Featured Post

පංචඅභිඥා අෂ්ටසමාපත්ති ලාභී මතු බුදුවන නාඋයනේ අරියධම්ම මහනාහිමි Nauyane Ariyadhamma Thero



මේ කාලයේ රහතන් වහන්සේලා, මගඵල ලාභින් හා ධ්‍යානලාභින් නැති යයි බොහෝ පිරිසක් අන්ධ විශ්වාසයක සිටිනවා. ඒ නිසාම ත්‍රිපිටක දේශනා තුල අඩුපාඩු තිබෙන බව හිතන්න ඔවුන් පෙළඹී සිටිනවා. දැනට පවතින ත්‍රිපිටකයේ අඩුපාඩු නිසා රහතුන් බිහිනොවන බව ධර්ම විකෘති කරන්නන් මවා පෙන්වනවා.
මේ වන විට ත්‍රිපිටකය වැරදියයි කියමින් පාලි අර්ථ දක්වා ඇති ආකාරය වැරදියයි කියමින් ත්‍රිපිටකයේ ඇති ආකාරයට නිවන් දැකිය නොහැකියයි කියමින් ධර්මයට ගරහන විශාල මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක් බිහි වී සිටින නිසාත් රහතුන් මෙන් බුදුවරු මෙන් අගවා මිනිසුන් මුලා කරන අරහත්වයට නින්ද වන ලෙස හැසිරෙන ව්‍යාජ රහතුන් සිටින නිසාත් සත්‍ය රහතුන් සත්‍ය මගඵල ලාභින් කුමන ආකාරයේද යන්න පැහැදිලි කිරීමට මෑත කාලින එවන් උතුමන් වහන්සේලා පිළිබද ලිපි පෙළක් ඉදිරිපත් කරන්න අදහස් කළා.


ලංකාවේ සිටින්නේ සිල්වත් නොරකින භික්ෂුන් පමණයි නිවැරදි මග වඩන අය දැන් නැත යන මතය  ලංකාවේ බෞද්ධයන්ගේ තියෙන මිත්‍යා මතයක්. ඒ විදියට හිතන්නේ තමන් ආධ්‍යාත්මික නැති නිසා. ලංකාවේ මහා නායක හිමිවරු අතර වගේම බොහෝ පන්සල් අසපු ආරණ්‍ය වල ධ්‍යාන ලාභී අභිඥා ලාභී මගඵල ලාභී භික්ෂුන් ඉන්නවා.
ඒ අය සාමාන්‍ය මිනිස්සු අතර ප්‍රසිද්ද නොවන්නේ ප්‍රසිද්ද වෙන්න උත්සහ කරන්නේ නැති නිසා. එත් භාවනා වඩන අය අතර ඒ භික්ෂුන් ඉතාම ප්‍රසිද්දයි. සාමාන්‍ය පුද්ගලයන්ට ඒ වගේ අයව දැනගන්න නොලැබෙන්නේ තමන් හරියට ප්‍රතිපදාව වඩලා සමත විදර්ශනා වඩා ආධ්‍යාත්මික නොවෙන නිසා.
ධ්‍යාන ලාභින් මගඵල ලාභින් අදුරගන්න මුණගැහෙන්න ලැබෙන්නේ තමන් ධ්‍යාන ලබාගන්න මගපල ලබාගන්න උත්සහ කරනකොට පමණයි. තමන් ප්‍රතිපදාව වඩන්නේ නැතුව මතුපිටින් ශාසනය බැලීමෙන් මගඵල ලාභින් හදුනාගන්න ලැබෙන්නේ නෑ.
සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නේ වැරදි කරන භික්ෂුන්වමයි. එයට හේතුව මතුපිටට සමාජයට පිම්බිලා පෙන්නේ එවැනි අය පමණයි. ආධ්‍යාත්මික භික්ෂුන් ආශ්‍රය කරන්න නම් තමන් හරියට ප්‍රතිපදාව වඩමින් යා යුතුයි . තමන් හරි පාරේ යනකොට තමන්ට පෙර ගිය අය මුණගැහෙන්න ලැබෙනවා.


ලංකාවේ බෞද්ධයන් බහුතරයක් සත්‍ය රහතන් වහන්සේලා, සත්‍ය මගඵල ලාභින්, සත්‍ය ධ්‍යාන ලාභින් පිළිබඳව නොදන්නා නිසාත් ඔවුන් ආශ්‍රය කර නැති නිසාත් සමාජයේ රහතුන්, මගපලලාභින්, ධ්යානලාභින් ලෙස  ප්‍රසිද්ද වන ව්‍යාජ ප්‍රතිරුපකයන්ට අධික ලෙස මුලා වෙනවා. මේ නිසාම සත්‍ය රහතුන් සත්‍ය බෝසතුන් සත්‍ය ධ්‍යාන ලාභින් මොන වගේද යන්න තේරුම් ගැනීම සදහා මේ ලිපි ඉදිරිපත් කරනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්තාධිපති, මහෝපාධ්‍යාය, ත්‍රිපිටකධරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය, ශාසනධජ, සද්ධර්මවාගිශ්වරාචාර්ය නාඋයනේ අරියධම්ම හිමියන්  මතු බුදු වන බෝධිසත්ත්වයන් වහන්සේ නමක්. දීපංකර බුදු හිමියන්ගෙන් නියත විවරණ ලබන ලද, එම ශාසනයේ අරහත්වය ශාක්ෂාත් කල හැකිව තිබියදී එයින් නොනැවතී බුද්ධත්වය සදහා පාරමිතා පුරණ උතුම් හිමි නමක්. එසේම උන්වහන්සේ ඉතා දුර්ලභව දකින්න ලැබෙන, සියලු කර්මස්ඨාන තුලින් සතර ධ්‍යාන වඩා ඇති පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභී මහා බල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක්.
එවැනි භික්ෂුවක් මෙකල සිටියාවත්දැයි නොදන්නා බොහෝ දෙනෙකුගේ දැනගැනීම පිණිස උන්වහන්සේගේ චරිතාපදානය සරලව ඉදිරිපත් කරනු ලබනවා.

මෙවැනි උතුමන් ගැන දැනගන්න ලැබෙන්නේ උන්වහන්සේලා අපවත් වීමෙන් පසුවයි. එයට හේතුව ඔවුන් තමන්ගේ අධිගමයන් රට පුරා පතුරවමින් සමාජයේ අවධානය ලබාගනිමට උත්සහ නොකරන නිසා. නා  උයනේ හිමියන් පිළිබදවද අපට දැනගැනීමට ලැබුනේ උන්වහන්සේ තම චරිතාපදානය ඉදිරිපත් කල නිසායි. එලෙස කිසි ආකාරයකින් තමන්ගේ අධිගම සමාජගත නොකර අපවත් වූ දහස් ගණනක් උතුමන් සිටිනවා.


නාඋයනේ අරියධම්ම හිමියන්ගේ දිනපොත් තුල අඩංගු කරුණු එක කර සැකසු "අසිරිමත් බුදුමග පියසටහන්" ග්‍රන්ථයෙන් උපුටාගත් තොරතුරු මෙම ලිපියේ ඇතුලත් කරනවා


නාඋයනේ අරියධම්ම හිමියන්ගේ උපන් ගම වන්නේ වයඹ පළාතේ කුඩාපොළ ග්‍රාමය. ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ නාඋයනේ අරියධම්ම හිමියන්ගේ පියාණන්  1938 වසරේදී සිදුකල රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට සහභාගී වී සිටියදී දින හතක්ම දවල් කාලයේ ශ්‍රමදාන කර රාත්‍රියේ බුදුගුණ කියමින් පහන් දරමින් සෑය වටා  ප්‍රදක්ෂිණා කරමින් වන්දනා කර තිබෙනවා. හත්වන දවසේ රාත්‍රියේ නින්දට ගිය පසු විශේෂ සිහිනයක් දැක "දැන් ගෙදර යන්න පින් ඇති පුතෙකු ලැබෙනවා" යන පණිවිඩය ලැබී තිබෙනවා.

නාහිමියන් ගිහි කල ළදරු අවදියේදීම පෙර ආත්ම සිහිපත් වී "මම සිටියේ ඉහල ලොවක නේද ඇයි මම මෙතනට ආවේ මම ආපසු එතනට යන්න ඕනෑ එතනට යාමට මහණ වෙන්න ඕනෑ "කියා සිතා කුඩා කලදීම මහණ වීමට අධිෂ්ඨාන ඇතිකරගෙන තිබෙනවා. මෙලෙස කුඩා කලදී බොහෝ වාර ගණනක් පෙර දේව භවය සිහිපත් වූ බව නාහිමියන් සටහන් කර තිබෙනවා.

නාඋයනේ හිමියන් උපත ලද වයඹ පළාතේ කුඩාපොළ නම්  ගමෙහි පවුල් 30 ක් පමණ ජිවත් වී ඇති අතර එම ගම් වැසියන් නිතර පින්දහම්  කරන ගුණවතුන් බවත් ඔවුන් අතර අඳ-ගොළු-බිහිරි-උන්මත්තක-මන්ද බුද්ධික-අංගවිකල ආදී   කිසිදු තත්වයක් සහිත එක් පුද්ගලයෙක් හෝ නොසිටිම ආශ්චර්යයක් බවත් සටහන් කර තිබෙනවා.

නාඋයනේ අරියධම්ම හිමියන් තම සෝවාන් පලයට පත් මෑණියන් පිලිබදව සදහන් කර තිබෙන්නේ මේ ආකාරයෙන්
"සමිපාතිතාත්මයකදී මගපලයට පත්වූ ආර්යශ්‍රාවිකාවක් වැනිවූ ශිලයෙන් ගුණයෙන් පිරිපුන් අපගේ මෑණියන් වහන්සේ ගමේත් අසල් ගම්වාසින්ගේත් ගෞරවයට පත්වූ පුණ්‍යාත්මි ජිවිත පැවැත්මෙන් පිරිපුන් කල්‍යාණමිත්‍ර ආදර්ශවත් උත්තමාවකි.පින්වත් දරුවන් අටදෙනෙකුගේ මවක් වූ අතර නිරෝගී සුවයෙන්ම  අවුරුදු 40ක් පමණ ආයු වළඳා සිය මෑණියන්ගේ පතුල් වැඳ සමුගෙන, අප පියානන්ගේද පතුල් වැඳ සමුගෙන හදිසි අසනීපයෙන් ඉතා කෙටි වෙලාවකදීම "අනිච්චේ දුක්ඛේ සංසාරේ" යන විදර්ශනා වැකිය තෙවරක්   කියා සිහිනුවණින් අවසන් නෙත පියවුනේ ඇත්තෙන්ම සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් මෙනි."

පාසල් කාලයේදී සියලු සිසුන් අතරින් දක්ෂතම හා විනීතම සිසුවා ලෙස සියලු දෙනාගේ ප්‍රශංසාවට පත්වී සිටි නාඋයනේ හිමියන් සියලු විභාගයන්දී ප්‍රථම ස්ථානය ලබාගැනීම නිසාත් තුන ශ්‍රේණියේ සිටියදී හතරවන ශ්‍රේණියේ පාඨමාලා පුහුණු වී සිටි නිසාත් ගුරුවරුන් විසින් තුන ශ්‍රේණියෙන් පසු කෙලින්ම පහ ශ්‍රේණියට උසස් කර තිබෙනවා. විදුහල්පති හෝ ගුරුවරු නොමැති අවස්ථා වලදී ඉගැන්වීම් කටයුතු කිරීමට භාර දී තිබෙන්නේත් නාහිමියන් හටයි.

නාඋයනේ හිමියන් පවසා ඇති ආකාරයටම උන්වහන්සේගේ මව ඉතාම අවබෝධයෙන් යුක්ත බෞද්ධ කාන්තාවක් බව උන්වහන්සේගේ ජීවතයේ එක් සිදුවීමකින් දැකගන්න ලැබෙනවා.
" අප කුඩාම කාලයේ ලෙන්නොරුව විහාරාධිපති නාහිමියෝ දිනක් අපේ නිවසට වැඩමකොට විසුහ. පසුදා උදෑසන අපේ මෑණියන් පිළිගැන්වූ දානය වළඳා ආපසු පිටත්වීමට සුදානම් වී ඉතාමත් කාරුණිකව අපේ මෑණියන්ට මෙසේ පැවසුහ "අපේ පන්සලට තේ ඉඩම් මෙච්චර තියෙනවා රබර් ඉඩම් මෙච්චර තියෙනවා කුඹුරු මෙපමණ තිබෙනවා . ඉදිරියට මේවා පවත්වාගෙන යාමට අපේ පවුලෙන් දරුවෙකු මහණ කරවා ගන්න ඕනෑ. ඒ නිසා මේ දරුවෙකු මහණ කරවා ගන්නට දෙනවාද?
අපේ අම්මා එක්වරම මෙසේ කිවා "මගේ දරුවන්ට අපායට යන්නට දෙන්නට බැහැ." මා ඉතා ලපටි අවදියේ සිදුවූ මේ කතාව මගේ සිතේ තදින් ඇදි රැදී පැවතුනා.


නාහිමියන් වහන්සේ කුඩා කාලයේ පළමු වරට උපෝසථ ශිලය සමාදන් වුන දිනදී බණ අසමින් සිටියදීම සිත සමාහිත වී අනාගතයේ බුද්ධත්වය නිරුපනය කරන සංකේතයක් දර්ශනය වීම මෙසේ සදහන් කර තිබෙනවා.
"ශ්‍රද්ධාවෙන් බණ අසමින්ම සිටිද්දී මගේ හිත සමාහිත වූවාක් මෙන් අමුතුම තත්වයකට පත්වී එම බණ මඩුවේ විශාල පැරණි දැව කුළුණකට පිටදී නැගෙනහිර දිග බලා බණ වදාරණ සෝභමාන බුද්ධ ප්‍රතිමාවක් බවට මා පත්වී සිටින ආකාරය ඉතාමත් පැහැදිලිව පෙනීගියේ අසිරිමත් ලෙසිනි. ජිවිතයේ අමතක නොවන මේ සිද්ධිය මගේ නිවන් මග පෑමක් යයි සිතමි."


නාහිමියන් ගිහිකළ කුඩා අවදියේදී අවුරුදු 13 දී පමණ පළමු වරට භාවනා කිරීම ලෙස මෛත්‍රී භාවනා කිරීම ආරම්භ කල අයුරුත් ආරම්භයේදීම ධ්‍යාන මට්ටමට සිත සමාහිත වූ අයුරුත් මෙලෙස විස්තර කර තිබෙනවා.
" පුජනිය වතුරුගම අතුලවංස ස්වාමින් වහන්සේ විසින් රචිත කුඩා දහම් පොතක මෛත්‍රී භාවනාව පිළිබඳ පාඩමක් දකින්නට ලැබිණි. විශුද්ධි මාර්ගයේ දැක්වෙන පිළිවෙලටම දශ දිශාවට මෛත්‍රිය පතුරුවන පිළිවෙල පාලි බසින්ම එහි සවිස්තරව තිබුණු බැවින් එය පාඩම් කරගත්තෙමි. සෑම දවසෙම රාත්‍රී ආහාරයෙන් පසු නිදාගැනීමට පෙර නිදන ඇදෙම බද්ධ පර්යංකය බැඳ වාඩි වී බ්‍රහ්මචරියක ආජිව අෂ්ඨමක සීලය සමාදන් වී කරණිය මෙත්ත සුත්‍රය කියා ඉන් අනතුරුව සවිස්තරව දිශාවරණ මෛත්‍රිය හෙමින් හෙමින් කිය්වන්නෙමි. විනාඩි කීපයක් ඇතුලතදී සිරුර ගැන කිසිත් නොදැනී සංසිදී අහසේ ඉන්නා සේ දැනී ශාන්ත ආලෝකයක් සහිත ප්‍රීතිමත් තත්වයක් ඇතිවිය. භාවනා පාඩම නිමවන තුරු එසේ පවතී. අන්තිමට ආකාසට්ටාච භුම්මට්ඨා ගාථාවෙන් පින්දී නිදාගන්නෙමි. අළුයම පහට අවදිවීම පිණිස ඔරලෝසුවේ සීනුව නාද වීමට සලසා නිදාගන්නා නමුත් සීනුව නාදවිමට ඉතාමත් ආසන්න වී ඉබේම නින්දෙන් අවදිවීම සිදුවෙයි. අතක් පයක් වත් නොසැලී නිදාගත් වහාම එකම නින්දෙන් යුතුව සිහින දැක්මක්ද නොමැතිව සමාධි නින්දෙන් අවදි වූවාසේ ප්‍රබෝධමත්ව අවදිවීම සිදුවේ. පසුදින දවස පුරාම ඉමහත් ප්‍රීතියෙන් ගතවේ. ගාථා සුත්‍ර ආදිය කියමින් දවසේ වැඩ කටයුතු ඉමහත් සතුටින් සිදුවෙයි. මෙවැනි අනුසස් දිනපතාම රාත්‍රී මෛත්‍රී භාවනා වෙන් ලැබුණු අතර උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් තරම්වත් අසනීප තත්වයක් නොමැතිව සැපෙන් ගත කළෙමි.

පාලි වචනාර්ථයක් හරිහැටි නොදැන පාලියෙන් තිබෙන මෛත්‍රී භාවනා පමණකින් මෙතරම් අනුසස් ඇත්නම් මුළු ජිවිතයම මේ සදහා වෙන් කොට ගෙන ආරණ්‍ය ගතව පැවිදිව භාවනාවෙන් ගතකිරීමට ඇත්නම් කොතරම් ප්‍රයෝජනවත් වේදැයි සිතමින් සැමදා මෛත්‍රී වඩා පින් දී  "මට උතුම් ලෙස මහණදම් පුරන්නට තැනක් අවස්ථාවක් ලැබේවා යි " අධිෂ්ඨාන ප්‍රාර්ථනා ද කළෙමි.


නාඋයනේ අරියධම්ම හිමියන් මුළු ත්‍රිපිටකයම කටපාඩමින් මතක තිබු හිමිනමක් ලෙස බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්දයි. උන්වහන්සේ පැවිදි වී මුල් කාලයේදී නවක හිමිනමකගේ ඉල්ලීමක් අනුව තමන් වහන්සේගේ මතක තබාගැනීමේ රහස හෙළි කල ආකාරයයි මේ
" එක් දිනකදී නවක හිමිනමක් ලිපියකින් මෙසේ අයැද සිටියේය "ස්වාමින් වහන්ස පාඩම් හිටින බෙහෙත මටත් දෙනු මැනවි" යනුයි. පිළිතුරු වශයෙන් මෙසේ ලියා යැවීමි. " පාඩම් හිටීම සදහා වළඳන බෙහෙතක් ගැන මම නොදනිමි. එහෙත් මා වළඳන බෙහෙත මේකයි. උදේ පාන්දර 3.50 ට අවදි වී 4.00 සිට 5.00 තෙක් බද්ධ පර්යංකයෙන් ආනාපානසතිය වඩමි. දවසේ සෑම කටයුත්තක්ම සතියෙන් සපුරමි. මා වළඳන මේ බෙහෙත වළඳනු මැනවි."






අරියධම්ම මාහිමියන් වැඩු කමටහන් 

" පැවිදි වීමට පෙර, පාසල් අවදියේදී බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාව වඩා ඇත්තෙමි. පණ්ඩුපලාස සමයේදී ආනාපානසතියද මහාශි භාවනා මාර්ගයද වැඩුවෙමි. පැවිදිව සාමණේර අවදියේදී බුදුගුණ දහම්ගුණ සඟ ගුණ මෛත්‍රී අසුභ මරණසති ආනාපානසති මහාශි සතිපට්ටාන වැඩුවෙමි. ද්වත්තින්සාකාරය දිනපතා අනිවාර්ය කළෙමි.
උපසපන් නවක සමයේදී මහාශි සතිපට්ටාන භාවනාව වැඩියෙන් වැඩිදියුණු කළෙමි. මධ්‍යම සමයේදී අරුප ධ්‍යාන හැර සියලුම සමථ භාවනා පෙරහුරුවීම් වශයෙන් පරිකර්ම කළෙමි. අන් අයටද කියාදුනිමි. ථේර මහාථේර සමයේදී වඩාත් ප්‍රගුණ කළෙමි. උපසම්පදාවෙන් 38 වන වර්ෂයේ සිට පාඕ භාවනා මධ්‍යස්ථානයට පත්වීමෙන් ආනාපානසතිය ද්වත්තින්සාකාරය අට්ඨික ඕදාතය බ්‍රහ්ම විහාර සතර දශ අසුභය කසිණ දහය අරූප කර්මස්ඨාන සතරද යන අපර්ණා කර්මස්ඨාන මුදුනටම වැඩුවෙමි. බුද්ධානුස්සති මරණසති උපචාර ධ්‍යාන තෙක් වැඩුවෙමි.
විදර්ශනාව ධාතු මනසිකාරයෙන් පටන්ගෙන සර්ව සම්පුර්ණව සවිස්තරව විශුද්ධි මාර්ගයට අනුවම සංඛාරුපෙක්ඛා ඥාණය තෙක් ප්‍රගුණ කළෙමි. මහා සතිපට්ටාන සුත්‍රයේ එන කර්මස්ඨාන 21 ද සම්පුර්ණයෙන් සවිස්තරව වැඩිමි."


බුදුගුණ මනසිකාරය වැඩීමෙන් ලත් විශ්මිත අත්දැකීම් 

නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කම්මට්ටානාචාර්ය හිමිනමක් වන පුජනිය රුවන්ගිරිකන්දේ ස්වාමින් වහන්සේ දිනපතා රාත්‍රී නින්දට පෙර භාවනා කර අවසානයේ තමන් වහන්සේට භාවනා වැඩීමට සුදුසු ස්ථානයක් ලැබේවා යයි අධිෂ්ඨාන කර තිබෙනවා. එක් දිනක් සිහිනෙන් ගල් ලෙන, ගලක අතක සලකුණු, ගල් පියගැටපෙළ ආදී ලක්ෂණ සහිතව ආරණ්‍යයක් දර්ශනය වී තිබෙනවා. ස්වාමින් වහන්සේ එම ස්ථානය සොයා ලංකාවේ බොහෝ ආරණ්‍ය පරික්ෂා කරමින් යද්දී විහාර හින්න නම් පැරණි සිද්ධස්තානයකදී වසමින් ඉද තිබෙනවා. එක් දවසක් උපාසක මහතෙක් පැමිණ ස්වාමින් වහන්සේලාගේ තොරතුරු අසා භාවනා කිරීම් පිළිබඳවත් තොරතුරු අසා මෙසේ පවසා තිබෙනවා.
" ස්වාමිනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ නම් තමන්ට සුදුසු කමටහන ලබාගෙන නේද භාවනා වඩන්නේ? අදත් බුදු ගුණ ජීවමානයි. ඒ නිසා ඉතිපිසෝ ගාථා පාඨයෙන් දින 21 ක් ඇතුලතදී ලක්ෂවාරයක් භාවනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියට වඩිනවා. එවිට සුදුසු භාවනාවක් ලබාගෙන එය දියුණු කල යුතුය ස්වාමිනි"

එම උපාසක මහතාගේ ලක්ෂණ පිළිබඳව ගම්වාසීන්ගෙන් විමසා සිටීමේදී එවැනි කෙනෙකු ඒ ගමෙහි නැති බව දැනගන්න ලැබී තිබෙනවා. ඒ අනුව එසේ පෙනී සිටියේ අධිගම ලාභී දෙවිකෙනෙක් බව සිතා ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස දින 21ක් ඇතුලත ඉතිපිසෝ ගාථාව ලක්ෂ වාරයක් පිරීම ආරම්භ කර තිබෙනවා. අසුදහස් පමණ වාරයක් සම්පුර්ණ වන විට ජීවමාන ස්වභාවයෙන් බුදුරුව මැවී තිබෙනවා. බුදුරුව දැකීමෙන් ඇතිවූ සතුට  නිසා ඔවුන්ට කමටහන් ලබාගැනීමට ප්‍රමාද වී නොපෙනී ගිහින් තිබෙනවා. නමුත් සිත සැලීමට නොදී සමාධි සිතින් කමටහන් ඉල්ලන්නේ නම් තමන්ට සුදුසු කමටහන් ලැබෙන බව ස්වාමින් වහන්සේ දේශනා කර තිබෙනවා.


බුදුගුණ වැඩීමෙන් මාහිමියන් ලත් අත්දැකීම් මෙලෙසින් විස්තර කර තිබෙනවා

" පැවිදි වීමට පෙර නිවසේදී සිංහල විශුද්ධි මාර්ගයේ දැක්වෙන බුද්ධානුස්සති භාවනාව සවිසතරව පාඩම් කරගෙන සිටියෙමි. නාථගන ආරණ්‍යයේදී සැමදා රාත්‍රී 7.30 සිට 9.30 තෙක් එය ඉමහත් චිත්තප්‍රසාදයෙන් දිනපතා භාවිතා කළෙමි. එහි විශේෂ අනුසස් ද ලැබිණි.
පුජනිය පණ්ඩිත කඩවැද්දුව මාහිමියන් වහන්සේ දඹදිව ගොස් පෙරලා ලංකාවට වැඩමවා දඹදිව බුද්ධගයාවෙන් සදුන් නවගුණ වැලක් රැගෙන පැමිණ මා අතට දී මෙසේ නියම කල සේක.
" අරියධම්ම නම මේ නවගුණ වලට ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂ වාරයක් පුරවන්න. නිරෝගිව ශාසනික කටයුතු කරගැනීමට මෙයින් ශක්තියක් ලැබෙනවා." දිනකට 300 ක් 400ක් පමණ බැගින් නොකඩවා පුරවමින් 1964 ජුලි මාසයේ 12 වැනිදා පමණ දිනක බුදුගුණ පාඨයෙන් ලක්ෂ වාරය සම්පුර්ණ කළෙමි. සිතින් ආවර්ජනය කරමින් වර්ෂයකට ලක්ෂ වාරයක් බැගින් බුදුගුණ වැඩුවෙමි. 1969 සිට වසර එකහමාරක් තුල ඉතිපිසෝ, ස්වාක්ඛාතෝ, සුපටිපන්නෝ යනාදී සුවිසි මහාගුණ ගාථා පාඨ තුනෙන්ම ලක්ෂ වාරයක් පිරුවෙමි. 1971 විපත් සමයේදී සබ්බ පාපස්ස ගාථා පාඨයෙන් ලක්ෂ වාර දෙකක් සපුරා රටට සෙත් පැතිමි. නැවත ඉතිපිසෝ ගාථා පාඨයෙන් බුදුගුණ වැඩීමට පටන්ගෙන 1973 ජනවාරි 10 වෙනිදාට ලක්ෂ වාර 10 ක් සම්පුර්ණ කළෙමි.

එවකට ගල්දුවේ වැඩ සිටිය පුජනිය මාහිමියන් වහන්සේ විසින් මෙසේ නියමක් කෙරිණි " මෙතැන් සිට රතන සුත්‍රයෙන් ලක්ෂ වාරයක් පුරන" ලෙසටය. ඒ නියමය අනුව එකම දිනයකදී රතන සුත්‍රයේ 137 වාරය පිරුවෙමි. එදින රාත්‍රී අළුයම සිහිනෙන් දෙවිකෙනෙක් මෙසේ කීය"ස්වාමිනි තමන් ගමන් කරමින් සිටි මාර්ගයේම ගමන් කරන්න ඒ මාර්ගයේ යාමෙන් ස්වාමින් වහන්සේ සිතන තැනට සුවසේ යාගත හැකි වෙයි" යනුවෙනි. පසුදින උදයේ එම ස්වාමින් වහන්සේට කාරණය සැළකොට අවසර ගෙන නැවතත් ඉතිපිසෝ ගාථා පාඨය වඩන්නට පටන්ගතිමි. 1975 සැප්තැම්බර් 10 වෙනිදාට ඉතිපිසෝ ගාථා පාඨයෙන් 40 වෙනි ලක්ෂ වාරයක් සපිරිණි. එදින අළුයම සිහිනෙන් පුජනිය විහාරස්ථානයකට මා පැමිණ සිටින තැනට සුදුවතින් සැරසුණු බ්‍රහ්ම රාජයෙක් පැමිණි අතර භුතාවේශ වූ ආතුරයෙකු මා ඉදිරියට පිරිසක් විසින් ගෙන එනු දැක බ්‍රහ්මරාජයා මෙසේ කීය "ස්වාමිනි ස්වාමින් වහන්සේට මෙවැනි රෝගියෙකු ඉතිපිසෝ ගාථා පාඨය සිහිකළ පමණින් සුවපත් කිරීමට පුළුවනි". මම එය සිතින් පිළිගෙන නිහඬ වීමි. නැවත මෙසේද කීය "ස්වාමිනි ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධවන කාලය ස්වාමින් වහන්සේ දන්නවාද?" මා දන්නේ නැති බව කී විට  "1800" කියා බ්‍රහ්මරාජයා අතුරුදහන් විය. මමත් සිහිනෙන් අවදිවීමි. එයින් වැඩි විස්තර ඇසීමට වෙලාවක් හෝ සිතක් හෝ නොවිය.

නැවතත් ඉතිපිසෝ ගාථා පාඨය පිරීම දිගටම සිදුකලෙමි. ලක්ෂවාරය සපිරෙන ඇතැම් දින වලදී අළුයම සිහිනෙන් නොයෙක් අසිරිමත් දේ දකින්නට ලැබිණි. 2002 පෙබරවාරි 20 වැනිදා වනවිට ඉතිපිසෝ ගාථා පාඨයෙන් ලක්ෂ වාර 735 ක් සපිරි ඇත. ඉදිරියේදී තවදුරටත් වඩන්නෙමි."

නාහිමියන් සමග සිදුකල සාක්ච්චාවකදිත් උන්වහන්සේ ලත් අත්දැකීමක් විස්තර කර තිබෙනවා.
"1970 වසරේ මම ගල්දුවේ ශිෂ්‍ය පිරිසට අභිධර්මය උගන්වන අවස්ථාවක වුන සිදුවීමක්. ඒ බුදුගුණ වැඩීමේ ආශ්චර්යක්. අභිධර්මයේ නිදානය බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය භවනේ දේශනා කල අභිධර්ම දේශනාවනේ. මනුෂ්‍ය ගණනින් මාස 3 යි බුදුරජාණන් වහන්සේ දේශනාව කලේ. මම ශිෂ්‍ය භික්ෂුන්ගෙන් ප්‍රශනයක් ඇහුවා ඒ මාස 3 දිව්‍ය වර්ෂ වලින් කොපමණද කියල. මෙහෙ අවුරුදු 100ක් එහෙ එක දවසනෙ නමුත් ඒ ප්‍රශ්නයට පිළිතුරු මමවත් පෙර හිතලා තිබුනේ නෑ. ශිෂ්‍ය භික්ෂුන්ට පිළිතුරු දෙන්න බැරිවුනා. ඉතින් මම ගුරුවරයා වශයෙන් පිළිතුරු දිය යුතුයි. මම ඇහැ පියාගෙන ඉතිපිසෝ ගාථා පාඨය සිහිකළා. පුදුමයක්, එක සැණින් හිතට පිළිතුරු ආවා විනාඩි 9 යි කියලා. ඒ පිළිතුර ශිෂ්‍ය භික්ෂුන්ට කියල පසුව ගණනය කළා. නිවැරදියි."


* මිට පෙරදී  අපගේ ලිපියකින් පලකල බුදුරුව දකින බුද්ධානුස්සති කමටහන් ලිපිය කියවීමෙන් පසු  බුද්ධානුස්සති භාවනාව රාත්‍රියේ දින ගණනක්  වැඩිමෙන් එක් දිනක් සිහිනෙන් ජීවමාන ස්වරුපයෙන් බුදුරජාණන් වහන්සේ ඉතා දීප්තිමත් ආලෝකයක් සහිතව දර්ශනය වූ බවත් එම ආලෝකය ඇසට දරාගත නොහැකි තරම් ආලෝකමත් වීම නිසා සිහිනෙන් අවදි වූ පසුත් ඇසින් කදුළු වැගිරීම බොහෝ වෙලාවක් පැවතුනු බවත් එම කමටහන ප්‍රගුණ කල මහතෙකු අපට දැනුම් දුන් බව මේ මොහොතේ සිහිපත් කරන්න කැමති. මෙම කමටහන් ඕනෑම කාලයකදී උත්සහවන්තයෙකු හට ප්‍රගුණ කර ඵල ලැබිය හැකියි.




මෛත්‍රී භාවනාව වැඩීමෙන් ලත් අත්දැකීම්


" බුද්ධ ජයන්තියට ආසන්න කාලයේ ලැබුනා අතුලවංස කියන ස්වාමින් වහන්සේ ලියපු මෛත්‍රී භාවනා පොතක්. සම්පුර්ණයෙන් පාලියෙන් තිබුනේ. දස දිශාවට සියලු සත්ව කොට්ටාශ වලට මෛත්‍රී කරන හැටි. ඒක මම පාඩම් කරගත්තා. හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ පාඩම් කරලා ඇදේ බද්ධ පර්යංකයෙන් වාඩිවෙලා බ්‍රහ්මචර්ය ආජිව අෂ්ටමක ශිලය සමාදන් වෙලා කරණිය මෙත්ත සුත්‍රය කියලා අර පොතේ තියෙන මෛත්‍රී භාවනාව කළා. විනාඩි 10ක් 15ක් යනකොට මම ඉතින් අහසේ ඉන්නවා වගේ. ඇදේ ඉන්නවා කියල දැනෙන්නේ නෑ. ඇහැ පියාගෙන ඉන්නේ වටේට හද එලිය වගේ. පැය භාගෙන් පසු නිදාගන්නවා. පාන්දර 5 ට සීනුව තියාගන්නවා. සීනුව වදින්න ලං වෙනකොට මට ඉබේම අවදිවෙනවා.අතක් පයක් වත් හෙලවිලා නෑ. පසුවදා හරිම ප්‍රීතිමත් විදියට ගතකරනවා.පියතුමා භාවිතා කරන පොත්පත් ඉදහිට බලනවා. එතුමා භාවිත කරනවා විශුද්ධි මාර්ගය , උපාසක ජනාලන්කාරය , විදර්ශනා භාවනා පොත. එහිදී විශුද්ධි මාර්ගය කියවනකොට මට හිතුනා මේවා අපිට කරන්න පුළුවන්නේ කියලා. අනතුරුව පණ්ඩුපලාස සමයේදී මහා සී භාවනා ක්‍රමයත් ( උදරය පිම්බීම හැකිලීම පිළිබඳ සිහිය) න් ආනාපාන සතියත් පුහුණු උනා. ඒ භාවනා දෙක පුරුදු වෙලා පැයක් විතර සමාධියෙන් ඉන්න පුළුවන් උනා. සමුහ භාවනා පැයේදී බෝධිරක්ඛිත ස්වාමින් වහන්සේ වෙලාව බලාගෙන ඉන්නවා. භාවනා අවසන් කරන්න ස්වාමින් වහන්සේ දැන්වීමට කලින් මම ඇස් ඇර බලනවා. බලනකොට වෙලාව හරි. ස්වාමින් වහන්සේ මගෙන් අහනවා කොහොමද වෙලාව බලාගත්තේ කියලා. මම කිව්වා මට හිතුනා කියලා. ඒ කාලයේ භාවනා සම්බන්ධ පුහුණුවක් ලැබුනා. ධ්‍යාන ගැන දනුමක් නෑ. පැයක්ම චිත්ත සමාධියෙන් ඉන්නවා. ශරීරය නොදැනී ආලෝකයක් තියෙනවා. එච්චරයි දැනෙන්නේ. දීර්ඝ කාලයක් ඒ ගතිය පුරුදුකලා. ඒක ඉගෙනීමට බොහෝ ප්‍රයෝජනවත් උනා, පාඩම් මතක හිටිනවා හොදට. ධර්ම දේශනා කරනවිට ඇහැ පියාගෙන සමාධියෙන් ඉන්නවා වගේ තමයි දේශනා කරන්නේ. "


ගල්දුවේ ඉන්න කාලේ ශිෂ්‍ය පිරිසත් සමග සමසතලිස් කර්මස්ඨාන ම පුරුදු කළා. වෙන ගුරු ඇසුරක් නෑ. විශුද්ධි මාර්ගය කියවමින් ඒ උපදෙස් දන්න හැටියට තෝරාගෙන තමයි කලේ. එයිනුත් අභ්‍යාසයක් ලැබුනා. දස කසිනයම කළා. 1963 දී මැල්ලගල දී මහෝපාධ්‍යාය ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇතිව මහාසී ක්‍රමය මාස එකහමාරක් පුහුණු කළා දෙල්ගහ කුටිය කියන ගල්ලෙනේ. මම බද්ධ පර්යංකයෙන් පැය හයක් එකදිගටම භාවනා කරනවා. හවස 5 සිට රාත්‍රී 11 වනතුරු කිසිම අපහසුවකින් තොරව භාවනා කරනවා. ඊට වඩා දන්නේ නෑ. මහා සී ක්‍රමයෙහි ධ්‍යාන වැඩීමක් කියන්නේ නෑනේ. "



නාඋයනේ මාහිමියන් වැඩු පාඕ භාවනා ක්‍රමය




නාඋයනේ අරියධම්ම හිමියන් බුරුමයේ භාවනා මධ්‍යස්ථාන තුල භාවනා ප්‍රගුණ කිරීමේදී ආනාපානසති මෛත්‍රී කසිණ ආදී කමටහන් රාශියකින් රූප අරූප ධ්‍යාන උපදවාගත් අයුරු තමන් වහන්සේගේ චරිතාපදානයේ අනාවරණය කර තිබෙනවා.

" 1993 වර්ෂයේ මා සමග බුරුම රට වැඩම කල දෙනාම අතුරින් පුජ්‍ය ගාල්ලේ සංඝ සුභද්‍ර ආයුෂ්මතුන් වහන්සේ බුරුම රටේ භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසන රැසක් ගැන සොයා බලා ලංකාවට පැමිණි පසු මෝලමියෙන් ෆාඅවුක් භාවනා මධ්‍යස්ථානය ( pa auk tawya meditation center ) ගැන කල හැදින්වීම අනුව ඒ ස්ථානයට යම් දවසක යාමට බලවත් කුෂලච්චන්දයක් මාතුල පහල විය.

ගමන බිමන බොහෝසේ දුෂ්කර වුවද ප්‍රදේශය මැලේරියා රෝග උත්සන්න වුද රැන්ගුන් නුවරින් සැතපුම් 200 කටත් අධික දුරස්ථ වුද එම භාවනා මධ්‍යස්ථානයේ විශුද්ධි මාර්ගයට අනුවම සමත විදර්ශනා භාවනා ප්‍රගුණ කරන බවත් රූප අරූප අෂ්ඨ සමාපත්ති ලාභී අධිගම ලාභී ගිහි පැවිදි බොහෝ දෙනෙක් සිටින බවත් කර්මස්ථානාචර්යයන් වහන්සේ අතිශයින් විනයගරුක බවත්, කැප පඬු සිවුරු කැප පාත්‍රා පරිහරණය, මුදල් පරිහරණය නැති අපේ ප්‍රතිපත්තියට ගැලපෙන තැනක් බවත් පැහැදිලි කල නිසා ඒ ස්ථානය ගැන තදින් හිත බැදී පැවතිනි. බුරුම රටට ඇතුල් වූ පසු අපේ සිසු පිරිසක් සමග අපි දහ නමක්ම විශේෂ බස් රියකින්ම රැන්ගුන් අගනුවරින් උදේ 6 ට පිටත්ව 1996 ජනවාරි 2 වෙනිදා සන්ධ්‍යාවේ මොලමියෙන් මහා ගංගාවෙන් නැවකින් බසය එතෙර කරවා පාඅවුක් භාවනා මධ්‍යස්ථානයට පැමිණ පුජනිය පාඅවුක් සේයාඩෝ මාහිමියන් වහන්සේ දැක වැඳ පුදා ගතිමු.

පසුදින උදේ කර්මස්ථානාචාර්ය වරයන් වහන්සේ වෙත අපි දහ නම ම එළඹ පුජා සත්කාර කොට ආනාපානසති කමටහන ලබාගතිමු. තෙල් ආහාරයක් නිසා අසනීප වුවද සති තුනකින් පමණ සුවය ලැබී කමටහන් වැඩීමට හැකිවිය. පසුව සති දෙක තුනක් අතරදී ආනාපාන සතියෙන් රූප ධ්‍යාන සතරත්, ද්වත්තිංසාකාරයෙන් ප්‍රථම ධ්‍යාන වාර 32ක්, අට්ඨික ඕදාත කසිණයෙන් රූප ධ්‍යාන සතරත්, මෛත්‍රී ධ්‍යාන 528ක් සම්පුර්ණ කළෙමි.
ලංකාවෙන් අපේ සඟ පිරිසක් අප සමග බුරුම රට වන්දනාවට පැමිණි නිසාත් මාර්තු මාසයේදීම ලංකාවට මා පැමිණීමට නියමිත බැවිනුත් පෙබරවාරි මස 11 වැනිදා පා අවුක් සේයාඩෝ මාහිමියන් වහන්සේගෙන් සමුගෙන පිටත් වීමු.

පුජ්‍ය හිදෝගම සිරිවිමල ආයුෂ්මතුන් වහස්න්සේත් සමග 1996 ජුලි මස 27 වැනිදා ලංකවෙන් පිටත්වී දෙවැනි වරටත් පාඅවුක් භාවනා මධ්‍යස්ථානයට වැඩියෙමි. දෙසැම්බර් 20 දා තෙක්ම කිසිම අසනීපයක් නැතිව නැතිව සාර්ථකව කමටහන් වැඩිමි. ආනාපානසතියෙන් පටන්ගෙන ද්වත්තිංසාකාර අට්ඨික ඕදාත, බ්‍රහ්මවිහාර සතර, බුද්ධානුස්සති, දශ අශුභ, මරණසති, දස කසිණ, අරුප ධ්‍යාන සහිත අෂ්ට සමාපත්ති යන සියලුම අපර්ණා කර්මස්ඨාන සපුරා ධාතු මනසිකාරයේ සිට සංඛාරුපෙක්ඛා ඥාණය දක්වා විදර්ශනා මාර්ගය සාර්ථකව සම්පුර්ණ කළෙමි. 

1997 ජුලි මාසයේ 10 වැනිදා තෙවැනි වරටත් පුජ්‍ය සිරිවිමල ආයුෂ්මතුන් වහන්සේත් සමග බුරුම රට පාඕ මධ්‍යස්ථානයට වැඩියෙමි. ඒ වාරයේදී නැවතත් අෂ්ඨ සමාපත්ති තෙක් අපර්ණා කර්මස්ඨාන සියල්ලත්, සංඛාරුපෙක්ඛා ඥානය තෙක් විදර්ශනා ඥාන පරම්පරාවත් සපුරා විශුද්ධි මාර්ගයේ එන චුද්දසාකාර චිත්ත පරිධමනය පුරුදු කළෙමිමේ වාර තුනේදීම පුජනිය පාඕ සේයාඩෝ මාහිමියන් වහන්සේ ඉමහත් කරුණාවෙන් මා සිටින කුටියටම වැඩම කරමින් කමටහන් දීම ජිවිතයේ අමතක නොවන ආශ්චර්යමත් අනුග්‍රහයකි.

2001 ජුලි මස 15 වනදා නැවතත් බුරුමරට පාඕ භාවනා මධ්‍යස්ථානයට වැඩියෙමි. ලංකාවෙන් පිටත්වෙද්දී පැවති වාතාබාධයක් පැවතිද්දීම පෙරසේ අපර්ණා කර්මස්ඨාන සියල්ලත් අෂ්ඨ සමාපත්තිත් සපුරා සංඛාරුපෙක්ඛා ඥාණය තෙක් විදර්ශනා ඥාන ඉතා ඉක්මනින්ම මුදුන් පමුණුවා ගත්තෙමි. චුද්දසාකාර චිත්ත පරිධමනය සපුරමින් සිටින අතර ආපසු ලංකාවට පැමිණීමට කරුණු යෙදිනි.


" කසිණ ධ්‍යානාදී අපර්ණා වැඩිම ගැන ලංකාවාසී බෞද්ධයන්ගේ මහත් බියක් පවතී. එනිසාම හුදු විපස්සනාව වැඩිම පුරුදු කෙරේ. විදර්ශනාවට පාදක වන චිත්ත විසුද්ධිය නම් වූ අෂ්ට සමාපත්ති ලාභී වීමෙන් විදර්ශනාව පහසු වන බවත් තික්ෂනව සුවසේ වැඩෙන බවත් සක්සුදක් සේ පැහැදිලි කරුණකි. බුරුම රට ස්වර්ණ භූමියට අයිති මොල්මියෙන් හා මුඩොෆ් දෙනුවර අතර රමණිය කඳු පෙළක් සහිත ග්‍රාමාන්තයෙන් සැතපුම් 2ක් තරම් දුර පිහිටි පාඕ චිත්තලපබ්බත ආරණ්‍ය නමින් ප්‍රසිද්ධය. සියදහස් ගණන් ගිහි පැවිදි යෝගීන් හට ධ්‍යාන සමාපත්ති මාර්ග ඵලාධිගම තෙක් සමත විදර්ශනා කර්මස්ඨාන දෙවා වදාරණ පුජනිය අග්ගමහා කම්ම්ට්ටනාචරිය යු. ආචිණ්න සේයාඩෝ ( පාඕ සේයාඩෝ ) නාහිමියන් වහන්සේ ( pa auk sayadaw ) උගන්වන කමටහන් පෙළ පාඕ භාවනා මාර්ගය නමින් හැදින්වෙයි.
.



"මම ප්‍රිය කරන භාවනා ක්‍රමය ෆා ඖ ආරණ්‍යයේදී පුහුණු කල සමථ පුර්වාංගම විපස්ස්නාවයි. එය සැප දායකයි. ශුද්ධ විපස්සනා කරනකොට බොහෝ වේදනා විදිමින් කරන්න වෙනවා. කාට උනත් මට උනත් එහෙමයි. මේ ක්‍රමය එහෙම නොවෙයි. සමථ භාවනාව කරනකොට කයයි සිතයි දෙකම සංසිදෙනවා. ඒ නිසා ඒ ක්‍රමය පහසුයි.

එහිදී මුල කර්මස්ථානය හැටියට බුරුම රට පුජනිය ආචිණ්න සයාඩෝ මාහිමිපාණන් වහන්සේ දෙන්නේ ආනාපනසතියයි. ආනාපාන සතියෙන් ධ්‍යාන 4ක් ලබාගත්තට පස්සේ ද්වත්තිංසාකාරය දෙනවා වඩන්න. තමන්ගේ ශරීරයේ ද්වත්තින්සාකාරයෙහි කොටස් 32 ට ධ්‍යාන 32ක් උපද්දවන්න සලස්වනවා.ඊළගට දෙනවා අට්ඨික ඕදාතය. මේ ශරීරයෙහි තිබෙන ඇටසැකිල්ල ඉදිරියට ගන්නවා. විශේෂයෙන් හිස් කබල තමයි ගන්නේ. ජීවත්ව ඇති හෝ නැති අයගේ හිස් කබල් 8ක් 10ක් හිතින් ගන්න ඕනි.හිතින් ගෙන අට්ඨික සංඥාව හැර ඕදාත මනසිකාරය හෙවත් ඕදාත ආලෝකය ගන්නවා. ආනාපානසති ධ්‍යානලාභී අයට එය අපහසු නෑ. ආනාපාන චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිටලයි මේවා කරන්නේ. එවිට ඒ ආලෝකයෙන් බලාගෙන ඉන්නකොට උග්ගහ නිමිති පටිභාග නිමිති පහළවෙනවා. එකෙන් ධ්‍යාන හතරක් උපදවනවා.

ඉන් අනතුරුව මෛත්‍රී ධ්‍යාන වලට හැරෙනවා. මුලින්ම උපකාරක හිතෛෂී උතුමන් දහ දෙනෙකුට පමණ. ඊලගට මධ්‍යස්ත අයට අහිතවන්තයන්ට සිමාසම්භේද කරලා ඊළඟට ස්ථාන වශයෙන් තමන් ඉන්න කුටිය අවට පරිසරය ගම නගරය රට ලෝකය භවාග්‍රය දක්වාම මුළු ලොවම බලාගෙන මෛත්‍රී ධ්‍යාන වඩන්න ඕනේ. ඊළඟට දස දිශාවටම හැරෙනවා. දස දිශාවේ සත්ව කොට්ඨාශ දොළහටම සිත යොමු කරනවා. සත්ත්ව කොට්ටාශ දොළහ බැගින් දස දිශාවටම වශයෙන් ධ්‍යාන 528 ක් වඩනවා. ඉන් පසු පුහුණු කරනවා කරුණා ධ්‍යාන 132ක් මුදිතා ධ්‍යාන 132ක් උපේක්ඛා ධ්‍යාන 132ක් වඩනවා. ඒවාට ගන්නේ එක එක වචනය නිසා...


මේ ආකාරයට ෆා ඖ ක්‍රමය මුල සිට අගට පියවරෙන් පියවරට අංග සම්පුර්ණව විස්තර කර තිබුනත් ලිපිය දීර්ඝ වන නිසා නාඋයනේ හිමියන්ගේ දින සටහන් වාර්තා මෙතැන් සිට ඉදිරිපත් කරනවා.


02 දින අළුයම 3.00 අවදිව සිරුර පිළිදගුම් නිමවා ධම්මචක්ක සුත්‍ර සජ්ජායනා
3.40 පර්යංකයෙන් ආනාපාන සතිය . වෙනදට වඩා ප්‍රබෝදයෙන් සමාධිය පැවතිනි . ප්‍රථම ධ්‍යාන අපර්ණාවට පත්විය.
5.15 සටහන්, හිල් දානය
6.00 සක්මන්
6.45 පර්යංකය, සතර වැනි අපර්ණාවට කෙලින්ම පත්විය . නැවත පළමු වන්න සිට අනුපිළිවෙළින් සතර වැන්නට පත්වීමට හැකිවිය
8.30 සිවුරු සෝදා පැන් පහසුවීම
9.00 සක්මන් බුදුගුණ
9.30 සේයාඩෝ නාහිමියන් වහන්සේ පැමිණ කමටහන් සාකච්චාව , අද දින සතර වැනි අපර්ණාවම නැවත නැවත ප්‍රගුණ කිරීමට අවසර ලැබුනා
10.00 ලිවිම
10.30 දවල් දානය
11.30 සක්මන්
12.00 බුද්ධ වන්දනා, විවේකය
1.00 පර්යංකය, සතර වැනි අපර්ණාව බොහෝ වාරයක් ප්‍රගුණ කළෙමි
4.15 සක්මන්
5.00 පර්යංකය. සතර වැනි අපර්ණාව තෙක්
7.00 ලිවිම ,පාද සම්භාහනය
8.45 සක්මන්, පිරිත් . බුද්ධ වන්දනා
9.30 විශ්‍රාමය


5.00 සිට 7.00 දක්වා පර්යංකය, ආනාපාන සතර වැනි අපර්ණාවෙන් පසු දෙතිස් කොටසට අනුලෝම අපර්ණා 32ක්, ප්‍රතිලෝම අජ්ජත්ත බහිද්ධා අපර්ණා 27ක් සමෘද්ධ විය 

5.15 පර්යංකය, ආනාපාන චතුර්ථ ධ්‍යානය නිමවා අට්ඨික ඕදාත කසිණ චතුර්ථ ධ්‍යානය දක්වා වැඩිමි. බලවත් ආලෝකයක් ශ්‍රද්ධාවක්ද ඇතිවිය.

අද දින ඕදාත නිල පිත ලෝහිත අපර්ණා සියල්ල සමෘද්ධ විය. ආවාසයේ සිට අනන්ත ලෝකධාතු වෙත ආලෝක විහිදුවන්නට හැකිවිය.

5.10 පර්යංකය, ආනාපාන ධ්‍යාන සතර, ඕදාත ධ්‍යාන සතර, නිල පිත ලෝහිත පඨවි ආපෝ තේජෝ වායෝ ආලෝක ධ්‍යාන සතර බැගින් නිමවා ආකාස කසිණයෙන් පළමු වරට චතුර්ථ ධ්‍යානය දක්වා පැමිණියෙමි.

5.15 පර්යංකය, බුදුගුණ ආනාපාන, ඕදාත නිමවා විහාරය ගම නගරය බුරුමය ලංකාදීපය ජම්බුද්වීපය හා මේ චක්‍රාවාටය අරමුණු කොට මෛත්‍රී අපර්ණා 84ක් සපිරිමි.

2.10 පර්යංකය, ආනාපාන ඕදාත නිමවා විසිතුරු ලෙස බුද්ධානුස්සතිය වැඩුනා. දස අසුභය වැඩිමි. එකක් පාසා ප්‍රථම ධ්‍යානයට පත්වීමි.

2.15 ආනාපාන, ඕදාත පඨවි කසිණ ධ්‍යාන හතර බැගින් නිමවා ආකාසානඥ්චායතනයටද සමවැදී වික්ඤානන්චායතනයට ද පත්වීමි, ඉතා පහසුවෙන් කළහැකි විය.

2.15 පර්යංකය, ආනාපාන ඔදාත් පඨවි ධ්‍යාන සතර බැගිනි, අරුප ධ්‍යාන තුනටම පහසුවෙන් පත්වීමි.

2.05 පර්යංකය, ආනාපාන ඕදාත පඨවි නිමවා අරූප සමාපත්ති තුනට අනතුරුව සතර වැනි අරූප සමාපත්තිය පළමු කොට ලැබීම.

28 දා අළුයම ආනාපාන චතුර්ථ ධ්‍යානය තෙක් සමවැදීඉන් අනතුරුව ධ්‍යාන ධර්ම පේලියට සම්මර්ශනය කළෙමි. පෙර සේම විදර්ශනා සමාධිය දැඩි ලෙස පහල විය. උදය පර්යන්කයේදී ප්‍රථම ධ්‍යාන සම්ම්ර්ශනයේදී ඉතා දැඩි විදර්ශනා සමාධිය පහල විය. සියලු ධ්‍යාන ධර්ම සම්මර්ශන අවසානයේදී මහත් ආලෝකයෙන් අවිචියේ සිට භවාග්‍රය තෙක් ද දස දහසක් සක්වලද අනන්ත අපරිමාණ සක්වලද නොයෙකුත් සත්ත්ව කොට්ඨාශ ද අනත්ත ලක්ෂණ වශයෙන් ඉතා සිඝ්‍රයෙන් ඉබේම සිතට වැටහෙන්නට විය.


රූප අරූප ධ්‍යාන සම්පුර්ණ කිරීම්, විදර්ශනා ඥාණ වැඩීම් වලින් පසු නාඋයනේ හිමියන් නාම රූප පරිච්චේද කරමින්  තමන් වහන්සේගේ පෙර භව අනාගත භව පරික්ෂා කල ආකාරය දිනපොතෙහි සදහන් කර තිබෙනවා


7.05 පර්යංකය, රූප අරූප අජ්ජත්ත බහිද්ධා චුති-පටිසන්ධි බැලීම. ඉතා පැහැදිලිව ප්‍රතිසන්ධිය දිටිමි. පටිසන්ධි භවාංග අරමුණ රුවන්මැලි සෑය, පුර්ව භවය එහි ආරක්ෂක දේවතාවෙකි. නම මෛත්‍රී. ඊට පුර්වයෙහි තාපස කෙනෙකි. මෙහි ප්‍රතිසන්ධිය සෝමනස්ස ත්‍රිහෙතුකයි.

12.45 පර්යංකය. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සියල්ලට අනතුරුව නාම රූප අනුව පටිසන්ධියත් පුර්ව භවයෙහි දේවත්වයත් ඉන් පෙර බ්‍රහ්මත්වයත් ඊටත් පෙර දඹදිව වනගත තවුස් ජීවිතයත් අරමුණු කළෙමි.

7.00 පර්යංකය. ආනාපාන ධ්‍යාන සතරට හා පුර්ව භව තුනක් බැලීම. දේව බ්‍රහ්ම මඛාදේව පෙලේ රාජරිෂි, විහරණ අනිච්ච සඤ්ඤා වැඩු බව.


5.10 පර්යංකය. ආනාපාන බ්‍රහ්මවිහාර නාමරූප විදර්ශනා, පුර්ව භ පේලියට බැලීම. දේව- බ්‍රහ්ම- රාජරිෂි-කසුප් බුදු සමයේ සසුනේ පැවිද්ද. ත්‍රිපිටක ධර්ම ධ්‍යාන සංඛාරුපෙක්ඛා ඥාණය තෙක් විපස්සනා වඩා ඇති බව දැක්කෙමි.

16 දා බිනර පොහෝ දිනයයි. මෙදින අළුයම පරියන්කයේදී අතිතභව පරම්පරාව පටිච්ච සමුප්පාදය අනුව විදර්ශනාවට නැගීමේදී කාශ්‍යප බුද්ධ ශාසනය තෙක් ආත්ම භාව 14ක් පේලියට ගතහැකි වූ අතර දීපංකර බුදු සසුනේ සිට නියතව ආ ගමනක් ගැන තදින් අරමුණු විය. ඒ අවස්ථාවේ අනිත්‍ය අරමුණු වෙමින් ආශ්වාස ප්‍රශ්වාස නැවතී සෑහෙන වෙලාවක් දැඩි සමාධියට පත්වීමි.



5.15 පර්යංකය. ආනාපාන බ්‍රහ්ම විහාර නාමරූප විදර්ශනා මතු චුති පටිසන්ධියත් ඕදාත කසිණ ප්‍රථම ධ්‍යානයෙන් මහා බ්‍රහ්ම තල උපතත්, අවිද්‍යාදී හේතුඵල සම්බන්ධයත් විදර්ශනා කිරීම.

5.15 පර්යංකය, ආනාපාන බ්‍රහ්ම විහාර මතුභව පරම්පරාව බලමින් නාම රූප විදර්ශනාව, මින් මතු මහා බ්‍රහ්ම තලයේත්, නැවත මෙත් බුදු සසුනේ පැවිද්දත්, මතු 1800 ආත්ම භව කෙලවර බුදු බවට පැමිණීමත් අරමුණු විය.

මෙදින උදයේ පර්යන්කයේදී අනාගත භාවයන් පරම්පරාවම පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණයට විදර්ශනා වැඩීමේදී ඈත අනාගතයේ අවුරුදු ලක්ෂයකට ආයු ඇති කලෙක සම්බුද්ධත්වයට පැමිණ අවිද්‍යාදීන්ගෙන් නිරෝධයට පත්වන සැටි පෙනී බලවත් චිත්ත සමාධියක් ඇතිවිය."





* පංච අභිඥා අෂ්ට සමාපත්ති ලබාගන්නා ආකාරය පිළිබඳ ලිපිය :- ( කියවීමට මෙතන ක්ලික් කරන්න )


* අප වැනි සාමාන්‍ය මිනිසුන් එක් භාවනාවකින් එක් ධ්‍යානයක් ලබාගැනීමටත් වර්ෂ ගණන් වෙහෙසෙද්දී නාඋයනේ මාහිමිපාණන් ඉතා පහසුවෙන් ඕනෑම භාවනාවකින් රූප අරූප ධ්‍යාන සිය ගණනක් ඉතා කෙටි කලෙකින් අත්කරගැනීම සැබවින්ම උන්වහන්සේ සතු අත්භූත ආශ්චර්යජනක ගුණයකි.

* මිනිසුන් අතරින් භාවනා කිරීමට සිත් ඇතිවන්නේ 100න් 1 කට පමණය. ඒ අතරින් ධ්‍යාන ලබාගන්නේ 1000න් එකක් පමණය. ඒ අතරිනුත් ඉතා ඉක්මනින් පහසුවෙන් ධ්‍යාන ලබාගන්නේ 10000 කින් එකක් පමණය. ඒ අතරින් එක් භාවනාවකින් සියළු ධ්‍යාන උපදවාගන්නේ 10000 කින් 1ක් පමණය. දස කසිණ දස අනුස්සති ආදී සියලු භාවනා වලින් ධ්‍යාන එකක් දෙකක් උපදවා ගන්නේ 100000 කින් එකක් පමණය. සියලු භාවනා තුලින් සියලු රූප අරුප ධ්‍යාන උපදවා ගන්නේ දසලක්ෂයකින්  එකක් පමණය. සියලු භාවනා වලින් සියලු ධ්‍යාන උපදවා සියලු අභිඥා උපදවා විදර්ශනා ඥානද උපදවා ගන්නේ කෝටියකින් මිලිනයකින් එකක් පමණය. මෙය ඒ තරම් අසීරු දුර්ලභ ඉතාමත් කලාතුරකින් සිදුවන සිදුවීමකි. නාඋයනේ අරියධම්ම හිමියන් යනු එවැනි ලෝකයේ ඉතාමත් දුර්ලභ ඉතාමත් අසිරිමත් හිමිනමකි. රහතන් වහන්සේලා අතර පවා එවැනි පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභී උතුමන් සිටීම දුර්ලභ බව ත්‍රිපිටක දේශනා කියවීමෙන් දක්නට ලැබේ. නමුත් එවැනි ආශ්චර්යමත් හිමිනමක් තමන් සිටි රටේ සිටි බවවත් නොදන්නා ලාංකිකයන් කොපමණක් ලංකාවේ සිටීද?
එසේනම් රහතන් වහන්සේලා මගපල ලාභී උතුමන් වහන්සේලා පිළිබඳව නොදැනීම අරුමයක්ද?



" ලංකාවෙන් පැමිණි භාවනා යෝගීන් අතරින් මා දන්නා සියලු භාවනා එපරිද්දෙන්ම ප්‍රගුණ කල හැකි වූ එකම කෙනා නාඋයනේ අරියධම්ම ස්ථවිරයෝ පමණි."
- බුරුමරට මොලමියන් නුවර ෆා ඖ භාවනා මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත අග්ගමහාකම්මට්ඨානචරිය අතිපුජනිය ෆා ඖ ආචිණ්න සේයාඩෝ මහා ස්වාමින් වහන්සේ.


රෝග පීඩාවෙන් කය කෙතරම් පිඩාවට පත්වුවත් අපවත් වන තෙක්ම නාඋයනේ මාහිමියන් ධ්‍යානගත සිතින් සතිමත්ව වාසය කල බව අවසන් අවස්ථාවේ ශිෂ්‍ය භික්ෂුන් අමතා  කල ප්‍රකාශයකින් තේරුම් යනවා
" ආයුෂ්මතුන් මේ විදියට ජිවත්වන එක තේරුමක් නෑ. මම දැන් මේ කය අත්හරින්නයි කල්පනාව"




නාඋයනේ අරියධම්ම හිමියන් සදහන් කර ඇති උන්වහන්සේගේ අති පිරිසිදු ප්‍රාර්ථනාවේ කොටසක්

" දිනපතා රැස්පත් කරගන්නා වූ සකල කුශල සම්භාර ධර්මය මා හට සර්වඥතා ඥාන ප්‍රතිලාභය පිණිසම හේතුවේවා. ඒ සදහාම පාරමිගුණ බෝධි සම්භාර ධර්ම පූරණය පිණිස මේ ජීවිතයේදී ත්‍රිපිටකධාරී වීමටත් පංචාභිඥා අෂ්ට සමාපත්ති ලාභී වීමටත් සංඛාරුපෙක්ඛා ඥාණ තෙක් විදර්ශනා ඥාණයන් දියුණු වීමටත් ඒ ධර්මයන්ගෙන් නොපිරිහි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ලැබීමටත් ශක්තිය ලැබේවා.ඒ සදහා කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් විවේක සම්පත්තියත් නිරෝගී සම්පත්තියත් ප්‍රඥාවත් ලැබේවා. කිසිම කලෙකත් ලාභ සත්කාර කිර්ති ප්‍රශංසා ආදියට මගේ සිත නොනැමේවා. පිරිසිදු තිසරණධ්‍යාශයෙන්ම ශාසන පරමාර්ථය සපුරාලීමේ ශක්තිය ලැබේවා..........

....... මතුබුදුවන මෛත්‍රී බුද්ධ ශාසන කාලයේදී මනුලොව කේතුමතී රාජධානියෙහි ඉපදී ප්‍රථම වයස්දීම බුදු සසුනට උදාර ලෙස සිවුපසයෙන් සංග්‍රහ කොට පැවිදි උපසම්පදා ලබා ත්‍රිපිටකධාරිව පංච අභිඥා අෂ්ඨ සමාපත්ති ලාභිව මතු බුදුවන බවට නියත විවරණ ලබාගැනීමට වාසනා වේවා. නිවන් දකිනතුරු ලොව පහළවන තාක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සම්මුඛ වීමටත් සිවුපසයෙන් උපස්ථාන කිරීමටත් බුදුසසුන්හි පැවිදි උපසම්පදා ලාභිව නියත විවරණ ලබාගැනීමටත් හේතු වාසනා වේවා......

........යම් කලෙක මෛත්‍රී සර්වඥ රාජයාන් වහන්සේ ලෝකයේ පහළවෙත්ද එකල ඒ බුදුරජාණන් වහන්සේටද ධර්ම රත්නයටද සංඝ රත්නයට්ද පුජා සත්කාර කොට බුද්ධකාරක ධර්ම ඉතිරියක් නැතිව සම්පුර්ණ කොට මමද අනාගතයෙහි සම්මා සබුද්ධත්වයට පත්වන්නෙමි......

මෙම ධර්ම දානයෙන් අත්වන සියලු කුසලයෙන් මෙහි සදහන් කලද නොකලද සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා...!!!



මෙම ලිපිය නාඋයනේ හිමියන්ගේ චරිතාපදානයට හැදින්වීමක් පමණයි . ලිවීමේ පහසුව සදහාත් ලිපිය අධිකව දීර්ඝ වන නිසාත් සුළු කොටසක් පමණක් මෙම ලිපියට අන්තර්ගත කිරීමට සිදුවුනා.
*** නාඋයනේ අරියධම්ම හිමියන්ගේ සම්පුර්ණ චරිතාපදානය සහිත pdf පිටපත  බාගත කරගැනීමට :- ( මෙතන ක්ලික් කරන්න )
මෙවැනි අසිරිමත් චරිතාපදාන නොකියවන මිනිස් භවයකින්, ඇස් දෙකකින් පලක් නැත.


* නාඋයනේ අරියධම්ම හිමි විසින් රචිත ග්‍රන්ථ බාගත කරගැනීමට :- (මෙතන ක්ලික් කරන්න )



*** ගෞරවනීය මහනාහිමියන්ගේ චරිතය අධ්‍යනය කිරීමෙන් බෝසතාණන් වහනසේලා අන්‍ය බුද්ධ ශාසන තුල කටයුතු කරනා ආකාරය හොදින් අවබෝධ කරගන්න පුළුවන්. සත්‍ය බෝසතුන් වහන්සේලා, සත්‍ය රහතන් වහන්සේලා සත්‍ය ධ්‍යාන ලාභින් කිසිවිටෙකත් බුදුන් දේශනා කල ධර්මයට වෙනස් වූ වචනයක් වත් දේශනා කරන්නේ නෑ. බුදුරජානන් වහන්සේට  වඩා තමන් උලුප්පා පෙන්වන්න යන්නේ නෑ. තමන් වහන්සේ මතු බුදුවන බව දැන දැනත් තමන්ගේ අමුතු බණක් දේශනා නොකර රාහුල හිමියන් මෙන් ඉතාම නිහතමානිව බුදුන් දේශනා කල ධර්මය පිළිපදිමින් බුදුන් දේශනා කල විනයට සම්පුර්ණයෙන්ම එකග වෙමින් සාමාන්‍ය භික්ෂුවක් ලෙසින්ම කටයුතු කරනවා. පිරිසිදු ථෙරවාද ධර්මය මිස ඔවුන් බෝධිසත්ව සංකල්ප ඇති මහායාන ඉගැන්වීම් පිළිපදින්නේ නෑ.
* මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් වැඩ සිටි සමයේම පැවිදි වී මහණදම් පිරු ආකාරය ත්‍රිපිටක දේශනා තුල කියවිමේදීත් මේ බව දකින්න ලැබෙනවා.
* මතු බුදු වන ආනන්ද මෛත්‍රී හිමියන්ගේ චරිතාපදානය කියවමිත් මේ ලෙසටම ක්‍රියා කල බව දකින්න ලැබෙනවා.

එමනිසා බුදුන් දෙසු ධර්මයට විරුද්ධ දේ ප්‍රකාශ  කිරීම, බුදුබණ පසෙක දමා තමන්ගේ මත ප්‍රකාශ කිරීම, ධර්මය විකෘති කිරීම කිසිසේත්ම බෝධිසත්ත්ව ලක්ෂණ නොවන බව පැහැදිලි වෙනවා.

* එසේම ධර්ම ප්‍රතිපදාව ඉහළටම ප්‍රගුණ කර කෙලවර තෙක් සියලු ඵල උපදවා ගත් මෙවන් හිමිවරුන් කිසිවෙක් කිසිදාක මේ  "බුදුදහම ආගමක් නොව දර්ශනයක්" යයි කියමින් ශිලයට ශ්‍රද්ධාවට පුද පුජා වලට පිංකම් වලට කිසි විටෙකත් ගරහා නැ. සමත විදර්ශනා වැඩිම මෙන්ම එක ලෙසම පුද පුජා හා පිංකම් ආදිය මේ හිමිවරුන් සම සමව ප්‍රගුණ කර තිබෙනවා. ඒවා එකලෙසම නිවනට මගපලයන්ට ධ්‍යාන යන්ට උපකාර වන බව ඒ උතුමන් වහන්සේලා හොදාකාරවම දන්නවා.


*** පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභී නාඋයනේ අරියධම්ම මහානාහිමියන්ගේ මෙම හෙළිකිරීම් අධ්‍යනය කිරීමේදී විශුද්ධි මාර්ගය ධ්‍යාන වඩන්නන්ට මගපල වඩන්නන්ට කොයි තරම් මහෝපකාරී වන අතිශය පුජනිය ග්‍රන්ථයක්ද යන්න ඉතාම හොදින් පැහැදිලි වෙනවා.
නමුත් මෙකළ බිහිවී ඇති ධ්‍යානයක් වත් නොලැබූ පුද්ගලයන් විශුද්ධි මාර්ග ග්‍රන්ථ රත්නයට අපහාස කිරීමෙන්ම, විශුද්ධි මාර්ගය පිළිබඳ මිනිසුන් අපැහැදවීමෙන්ම ඔවුන් ඒකාන්තයෙන්ම බුදුදහම විනාශ කිරීමට පැමිණි මාර දුතයන් බව ඔප්පු වෙනවා.
එවැනි මත පිළිගත් පුද්ගලයන් විශාල ගණනින් බුද්ධඝෝෂ හිමියන් හටත් විශුද්ධි මාර්ගයටත් අපහාස කරන බව අන්තර්ජාලයේ දකින්න ලැබෙනවා. අතීත රජ දවසේ පටන් අද දක්වාම සියදහස් ගණන් ගිහි පැවිදි යෝගින්ට ධ්‍යාන අභිඥා මගපල ලබාගැනීමට මහෝපකාරී වූ  විශුද්ධි මාර්ග ග්‍රන්ථ රතනයට අපහාස වන ලෙස එක් වචනයක් කීමත් ආත්ම ගණනාවකට ධ්‍යාන මගපල අහිමි වීමටත් තිරිසන් ආදී අපායන්හි ඉපදීමටත් ඒකාන්තයෙන්ම හේතුවෙනවා!!!



මෙම ලිපිය ලිවීමේදී අත්දුටු විශේෂ අත්දැකීමක් මෙහිදී සදහන් කිරීමට තීරණය කළා. නාඋයනේ අරියධම්ම හිමියන් පිළිබඳව මේ තොරතුරු දැනගැනීමට ලැබුනේ උන්වහන්සේ අපවත් වීමෙන් පසුකාලීනව. ඒ නිසා මට උන්වහන්සේ එක් වරක් හෝ මුණගැහිමට අවස්ථාවක් ලැබුනේ නෑ. මෙම ලිපිය මුලින්ම ලිවීමට තීරණය කලේ මිට මාස 6 කට පමණ පෙර. මේ ලිපිය මම ලිවීමට තීරණය කලේ ප්‍රධාන වශයෙන්ම නාඋයනේ අරියධම්ම මහා නාහිමියන් හට ගෞරවයක් විදියට. ලිපිය ලිවීමට ආරම්භ කර මුල් කොටස ලියමින් තිබියදී එක් දිනක් සිහිනයෙන් මා සිටිනා ස්ථානයකට නාඋයනේ හිමියන් වැඩමවා ඇති බව දකින්න ලැබුනා. මා උන්වහන්සේ හට හිඳගැනීමට ගෞරව සම්පන්න ආසනයක් සකස් කර එයට සුදු පිරුවටයක් එළා සකසා දුන්නත් උන්වහන්සේ එහි වාඩි නොවී සිටගෙනම සිටියා. මේ සිහිනය නිසාම ලිපිය ලිවිම මාස ගණනක් ප්‍රමාද කළා. කෙටි සිහිනයක් වුනත් ඒ සිහිනයෙන් අදහස් වුයේ නාඋයනේ හිමියන් තම අසිරිමත් ජිවන තොරතුරු අන් අයට දැනගැනීමට ලියා තැබුවේ තමන් වහන්සේට ගෞරවයක් ලබාගනීමට නොව බොහෝ දෙනාගේ හිත සුව පිණිස බව නිරුපණය කිරීමක් බව මම හිතනවා.



ලොවට මහත් කරුණාවෙන් නිවැරදි ධර්ම ප්‍රතිපදාවේ අනුසස්, නිවැරදි භාවනාවේ අනුසස් හෙළිකර සිත දියුණු කරන්නන් හට මග පෙන්වන ආලෝකයක් වූ බඹලොව වැඩ සිටින නාඋයනේ අරියධම්ම මහා නාහිමියන් හට මේ ධර්ම දානයෙන් රැස්වන සියලු කුසල් අනුමෝදම් වී අසිරිමත් මතු බුදු බව ලබත්වා...!!!


නාඋයනේ අරියධම්ම හිමියන් දේශනා කල මෛත්‍රී වැඩීමෙන් ලත් සුවිශේෂී අත්දැකීම් :- 

Comments

  1. Budu awa lebewa. Obatath theruwansaranai

    ReplyDelete
  2. සාධු සාධු සාධු මතු බුදුවන ඔබවහන්සේගේ දෙපා යුගල මාගේ හිසින් වන්දනා කරමි.
    මේ ලිපිය කියවද්දිත් හද ගැස්ම පවා වැඩි වෙනවා කදුළු වැගිරෙනවා...
    මා හටත් කරනා වූ යම් කුසල කර්මයක් ඇද්ද උන්වහන්සේ දැකගැනීමට මට එය හේතු සම්පත්තියක් වේවා!!!
    ඔබටත් පිං අනුමෝදන් කරමි!!!

    ReplyDelete
  3. නමෝ බුද්ධාය.....සාදු...සාදු..සාදු..

    ReplyDelete
  4. මතු බුදු වන ස්වාමීන් වහන්සේ නමක් ගැන පැහැදිලිව විස්තර කරදීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා.... මේ ධර්ම දානයේ පින ඔබටත් ඔබතුමාගේ දෙමාපිය, ගුරුවර ආදීන්ටත් අනුමෝදන් වේවා....

    ReplyDelete
  5. Thawa me wage budankurayan wahansela gana lipiliyanna

    ReplyDelete
  6. සාදු සාදු සාදූ...

    ReplyDelete
  7. පින් ඹබතුමාට අපව දැනුවත් කලාට. නාඋයෙන් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය ෙව්වා!!!

    ReplyDelete
  8. සාදු සාදු සාදු!!!
    මෙ ධර්ම දානය ඔබටත්,පවුලේ සැමටත් ධර්මාවබෝධය පිණිස හෙතුවෙවා!!!

    සියලු සත්වයො
    නිදුක් වෙත්වා!
    නීරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා!

    තෙරුවන් සරණයි සැමට
    සුවපත් වෙත්වා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියන්න වචන නැහැ නා උයනේ හාමුදුරුවන් ගැන මෙච්චර දේවල් දැනගත්තේ අද

      ගොඩාක් පිං
      තෙරුවන් සරණයි යාලුවා

      Delete
  9. සාධූ සාධූ 🙏🙏 මෙවන් සිල්වත් ගුණවත් මහා උතුමන් වහන්සේලා ගැන අසන්නට ලැබීමද මහගු පිනකි.🌼🌼🙏🙏

    ReplyDelete
  10. Oba thuma kauda kiya nodanimi, oba thuma kauru unath mihipita dewi keneki, jeewithaye bhawanawata namburu wu da sita garuthwayen sawan dena. Athi pujaneeya nauyane himiyan gana sandahan kirimath, pahadiliwa bhawana krama gana kiyadeeme pinenuth, oba thumata me jeewithayedima ashta samapaththiya pahala wewa. Sithana pathana ayurakin ama maha niwana awabodha karaganimatath me pinama hethuwewa 🙏🙏🙏

    ReplyDelete
  11. මේකේ කියන විදියට නා උයනේ අරියධම්ම නාහිමි ධ්‍යාන ගැන කියන්නේ ඇදක් උඩ වාඩි වී යැයි කියනවා ඒ කියන්නේ බිම වාඩිවීම අනිවාර්ය නොවන බවද ධ්‍යාන වැඩීමට? ඇදක් උඩ ඉඳන් උනත් පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ධ්‍යාන ලබන්න බිම්ම ඉන්න ඕනි නෑ

      Delete
  12. සාධු !සාධු !සාධු ! ඔබ වහන්සේ පිළිබඳ දැන ගැනීමට ලැබීමත් , මා ලද භාග්‍යයක් සේ සළකමි. ඔබ වහන්සේ ගමන් ගන්නා ශුද්ධ මාර්ගය මා හටද පසක් වේවා !

    ReplyDelete

Post a Comment