත්

"මේ මහා සම්මත රජු පටන් සුදොවුන් රජුට සත්ලක්‍ෂ සත්දහස්‌ සත්සිය සත්අනූවක්‌ රජදරුවෝ රාජ්‍යය කළාහ. ඉන් ඔටුනු පැලඳි රඡ්ජුරුවෝ තුන්ලක්‍ෂ තිස්‌සතරදහස්‌ පන්සිය තුන් අනූවක්‌ බව දත යුතුයි. සුද්ධෝදන රජුගේ එක කුස උපන් මල් වූ අමිතෝදනය, ධොතොදනය යි දත යුතුයි. මේ ශ්‍රී ලංකාද්වීපයට ආ රාජවර්ගය මෙසේ දත යුතුයි." (රාජාවලිය, 166 පිට)

කුරුණෑගල විස්‌තරය සඳහන් කරන ආකාරයට කල්පාවසානයෙන් පසු වසර සාරදහසක කාලයක්‌ අරාජික ව ගත වී තිබෙනවා. ඉන් පසු සූර්යයාගේත් ශ්‍රියාකාන්තාවගේත් එක්වීමෙන් මහා සම්මත වංශය බිහි ව අවුරුදු අසංඛ්‍යය බැගින් රජකම් කළ රජුන් විසි දෙනකු සමඟින් මහාසම්මත මනුවංශය ගලා යනවා. පූජාවලියෙහි හෝ රාජාවලියෙහි මෙන් මනුවංශයේ රජවරුන්ගේ පුද්ගලික විස්‌තර දැක්වීමක් මෙහිදී සිදුකර නෑ. සිවු බුදුවරයන් වහන්සේගේ ලංකාගමනයන් පිළිබඳ වාර්තාවන් ද කුරුණෑගල විස්‌තරයේ කතුවරයා දක්වා තිබෙනවා.
මනුවංශ විස්‌තරය අවසානයේ දී මනුවංශයට අයත් රජුන්, ගණනින් විසි අටදෙනකු බව කුරුණෑගල විස්‌තරය දක්වා තිබෙනවා. ඔවුන් විසි අට දෙනා ම අවුරුදු අසංඛ්‍යයක්‌ බැගින් රජ කළ බවත්, ඉන් පසුව රජුන් සත්ලක්‍ෂ සත්දහස්‌ සත්සිය සතානුවකට ඉක්‌බිතිව කපිලවස්‌තු නම් නුවරක සිංහනු නම් රජ කෙනෙක්‌ ද ඔහුගේ පුත් සුද්ධෝදන ද රජ කළ බව ද දක්‌වා තිබෙනවා.


වන්නි රාජාවලිය තුළදී මහා සමමත රජු පිළබඳ විග්‍රහ කිරීම පුර්ණ වශයෙන්ම ත්‍රිපිටක දේශනා වල කරුණු මුලාශ්‍ර කරගෙන සිදුකර තිබෙනවා. අග්ගඤ්ඤ සුත්‍රයේ සදහන් මහා සමමත රජු පත් කරගැනීම පිළිබඳ විස්තරයත්, චේතිය හා මහා මන්ධාතු ජාතක තුල ඇතුලත් මහා සමමත රජුගේ ලක්ෂණ පිළිබඳ විස්තරත් වන්නි රාජාවලිය තුල ඇතුලත් කර තිබෙනවා.

* මහා සම්මත රජු ලෙස උපත ලැබුවේ බෝසතාණන් වහන්සේ බව මහාවංශ ටීකාවේ දැක්වෙනවා.

බෝධිවංශය තුල මහා සම්මත රජ පෙළපත වඩා දිගුව දකින්න ලැබෙනවා.
" ...ඒ මහා සම්මත නම් රජහු පිත් රෝජ නම් වී යැ. රෝජයා පිත් වර රෝජ නම් වී යැ. වරරෝජයා පිත් කල්යානණ නම් වී යැ. කල්යා ණයා පිත් වරකල්යාරණ වී යැ. වරකල්යා ණයා පිත් උපෝසත නම් වී යැ. ඔහු පිත් කාමභෝගිනට අග්රව වූ මහා මන්ධාතු නම් වී යැ. මහා මන්ධාතු නරපතිහු පිත් වර නම් වී යැ. චරයා පිත් උපචර නම් වී යැ. උපචරයා පිත් චේතිය නම් වී යැ. ඔහු පිත් මුවල නම් වී යැ. මුවලයා පිත් මහා මුවල නම් වී යැ. ඔහු පිත් මුවලින්ද නම් වී යැ. ඔහු පිත් සගර නම් වී යැ. සගරයා පිත් සාගර නම් වී යැ. ඔහු පිත් භරත නම් වී යැ. භරතයා පිත් භගිරථ නම් වී යැ. භගිරථයා පිත් රුචි නම් වී යැ. ඔහු පිත් සුරුචි නම් වී යැ. ඔහු පිත් ප්ර.තාප නම් වී යැ. ඔහු පිත් මහා ප්රපතාප නම් වී යැ. ඔහු පිත් පණාද නම් වී යැ. ඔහු පිත් පස් විසි යොදුන් රත්න ප්රාවසාදයෙකි වුසු මහා පණාද නම් රජෙක් වී යැ. ඔහු පිත් සුදර්ශන නම් වී යැ. ඔහු පිත් සත් රුවන්මය වූ කුසාවතී නම් රාජධානියෙහි වුසූ මහා සුදර්ශන නම් චක්ර වර්තී රජෙක් වී යැ. මහා සුදර්ශනයා පිත් නේරු නම් වී යැ. ඔහු පිත් මහා නේරු නමු වී යැ. ඔහු පිත් අර්චිෂ්මත් නම් වී. මේ මහාසම්මත රජුහු ගේ පුත්රා පෞත්ර පරම්පරාවෙන් ආවා වූ අසඞ්ඛ්යා යුෂ්ක රජදරුවෝ අටවිසි දෙනෙක්... "

* මහාසම්මත - රෝජ - වරරෝජ - කල්‍යාණ - වර කල්‍යාණ - උපොසත - මන්ධාතු - වර - උපවර - චේතිය - මුචල - මුචලින්ද - සගර - සාගර - හරත - භගිරත - රුචි - සුරුචි - ප්‍රතාප - මහා ප්‍රතාප - පනාද - මහා නාද - සුදර්ශන - මහා සුදර්ශන - නේරු - මහා නේරු - අර්විෂ්මත්  යන රජවරුන් 28 දෙනා කුසාවතී, රාජගෘහ, මිථිලා යන නුවර තුනෙහි වසමින් රාජ්‍ය පාලනය කළා.
* ඉන් පසු පහළ වූ නිමි - කාලරත්න - ප්‍රේමකර - අශෝක යන රජවරු බරණැස රාජ්‍ය කළා.
* ඉන්පසු දිලීප - රඝු - අජ - දශරථ -රාම -විජය -ඔක්කාක - කුස - සුජාත යන රජවරුන් පහළ වී තිබෙනවා.
* ඉන්පසු ශාක්‍ය වංශය ආරම්භයෙන් ඔක්කාක - කුස - සුජාත - ඉෂ්ක්වාකු ආදීන් රජකම දරා කපිල වස්තුව නිර්මාණය කරනවා.
* ඔවුන්ගේ පරපුරෙන් පැවතෙන ජයසේන - සිංහහනු - ශුධෝදන - සිධාර්ථ ලෙස බෝසතුන් දක්වා ශාක්‍ය කුලය පැවතගෙන එන බව බෝධිවංශයේ දැක්වෙනවා. මේ බොහෝ කරුණු ත්‍රිපිටක දේශනා තුළ බුදුන් දේශනා කල කරුණු මුලාශ්‍ර වී ඇති බව දකින්න පුළුවන්.
ත්‍රිපිටකධාරි මෙන්ම භාවනානුයෝගී මහා හිමිනමක් වූ බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන් විසින් රචිත බුද්ධ චරිතය තුළදී මෙම බෝධිවංශය තුල දැක්වෙන මහා සම්මත රජ පෙළපත දක්වා තිබෙනවා.


*** මේ කරුණු තුලින් මහා සම්මත පෙළපත ආරම්භයේ සිට බුදුන් දක්වාම සිටි රජවරු ඉන්දියාවේ ප්‍රදේශ පාලනය කල බවත් ලංකාවට කිසිදු සම්බන්ධයක් නැති බවත් ඉතාම හොදින් පැහැදිලි වෙනවා.



මහා සම්මත - වෙනත් මුලාශ්‍ර 

* විශුද්ධි මග්ගය තුල බුද්ධඝෝෂ හිමියන් ත්‍රිපිටකයේ සදහන් මහා සම්මත පෙළපත දක්වා තිබෙනවා.

* මංගල අෂ්ඨක, කවි ආදියේදී බොහෝදුරට කියවෙන්නේ සිදුහත් - යශෝධරා විවාහ පුවත වුනත් පැරණි මංගල කවියක මහා සම්මත - මැණික්පාල විවාහ කතා පුවත දකින්න ලැබෙනවා.

" මෙවන් කපමුල කිරුළ ලද අප උතුම් සම්මත නර නිදුන්      හට
රුවින් අගපත් මැණික්පාලය බිසොළඳ පාවා ගැනී                 මට
එවන් රජතුම බමුණෝ අටදෙන තේරු සැටි මංගලම්          කීමට
කියන් සබ මැද මෙවැනි මහතුන් ඉදිරිපිට පෙර සිරිත        විලසට
"

* මංගල චාරිත්‍රයක් ලෙස මනාලියගේ මවට දෙන බුලත් අතට කිරිකඩ රෙද්ද දෙදෙනා විසින් මනාලියගේ මවට පිළිගන්වා වැදීම ඔක්කාක රජ සමයේ සිට පැවතගෙන සිරිතක් බව මංගල කවි තුල දකින්න ලැබෙනවා. ඔක්කාක රජ දවස රජ කුමරකු විසින් බමුණු දියණියක් සරණපා ගැනීමේදී මව් බැමිණියගේ පිළිවදනක් අනුව පෙවූ කිරි වල ණය හිලව් වීමට මෙම කිරිකඩ රෙද්ද පුරාතනයේ සිට සංකේත කෙරෙන බව කවි වල සදහන් වෙනවා.


කෝලම් 
මනු රජු හා මැණික්පාල

මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වෙනවා. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වෙනවා. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.

* ශාන්තිකර්ම
ශාන්තිකර්ම වලට සම්බන්ධ සාහිත්‍ය තුලදීත් මහා සමමත රජු පිළිබඳව තොරතුරු දකින්න පුළුවන්. වින උපත හා සුනියම් යාගය පිළබඳ තොරතුරු තුළ මහා සමමත රජු පිළිබඳව මෙලෙස සදහන් වෙනවා;

" ආදී කල්පයෙහි වූ මහා සම්මත නම් රජෙකි. මහා ජනතාවගේ සම්මතයෙන් පත්වූ හෙයින් මහා සම්මත යයි අන්වර්ථ වූ එම රජුට මැණික්පාල නම් බිසවකි. දිනක් රජ තොමෝ අසුරයන් සමග යුද්ධයට ගියෝ, වසවතු මෙය දැන බිසව හා පෙම් සබදින් බැදෙන්නට සිතා රජ මැදුර බලා ගියේ ,ගමන නිෂ්ඵල වී මාලිගයෙහි දොර හරවන්නට රජුගේ වේශයෙන් ගොස් වසවතු ගත් විවිධ ආයාස නිෂ්ඵල වුයේ දාසිය නිසාය. රජු එනවිට සෑම දා දැනුණු සුවඳ නොවූ හෙයින් සැක සහිත වූ දාසිය එම සැකය බිසවට පල කළෝය. බිසව දොර නෑරියා සැකය තුළ සිටියාය.
අවීචි නිරයෙන් ගිනි මිටක් ගෙන ජප කරන ලදුව වින පොළගෙකු මැවූ වසවතු බිසවගේ සිරි යහන වෙත ඌ යැවුයේ බිසවුන් වහන්සේ බියට පත්කළේ, මුර්ජාවට පත්කළේ, ඉතා බියකරු ලෙස වියරු කළේ, ඉමහත් වූ අනතුරට පත් කළේය. ,එය ලොව තුල ආදිම වින උපතය."

 සුනියම් කැපුම මුල් කොට උපන් යාගය සුනියම් යාගය විය. මෙම යාගය ආදියෙන්ම උපත ලැබුවේ මහා සම්මත රජ මාලිගයේය. එනම් එම රජුගේ බිසව වූ මැණික්පාල කුමරිය ට කල යාගයෙනි. මෙම යාගය හැදින්වුයේ මැණික්පාල ශාන්තිය යනුවෙනි. එම යාගය කළෝ, ශක්‍ර බ්‍රහ්ම විෂ්ණු මහේශ්වරාදී දේවතා පිරිසද විසින් බලගන්වන ලදුව ජලනන්දන, කුටනන්ද, සාමදත්ත, නාරද, නාග කර්ණ, බ්‍රහ්මවේද, ධර්මපාල, විශ්වකර්ම, ඔඩ්ඩිස යන රුසිවරයෝය.

සුනියම් අතීතයේ මහා සම්මත රජිදුට කල යාගයක් ඇත. එය කළෙත් බෝධිසත්ත්ව මහා සම්මත රජුටත් සදා වෛර වසවතු විසින් වින කළ නිසාය. මෙම යාගයද ඔඩ්ඩිස ආදී රුසිවරු කළෝ, ඔඩ්ඩිස යාගයයි ද එය නම් ලැබේ. එම යාගයද කලේ ඉසිවර, සමන්, පතිනි, සක්, බඹ යන ඈ දේව ගණයාගේ පිහිට ලබමිනි.

සුනියම් ඉතිහාසය සමග එන වින ලෝකය තුළ වූ තවත් යාගයකි අනුරුද්ධ මංගලය. මෙම යාගය කලේ මහා සමමත රජ පෙළේ වූ සුවුධු රජටය. සම්මත රජ පෙළේ අට විස්සක් රජුන් අතර වූ මේ රජු සිටියේ දඹදිව උරුවෙල් නුවරය. මෙම රාජාවලිය සමග සඳ වෛර වූ වසවතු විසිනි මේ රජුට වින කළේ.එම විනය රුසිවරුහු විසින් කැපිණි.
"

( මේ තොරතුරු වලට තරමක් සමාන කතා පුවත් ග්‍රීක පුරාණ දේව කතා තුලත් දකින්න පුළුවන්. පර්සියුස් , හර්කියුලිස් ආදීන් ඉපදීමේදී රජු මාලිගයේ නොමැති අවස්ථා වල දෙවියන් රජුගේ ස්වභාවය ගෙන මාලිගයට පැමිණ රජබිසව රවටා එක්වූ කතා පුවත් ග්‍රීක දේව පුරාණයේ සදහන් වෙනවා. ඒ තුලින් දේව බල සහිත අර්ධ මනුෂ්‍ය - අර්ධ දේව demigods වරුන් බිහිවුණු බව සදහන් වෙනවා. )

*** ශාන්තිකර්ම ඉතිහාසය තුල ඇති කරුණු අනුව වසවර්ති මාරයා බුදුන්ට පමණක් නොව මහා සම්මත රජුන්ට පවා වින කල අයෙක්. මහා සම්මත රජු ලංකාවේ යයි කියමින් මිථ්‍යාවන් පතුරවන පුද්ගලයන් වසවර්ති මාරයා යනු ලංකාවේ රජෙකු යයි කියමින් මාරයා වන්දනා කිරීමක්ද සිදුකරනු දකින්න ලැබෙනවා. නමුත් මෙම මුලාශ්‍ර වලට අනුව මාරයා යනු ත්‍රිපිටකයේ ඇති පරිදිම කිසිසේත්ම මනුෂ්‍යයෙකු නොව ධර්මයට විරුද්ධ දෙවියෙකු බව තහවුරු වෙනවා. මෙවැනි මිත්‍යාවන් සමාජගත කරන අඥානයන් කිසිවෙකුට මේවා පිළිබඳ කිසිදු අධ්‍යනයක් හැදෑරීමක් නැති බව මේ තුලින් පෙනී යනවා. හෙළයෝ හෙළයෝ කියමින් හෙළ ඉතිහාසය සුද්දා යටගසා ඇත කියමින් ඉතිහාසඥයන්ට පුරාවිද්‍යාඥයන්ට ගරහමින් පම්පෝරි ගසනවා මිසක් මොවුන් කිසිවෙකු හෙළ ඉතිහාසය පිළිබඳ අංශුමාත්‍ර දැනුමක් ඇති පිරිසක් නෙවෙයි. අන්තර්ජාලයෙන් දැකගත් දෙයක් හෝ පොතක පිටුවක් දෙකක් කියවා දැකගත් දෙයකට තමන්ගේ අතින් දමා සුරංගනා කතා ගොතනවා මිස මොවුන් දන්නා ඉතිහාසයක් නෑ. මොවුන්ට සිදුවී තිබෙන්නේ නිවැරදි ලෙස තිසරණය නොපිහිටීම නිසා මාරාවේශ වී වසවර්ති මාරයාගේ අතකොලු වී තමන් නියම ඉතිහාසය හෙළිකරනවා යයි මිත්‍යාවක සිරවී ධර්මය හා බෞද්ධ ඉතිහාසය විකෘති කිරීම බව මෙයින් ඉතාම පැහැදිලි වෙනවා.

* මහාසම්මත මෙරට බව කීමට ශාන්තිකර්ම හා නර්තන සාහිත්‍ය සමහරුන් වංචනික ලෙස යොදාගන්නවා. කංකාරි සාහිතය කෝට්ටේ යුගයෙන් එපිටට යන්නේ නෑ. කෝලම්, ශාන්ති කර්ම ආදී නර්ත සාහිත්‍ය ඉතිහාස මූලාශ්‍ර ලෙස ගන්නෙ නෑ. ඒවායේ බහුතරය හුදු ජනප්‍රවාද පමනයි. ශාන්ති කර්ම ආදිය කිරීමේදී මෙම තොරතුරු ඇතුලත් කවි ආදිය අමතක වුනොත් ඒ අවස්ථාවේ සිතට එන ලෙස කවි ගලපා කීමත් සිදුකරනවා. එවැනි කරුනුත් කටවහරින් වර්තමානය තෙක් පැමිණ තිබෙන්න ඉඩ තිබෙන බව නර්තන සාහිත්‍ය පිළිබඳ විශාරදයන් පවා අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මේ ශාන්ති කර්ම එකම කරුණ පිළිබඳ එකිනෙකට වෙනස් කතා පුවත් දකින්න ලැබෙනවා. බලි උපත සදහා විසාලා නුවර තුන් බිය, මහසම්මත රජුට කළ යාගය හා පඩුවස්ඩෙව් රජුට කල යාගය යන අවස්ථා තුන පිළිබඳවම කතාපුවත් තුනක් දකින්න ලැබීම ඊට එක් උදාහරණයක්. මේ නිසා ශාන්ති කර්ම ආදී සාහිත්‍ය තුල ඇති කරුණු නිවැරදි ඉතිහාස කරුණු විදියට සලකන්නේ නෑ.

බලි ශාන්තිකර්මය කෝට්ටේ යුගයේ ආරම්භ වූ බවට සාධක තිබෙනවා . ඒ භාරතයෙන් පැමිණි රාමචන්ද්‍ර කවිභාරති නම් බලි ඇදුරා වෙතින් වීදාගම මහා මෛත්‍රය හා තොටගමුවේ ශ්‍රි රාහුල හිමි වරුන් සම්‍යක් ප්‍රයෝගයකින් බලි සාහිත්‍යය ලබාගෙන දේශීය කලාකරුවන් අතට පත්කොට බෞද්ධ මුහුණුවරක් ලබා දී ලංකාවේ සිංහල බලියාගය ප්‍රචලිත කළ බවට එන සඳහන එයට ප්‍රධානම සාධකයක්. ඒහෙත් පසු කාලීනව බලි උපත මහාසම්මත , පඩුවස්දෙව් , ලිච්ඡවි ආදීන් සමගද සම්බන්ධ කිරිමෙන් ගැමි කලාකරුවන් තම විශ්වාස අනුව කටයුතු කළ බව දකින්න ලැබෙනවා .යාග සාහිත්‍යයේ එන ගද්‍යය හා පද්‍යයවල භාෂා ලක්ෂණ විමසිමෙන් ඒවා කෝට්ටේ යුගයේ රචනා වූ බව වියතුන් පෙන්වා දෙනවා. ඒසේම කෝට්ටේ යුගයේ ප්‍රසිද්ධ චරිත වන කොහොඹා කංකාරියේ යාග සාහිත්‍යයයෙහි වීදිය බණ්ඩාර , කීරවැල්ලේ බිසෝ බණ්ඩාර
උඩුගම්පොළ සකලකලා වල්ලභ වැනි චරිත යාග සාහිත්‍යයට ඇතුළත් වීමෙන් මෙම මතය තහවුරු වෙනවා .




මනු රජු
විෂ්ණු මත්ස්‍ය අවතාර මනු රජ 

මනු රජු පිළිබඳව සඳහන් ප්‍රධානම් මුලාශ්‍රය මනුස්මෘතියයි. ඊට අමතරව විෂ්ණු පුරාණ, මස්ත්‍ය පුරාණ හා මහාභාරත් වැනි ග්‍රන්ථ වල මනු පිළිබඳව සඳහන් වෙනවා. සංස්කෘත බසින් මිනිසුන් හදුන්වන " මානව " යන පදය තැනි ඇත්තේ "මනු ගේ පුත්‍රයන්" යන අර්ථයෙන්. මෙම පැරණි මුලාශ්‍ර වල මනු යනුවෙන් හදුන්වා තිබෙන්නේ ලෝකයේ පළමු මිනිසා වයි. පසු කාලීනව මනු යන යෙදුම ලෝකය පාලනය කල ක්ෂත්‍රියන් දහ හතර දෙනෙකු හැදින්විමටත් යොදාගෙන තිබෙනවා. මෙම ක්ෂත්‍රියන් හෙවත් රජවරුන් එක් කල්පයක එක් එක් අවදි ආරම්භයේ රජ පෙළපත් ආරම්භ කල පළමු රජවරුන් විදියට හදුන්වා තිබෙනවා. ඔවුන් සදහා මනු යන නාමය යොදා ඇත්තේ විශේෂණ පදයක් විදියට පමණයි. සත්‍ය මනු විදියට සලකන්නේ ලෝකයේ පළමු මිනිසා වන මහා බ්‍රහ්ම ගේ පුත්‍ර ස්වයංභූව स्वायम्भुव मनु ) වයි. ස්වයංභූව යන්නේ අර්ථය මව් පිය ආදීන්ගෙන් තොරව තමන් විසින් පහළ වූ කියන දෙය.

* මහා බ්‍රහ්ම විසින් මනු නිර්මාණය කිරීම පිළිබඳව විවිද පුරාණ වල විවිද කතා පුවත් දැක්වෙනවා. ශිව පුරාණයේ සදහන් ලෙස මහා බ්‍රහ්මයන් තමන්ගේ ශරීරය දෙකට වෙන් කර එක් අරධයකින් පුරුෂයා වන මනු වත්, අනෙක් අර්ධයෙන් ස්ත්‍රිය වන ශතරුපා වත් නිර්මාණය කර තිබෙනවා.

* මත්ස්‍ය පුරාණයේ සදහන් ලෙස මහා බ්‍රහ්ම බඹ ලොවින් මිනිස් ලොවේ කාශ්මීරය ආශ්‍රිත භුමියට පැමිණ තමන්ම ස්වයම්භූව මනු ලෙස මනුෂ්‍ය ස්වභාවය ලබාගෙන තිබෙනවා. ඉන් පසු තම ශරීරයෙන් ශතරුපා නිර්මාණය කර තිබෙනවා. තමන් විසින් නිර්මාණය කල ස්ත්‍රී රූපයේ අධික සුන්දරත්වය පිළිබඳ ආශාව ඇතිවීම නිසා ස්වයම්භූව ලෙස මවාගත් මිනිස් ස්වභාවයෙන් මහා බ්‍රහ්ම වෙන් වී තිබෙනවා. මේ ලෙස මනු හා ඔහුගේ බිරිද ශතරුපා නිර්මාණය වුනු බව මත්ස්‍ය පුරාණයේ දැක්වෙනවා.

පුරාණයන්ට අනුව සෑම කල්පයක්ම මන්වන්තර දහ හතරකින් යුක්තයි. එක් එක් මන්වන්තරය සදහා වෙන වෙනම මනු වරුන් පහල වෙනවා. මන්වන්තරයකට වර්ෂ 306,720,000 ක කාලයක් ඇතුලත් වෙනවා. මන්වන්තර යන සංස්කෘත පදය තැනෙන්නේ මනු + අන්තර කියන පද දෙක එක්වීමෙන්. එහි අර්ථය "මනු විසින් පාලනය කරනා කාලය" කියන එකයි. මේ වන විට ගතවෙන්නේ හත් වන මන්වන්තර කාලය. අප සිටින වර්ථමාන මන්වන්තරයට අදාළ මනු වෙන්නේ වෛවාස්වත නම් මනු රජතුමා. වෛවාස්වන් කියන්නේ සුර්ය දෙවියන් හදුන්වන නමක්. සුර්ය පුත්‍ර කියන අර්ථයෙන් වෛවාස්වත කියන නම යෙදෙනවා. සෑම මන්වන්ත්රයක් සදහාම මහා බ්‍රහ්ම විසින් මනු වරයෙක් මවන බවත්, එක් එක් මන්වන්තරයේදී මනු හට උදවු කිරීමට  විෂ්ණු දෙවියන් එක් එක් අවතාරයෙන් පැමිණෙන බවත් පුරාණ ග්‍රන්ථ වල සදහන් වෙනවා. ඒ වගේම සෑම මන්වන්ත්රයක් සදහාම මහා බ්‍රහ්ම විසින් නව ඉන්ද්‍ර (සක්‍ර ) දෙවි කෙනෙකු හා නව සප්ත ඍෂි මණ්ඩලයක් පත්කරන බව සදහන් වෙනවා.

" ලෝකාභිවෘද්ධිය පිණිස බ්‍රහ්මන් ස්වකීය මුඛය, බාහු, ඌරු සහ පාද යන සිවු තැනින් පිළිවෙළින් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර යන චතුර් වර්ණය පහළ කළේය."
" ප්‍රජාව ඇතිකිරීමේ අභිලාෂයෙන් මම උග්‍ර තපස් රැක ප්‍රජාපතින් වන මහ ඉසිවරුන් දස දෙනෙකු නිර්මාණය කළෙමි. ඔව්හු මරිචි, ආත්‍රී, අංගීරස, පුලස්ත්‍ය, පුළහ, ක්‍රතු, ප්‍රවෙතස්, වසිස්ට, භෘගු සහ නාරද නම් වෙති.
"
- මනුස්මෘති - පළමු අධ්‍යය 

මහා බ්‍රහ්ම සප්ත ඍෂිවරු 


* පළමු මනු රජු වන ස්වයංභූව රජුගේ සමයේ පහළ වූ සප්ත ඍෂින් වෙන්නේ මරිචි, ආත්‍රී , අංගීරස, පුළහ, ක්‍රතු, පුලස්ත්‍ය, හා වශිෂ්ඨ යන මහාඍෂි වරුන්. එම සමයේ විෂ්ණු දෙවියන් මනුලොවට පැමිණියේ යජ්න අවතාරයෙන්. එසේම මේ සමයේදී විෂ්ණු දෙවියන්ම යජ්න ස්වරූපයෙන් සක්‍ර දේවත්වයත් හොබවා තිබෙනවා. ස්වයම්භූව මනුගේ බිරිද වෙන්නේ ලෝකයේ පළමු ස්ත්‍රිය වන ශ්තරුපා. ඔවුන් දෙදෙනාට ප්‍රියවෘත, උත්තානපාද යනුවෙන් පිරිමි දරුවන් දෙදෙනෙකුත්, අකුටි, දේවහුති, ප්‍රසුති යනුවෙන් ගැහැණු දරුවන් තිදෙනෙක් උපදිනවා.

ස්වයම්භූව මනුගේ දරුවන් හා ඔවුන්ගෙන් පැවතගෙන එන රාජ පෙළපත අයෝධ්‍යාව, හස්තිනාපුර, ගයාව ආදී ප්‍රදේශ වල රාජධානි තනමින් රජකම් කල බව පුරාණ වල සදහන් වෙනවා.


* වර්ථමාන මන්වන්තරයට අදාළ හත්වන මනු රජ වන වෛවාස්වත රජ සමයේ සප්ත ඍෂින් වන්නේ කාශ්‍යප, ආත්‍රී, වශිස්ට, අන්ගිර, ගෞතම, අගස්ත්‍ය හා භාරද්වාජ යන ඍෂිවරුන්. මෙම සමයේ විෂ්ණු දෙවියන් මස්ත්‍ය අවතාරයෙන් පැමිණීම සිදුවුනා. මේ සමයේ ඉන්ද්‍ර පදවිය හොබවා තිබෙන්නේ පුරන්දර නම් දෙවියන්. වෛවාස්වත මනු හා ඔහුගේ බිරිද ශරධා හට ඉෂ්ක්වාකු, නභග, ද්‍රිෂ්ට, ශර්යාටි, නරිශ්‍යන්ට, ප්‍රම්ශු, රිෂ්ට, කරුෂ, ප්‍රිශාද්‍ර යනුවන් දරුවන් 9 දෙනෙකු හා ඉලා නම් ගැහැණු දැරියක ලබනවා.

විෂ්ණු පුරාණය තුලදී වෛවාස්වත රජුන්ව ශ්‍රද්ධාදේව හා සත්‍යව්‍රත යන නම් වලිනුත් හදුන්වා තිබෙනවා. ඔහු ද්‍රවිඩ රාජධානිය පාලනය කල රජු ලෙසත් ඔහුගේ කාලය තුළදී ලෝකය පුරා භුමිය යටවුණු මහා ජල ගැල්මක් ඇතිවූ බවත් එහි සදහන් වෙනවා. විෂ්ණු දෙවියන් මත්ස්‍ය අවතාරයෙන් පැමිණ අනාගතයේ එළඹෙන මහා ජල ගැල්ම පිළිබඳව වෛවාස්වත හට සැලකර එයින් ආරක්ෂා වීම සදහා නැවක් නිර්මාණය කිරීමට උපදෙස් දෙනවා. මනු විසින් නිර්මාණය කල නැව තුල මනු හා ඔහුගේ පවුලේ අයත්, සප්ත ඍෂි වරයනුත්, වේදයත් ආරක්ෂා කරගෙන ගමන් කරනවා. වෛවාස්වත මනු හට පළමු වරට මස්ත්‍ය අවතාරය හමුවුනේ මලය කදු පංතියෙන් ගලා යන ගංගාවක් අසලදී බවත් ඔහු විසින් මහා ජල ගැල්මෙන් ආරක්ෂා වීමට නැව නිර්මාණය කලේ මලය කඳු මුදුන මත බවත් මස්ත්‍ය පුරාණයේ සදහන් වෙනවා. මෙම මලය කඳු පන්තිය පවතින්නේ වර්ථමාන කේරළය ආශ්‍රිතව. මහා භාරතය තුලදි වෛවාස්වත මනු රාජ්‍ය කල ද්‍රවිඩ රාජධානි භුමියේ චේර, පාණ්ඩ, චෝල රාජධානි ඇතිවූ ආකරය විස්තර කර තිබෙනවා.

( මෙම මහා ජල ගැල්ම පිළිබඳ තොරතුරු තවත් පුරාණ ග්‍රන්ථ වලත් මහාභාරතය තුලත් සදහන් වෙනවා. මිට ඉතා සමාන කතාවක් බයිබලයේ නෝවා පිළිබඳ කතා පුවත තුලත් දකින්න ලැබෙනවා. ඒ වගේම මිට ඉතාම සමාන කතා පුවතක් සුමේරියානු ආදී ඵලක වලින් 11 වන ඵලකයේ ගිල්ගාමේෂ් පිළිබඳ කතා පුවත තුලත් දැකගන්න ලැබෙනවා. )

*** මෙම කරුණු වලට අනුව මනු රජු කිසිසේත්ම ලංකාවේ නොවන ඉන්දියාවේ පහළ වූ රජෙකු බව තහවුරු වෙනවා.


* පැරකුම්බා සිරිත කවි තුලත් වෛවාස්වත මනු හා ඔහුගේ පරපුර ගැන සදහන් කර තිබෙනවා.
අතුරු කපැ පෙර උපන් බඹ පුත්
විවස්වත් මනු රජ කුලෙන් පත
ඔකාවස් පුතු භානු මන්ධතු
පසේනදී සුදසුන් භගේරත


* මහා සම්මත හා මනු පිළිබඳ ලංකාවේ ඇති සාහිත්‍ය හා ඉතිහාස මුලාශ්‍ර සියල්ලම ත්‍රිපිටකයට හා මනුස්මෘති ආදියට වඩා ඉතාම පසුකාලින ග්‍රන්ථ. බෞද්ධ හා හින්දු ඉගැන්වීම් වල ආභාෂයෙන් ඒවා නිර්මාණය වී ඇති මිසක ඒවා ප්‍රථම මුලාශ්‍ර නෙවෙයි. ඒවා සියල්ල තුලම ප්‍රථම මුලාශ්‍ර දෙක වන ත්‍රිපිටකය හා පුරාණ වල සදහන් කරුණු ඒ ආකරයෙන්ම හෝ සුළු වෙනස්කම් සහිතව දකින්න ලැබෙනවා.
රාවණ හා හෙළ ඉතිහාසය මතුකරනවා යයි කියමින් අසත්‍ය මිත්‍යා පතුරවන්නන් මහා සම්මත රජු පිළිබඳ මත පලකරන විට මෙවැනි පසුකාලින මුලාශ්‍ර ගැන පමණක් සදහන් කර ත්‍රිපිටක දේශනා, මනුස්මෘති, පුරාණ ආදී ප්‍රාථමික මුලාශ්‍ර ගැන සදහන් නොකර ඒවා වසන් කරන බව හොදින් දකින්න ලැබෙනවා. ඒ මගින් තමන්ගේ ශ්‍රාවකයන් සත්‍ය ගවේෂණය කිරීම වැළක්වීම ඔවුන්ගේ අරමුණයි. පසුකාලින මුලාශ්‍ර වල ඇති තමන්ට වාසි සහගත කරුණු එකක් දෙකක් ඉස්මතු කර පෙන්වීමෙන් තමන්ගේ විකෘතිය ඔලු තුලට ඇතුල් කිරීම මොවුන් ඉතාම කූට ලෙස සිදුකරනවා. සත්‍ය වශයෙන්ම මොවුන් කරන්නේ ඉතිහාසය හෙලිකිරීම නොව විකෘති කිරීමයි. ආදී මුලාශ්‍ර පිළිබඳව මොවුන්ගේ ශ්‍රාවකයන් දැනුවත් වී ඔවුන් ඒවා පරිශීලනය කළහොත් මොවුන්ගේ රැවටීම තවදුරටත් කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා සැමවිටම සම්පුර්ණ ඉතිහාසය අඩංගු පැරණි මුලාශ්‍ර ගැන සදහන් නොකර තමන්ට වාසිදායක පසුකාලින සටහන් පමණක් මොවුන් ඉදිරිපත් කරනවා.



මහා සම්මත - මනු රජ  - විදේශ ඓතිහාසික මුලාශ්‍ර

මහා සම්මත රජුගෙන්  ශාක්‍ය වංශයේ ආරම්භය වූ බව මහා වංශයේ හා බුරුමයේ මහා යසවින් වංශ කතා ග්‍රන්ථයේ සදහන් වෙනවා. මහා සම්මත රජුගෙන් ලොව පුරා රාජ්‍ය පාලනය කල මහා සම්මත පෙළපත් එකොළසක් ආරම්භ වූ බව සදහන් වෙනවා.

බුරුම මුලාශ්‍ර වලට අනුව මහා සමමත රජු විෂ්ණු දෙවියන්ගේ සහෝදරිය වූ මණිකල්ප සමග විවාහ වෙනවා. රාජ්‍ය පරිපාලනය සදහා ලොව ප්‍රථම නීති සම්පාදකය වන "ධම්මසත්ත" සම්පාදනය කරනවා. පාලි, බුරුම, මොන් හා තායි භාෂා වලින් ලියන ලද පුරාණ ධම්මසත්ත ග්‍රන්ථ බුරුමය, තායිලන්තය, කාම්බෝජය වැනි රටවලින් හමුවී තිබෙනවා. ධම්මසත්ත පිළිබඳ මුල්ම සටහනක් හමුවී තිබෙන්නේ මියන්මාරයේ පාගන් ප්‍රදේශයෙන් හමුවූ 13 වන ශත වර්ෂයට අයත් සෙල්ලිපියකින්.

බුරුම ථෙරවාද සම්ප්‍රදායට අනුව මහා සම්මත රජවරුන් එකොළසක් පහල වී ඇති අතර අටවිසි බුදුවරුන්ගෙන් බුදුවරුන් විසි හතර නමක් පළමු 7 වන මහා සම්මත පෙළපත් කාලයේ උපත ලබා තිබෙනවා. 8 වන පෙළපත් කාලයේ කකුසඳ බුදුරජානන් වහන්සේත්, නව වන මහා සම්මත රජ සමයේ කෝණාගම බුදුරජානන් වහන්සේත්, දසවන පෙළපත් සමයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත්, එකොලොස්වන මහා සම්මත පෙළපත් සමයේ ගෞතම බුදුරජානන් වහන්සේත් උපත ලබා තිබෙනවා.

සියමයේ ජිනකාලමාලි පාලි ඓතිහාසික ග්‍රන්ථය තුල මහා සමමත රජුගෙන් පැවතගෙන ආ රජ වරුන් විසි අට දෙනෙකු ගේ කාලයෙන් පසුකාලීනව රාජපරම්පරා වලින් කුසාවතී, රජගහ, මිතිලා යන නගර පාලනය වූ බව සදහන් වෙනවා

මෙහි මනු රජවරුන්ගේ රාජ්‍ය කාලය ත්‍රිපිටක දේශනා හා හින්දු ඉගැන්වීම් දෙකටම වඩා වෙනස්.  බුරුම තායිලන්ත රටවලට අයත් මහා සම්මත කතා පුවත් නිර්මාණයේදී මහා සමමත හා මනු රජ පිළිබඳ තොරතුරු මිශ්‍ර වී තිබෙන බව දකින්න පුළුවන්. මණිකල්ප යන නාමය ලංකාවේ මැණික්පාල බිසවගේ නාමයට සමානයි. කුසාවතී රජගහ මිතිලා නගර පාලනය කිරීම ත්‍රිපිටක දේශනා වල කරුණු වලට සමානයි. ඒ අනුව මේ සදහා මහා සම්මත රජු පිළිබඳ තොරතුරු ඇතුලත් වී තිබුනත්
විෂ්ණු දෙවියන්ගේ සහෝදරියක් බව දැක්වීම හා මනුස්මෘති යට සමාන ධම්මස්ත්ත නම් නීති ග්‍රන්ථයක් සම්පාදනය වී තිබීම නිසා මේ සදහා මනු රාජ සංකල්පත් මිශ්‍ර වී තිබෙන බව දකින්න ලැබෙනවා.



මහාසම්මත රජ පෙළපත් හා සුර්ය වංශය ලංකාවට පැමිණෙන ආකාරය
.

මහා සම්මත සුර්ය වංශය

මහා සම්මත පෙළපත ලංකාවට සමබන්ධ වෙන්නේ විජය රජුගේ ආගමනය නිසා.

විජය රජුගෙන් පසු ලංකාවට පැමිණි පණ්ඩුවාසදේව රජු විවාහ වෙන්නේ ඉන්දියාවේ නැගෙනහිර පෙදෙසේ සිට ලංකාවට පැමිණෙන  ශාක්‍ය පරපුරට අයත් භද්‍රකච්චායනා කුමරිය සමග. භද්‍රකච්චායනා කුමරිය යනු සුද්ධෝදන රජුගේ සහෝදරයෙකු වන සක්කෝධන රජුගේ පුත් පණ්ඩුශාක්‍ය රජුගේ දියණියයි. ඇය සමග ඇයගේ සහෝදරයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා. ලංකාවට මහා සම්මත පරපුරේ සුර්ය වංශයේ ශාක්‍ය ගෝත්‍රය සම්බන්ධ වෙන්නේ මේ හරහා. මිට පෙර ලංකාවේ කිසිදු ආකාරයකින් වංශයක් හෝ මහා සම්මත පරපුරක් සිටියේ නෑ. මිට පෙර ලංකාව පාලනය කල රාවණ රජු මහා සම්මත පරපුරට කිසිසේත්ම සම්බන්ධ නෑ රාවණරජු පැවතගෙන එන්නේ පුලස්ත්‍ය ඍෂි ගෙන් ආරම්භ වුනු වෙනම පෙළපතක් ඔස්සේ.

භද්දකච්චායනා කුමරියගේ දුව වන චිත්‍රා කුමරිය හා භද්දකච්චායනා කුමරියගේ සහෝදර දීඝායු ගේ පුත් දීඝගාමිණි දෙදෙනාගේ පුතෙකු ලෙස උපදින පණ්ඩුකාභය කුමරු තමයි ලංකාවේ පළමු උභයකුල පාරිශුද්ධ මහා සම්මත පරපුරේ සුර්ය වංශික ශාක්‍ය ගෝත්‍ර රජු විදියට වෙන්නේ.

පසුකාලින ලේඛන වලදී ලංකාවේ විවිද රජවරුන් මහා සමමත පෙළපතින්, සුර්ය වංශයෙන්, ශාක්‍ය වංශයෙන් පැවතගෙන එන බව දක්වන්නේ මෙන්න මේ හේතුව නිසායි. එසේ නැතුව ලංකාවේ මොවුන්ට පෙර එම වංශ වලට අයත් කිසිවෙක් සිටියේ නෑ. මෙය රාජාවලියේ තුලිනුත් ඔප්පු වනවා.

"මේ මහා සම්මත රජු පටන් සුදොවුන් රජුට සත්ලක්‍ෂ සත්දහස්‌ සත්සිය සත්අනූවක්‌ රජදරුවෝ රාජ්‍යය කළාහ. ඉන් ඔටුනු පැලඳි රඡ්ජුරුවෝ තුන්ලක්‍ෂ තිස්‌සතරදහස්‌ පන්සිය තුන් අනූවක්‌ බව දත යුතුයි. සුද්ධෝදන රජුගේ එක කුස උපන් මල් වූ අමිතෝදනය, ධොතොදනය යි දත යුතුයි. මේ ශ්‍රී ලංකාද්වීපයට ආ රාජවර්ගය මෙසේ දත යුතුයි." (රාජාවලිය, 166 පිට)


පණ්ඩුකාභය රජු ශාක්‍යවංශයට ඇති ඥාතීත්වය පැහැදිලි ලෙස සිව්වැනි මිහිඳු රජුගේ පුවරුලිපියක සඳහන් කර තිබෙනවා. ඒ "ඔකාවස් පරපුරෙන් බට් සුදොවුන් රජ් හු අන්වයෙන් ආ පඬුවස්දෙව් අභා මහරජ් හු පරපුරෙන් බට්" ලෙසින්.

මිට අමතරව ගල්පොත ශිලාලේඛනය, දිඹුලාගල ⁣ඖෂධ පොකුණ පර්වත ලිපිය ආදී තවත් බොහෝ අභිලේඛන වලදී මහා සමමත පරපුර ලංකාවට ආගමනය වුනු ආකරය දකින්න ලැබෙනවා.

ඉතිහාසය බොරුවක් කියමින් විකෘති මත පතුරවමින් පුරාවිද්‍යාඥයන්ට ගරහමින් තමන්ගේ ප්‍රතිරූපය සාදාගැනීමට දගලන පුද්ගලයන් හට මේවා පිළිබඳ කිසිදු දැනුමක් ඇති බව දකින්න ලැබෙන්නේ නෑ. විජය රජුට බනිමින් තමන් සුර්ය වංශික මහා සම්මත පරපුරේ යයි කියාගන්නා පිරිස නොදන්නා කරුණ නම් විජය රජු ලංකාවට පැමිණියේ නැත්තම් ලංකාවට සුර්ය වංශයක් හෝ මහා සම්මත පරපුරක් කිසිසේත්ම එන්නේ නෑ.  

ඒ වගේම මෙම පුද්ගලයන් නිතරම තමන්ට විරුද්ධ වාදීන්ට විජයගේ පරම්පරාවේ අය යයි ගරහමින් තමන් රාවණ පරම්පරාවේ යයි කියාගන්නා ආකාරයත් නිතර දකින්න පුළුවන්. මේ තුලිනුත් මොවුන්ගේ ඉතිහාස නුගත්කම හොදින් ප්‍රදර්ශනය වෙනවා. සිංහල ජාතියේ ආරම්භය දැක්වෙන්නේ විජයගේ දරුවන්ගෙන් නොව පණ්ඩුවාස දේව රජුගේ දරු පරපුරෙන්. විජය කුවේණි හට දරුවන් දෙදෙනෙකු ලැබුණු බව සදහන් වුවත් ඔවුන් වනවැදුණු බව මිසක් ඔවුන්ගෙන් සිංහල ජාතිය ආරම්භ වු බවක් මහා වංශයේ හෝ වෙනත් ඉතිහාස ග්‍රන්ථයක් දැක්වෙන්නේ නෑ. මෙය නොදන්නා කමෙන්ම ප්‍රදර්ශනය වෙන්නේ ඉතිහාසය මතු කරනවා යයි කියනා පුද්ගලයන් ඔහේ රැල්ලට බනිනවා මිස ඉතිහාසය අධ්‍යනය කර නැති බවයි. 



මහා සම්මත හා මනු එක් කිරීම 

ජාතක කතා තුල ඇති මහා සම්මත පරපුර අගට හින්දු පුරාණ වල මනු රාජවංශයේ රජවරුන්ගේ නම් එක් කර මුලින්ම සදහන් කිරීමක් දකින්න ලැබෙන්නේ බෝධිවංශය තුලදී. ඊට පෙර මහාසම්මත වංශයේ රාජ නම් හා මනුවංශයේ රාජ නම් එක්ව දැක්වීමක් සිදුවී නෑ.
බෝධි වංශය තුලදී මහා සම්මත හා මනු පරපුරවල් එක් කිරීමට හේතුව බෝධි වංශ කතෘ වරයා කාලිදාසගේ රඝුවංශය පරිශීලනය කිරීම බව බෝධිවංශයේ ඇති තුල දක්වා ඇති කරුණු වලින් තේරුම්ගන්න පුළුවන්.


මහා සම්මත මනු යන නාම දෙක එකවර යෙදීමක් දකින්න ලැබෙන්නේ දෙවුන්දර තඹ සන්නස තුලදී. එහි " ස්වස්ති ශ්‍රී වෛවස්වත මනු සංඛ්‍යාත මහා සමමත පරම්පරානුයාත...." ආදී ලෙස දැක්වෙනවා. නමුත් මෙහිදී මහා සම්මත මනු ලෙස යෙදීමක් නෑ. මනු හා මහා සමමත එක් අයෙක් බව මෙයින් අදහස් කරන්නෙත් නෑ.

දෙවිනුවර පාඬාකඩ සන්නස තුලදී " ස්වස්ති ශ්‍රී මනුමන්ධාතෘ භරත භගිරත රඝු අජ දශරථ.... ආදී ලෙස දැක්වීමේදී මහා සමමත පරපුර මනු පරපුර ලෙස ගැනීමක් සිදුකර තිබෙනවා.

තවත් සන්නස් ආදී ලේඛන කීපයකදී "ස්වස්ති ශ්‍රී වෛවාස්වත මණුකුල රාජධුරාන්ධරණේ " ආදී ලෙස රජවරුන් පිළිබඳව හැදින්වීම ආරම්භ කිරීම සිදු කර තිබෙනවා.

මේවා සියල්ල කෝට්ටේ යුගයෙන් පසුකාලීන නිසා ලංකාවට හින්දු ආභාෂය ලැබුණු පසු මනු සංකල්පය සමාජගත වූ පසු මහසමම්ත හා මනු යන දෙදෙනාම මනුෂ්‍යන්ගේ පළමු රජු යන පොදු සමානතාව නිසා මේ සංකල්ප දෙක මිශ්‍ර වී ඇති බව දකින්න පුළුවන්. නමුත් කිසිදු තැනකදී "මහා සමමත මනු" යන යෙදීමක් භාවිත වී නෑ.



මහා සම්මත හා මනු එකම අයෙක් විය හැකි ආකාරය
.

maha sammatha manu

අග්ගඤ්ඤ සුත්‍රයේදී මෙන්ම පාඨික සුත්‍රයේදී බුදුරජානන් වහන්සේ ආභස්සර බඹ ලොවින් බ්‍රහ්මයන් පැමිණ මිනිසුන් ඇතිවූ ආකරය පැහැදිලි කර තිබෙනවා. එම සුත්‍ර වලදී හා බ්‍රහ්මජාල සුත්‍රයේදී මහා බ්‍රහ්ම යන සංකල්පය ඇතිවූ ආකාරයත් තවදුරටත් දේශනා කර තිබෙනවා. බ්‍රහ්ම ලෝකයේ පළමුව පහල වූ බ්‍රහ්මයා තමන්ගේ පෙර භව සිහි නොකිරීම නිසාත් , අන් බ්‍රහ්මයන්ට වඩා තමන්ගේ ආයුෂ වර්ණ බල බලවත් නිසාත් , තමන්ට පසුව අන් බ්‍රහ්මයන් බ්‍රහ්ම ලොව ඉපදුනු නිසාත් තමන් මහා බ්‍රහ්ම යයි සිතන බවත් අන් සත්වයන් මැවුයේ තමන් යයි සිතමින් මුලාවකට පත්වන බව බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා.
මේ නිසා එම පළමු බ්‍රහ්මයා විසින් තමන් විසින් අන් බ්‍රහ්මයන් මැවූ බව කියනා බවත් අන් බ්‍රහ්මයන්ද පෙර භව සිහි නොකිරීම නිසා එය පිළිගන්නා බවත් බ්‍රහ්මයන් අතර මහා බ්‍රහ්ම සංකල්පය ආරම්භ වන්නේ මෙලෙස බවත් බුදුන් දේශනා කරනවා.

මෙවැනි බ්‍රහ්මයෙක් බ්‍රහ්ම ලෝකයේ සිට මනුෂ්‍ය උපතක් ලබාගෙන ධ්‍යාන වඩා තමන්ගේ පෙර භවය සිහිකිරීමේදී පෙර භවය පමණක් සිහි කිරීම නිසාත් ඊට පෙර භව සිහි නොකිරීම නිසාත් පෙර බ්‍රහ්ම භවයේදී පිළිගත් මහා බ්‍රහ්ම සංකල්පය සිහිවී එයට මුලා වන බවත් ඉන් පසු ඔහු විසින් මිනිසුන් අතර මහා බ්‍රහ්ම සංකල්පය ඇතිකරන බවත් පාඨික සුත්‍රයේදී බුදුන් දේශනා කරනවා. මහා බ්‍රහ්මයා විසින් සත්තවය්න් හා ලොව නිර්මාණය කල යන සංකල්පය ඇතිවුනේ මේ ආකරයට බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඒ අනුව මහා බ්‍රහ්ම විසින් නිර්මාණය කල පුද්ගලයෙක් යයි බ්‍රාහ්මණ යන් විසින් වරදවා වටහාගත් ස්වයම්භූව මනු යනු මහා සම්මත රජුම බවත් හිතන්න පුළුවන්. එසේ සිදුවී තිබෙනවා නම් මහා සම්මත යනු පළමු මනු වන ස්වයම්භූව මනුවරයායි. මහා සම්මත රජවරුන් පිළිබඳ තොරතුරු බ්‍රාහ්මණ ඉගැන්වීම් වලින් පෝෂණය වීමේදී මහා බ්‍රහ්මයා විසින් මැවූ කතා එක්වීමක් සිදුවී ඇති බව සලකන්න පුළුවන්.
නමුත් ලංකාවේ පළමු රජු මහා සම්මත මනු යයි කියමින් ඉතිහාසය විකෘති කරනා රාවණ මතවාදීන් හා ජම්බුවාදින් මහා සම්මත මනු කෙනෙක් ගැන කියවන්නේ මේ ආකාරයට කරුණු සහිතව ගැලපීමෙන් නෙවෙයි. මහා සම්මත රජු පිළිබඳව අසත්‍ය මිත්‍යා ප්‍රවාද පතුරවන කිසිවෙක් මෙවැනි විග්‍රහයක් අද වන තෙක් කිසිදු පොතක, සාකච්චාවක, වෙබ් පිටුවක, සමාජ මාධ්‍යයක ප්‍රකාශ කර නෑ. ඔවුන් සියල්ල කර තිබෙන්නේ මහා සම්මත නාමයට කතා ගොතා මිනිසුන් මුලා කිරීම පමණයි.

මහා සම්මත මනු ලංකාවේ රජ කෙනෙක් යයි කියමින් බුදු උපත හා රාවණ රජු පිළිබඳ අසත්‍ය ප්‍රවාද මතු කරන්නන් මෙම මුලාශ්‍ර වල ඉතාම සීමිත කොටස් කීපයක් පමණක් හුවා දක්වා ඒවාට තමන්ගේ අතින් තවත් අසත්‍ය ප්‍රවාද එක් කර මිනිසුන් මුලා කරන ආකාරය හොදින් දකින්න ලැබෙනවා. මෙම මුලාශ්‍ර වල සදහන් සත්‍ය සම්පුර්ණයෙන් කීවොත් ඒ තුලින්ම ඔවුන්ගේ මිත්‍යාව හෙළිවී යන නිසා තෝරාගත් වාක්‍ය දෙකතුනක් පමණක් කියමින් මිනිසුන් මුලා කිරීම මොවුන් සිදුකරනවා. තමන්ගේ අසත්‍ය මිථ්‍යාව රැකගැනීම ගැනීම සදහා මොවුන් සෑම කරුණක් සමබන්ධයෙන්ම මෙම ක්‍රමවේදය අනුගමනය කරනු ලබනවා.


මහා සම්මත හා රාවණ 
මහා සමමත මනු රාවණා 

රාවණ රජු මහා සමමත මනු රජුගෙන් පැවතගෙන එන සුර්ය වංශිකයෙක් හා  චක්‍රවර්ති රජ කෙනෙකු යයි තවත් මිථ්‍යා මතයක් විකෘතිකයන් පළකරනවා. මෙම කරුණු තුනම ඉතාම සාවද්‍ය මිත්‍යා මතයන්.

"මහා සමමත මනු" යන නාමය යෙදිමෙන්ම මොවුන්ට මහා සම්මත හෝ මනු පිළිබඳ කිසිදු දැනුමක් නැති බව තහවුරු වෙනවා.

* මහා සම්මත රජු පිළිබඳ ව ඇති කිසිදු මුලාශ්‍රයක රාවණ රජු හෝ ඔහුගේ පරපුරේ කිසිවෙක් ගැන කිසිදු සදහනක් ඇත්තේ නෑ.

* රාවණ රජු මනු පරපුරටත් කිසිදු සම්බන්ධතාවක් නෑ. මනු පරපුරට හා සුර්ය වංශයට සම්බන්ධ වෙන්නේ රාවණා නොව රාම යි. මනු -> ඉෂ්ක්වාකු ->->->->-> රඝු -> දශරථ ලෙස පැවතගෙන එන මනු පරපුරේ දශරථ ගේ පුතෙකු විදියට රාම උපදිනවා. ( පහත රූපසටහන)

සුර්ය වංශය පෙළපත


රාවණ රජුගේ පෙළපතට අයත් කිසිවෙක් ස්වයම්භූව හෝ වෛවස්වත මනු පරපුරේ සදහන් වෙන්නේ නෑ. මහා බ්‍රහ්ම -> පුලස්ත්‍ය -> විශ්‍රව ලෙස පැවතගෙන එන වෙනමම කුළයක විශ්‍රව මුණිගේ පුතෙකු ලෙස රාවණ උපත ලබනවා. පුලස්ත්‍ය ඍෂිවරයා මනු පරපුරට කිසිම සම්බන්ධතාවක් නෑ. පුලස්ත්‍ය ඍෂි යනු ස්වයන්භු මනු හට උපකාර කිරීමට පහළ වූ සප්ත ඍෂි වරුන්ගෙන් එක් ඍෂි වරයෙක්. පුලස්ත්‍ය ඍෂි ගේ බිරිද වූ මනිනි හෝ, විශ්‍රව මුණි ගේ බිරිද වූ කෛකසි මනු ගේ පරපුරට සම්බන්ධ නෑ.ඒ නිසා මවු හෝ පිය පාර්ශවයෙන් රාවණ කිසිසේත්ම මනු පරපුරට අයත් වෙන්නේ නෑ.

රාවණ පෙළපත



රාවණ රජු සුර්ය වංශයටත් කිසිදු සම්බන්ධයක් ඇත්තේ නෑ.
ලංකාවේ රාවණ මතවාදය දරන රාමායන, මනු ආදී කිසිවක් ගැන කිසිදු දැනුමක් නැති පුද්ගලයන් රාවණා ගේ යයි සිතා සිටිනා සුර්ය වංශය ආරම්භ වෙන්නේ වෛවස්වත මනුගේ පුත් ඉෂ්ක්වාකු රජුගෙන්. වෛවස්වන් යනු සුර්ය දෙවියන් හදුන්වන නාමයක්. වෛවස්වන් ගේ පුත්‍රයා යන අර්ථයෙන් තමයි වෛවස්වත කියන නම යෙදෙන්නේ. වෛවස්වත මනු ලෙස උපත ලැබුවේ සුර්ය දෙවියන් යටතේ සිටි දෙවි කෙනෙක් නිසා වෛවස්වත ලෙස ඒ මනු වරයට නම් කළා. ඒත් සුර්ය වංශය ලෙස රාජ වංශය ආරම්භ කරන්නේ වෛවස්වත මනුගෙන් නෙවෙයි ඔහුගේ පුතෙකු වන ඉෂ්ක්වාකු විසින්.
ඉෂ්ක්වාකු ගේ පුත්‍රයා විසින් සුර්ය වංශයත් දියණිය විසින් චන්ද්‍ර වංශයත් ආරම්භ කරනවා. ඊට පෙර ලෝකයේ කොහේවත් සුර්ය වංශය කියා නමක් වත් භාවිත වෙන්නේ නෑ. වෛවස්වත මනු ඉෂ්වාකු ආදීන් අයත් වෙන්නේ ස්වයම්භූව මනුගෙන් ආරම්හ වුන මනු රජ පෙළපතට. රාවණ පැවතගෙන එන්නේ මනු හට කිසිම සම්බන්ධයක් නැති පුලස්ත්‍ය ඍෂි විසින් ආරම්භ කල වෙනම වංශයකින්.

රාවණ ඉතිහාසය මතු කරනවා කියමින් ඉතිහාසයට, පුරාවිද්‍යාවට ගරහන පුද්ගලයන්ගේ අවිචාරශීලි බව හොදින්ම දකින්න පුළුවන් කාරණයක් තමයි රාවණා රජු මහා සම්මත පරපුරේ හෝ මනු පරපුරේ සුර්ය වංශිකයෙක් යයි කීම. මොවුන් තමන්ගේ වංශය ලෙස හදුන්වන්නේ රාවණා සමග යුධ කර පරාජය කළ රාමගේ වංශයයි. තමන්ගේ රජු පරාජය කල, තමන්ට කිසිදු සම්බන්ධතාවක් නැති විරුද්ධ වාදී රජුගේ වංශය වර්ණනා කරමින් එය තමන්ගේ යයි මොවුන් ප්‍රකාශ කරනවා. මෙම රාවණ - සුර්ය වංශික බොරුව තුලින් පැහැදිලි වන්නේ මොවුන් කොතරම් ගවෙෂණයෙන් තොර කොට්ඨාශයක්ද යන්නයි. 


*** රාම හා සිද්ධාර්ථ ගෞතම දෙදෙනාම සුර්ය වංශික වීමෙන් බුදුරජානන් වහන්සේ ඉපදුනේ සුර්ය වංශය පැවති ඉන්දියාවේ මිස කිසිසේත්ම ලංකාවේ නොවන බව තහවුරු වෙනවා. සුර්ය වංශයේ කිසිවෙක් ලංකාවේ සිටියේ නෑ. ලංකාවට සුර්ය වංශය ආගමනය වුනේ විජයගේ ආගමනයෙන් පසුවයි.



අරිසෙන් අහුබුදු ගේ මනු - මහා සමමත පැටලවීම
.

සිංහල හින්දු අලුත් අවුරුද්ද සදහා මුල් වුයේ මනු රජුගේ අභිෂේකය යයි අරිසෙන් අහුබුදු ශුරින් තම ඉර හද නැගෙන රට නම් කෘතිය තුල දක්වා තිබෙනවා.
" මනු රජුගේ අභිසෙස
සිදුවූ වෙසෙසි එදවස
අවුරුදු මගුල ලෙස
ගනිති හෙළයෝ අදත් පෙර සිට
"

නමුත් මෙය ඔහුගේ පුද්ගලික මතයක් මිස ඒ සදහා කිසිදු සත්‍ය මුලාශ්‍රයක් දකින්න ලැබෙන්නේ නෑ. එය සත්‍ය නම් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ විය යුත්තේ ලංකාවට හින්දු ආගම පැමිණි පසු මනු සංකල්පය සමාජගත වීමෙන් පසුකාලිනවයි.

අරිසෙන් අහුබුදු ශුරීන්ගේ යටගිය වංශය නම් කෘතියේ මනු රජ අභිසෙස නම් කොටස තුලදී
" මනු ලොවැ මුල් වරට
තොරාගැනුනු එලෙසට
රජවුයෙන් ඔහුට
නමද මනු නිසි වුනා අරුතට
"

ලෙස දක්වා තිබෙනවා. මෙහිදී ඔහු විසින් මහා සමමත හා මනු පටලවාගෙන ඇති බව පැහැදිලි වෙනවා. ජනයාගේ සම්මතයෙන් රජ ලෙස පත්කරගත්තේ මහා සමමත රජු මිස මනු නෙවෙයි.

අරිසෙන් අහුබුදු විසින් මන්නාරම යන නාමය ඇතිවුයේ මනු + ආ + අරම යන අර්ථයෙන් යයි තවත් මතයක් පළකර තිබුනත් ඒ සදහා කිසිදු මුලාශ්‍රයක් හෝ පදනමක් නෑ.

අරිසෙන් අහුබුදු විසින් මුලාශ්‍ර අධ්‍යනයකින් තොරව තමන්ගේ මත සමාජගත කිරීම අවස්ථා කීපයකදීම කර තිබෙනවා  අරිසෙන් අහුබුදු යනු භාෂා විශාරදයෙකු වුනත් ඉතිහාසඥයෙක් නෙවෙයි. ඔහු විසින් ඉදිරිපත් කල ඔහුගේ පුද්ගලික ඉතිහාස මත බොහොමයක් අධ්‍යනයකින් තොර ඉතාම දෝෂ සහගත ඒවා බවට නිතර දකින්න ලැබෙනවා. එවැනි එක් ප්‍රධානම අවස්ථාවක් වෙන්නේ පාරාවෝ යනු රාවණාගේ පාලකයන් ලෙස දැක්වීම. මේ පිළිබඳ හෙලිකිරීම කියවීමට :- (click here)

කෙසේ නමුත් අරිසෙන් අහුබුදු විසින් මහා සම්මත හෝ මනු රජු ලංකාවේ යයි මතයක් පළකර නෑ.


මෙලෙස සාධක දහස් ගානකින් ඉතා පැහැදිළිව විස්තර කර ඇති, ඉතා පැහැදිලිව වෙන් කොට තෝරාගත හැකි කරුණු පිළිබඳව රාවණ වාදීන් හා ජම්බුදීප වාදීන් ඉතාම සාවද්‍ය ලෙස කිසිදු පදනමක් සාධකයක් නැති අසත්‍ය මත පතුරවාලීමෙන් හෙළිවෙන්නේ ඔවුන් හිතාමතාම මිනිසුන් නොමග යවන්නන් බව නොවේද? යටගිය ඉතිහාසය මතුකරනවා යයි මොවුන් කරනා එකම දේ සත්‍ය ඉතිහාසය විකෘති කිරීම බව මේ තුලින්ම තහවුරු නොවේද?

මෙම සත්‍ය මුලාශ්‍ර කරුණු නොදන්නා කම නිසා ලංකාවේ බොහෝ දෙනෙක් රාවණ විකෘතිකයන් හා බුද්ධ භුමි විකෘතිකයන් පතුරවන මහා සමමත - මනු රාජ පිළබඳ අසත්‍ය ප්‍රවාදයන් වලට හසුවී සිටිනවා. මෙම කරුණු දැනුවත් කර හැකිතරම් පිරිසක් මිත්‍යාවෙන් මුදවාගැනීමට හැකි තරම් share කරන්න.

Comments

  1. Yogi thumani, rawana pawathagena enne yaksha gothrayakinda. Hamathanama yakshayek kiyala kiyana nisai mehema ahanne. Poddak pahadi karala dennko

    ReplyDelete
    Replies
    1. මට හම්බවුන මුලාශ්‍ර වලනම් එහෙම එකක් නෑ දැනට

      Delete
  2. E kiyanne ewa boru neda. Derane ehema yana rawa teledrama eketh ehema kiwwa. Yaksha gothra kathwak

    ReplyDelete
  3. මේ “රාවණ” නම් මිත්‍යා චරිතයේ ආරම්භය හා එයට ප්‍රභව වන “රාමායණ” නම් ප්‍රබන්ධ කතාව ගෙතීමට පැවති තත්කාලීන සමාජ පරිසරය හා අවශ්‍යතාව පැහැදිලි කර දක්වමු.

    වාල්මිකී (Valmiki) නම් හින්දු කතාකරුවා විසින් රචිත කන්ඩ හතකින්ද, ශ්ලෝක 24000කින්ද වචන 480 000 පමණද සමන්විත රාමායණය (Ramayana) නම් වීර කාව්‍ය රචනා වූ නිශ්චිත කාල වකවානුවක් හෝ එහි කතෘ වාල්මිකී ජීවත් වූ නිශ්චිත කාල වකවානුවක් ගැන නිවැරදිම වර්ෂයක් මෙතෙක් අනාවරණය කරගෙන නැතත් බොහෝ විද්වතුන්ගේ හා පර්යේෂකයන්ගේ නිගමනය වන්නේ එය ක්‍රි.පූ. 4 සියවස හා ක්‍රි.පූ. 1 සියවස අතර කාලයක් විය යුතු බවයි. මෙම රාමායණ වීර කාව්‍ය ගත් කල එය බොහෝ ලෙස අතිශෝක්තිය මෙන්ම දේව විශ්වාසද ඇතුලත් නිර්මාණයක් වන අතර මෙහි ඇතුලත් පුද්ගල චරිත සැලකු විට අපට ප්‍රධාන වශයෙන්ම හඳුනාගත හැකි චරිත කිහිපයක් වන්නේ රාම, රාවණ, ලක්ෂමණ, සීතා, හනුමාන්, දශරථ, භරත යන චරිත මෙන්ම ප්‍රදේශ සැලකු විට ලංකාපුර හා අයෝධ්‍යාව හඳුනාගත හැක.

    මෙම රාමායණ වීර කාව්‍ය රචිත කාල වකවානුව සැලකු විට එය වර්තමානයේ ඉන්දියාව යැයි හඳුන්වන භුමි ප්‍රදේශයේ බුදු සමය ව්‍යාප්තව පැවති කාල වකවානුවක ලෙස පෙනේ. මෙහි වඩාත් සිත් අලවන සුළු කාරණය නම් වාල්මිකී නම් හින්දු කතාකරුවා ඔහුගේ මෙම හින්දු වීර කාව්‍ය ගෙතීමට පුද්ගල චරිත කිහිපයක්ම සොරකම් කරනු ලබන්නේ බුද්ධ දේශනා තුලින්ම වීමයි. එනම් ඔහු රාමායණ ප්‍රබන්ධය තුළ යොදාගැනෙන ප්‍රධාන චරිත කිහිපයක් වන රාම, ලක්ෂමණ, සීතා, දශරථ, භරත යන පුද්ගල චරිත මෙන්ම අයෝධ්‍යා නම් පුරයද රාමායණ රචනයට පෙර බෞද්ධ දේශනා තුලින් ගෞතම බුද්ධ නම් ශාස්තෘන් වහන්සේ විසින් හඳුන්වාදුන් නාමයන්ය. සැකෙවින් එය සඳහන් කරතොත් ජාතක කතා මාලාව (ඛුද්දක නිකාය, ජාතකපාළිය) තුළ සඳහන් වන දශරථ ජාතකය තුලින් ගෞතමයන් වහන්සේ මෙම නාමයක් හඳුන්වන අතරම එහිදී රාම කුමරු නම් තිලොවට අග්‍ර වූ ශාක්‍යසිංහ වූ තමන් වහන්සේගේම පෙර බෝධි සත්ව භවයක් ලෙසද සීතා නම් ස්ත්‍රීත්වයේ පරම පාරිශුද්ධ උත්තමාවිය වූ යශෝධරාව ලෙසද, දශරථ මහරජු නම් බෝසතුනට පිය වූ සුදොවුන් මහරජ ලෙසද, භාරත කුමරු නම් ධර්මභාණ්ඩාගාරික අනද මහතෙරුන් ලෙසද, ලක්ඛණ කුමරු නම් දම්සෙනෙවි සාරිපුත්ත මහතෙරුන් ලෙසද හඳුන්වාදෙනු ලබනවා.

    මෙය දෙස මතුපිටින් බැලූ කල සරල දෙයක් ලෙස පෙනී ගියත් වාල්මිකී මෙම චරිත සොරකම තුලින් එක ගලින් කුරුල්ලන් කිහිප දෙනෙකුම දඩයම් කරගනී. වාල්මිකී තම වීර ප්‍රබන්ධය තුළ රාම කුමරු හඳුන්වනු ලබනුයේ විෂ්ණු දෙවියන්ගේ සවැනි අවතාරය ලෙසය. එලෙසම ඉහත කී අනෙක් චරිත රාම කුමරුට සම්බන්ධ වන අයුරු එලෙසටම කතාවට නගා තිබේ. දැන් අප මදකට මෙම චරිත වලින් ඈත්ව නැවතත් එවකට පැවති භාරතීය සමාජය දෙස සලකා බැලුවහොත් මෙම රාමායණ හින්දු වීර කාව්‍ය ප්‍රබන්ධය රචනා වූවායැයි සැලකෙන කාල වකවානුව අනුව එය භාරතයේ බුදු දහම වේගයෙන් පැතිර යමින් පැවති කාල වකවානුවක් විය. දේවවාදයකට, මැවුම්වාදයකට එහා ගිය දර්ශනයක් වූ බැවින්ද, උග්‍ර කුලවාදය ප්‍රතික්ශේපිත දහමක් වූ බැවින්ද, අවිහිංසාවාදී දහමක් වූ බැවින්ද, රාජ රාජ මහාමාත්‍ය ආදීන්ගේ නොමසුරු අනුග්‍රහයට ලක්වූ දහමක් බැවින්ද, බුදු දහම මෙලෙස සීඝ්‍ර ලෙස පොදු ජනයා අතර උත්තර භාරතයේ සිට අනෙක් පෙදෙස්වලටද ව්‍යාප්ත විය. බුදු සමයේ මෙම පුනරුදයත් සමග පසුබෑමට ලක්වෙමින් පැවති නානාවිධ වූ භාරතීය ආගම් හා දෘෂ්ටි අතර ප්‍රධාන ආගමක් වූයේ හින්දු දහමයි. භාරතය තුළ මෙම හින්දු නම් දහම සැලකු විට එය තුලද සීතල යුද්ධයක් පැවතිනි. එනම් විවිධ විවිධ වූ පිරිස් විවිධ විවිධ වූ දෙවියන් අග්‍ර කොට, ශාස්තෘ කොට සැලකීමයි. සීතල යුද්ධයකින් නොනවතී එම දේවවාදී කොටස් පිල් බෙදී යුධ වැදී අවස්ථාද භාරත ඉතිහාසය තුළ සඳහන්ය. හින්දු දහමේ මෙම කොටස් අතර වඩාත් ප්‍රචලිතම කොටස් දෙක වූයේ වෛෂ්ණවයන්(vaishnavite) හා ශිවයන්(Shaivite) වේ. වෛෂ්ණවයන්(vaishnavite) නම් විෂ්ණු දෙවියන් අග්‍ර කොට ඇදහු බැතිමතුන් වන අතර ශිවයන්(Shaivite) නම් ශිව දෙවියන් අග්‍ර කොට සැලකු බැතිමතුන්ය.

    ReplyDelete
  4. මිහිමත පියවි ඇසට නොපෙනුන දෙවියන් ශාස්තෘ වූ මෙම හින්දූන්ගේ ආගමික විශ්වාස බොහෝ විට ගොඩනැගී තිබුණේ යම් යම් කතාකරුවන් විසින් ගොඩනගන ලද හින්දු වීර කාව්‍ය මතය. කෙලෙස හෝ බුද්ධ දර්ශනයේ වේගවත් පුනරුදය සමගම දේව මැවුම්වාදය පිළිකුල් වූ හින්දූන්ද, කුල වාදයෙන් බැට කෑ හින්දූන්ද, ලාභ සත්කාර බලාපොරොත්තු වූ හින්දූන්ද බුදු සමය වෙත ආකර්ෂණය වී බෞද්ධයන් බවට පත් වීම හින්දු ආගමට එල්ල වෙමින් පැවති මරු පහරක්ම විය. මෙම තත්වය තුළ හින්දු බැතිමතුන් ආගම තුළ රඳවා ගැන්මට නව මතවාදයක අවශ්‍යතාව තදින්ම පැවතිනි. ඒ සඳහා වීර ප්‍රබන්ධයක් හරහා නව මතයක් ගොඩනැගීමේ භාරදූර කර්තව්‍ය වාල්මිකී විසින් සිය කර මතට ගනු ලැබිය. කෛරාටිකත්වයේ කෙළ පැමිණියෙකු වූ හෙතෙම මේ වීර කාව්‍ය පටබැඳීම සඳහා මුල් පදනම බුදු දහමේ සඳහන් දශරථ ජාතකය තුලින්ම සලසා ගත් අතර එය ඔහුගේ කූඨ උපක්‍රමයේම කොටසක් විය. මේ නව වීර කාව්‍ය පටබැඳුම රාමායණය ලෙස නම් වූ අතර ලිපියේ මුලින් සඳහන් කල චරිත ඔහු ඒ සඳහා දශරථ ජාතකයෙන් සොරකම් කරගනු ලැබිය. මෙතුලින් ඔහු අයෝධ්‍යාවේ සිටි රාම නම් විෂ්ණුගේ සවැනි අවතාරය යන මතය සෘජුව ඉදිරිපත් කරන අතරම, වක්‍රව හින්දු සමාජය වෙත ඉදිරිපත් කරන මතය නම්, අයෝධ්‍යාවේ රජකළ රාම නමින් භවයක සිටි ගෞතම බුද්ධ යනු ද එමනිසා විෂ්ණුගේම තවත් එක් අවතාරයක් බවය. ඔහුගේ මෙම නව දේව කතාව තුලින් වෛෂ්ණවයන්ට සිය ආගම අතහැර වේගයෙන් ජනප්‍රිය වෙමින් තුබූ බුදු සමය වෙත පැමිණ දහම ඉගෙනීමට අවශ්‍යතාවක් නොවූයේ බුද්ධ යනුද විෂ්ණුගේම තවත් එක අවතාරයක් පමණක්ම යන මතය ඔවුන්ගේ ජන විඤ්ඤාණයට ඇතුලත්ව ඇති බැවිණි. මෙහි බලපෑම අද දක්වාද වෛෂ්ණවයන් තුලින් දැකගත හැක්කේ ඔවුන් බුදුන් වහන්සේ යනු විෂ්ණු අවතාරයක් යැයි සිතා උතුරු ඉන්දියාවේ ඇති බුද්ධ ජීවිතය හා සම්බන්ධ සිද්ධස්ථාන වලට හින්දු පූජා පැවැත්වීම තුලිනි.

    අප ලිපියේ මුලින් සඳහන් කළා වාල්මිකී රාමායණය තුලින් එක ගලින් කුරුල්ලන් කිහිප දෙනෙකු දඩයම් කල බවක්. අප පෙර පෙන්වා දුන් පරිදි බුදුන් වහන්සේ විෂ්ණු අවතාරයක් කිරීම ඔහුගේ වෑයමේ අඩක් පමණක් සම්පූර්ණ වීමකි. මන්ද එතුලින් වෛෂ්ණවයන්ගේ(vaishnavite) හැරයාමට පමණක් වැට බැඳීමය. ක්‍රියාන්විතය සම්පූර්ණ වීමට නම් හින්දූන්ගේ අනෙක් පිරිස වූ ශිවයන්(Shaivite) ද දේවවාදය තුලම කොටු කල යුතුය. වාල්මිකී මේ සඳහාද රාමායණයම යොදාගත් අතර ඒ සඳහා ඔහු ගොඩනගන චරිතය වනුයේ කතාවේ දුෂ්ටයා වන රාවණ නැමැත්තායි. ඔහුට අනුව රාවණ යනු උග්‍ර ශිව බැතිමතෙකු වන අතර ශිව තාණ්ඩවය පවා රාවණගේ පද ගෙතුමකි. එමෙන්ම රාවණ විසින් රාම භාර්යා වූ සීතා පැහැරගෙන එනු ලබන අතර රාම විසින් රාවණව නසා සීතාව මුදාගනු ලබන්නේය. දැන් වාල්මිකී රාජකාරිය අවසන් කර ඇත. එනම් ස්වභාවයෙන්ම වෛෂ්ණවයන්(vaishnavite) හා ශිවයන්(Shaivite) අතර ඇති කෝන්තරය එලෙසම පවතින අතරම රාම රාවණ ගැටලුව තුලින් වෛෂ්ණවයන් කෙරෙහි ශිවයන් තුළ ඇති වෛරයට පොහොර දමයි. දැන් මෙහි අවසාන ප්‍රතිපලය නම් විෂ්ණු කෙරෙහි ශිවයන් තුළ ඇති අප්‍රසාදය එලෙසම විෂ්ණු අවතාරයක් ලෙස පුද්ගල චරිත සොරකමෙන් පටබැඳි බුදුන් වහන්සේ කෙරෙහිද ශිවයන් තුළ ඇතිවීමයි. එමගින් ශිවයන්(Shaivite) ද බුදු සමය වෙත සිත යොමු කිරීම වැලකි යනු ඇත.

    වාල්මිකීගේ මෙම රාමායණ වෑයමේ එම ප්‍රතිපල ඉතිහාසය පුරාම දක්නට ලැබිණි. එනම් විෂ්ණු භක්තික වූ වෛෂ්ණවයන්(vaishnavite) රාම චරිතය මත පදනම්ව බුදුන් වහන්සේ විෂ්ණු අවතාරයක් යැයි සිතා බොදු පුදබිම් වලට විෂ්ණු කෝවිල් අමුණා විෂ්ණු ඇදහීම කිරීමත්, රාවණ චරිතය මත පදනම්ව ශිවයන්(Shaivite) රාම කෙරෙහි ඇති වෛරය බුදුන් වහන්සේ වෙත පටවා බෞද්ධ වෙහෙර විහාර සමතලා කොට ශිව කෝවිල් ඉදි කිරීමත්ය. මෙය මෙරට ඉතිහාසය පුරාද මැනවින් දක්නට ඇත. එනම් දකුණු ඉන්දීය ආක්‍රමණ බොහොමයකදී බෞද්ධයක් පිලිබඳ බද්ධ වෛරයෙන් යුතුව මෙරට වෙහෙර විහාර විනාශ කර ශිව දෙවොල් ඉදි කල ඒවායේ නටබුන් හමුවීමත්, මුලාවට පත්ව බුදුන් වහන්සේ විෂ්ණු අවතාරයක් යැයි සිතා පන්සල් තුලම විෂ්ණු දෙවොල් ඇතිකිරීමත්ය. වාල්මිකී ගැසූ මෙම ගැට දෙකෙන්ම සිදු වූයේ හින්දූන්ට බුදු සමය වැළඳ ගැන්මට තිබූ ඉඩකඩ ඔවුන්ගේ ජන විඤ්ඤාණය තුලම නැති කිරීමයි.
    මෙහි පසුකාලීන අතුරු බලපෑමක්ද දක්නට හැකි විය. එනම් වාල්මිකී ගොඩනගන රාවණ නම් ශිව භක්තිකයා සිටි බවට ඔහු සඳහන් කරනුයේ ලංකාපුර නම් රාජධානියක බවයි. මෙය අප රට වන මෙම සිංහලදීපය යැයි සිතු බොහෝ ද්‍රවිඩයන් ඉතිහාසය පුරාවටම ඔවුන්ගේ රාවණ අයිතිවාසිකමක් මවා ගනිමින් ආක්‍රමණ එල්ල කර සිංහල බෞද්ධයන් විනාශ කිරීමට උත්සහ දැරීමයි. අපගේ වාසනාවකට අපේ මහා සම්මත ශාක්‍ය පරපුරේ රජ දරුවන්ට පින් සිදුවන්නට ඉතිහාසය පුරාවටම අප එම ආක්‍රමණ වලට සාර්ථකව මුහුණ දී ඇත. වරෙක සීතාවක රාජසිංහ මුලාවට පත් කර ශිව භක්තියට ගෙන පන්සල් සමතලා කර භික්ෂූන් මරවා ශිව දෙවොල් ඉදි කළේය. එයද තාවකාලික වන්නේ සිංහල බෞද්ධයාගේ ජන විඤ්ඤාණය එමගින් වෙනස් කිරීමට නොහැකි වූ තැනය.

    ReplyDelete
  5. මෙහි වර්තමාන ස්වරූපය වන්නේ පෙර වැරදි නිවැරදි කර ගනිමින් පළමුව ජන විඤ්ඤාණය වෙනස් කිරීමට කටයුතු යෙදීමයි. එනම් රාමායණයේ එන ශිව රාවණ පිලිබඳ නැවත ව්‍යාජ අයුරින් ඇදහීමක් ඇති කිරීමයි. මෙහි වත්මනේ ඔවුනට ඇත්තේ ශිවයන්ගේ(Shaivite) කොටස පමණි. මන්ද වෛෂ්ණවයන්ගේ(vaishnavite) කොටස නුවර යුගයේ වඩිග රජුන් ඉටුකළ බැවිනි. එනම් බෞද්ධ වෙහෙර විහාර තුලට විෂ්ණු රිංගා බෞද්ධයන්ගේ හිතේ පැලපදියම්ව හමාරය. මෙම හින්දු දේවවාදය හා නිජබිම් වාදය සම්පූර්ණ කිරීමට ශිවගේ කොටසද සම්පූර්ණ කළයුතුව ඇත. එවිට බෞද්ධයා සම්පූර්ණයෙන්ම හින්දු වී මේ සිංහල රට දෙමළ වනු ඇත. එදා වඩිග රජුන් විෂ්ණු තුලින් කල කාර්ය මෙදා රාවණ වාදීන් ශිව රාවණ තුලින් කරමින් පවති. අවසානයේ වාල්මිකී ඉන්දියාවේ බොදු පුනරුදය නැති කල අයුරින්ම මෙම රාවණ වාදීන් විසින් වාල්මිකීගේ රාවණ කුක්කා කාලෝචිත අයුරින් උපයෝගී කරගනිමින් මෙරට සිංහල බෞද්ධ ජනයාගේ ජන විඤ්ඤාණය තුලින්ද බෞද්ධ කම අතුගා දමනු ඇත. එයට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සම්පත් හා උපදෙස් ඩයස්පෝරා හා ngo රාවණ අප්පොච්චිලා සපයනු ඇත. ඔවුන්ගේ ප්‍රධානම බාධකයන් වන මහාවංශය, විජය රජු හා බෞද්ධ පුරාවිද්‍යා උරුමයට ඔවුන් හැකි සෑම අයුරිම පහර ගසනු ඇත. නිසි අධ්‍යාපනයක්, දහම් දැනුමක් නැති නමට පමණක් සිංහල බෞද්ධ නව යොවුන් බහුතරයද මෙයට රැවටෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඉතා රසවත් මිතුර , ඒ කියවීම සම්පූර්ණයෙන් බැලුව නැවත නැවත 🙏 විවේකීව මේ ගැන කතාබහක් කරන්න කැමතියි ඔබට ඉඩක් තියේනම්

      Delete
    2. ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ද? මේගැන වැඩිදුරටත් කරුණු දැනගන්නට කැමති

      Delete
  6. You have a very deep knowledge about these historical facts. Who are you? I also do historical research. Can I please know your email address?

    ReplyDelete

Post a Comment