Featured Post

අහසෙහි ඇවිදීමේ ඍධිය ලබාදෙන පඨවි කසිණ භාවනාව Kasina Meditation

පඨවි කසිණ ඉර්ධින්


බුදුදහමේ ධ්‍යාන උපදවන භාවනා සම සතලිස් කර්මස්ඨාන භාවනා විදියට හදුන්වනවා. ධ්‍යාන ඉපදවීමට කර්මස්ඨාන හතළිහක් භාවිත කිරීම නිසයි ඒ විදියට හදුන්වන්නේ. මෙම කමටහන් අතරින් ඉර්ධිමය හැකියා උපදවා ගත හැකි ප්‍රධාන භාවනා වන්නේ කසිණ භාවනා. කසිණ භාවනා වර්ණ කසිණ හා වෙනත් කසිණ විදියට ප්‍රධානව කොටස් දෙකකට වෙන් වෙනවා. වර්ණ කසිණ කියන්නේ විවිද වර්ණ වලින් සකස් කරගත් මණ්ඩල දෙස බලා හිදිමින් සිත එක්තැන් කරන භාවනා. අනෙක් කසිණ කොටස වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතුන් පිළිබඳව හා ආකාශ ධාතුව පිළිබඳව සිත එක්තැන් කරන භාවනා.

සතර මහා ධාතුන් පිළිබඳ කසිණ භාවනා වඩා සිත එක්තැන් කරගැනීමෙන් ඒ ඒ ධාතු තමන් වසඟයේ පවත්වා ගැනීමේ හැකියාව ඉර්ධින් ලෙස අත්වෙනවා. මේවා අතරින් මෙම ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ පඨවි කසිණ භාවනාව වඩන ආකාරය පිළිබඳව. පඨවි කියන දේ අර්ථය පොළව කියන එකයි. ඝන ද්‍රව වායු අතරින් පස් ආදී ඝන පදාර්ථයත් පඨවි ලෙස හදුන්වනවා.

මිට පෙර ලිපි වලදීත් සදහන් කල ආකාරයට ත්‍රිපිටකය පුරා විසිරි ඇති බෞද්ධ සමත හා විදර්ශනා භාවනා එක්ව කැටිකොට රචනා කරන ලද මුල්ම ග්‍රන්ථය බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ග්‍රන්ථ රත්නය. ඔබ කියවන ඕනෑම භාවනා ග්‍රන්ථයක් රචනා වී තිබෙන්නේ විශුද්ධි මාර්ගයේ කරුණු මුලික කරගෙනයි. විශුද්ධි මාර්ගයෙහි සරල සිංහල අනුවාදයක් ලෙස අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන් සම සතලිස් කර්මස්ඨාන භාවනා ග්‍රන්ථය රචනා කර තිබෙනවා. විශුද්ධි මග්ගයේ සදහන් පඨවි කසිණ නිර්දේශය මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.

කසිණ භාවනා කිරීමේදී මුලින්ම කසිණ මණ්ඩලයක් සාදා ගත යුතුයි. පඨවි කසිණ මණ්ඩලය තැනීම සංහාරිම , අසංහාරිම විදියට ක්‍රම දෙකක් තිබෙනවා. සංහාරිම කියන්නේ එහාමෙහා ගෙනයාහැකි කියන එකයි. එහාමෙහා ගෙනයාහැකි පඨවි කසිණ මණ්ඩලය තනාගැනීමට තුනී ලැල්ලක් වැනි යමක් උඩ මැටියෙන් සමතලා රවුමක් තනාගත යුතුයි. මෙම මැටියෙන් තනන රවුම අගල් 1ක් ඝනකම ඇතිව, අඟල් 12 ක පමණ විෂ්කම්භය ඇතිවන ලෙස නිර්මාණය කරගත යුතුයි. මේ සදහා නිල් කහ රතු සුදු වැනි වර්ණයෙන් දිස් නොවෙන අරුණුවන් පැහැති මැටි භාවිත කල යුතුයි. අරුණුවන් පැහැය කියන්නේ ඉර පායාගෙන එනවිට ඇති කහ රතු මිශ්‍ර වර්ණයට. මේ විදියට තනාගන්නා කසිණ මණ්ඩලයේ මුහුණත උඩට යටට නෙරීම් නැතිව සමතලා වන විදියට නිර්මාණය කරගත යුතුයි.

සම්පුර්ණ කසිණ මණ්ඩලය තැනීමට අරුණුවන් මැටි ප්‍රමාණවත් නැත්නම් වෙනත් මැටි වර්ගයකින් කසිණ මණ්ඩලය නිර්මාණය කරගෙන එය මතුපිටින් අරුණුවන් මැටි අතුරා ඔපමට්ටම් කරගත යුතුයි.

මේ විදියට නිර්මාණය කරගත් කසිණ මණ්ඩලය භාවනා වඩන්නන් හැර අන් අයට නොපෙන්වා ගෞරව පුරකව තබාගත යුතුයි.


පඨවි කසිණය වැඩිම 
* අන් අයට නොපෙනෙන පහසු තැනක නැගෙනහිර හෝ උතුරට මුහුණලා වාඩිවෙන්න
* වාඩිවීම සදහා පොළව මට්ටමට අඩියක් පමණ උස ආසනයක් භාවිත කරන්න, එසේත් නැතිනම් අඩියක් පමණ උස වන ලෙස යමක් සකසාගෙන ඒ මත වාඩිවෙන්න. මෙම ආසනය කුඩා මෙට්ටයක් හෝ ඇතිරිල්ලක් යොදා පැයක් දෙකක් අපාහසුවකින් තොරව සිටිය හැකි ලෙස සුවපහසුව නිර්මාණය කරගන්න.
කසිණ මණ්ඩලය තියන්නේ පොළව මට්ටමින්. ඒ නිසා තමන් වාඩිවන ආසනය අනවශ්‍ය ලෙස උස් වුනොත් ගෙල නවා බලන් ඉදීම නිසා අපහසුතා ඇතිවෙනවා.
* තමන් වාඩිවන ආසනයේ සිට අඩි තුනයි අගල් නවයක් දුරින් කසිණ මණ්ඩලය තබාගන්න. ඊට වඩා ඈත්වීමෙන් කසිණ මණ්ඩලය අපැහැදිලි වෙනවා. ඉතා ආසන්න වීමෙන් කසිණ මණ්ඩලයේ විවිද දෝෂ පෙනෙන්න පුළුවන්.

* භාවනාවට පෙර ශරීරය පිරිසිදු කරගන්න.
* මල් පහන් සුවදදුම් පුදා බුදුන් වන්දනා කර භාවනා කිරීම වඩාත් හොදයි.
* භාවනා වැඩිම තුලින් ඒකාන්තයෙන්ම ධ්‍යාන මාර්ගපල ලබාගන්නා බවට හොදින් අධිෂ්ඨාන කරගන්න. දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව භාවනා ආරම්භ කරන්න.
* මේ ජීවිතයේදී හෝ පෙර භව වලදී බුද්ධ ධම්ම සංඝ තෙරුවනට හෝ ආර්යයන් වහන්සේලාට හෝ මවු පිය ගුරු උතුමන්ට යම් වරදක් වී නම් ඒ සියල්ලට සමාවෙවා යයි සිතින් කමා කරගන්න.

* පහසු ලෙස භාවනා ආසනයකින් වාඩි වී කසිණ මණ්ඩලය දෙස සාමාන්‍ය ලෙස ඇස් දල්වා බලන්න. ඕනෑවට වඩා ඇස් ඇරීමෙන් ඇස් වෙහෙසෙන්න පුළුවන්. ඕනෑවට වඩා ඇස් පියවීමෙන් කසිණ මණ්ඩලය නොපෙනීමත්, නිදිමත ඇතිවීමත් වෙන්න පුලුවන්. එමනිසා සමව ඇස් දල්වාගෙන බලා ඉදිමින් කසිණ මණ්ඩලයේ හරි මැද දෙස බලා සිටිමින් සිත එක්තැන් කරන්න.
* කසිණ මණ්ඩලයේ වර්ණය, ස්වභාවය ආදී කිසිවක් අරමුණු නොකර පඨවි ධාතුව පමණක් අරමුණු කර ඒ තුල සිත එක්තැන් කරන්න.
* "පඨවි පඨවි" ආදී ලෙස සිතින් සිතමින් හා තමන්ට පමණක් ඇසෙන ලෙස සෙමින් කියමින් භාවනා කරන්න. ඇස් ඇර බලමින් වචනයෙන් කියමින් භාවනා කර ඇස් පියා සිතින් කියමින් කසිණ මණ්ඩලය මෙනෙහි කරමින් භාවනා කරන්න.

* මේ ආකරයට බොහෝ වාරයක් නැවත නැවත භාවනා කිරීමේදී සිතේ සමාධිය ඇතිවීමෙන් ඇස් විවර කරගෙන භාවනා කරන විට දකින ආකාරයටම ඇස් පියාගෙන සිටියදීත් කසිණ මණ්ඩලය පෙනිම සිදුවෙනවා. මේ විදියට සිතට පෙනෙන කසිණ මණ්ඩලය උද්ග්‍රහ නිමිත්ත ලෙස හදුන්වනවා.

* උද්ග්‍රහ නිමිත්ත ඇතිවූ විට එම ස්ථානයේම සිටිමින් හෝ වෙනත් ස්ථානයකට ගොස් පෙර පරිදිම සිතින් "පඨවි පඨවි" ලෙස සිහි කරමින් භාවනා කරන්න.

* සිත විසිරිමෙන් උද්ග්‍රහ නිමිත්ත නැතිවී ගියොත් නැවතත් කසිණ මණ්ඩලය දෙස බලා ඉදිමින් භාවනා කර උද්ග්‍රහ නිමිත්ත උපදවා ගන්න. මේ ආකරයට බොහෝ වාර නැවත නැවත භාවනා කර සිත වෙනත් කිසිදු අරමුණකට යන්න නොදී උද්ග්‍රහ නිමිත්තේම රදවා ගනිමින් පඨවි පඨවි ලෙස මනසිකාර කරන්න.

* මේ විදියට භාවනා කිරීමේදී සිතේ පංච නීවරණ යටපත් වීමෙන් උද්ග්‍රහ නිමිත්ත ලෙස පෙනුණු කසිණ මණ්ඩලය ඊට වඩා ආලෝකමත් ලෙස පැහැදිලි ලෙස පිරිසිදු ලෙස සිතට ඉතා හොදින් අරමුණු වීම සිදුවෙනවා. මෙය ප්‍රතිභාග නිමිත්ත විදියට හදුන්වනවා.

* මෙලෙස ලැබුණු ප්‍රතිභාග නිමිත්ත රැකගනිමින් සිත රැකගනිමින් නැවත නැවත ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන "පඨවි පඨවි" ලෙස මෙනෙහි කරමින් භාවනා කිරීමෙන් ධ්‍යානාංග ඇතිවී විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයට සිත පත්වෙනවා.

ප්‍රථම ධ්‍යානය හොදින් පුහුණු වී වශී කරගැනීමෙන් පසු ක්‍රමයෙන් ඉහල ධ්‍යාන වලට සිත නැංවිය යුතුයි. මේ සදහා තමන්ගේ සිතට අරමුණු වෙන ප්‍රතිභාග නිමිත්ත සිතින් අධිෂ්ඨාන කරමින් ක්‍රම ක්‍රමයෙන් විශාල කරගෙන අවසානයේ අනන්ත සක්වල දක්වා පැතිරුණු ප්‍රතිභාග නිමිත්තක් ඇතිකරගත යුතුයි. මේ ලෙස භාවනා නිමිත්ත මුළු විශ්වය පුරා සියල්ල වැසෙන ලෙස පතුරවමින් සිදුකරන නිසා මේ භාවනා වලට කසිණ විදියට හදුන්වනවා. කසිණ යන්නේ තේරුම සියල්ල යන්නයි.
ධ්‍යාන තුලින් ඉහලට ගමන් කරන ක්‍රමවේදය මිට පෙර ලිපයකින් විස්තර කළ නිසා මෙහිදී නැවත පළකරන්නේ නෑ. ප්‍රථම ධ්‍යානයේ සිට ඉහල ධ්‍යාන වලට සිත නංවන ආකරය ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


*** සසරේ පඨවි කසිණ වඩා පුරුද්ද ඇති කෙනෙකුට කුබුරක කෙතක පොළව දෙස බලා සිටීමෙන් පවා ධ්‍යාන උපදවා ගැනීමට සිත එක්තැන් කරගත හැකි බව විශුද්ධි මග්ගයෙහි සදහන් වෙනවා. සසරේ පුරුද්ද නැති කෙනෙකුට උනත් මෙය සිදුකළ හැකි වුනත් එය ඉතාම අසීරුයි.
ඉහත ක්‍රමයට අරුණුවන් මැටි ගෙන කසිණ මණ්ඩලයක් තනාගැනීමට අපහසු නම් රවුම් ගලක් වැනි දෙයක් භාවිතයෙන් වුවත් පඨවි කසිණය වැඩිම සිදුකරන්න  පුළුවන්. නමුත් එහිදීත් එය පොලවට අයිති කොටසක් ලෙස එනම් පඨවි ලෙස සංඥාව ඇතිකරගෙනම භාවනා කල යුතුයි.



පඨවි කසිණ වැඩීමේ අනුසස්
1. බොහෝ ආත්මභාව මවා පෑමට හැකි වේ ( තමන් වැනි රූප, අන් අය වැනි රූප මැවීම )
2. අහසේ හෝ ජලයේ පොළවක් මවා ඒ මත ඇවිදීම, හිඳගැනීම නිදාගැනීම ආදී ඉරියව් පැවැත්විය හැකිවේ.
විශුද්ධි මාර්ගයේ සදහන් ඉර්ධින් මේවා වුනත් පඨවි ධාතුව පාලනය කිරීමෙන් තවත් බොහෝ ඉර්ධින් දැක්වීමේ හැකියාව භාවනාව ප්‍රගුණ කිරීමේදී අත්වෙනවා.



පඨවි කසිණය වැඩීමෙන් ලබාගත හැකි විශේෂ ඉර්ධියක් වෙන්නේ අහසෙහි ඇවිදීම් ආදී ඉරියව් පැවැත්වීමේ හැකියාව. මෙය අහසෙහි පාවී යාමේ හැකියාව නෙවෙයි. ශරීරය අහසෙහි ඉහලට නැංවීම හා අහසින් ගමන් කිරීමේ හැකියාව ලැබෙන්නේ වායෝ කසිණය වැඩිම මගින්. ඒ පිළිබඳ භාවනා ලිපිය කියවීමට : - ( ( මෙතන click කරන්න )) පඨවි කසිණය වැඩීමෙන් යෝගියෙකුට ඉහල අහසේ ස්ථානයක් සක්මන් මළුවක් මෙන් පොළවක් වේවා කියා අධිෂ්ඨාන කරන්න පුළුවන්. එසේ කිරීමේදී අනිත් සත්ත්වයන්ට අරමුණු නොවන එම යෝගියාට පමණක් විෂය වන විදියට එම අවකාශය පොළව හෙවත් පඨවිය වීමක් සිදුවෙනවා. ඒ මගින් එම කොටසේ එහාට මෙහාට සක්මන් කිරීම, හිදගැනීම ආදී ඉරියව් පැවත්වීම සිදුකරන්න පුළුවන්.


පඨවි කසිණ භාවනාවෙන් ලත් සමාධිය උපකාර කරගෙන දස කසිණ වැඩීමෙන් පංච අභිඥා උපදවා ගැනීමට හැකිවෙනවා. දිවැස, දිව්‍යමය ශ්‍රවණය, පරචිත්ත විජානනය ආදී  පංච අභිඥා උපදවා ගන්නා ආකරය පිලිබඳ ලිපිය කියවීමට ( මෙතන click කරන්න )


* උද්ග්‍රහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත හා ධ්‍යාන ලබාගැනීමටත් නැති නොවී පවත්වාගනිමටත් ශිලය හා සිහිය දැඩි ලෙස උපකාර වෙනවා. සිතේ සිහිය හා සංවර බව නැති උනොත් උද්ග්‍රහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත හා ධ්‍යාන අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කිරීමේදී දවස පුරා තමන්ට ආරක්ෂා කල හැකි ශීලයක් රැකීමත් කායගතා සතිය, චිත්තානුපස්සනාව ඇතුළු සතිපට්ටාන වඩමින් සිහිය රැකගැනීමත් සිදුකරන්න. ධ්‍යාන ලබාගැනීමට උපකාර වන සතිපට්ටාන භාවනා ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )



මේ භාවනා වැඩීමෙන් ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..


ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය කියවීමට( click here )


( මෙම ලිපි ලිඛිත මුද්‍රිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකරයකින් උපුටා ගැනීමෙන් වළකින්න ) 

Comments

  1. Mage hitha eka thenaka thiyagnna harim amarui.mama epa kiyala hithana hoda nehe kiyala hithana dewalma mage sihiyata enawa.mn eka nawatthanna uthsaha karaddith eka thadin sithata enawa.mata hithenawa mage athin kisiyam akarayaka prabala papa karmayak sidu wela thiyenawa kiyala.eka nisa hitha ekaga karaganna amarui wage hithenawa.anapanasathiya wadanakota yam awasthawaladi hitha ekaga wenawa.wikshiptha unama hitha e widiyatama dawasema thiyenne.mama A/l bio karana kenek.mata padam weda waladith hithe me wage ahithakara sithuwili enawa.mata therumak nethi kaleka mata sithata apu tharahak nisa man hithen thatthata gahanawa dekka.dn mata hithenne eka ananthariya papa karmayak kiyala.namuth man mage athin wunu warada thetum aran e welawema man thatthata maithri kara.
    guruthumani...
    Man kala yuththe kumakda.mata upakara karanna.me post eka aluth nisai man mekatama comment kare. Sthuthi!!!

    ReplyDelete
    Replies
    1. හිතින් හිතුවට පවක් වෙන්නේ නෑ. පවක් වෙන්න නම් ශරීරයෙන් ගහන්න ඕනි. කර්මයක් වෙන විදිය ගැන ධර්ම දැනුමක් නැති නිසා තේරුමක් නැති බොරුවක් හිතින් මවාගෙන ඉන්නේ ඔයා

      Delete
    2. Mage hitha eka thanaka thiyagena mata kisima deyak karanna ba hitha hama thanakatama yanawa hithata ena dewal nathi kara ganne kohomada

      Delete
    3. ඒකට තමයි භවනා කරන්නේ

      Delete

Post a Comment