Featured Post

ස්ථුප හා බෝධි වන්දනාව බුදුන් අනුමත කළ අයුරු



මේ කාලයේ ධර්මය කොනකින් අල්ලාගත් එක් බෞද්ධ කාණ්ඩයක් බුදුදහමේ ස්ථුප වන්දනා බෝධි වන්දනා ආදිය නැතිය, බුදුන් වදාළේ දර්ශනයක්ය, කල යුත්තේ පිංකම් නොව විදර්ශනා වැඩිම හා දර්ශනය අවබෝධ කරගැනීමය ආදී මත පලකරන බව දකින්න ලැබෙනවා. පිංකම්, වන්දනා ආච්චි සීයලා අන්ධ ලෙස කරන  කරන පහත් දේ ලෙස හොවා දක්වමින් තමන් පිළිගත් මතය උසස් එකක් බව මතුකරමින් තමන් මහා දාර්ශනිකයන් ලෙස පෙනී ඉන්න මොවුන් උත්සහ කරනවා. මෙවැනි පුද්ගලයන් හට කිසිසේත්ම බුදුන් කවුද යන්න පිළබඳව කිසිම අවබෝධයක් ඇත්තේ නෑ, බුදුන් දෙසු ධර්මය කුමක්ද යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් ඇත්තේ නෑ. දර්ශනයක් හා විදර්ශනාවක් පිළිබඳ උදම් ඇනුවාට ඔවුන් කිසිදා සමත විදර්ශනා සතර සතිපට්ටාන ආදිය වඩා ලැබූ අධිගමයක් ඇත්තෙත් නෑ. තමන්ගේ කුඩා මොළයට හසුවන පොඩ්ඩ තමයි ධර්මය කියා ඔවුන් විසින්ම සිතාගෙන ඉන්නවා. මෙවැනි මත බිහිවීමට හේතුව කණා මැදිරි ඉලිය තරම් අල්ප නුවණින් යුක්ත අන්ධ බාල පෘතග්ජනයන් තමන්ගේ කුඩා නුවණට හසුවන ලෙස සුර්යාලෝකය තරම් බුදු නුවණ විග්‍රහ කරන්නට යාමයි. අන්ධයන් අලියාගේ හැඩය කිව ආකාරයට මොවුන් ධර්මය විග්‍රහ කරන්න යනවා.


බෝධි වන්දනාව හා ස්ථුප වන්දනාව බුදුරජාණන් වහන්සේ විසින්ම කල යුතු බවට අනුදැන වදාළ වන්දනාවන් දෙකක්. බෝධි වන්දනාව ආරම්භ වුනේ බුදුන් වැඩ සිටි සමය තුලදිමයි. 

දෙව්රම් වෙහෙරේ වැඩ විසූ භාග්යවතුන් වහන්සේ වස් පවාරණය කොට භික්ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩි සේක. ඇතැම් මනුෂ්යයෝ බුදුරජුන් බැහැ දැකීම පිණිස දුර බැහැර ගෙවාගෙන මල්, සුවඳ ද්රව්ය හා පිරිකර රැගෙන දිනපතා ම පැමිණෙන්නට වූහ. එහෙත් බුදුරජුන් විහාරයේ නැති බැවින් ඔවුහු මහත් දුකට පත්ව රැගෙන ආ පූජා වස්තූන් පිදීමට තැනක් සොයන්නට විය. දෙව්රම් වෙහෙරේ එබඳු තැනක් නොතිබුණු හෙයින් ඔවුන් එම පූජා වස්තූන් ගන්ධකුටියේ ඉදිරිපස තබා ගියාහු ය.

මෙය දුටු අනේපිඬු සිටුවරයා ආනන්ද තෙරුන් හට මෙකරුණ සැල කළේ ය. එවිට ආනන්දයන් වහන්සේ බුදුරජුන් සමීපයේ මෙය පවසා සිටියේ ය.

ස්වාමීනී, තථාගතයන් වහන්සේ නොමැති අවස්ථාවක, බුදුරජුන්ට පිදෙනා පූජාවන් පිදීමට සුදුසු චෛත්යයෝ තිබෙත්දැයි විමසූ විට, භාග්යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළ සේක.

ආනන්දයෙනි, ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ලෙස චෛත්යයෝ තුනකි. ශාරීරික චෛත්ය යනු සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බුද්ධ ශ්රී දේහයේ ධාතු නිධන් කරවා කරවන චෛත්යයන් ය. ආනන්දයෙනි, පාරිභෝගික චෛත්යයක් වන බෝධීන් වහන්සේ, බුදුරජුන් ජීවමාන කල ම පිදීමට සුදුසු ය.

මෙය ඇසූ ආනන්දයන් වහන්සේ බුදුරජුන්ගෙන් අවසර ගෙන ගයාවේ ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ බීජයක් ගෙන්වා ගැනීමට මොග්ගල්ලාන තෙරුන් පිටත් කර හැරී ය. මොග්ගල්ලානයන් වහන්සේ ජය ශ්රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් ගෙන එය කොසොල් මහරජුට භාර දුනි. එය රජු විසින් අනේපිඬු සිටුවරයාට දුන් අතර එතුමා දෙව්රම් වෙහෙර ඉදිරිපිට රෝපණය කළේ ය. අසිරිමත් බුද්ධානුභාවයෙන් එකෙණෙහි ම අතුපතර විහිදී ගිය මහා බෝධි වෘක්ෂයක් බවට පත් විය. භාග්යවතුන් වහන්සේ එදින රැය පහන් වන තුරු බෝධිය අසල සමවත් සුවයෙන් වැඩ හිඳ එහි පූජනීයත්වය වැඩි කළ සේක.
ආනන්ද ස්වාමීන් වහන්සේ මූලික වීමෙන් රෝපණය වූ නිසා මෙය ආනන්ද බෝධිය නම් වී යැයි කියනු ලැබේ. 




චෛත්‍ය හදන්න , ධාතුන් වලට වන්දනා කරන්න බුදුන් දේශනා කලේ නෑ කියා ධර්මය නොදත් අන්ධබාල බෞද්ධ පෘතග්ජනයන් දෙඩවුවත් මහා පරිනිබ්භාන සුත්‍රයේදී බුදු රජාණන් විසින්ම බුදු පසේබුදු බුද්ධ ශ්‍රාවක යන උතුමන්ගේ ධාතුන් වඩා හිදවා චෛත්‍ය ඉදිකර වන්දනා කල යුතු බවත් එයින් බොහෝ දෙනෙකුට කුසල් අත් වන බවත් දේශනා කර තිබෙනවා.


‘‘කථං පන, භන්තෙ, තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බ’’න්ති?

‘‘යථා ඛො, ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බ’’න්ති.

‘‘කථං පන, භන්තෙ, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්තී’’ති?

‘‘රඤ්ඤො, ආනන්ද, චක්කවත්තිස්ස සරීරං අහතෙන වත්ථෙන වෙඨෙන්ති, අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙන්ති, විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙන්ති. එතෙනුපායෙන පඤ්චහි යුගසතෙහි රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං (සරීරෙ (ස්‍යා. ක.)) වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජිත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුමහාපථෙ (චාතුම්මහාපථෙ (සී. ස්‍යා. කං. පී.)) රඤ්ඤො චක්කවත්තිස්ස ථූපං කරොන්ති . එවං ඛො, ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. යථා ඛො, ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බං. චාතුමහාපථෙ තථාගතස්ස ථූපො කාතබ්බො. තත්ථ යෙ මාලං වා ගන්ධං වා චුණ්ණකං(වණ්ණකං (සී. පී.)) වා ආරොපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා චිත්තං වා පසාදෙස්සන්ති තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.

“ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි කෙසේ පිළිපැද්ද යුත්තේ දැයි” ඇසුවේය,
“ආනන්දය, චක්‍රවර්ති රජහුගේ ශරීරයෙහි යම්සේ පිළිපදින්නාහුද තථාගතයන් වහන්සේගේ මෘතශරීරයෙහිද එපරිද්දෙන්ම පිළිපැද්ද යුත්තේයයි” කීවෝය.
“ස්වාමීන් වහන්ස, චක්‍රවර්ති රජහුගේ මෘත ශරීරයෙහි කෙසේ පිළිපදින්නාහු දැයි?” ඇසුවේය.
“ආනන්දය, චක්‍රවර්ති රජහුගේ මෘත ශරීරය අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය. අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළා මනාකොට නගා හදනලද කපු පුලුනෙන් වෙළන්නාහුය. නගා සාදනලද කපු පුලුනෙන් වෙළා අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය මෙම ක්‍රමයෙන් පන්සියයක් පමණ පුළුන් වස්ත්‍ර දෙකෙන් දෙක සක්විති රජහුගේ මෘත ශරීරය වෙළා රත්තරනින් සැදූ තෙල්දැමූ දෙණක තබා අනික් රන් පියනකින් වසා සියලු සුවඳ දරින් දරසෑයක් කොට චක්‍රවර්ති රජහුගේ ශරීරය දවන්නාහුය. සතරමංසන්ධියක චක්‍රවර්ති රජහුගේ ථූපයක් (සොහොනක්) කරන්නාහුය. ආනන්දය, සක්විති රජහුගේ ශරීරයෙහි, යම් ආකාරයකින් පිළිපදින්නාහු වෙද්ද, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ ශරීරයෙහිද පිළිපැද්ද යුත්තේය. සතරමංසන්ධියක තථාගතයන් වහන්සේගේ චෛත්‍යය කටයුත්තේය. ඒ සර්වඥ චෛත්‍යයෙහි යම් සත්වකෙනෙක් මල් පහන් සුවඳ ආදිය පූජා කරන්නාහු වෙද්ද, හොඳින් වඳින්නාහු වෙද්ද, සිත හෝ පහදවන්නාහු වෙද්ද, ඒ කුසලය ඔවුන්ට ඉතා බොහෝ දීර්ඝ කාලයක් හිත සැප පිණිස වන්නේයයි” කීවෝය.

“ආනන්දය, චෛත්‍යයට සුදුසුවූ පුද්ගලයෝ මොහු සතර දෙනෙක් වෙත්, ඒ සතරදෙන නම් කවුරුහුද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසු වන්නේය. පසේබුදු රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේය. සර්වඥ ශ්‍රාවක තෙම චෛත්‍යයට සුදුසු වන්නේය. සක්විති රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේය. ආනන්දය, කවර නම් අර්ථ සිද්ධියක් පිණිස අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසු වන්නේදැයි යතහොත් ‘මේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ චෛත්‍යයයි” කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවත්. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශවී මරණින් මත්තෙහි සැපයෙන් යුත් ස්වර්ගලෝකයෙහි උපදනාහුය.
“ආනන්දය, මේ අර්ථසිද්ධිය පිණිස අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම චෛත්‍යයට සුදුසුයයි” කීවෝය.
“ආනන්දය, කවරනම් අර්ථ සිද්ධියක් හේතුකොට ගෙන පසේබුදු රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේද? ‘මේ ඒ භාග්‍යවත්වූ පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයයි’ කියා ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවා ගන්නෝය. ඒ සත්වයෝ ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීරය විනාශවී මරණින් මත්තෙහි සැප ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදනාහුය. ආනන්දය, මේ අර්ථසිද්ධිය පිණිස පසේබුදු රජතෙම චෛත්‍යයට සුදුසුයයි” කීවෝය.
“ආනන්දය, කවර නම් අර්ථ සිද්ධියක් සඳහා තථාගත ශ්‍රාවක තෙම චෛත්‍යයට සුදුසු වන්නේද? ‘මේ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ චෛත්‍යයයි’ කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවා ගන්නෝය. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවා ගෙන ශරීරය විනාසවී මරණින් මත්තෙහි සැප ඇති ස්වර්ග ලොකයෙහි උපදනාහුය, මේ අර්ථසිද්ධිය සඳහා තථාගත ශ්‍රාවකතෙම චෛත්‍යයට සුදුසු වන්නේයයි කියා වදාළේය.

ආනන්දය, කවරනම් අර්ථසිද්ධියක් පිණිස චක්‍රවර්ත්ති රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේද? ‘මේ ඒ ධාර්මිකවූ ධර්මරාජවූ සක්විති රජහුගේ චෛත්‍යයයි’ කියා ආනන්දය, බොහෝ ජනයෝ සිත් පහදවා ගන්නෝය, ඒ සත්ත්වයෝ ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීරය විනාශවී මරණින් මත්තෙහි ස්වර්ගලොකයෙහි උපදනාහුය ආනන්දය, මේ අර්ථසිද්ධිය සඳහා සක්විති රජතෙම චෛත්‍යයට සුදුසු වන්නේය. ආනන්දය, හතර ආකාරවූ චෛත්‍යයට සුදුසුවූ පුද්ගලයෝ මොහු සතරදෙන නම් වන්නාහුයයි”
කීවෝය.


මිට අමතරව තවත් බොහෝ දේශනා වලදී බුදුන් ස්ථුප හා බෝධි වන්දනාවේ ගුණ වර්ණනා කල අවස්ථා තිබෙනවා. විශේෂයෙන් විමාන වත්ථු දේශනා වල ස්ථුප වන්දනා කිරීමෙන්ම පමණක් දෙව්ලොව ඉපදුනු දෙවිවරුන් සිය ගණනක් පිළිබඳව සදහන් වෙනවා.


"පින්වත් දෙව්දුව, ඔබට රන්වන් දිව්ය සළු තියෙනවා,රන් ආභරණ වලින් සැරසිලා ඉන්නවා, ඔබගේ ප්රාසාදයත් රන්වන්, සයනාසනත් රන්වන්, දිවය රථ රන්වන්, රන්වන් අශ්වයන් සිටිනවා, ඔබ මෙවන් විපාකයක් ලැබුයේ කුමන කුසල කර්මයකින්ද?"

"සක් දෙවිඳුනි, මම මනුස්ස ආත්මෙදි දිනක් වැටකොළු වැලකින් මල් 4ක් කඩාගත්තා ,ඒ මල් අරන් බුදුරජුන්ගේ ස්ථුපය වන්දනා කරන්න ගියා.උතුම් බුදු සිරුර ගැන සිතද්දී මට මහා සතුටක් දැනුනා,ඒ උතුම් ධාතු සහිත ස්ථුපය ගැනම සිත සිත ඉදිද්දී වන්දනා කිරීමට පෙරම පසුපසින් ආ ගව දෙනක් ඇන මා මරණයට පත් උනා.පින්වත් දෙවෙන්ද්රයනි බුදුගුණ මනසිකාර පිනෙනුයි මේ සියලු සැප ඉපදුනේ"

"මේ බලන්න මාතලී ,හරිම අසිරිමත්, බුදුරජාණන් වහන්සේ ජීවමාන විටත් පිරිනිවන් පෑ පසුත් සම සිතින්ම යම් පුජාවක් කරගන්නවානම් විපාකයද සමවම ලැබෙනවා..."




ස්ථුප වන්දනාවෙන් දෙව් සැප ලැබෙනවා වගේම ස්ථුප වන්දනා ආදියට ගැරහිමෙන් ඒ වගේම කර්ම විපාක ලැබෙන බව ප්‍රේත වත්ථු දේශනා කියවීමෙන් දැකගන්න පුළුවන්.

"අහසේ පාවෙන ඔබේ කුණු ගඳ හමන කටේ පනුවන් පිරිලා , කුණු වූ කටෙන් ඕජාව ගලනවා ආයුධ ගත් යම පල්ලන් ඔබේ කට සැත් වලින් පලනව
මොන පවක් නිසාද මේ විපාක උරුම උනේ?"


"මගේ බිරිදත් දියණියත් මහනෙල් මල් අරන් ස්ථුප වන්දනාවට යන විට වන්දනාවට ගරහා මම ඔවුන් නැවතුවා, මම තවත් අය සමග එක් වී ස්ථුප වන්දනාවට නින්දා අපහාස කළා
ඒ පවෙනුයි මේ සියලු දුක් උරුම උනේ"


- තුන් වෙනි චුල වග්ගය- පේත වත්ථු


නිවන් දකින්න පිං කරලා වැඩක් නෑ විදර්ශනා කිරීමයි කරන්න ඕනි කියා අන්ධ දාර්ශනික භික්ෂුන් හා ගිහියන් ප්‍රකාශ කලත් ථේර ථේරී ගාථා වලදී ස්ථුප වන්දනා කල පිනම හේතු වී අරහත්වය උදාවුණු බව රහතන් වහන්සේලා දේශනා කරන ප්‍රකාශ රාශියක් අඩංගු වෙනවා.


සත්‍ය අවබෝධ වීම හා ධ්‍යාන අභිඥා ලැබීමේදී පින අනුව ඒවා ඉක්මන්/පරක්කු වී  හා සුඛ සහගතව/දුක් සහගතව ආදී ලෙස ලැබෙන ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර තිබෙනවා. සුඛා පටිපදා දණ්ඩාභිඥා ආදී ලෙස කර ඇති මේ වර්ග කිරීම සිදු කර තිබෙන්නේ පින අනුවමයි. ඒ නිසා අර්හත්වයටත් ධ්‍යාන අභිඥා ආදිය ලැබීමටත් පින අනිවාර්යයෙන්ම උපකාර වන බව පැහැදිලි වෙනවා.


පින පිළිබඳව Rajiv Imesh ෆේස්බුක් ප්‍රොෆයිලයෙන් පළකර තිබු මෙම ලිපිය තුල වැදගත් කරුණු කීපයක්  සටහන් කර තිබෙනවා :-


පින ගැන සඳහන් කරන විට අංගුත්තර නිකායේ මා පුඥ්ඥ බායි සූත්‍රය ඉතා වැදගත් වේ එහි සරල අරුත නම් පින් කිරීමට බිය නොවන්න යන්නයි.එදවසද එසේ පින් කිරීමෙන් නිවන වැසේවි යැයි සිතූ ඇත්තන් සිටිය නිසාවෙන් මෙම දේශනාව වදාල සේක.පින් කිරීමෙන් ඔබ සිත පහදවා ගෙන අවසන් චුති සිතට ඔබ කල පුණ්‍යක්‍රියා සිහිවීමෙන් ඔබ දේව තල වල උපත ලබයි.දෙවියන්ටද මගඵල ලැබිය හැකියි. අනෙක් අතට ලෝක වාසී සියළු මනුෂ්‍යයන්ට නිවන් දැකීම එකවර කළ නොහැකි එයට හේතුව ප්‍රඥාව සහ කර්ම ශක්තියයි.බුදුන් දිනක් තම පිරිවර සමගින් වඩින අවස්ථාවක මහළු ස්ත්‍රීයක් එතනින් ගමන් කරයි අමා මෑණි බුදුපියාණන්ගේ මනසට මේ ස්ත්‍රීය නොබෝ වේලාවකින් නිරයට යාමට නියමිතයි කියා දැක මදක් නැවතුනි මහා සංඝයා වහන්සේලා ද නැවතුනි.මොග්ගල්ලාන මහතෙරුන් වහන්සේට බුදු පියාණන්ගේ නැවතීමට හේතුව පසක් වී මිත්තනියට මේ සිටින්නෙ තුන්ලොවම ජයගත් අමා මෑණි බුදුපියාණන් වහන්සේ කියා පහදා දී වන්දනා කරන්නට කීවාය.එය පිලිගත් මිත්තනිය උන්වහන්සේට වන්දනා කොට මහත් සේ සිත පහන් කොට ඒ ගැන සිත සිතා ගමන යනවිට සර්ප දෂ්ඨනයකින් මියගියේය.බුදුන් වන්දනා කිරීම සිතේ තිබුණු නිසා ඇය සුගතියෙ උත්පත්ති ලැබුවාය.....

ඇයි බුදුන් ඒ අවස්ථාවේ එක දහමක් දෙසුවා නම් ඇය මගඵල ලාභී වෙනවා නොවේද කියා ඔබට සිතෙනු ඇත.එමගින්ම සරලවම පැහැදිලි වෙනවා යමෙකුගේ කර්ම ශක්තිය සහ ප්‍රඥාව මතයි ඔහු හෝ ඇය මගඵල ලබා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගන්නේ.එබැවින් කොතරම් ප්‍රතිපත්ති පූජා සිදු කළද ඔබේ ප්‍රඥාව අවදි නොවේනම් ඔබට නිවන් අවබෝධ වන්නේ නැත........

මහා පූජා....


අදවන විට අපි දකින තවත් දෙයක් තමයි මහා පිච්චමල් පූජා මහා නෙළුම් මල් පූජා......
මේවයෙන් නිවන් දකින්න පුළුවන් ද ඔය සල්ලි අසරණ දරුවෙක්ව වියදම් කරන්න......
ඔබට අසන්නට ලැබෙන සුලභ අදහසකි....
එයට මා මෙසෙ පිලිතුරු සපයන්නම්....

ගෞතම බුදුන් දවස ලකූටබද්දිය නම් භික්ෂුවක් විය උන් වහන්සේගේ ශරීරය තරමක් කුරු මිනිසෙකුට සමානය.එසේ වීමට හේතු සෙවූ කල්හි,මෙම භික්ෂූව කාශ්‍යප බුදුන් සමයේ මහා සෑයක් ඉදිකිරීමේලා ප්‍රධාන ඉන්ජිනේරුවා ලෙස කටයුතු කලේය සෑය ඉතා විශාලව ඉදි කිරීමට මැලි කමක් හා ලෝභ සිත් උපදවාගත් මොහු ඔහුගේ නිර්දේශයට මෙය මෙතරම් විශාලව ඉදි කල නොහැකි ලෙස පවසා කුඩාවට වැඩ නිමවා දුන්නේ ය.එම පාපකර්මය භව ගණනක් ඔහු කුරු මිනිසෙකු කරන්නට විය.එබැවින් විශාල හෝ කුඩා හෝ යමෙකු බුද්ධ ශාසනය ගැන සිත පහදවා කරන ආමිස පූජාවන් සඳහා ගැරහුම් කිරීම ගැන දෙවරක් සිතන්න.පින යනු මගඵල ලබා උතුම් වූ නිවන් දොරටුව විවර වීම සිදු වෙන තෙක් එසේ සිදු වන්නට අත්වැලක් සේ උපයෝගී කරගත හැකි දෙයක්.........


අවසාන වශයෙන් ආමිස පූජාව පමණක් ම සිදු කරන ඇත්තන්ට කීමට ඇත්තේ ආමිසය තුලින් ප්‍රතිපත්තිය දකින ලෙසය.'පූජේමි බූද්ධං කුසුමේන' නමින් ගාථා ඇත්තේ ඒවා අවබෝධයෙන් දැකීමටයි.මලක් සුවඳින් පිරී තිබි පරවී යන්නාක් මෙන් මාගේ ශරීරයද පරවී යයි කියා යමෙකුට විදර්ශනා වැඩීම කල හැකියි.එම නිසා ආමිස පූජාවට ගැරහුම් නොකරන්න ආමිස පූජාව තුලින් නිවන දකින්න එහිම රැඳි නොසිට ඒ අතරම ප්‍රතිපත්ති පූජා සඳහාද යොමු වන්න.සියල්ල අවසානයේ උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම අදිටන් කරගන්න......!!!



. පිනට ගරහන ආමිසයට ගරහන ස්ථුප වන්දනා හා බෝධි වන්දනා වලට ගරහන මෝඩ දාර්ශනිකයන් හට මේවා පිළිබඳව කිසිදු අවබෝධයක් නෑ. ඔවුන් බුදුන් හදුනන්නෙත් නෑ ධර්මය හඳුනන්නේත් නෑ. එහෙන් මෙහෙන් ඇසු ධර්ම කරුණක් තමන්ගේ ක්‍රමයට අර්ථ දක්වා තමන් අනිත් අයට වඩා වෙනස් බව මවා පෙන්වා  රැඩිකල් දාර්ශනිකයෙක් වෙන්න උත්සහ කිරීම මිසක් ඔවුන් තුල ප්‍රතිපදාව වැඩීමක් හෝ ධර්ම අවබෝධයක් ඇත්තේ නෑ. සත්‍ය ලෙස ප්‍රතිපදාව වඩා සමත විදර්ශනා සතර සතිපට්ටාන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩු කිසිවෙක් කිසිදාක ශ්‍රද්ධාව, ආමිසය, බෝධි වන්දනා ආදිය එක් වචනයකින් හෝ අවමන් කරන්නේ නෑ.

මේවා ලොකුවට පිම්බී ආවද ඇතුල හුලං පිරුණු දාර්ශනික පපඩම්
මෙවැනි මෝඩ දාර්ශනික පපඩම් මතවාද බිහිවීමට ප්‍රධාන හේතු වෙන්නේ
1. ලංකාවේ නාමික බෞද්ධයන් බහුතරයකට ධර්ම දැනුමක් නොමැති වීම
2. සමත විදර්ශනා සතර සතිපට්ටාන වඩා ප්‍රායෝගික දැනුමක් නොමැති වීම හා
3. ධර්ම කරුණු දන්නා පුද්ගලයන් මෙම විකෘති වලට එරෙහි නොවී නිහඩව සිටීම යන කරුණු.

එමනිසා හැකි තරම් ධර්ම ග්‍රන්ථ කියවා ධර්ම දේශනා අසා ධර්ම දැනුම වැඩිකරගන්න. දැන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පාලි හා සිංහල පරිවර්තනය සහිතව www.pitaka.lk තුල හා  www.thripitakaya.org තුල හා thripitaka mobile app තුල ඉතා පැහැදිලිව තිබෙන නිසා ඉතා පහසුවෙන් සුත්‍ර දේශනා කියවනවා වගේම තමන් අසන දේ සත්‍ය බුද්ධ දේශනාද යන්න පරික්ෂා කරගන්න ඉතාම පහසුවෙන් පුළුවන්.

ඒ වගේම තමන්ගේ ධර්ම දැනුම වැඩිකරගන්නා ගමන් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වඩා ප්‍රතිපදාව වැඩිම ආරම්භ කරන්න.

ඒ වගේම ධර්ම විකෘතීන් හා මෙවැනි මෝඩ මත පලකරන අවස්ථා දකින විට සියලු දේ අනිත්‍යයි කියා බුදුදහම විනාස වෙන්න දී උඩ බලන් බකන්නිලාගෙන ඉන්නේ නැතුව ඒවාට විරුද්ධව ක්‍රියා කරන්න. බුදුදහම තිබෙන්නේ අවුරුදු 5000 යි කියා ඕවා වෙනස් වීම සාමාන්‍යයි කියා කටයුතු කිරීමෙන්ම බුදුදහම අවුරුදු 5000 න් විනාශ වීමට හේතු උදාවෙනවා. බෞද්ධයන්ට අවශ්‍ය නම් බුදුදහම අවුරුදු 5000 ක් නොව අවුරුදු 500,000 ක් වුනත් පිරිසිදුව තබාගන්න පුළුවන්. බුදුදහම තිබෙන්නේ අවුරුදු 5000 යි කියා විශ්වාසයක් ඇතිකරගෙන එය විශ්වාස කරගෙන කටයුතු කිරීමෙන්ම තමයි බුදුදහම අවුරුදු 5000 ට සිමා වෙන්නේ. අවුරුදු 5000 න් ධර්මය විනාශ වෙනවා කියන විශ්වාසය දැරීම නිසාම අවුරුදු 5000 න් ධර්මය විනාශ වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සිදුවෙනවා. බෞද්ධයන් ක්‍රියා කල යුත්තේ ගෞතම බුදුදහම අවුරුදු 5000 න් හමාර විය යුතුයි කියන අන්ධ බාල මතයේ ඉදන් නොවෙයි මෛත්‍රී බුදුන් පහල වනතෙක්ම ගෞතම බුද්ධ ධර්මය පිරිසිදුව රැකගත යුතුයි කියන මතයේ සිටගෙනයි.

බුදුන් පිරිණිවන් පෑමෙන් පසු භික්ෂුන් විකෘති මතපලකරන විට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගත් මහා රහතන් වහන්සේ නමක් වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඕවා ඔහොම තමයි බුදුදහමත් අනිත්‍යයි කියා ධර්මය විනාශ වෙන්න දී උඩබලන් සිටියේ නෑ ධර්ම සංඝායනාවක් පවත්වා නිර්මල ධර්මය ආරක්ෂා කළා. සියලු බෞද්ධයන් හට  ඒ විදියටම තමන් ජිවත් වන කාලයේ හැකිතරම් ධර්ම විකෘතීන් වලක්වා පිරිසිදු ධර්මය රැකගැනීමට හා ප්‍රචාරය කිරීමට වගකීමක් තිබෙනවා. ඒ නිසා ධර්මයට නය නොවී තමන්ගේ වගකීම ඉටුකරන්න මතක තබාගන්න.









Comments

  1. Yogithumani kenekta me athmedi dyana labanna puluwan unoth ohu aniwaryenma thrihethuka prathisandiyak labuwa knkda?

    ReplyDelete
  2. Guruthumani ,matanam hithenne 3rd eye open karaganda unath pin oni kiyala.mokada api me post godak ayata share kalath kisima kenek bhawana karana bawa nam penda ne.mata sirge me website eka hambune dharmaya gena,bhawana gena boho kaleka idan hoyanda gaththata passe ahamben wage.eeth boho denekta me dewal athatama dunnath eyalata eke watinakamak therennene.

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම දෙයක් තියෙනවා

      Delete
  3. බෝධි පුජාව කරන්න ඕනි මම මේ මලුවට යනවා එනවා කවිය කිය කියාද?
    බෝධියෙන් ලෞකික දේවල් ඉල්ලන එක සුදුසුද?

    ReplyDelete
    Replies
    1. මොන විදියෙන් කවි ගාථා කිවුවත් කමක් නෑ ශ්‍රද්ධාවෙන් කරනවා නම් පිනක් වෙනවා
      ලෞකික දේවල් කියල මිනිස්සු ධන ධාන්‍ය භව භෝග ඉල්ලන්නේ නෑ මම දන්න විදියට. ඒ වගේ දේවල් ඉල්ලනවා නම් මෝඩ වැඩක්. ලෙඩ රෝග සුව වීම් අපල දුරුවීම් ඉල්ලීම වරදක් නෑ. බෝධියෙන් ශක්තියක් ලැබෙනවා. ඒ වගේම බෝධියට වැඩ ඉන්න දෙවි වරුත් මිනිස්සුන්ට පිහිට වෙනවා

      Delete
    2. ඔය උඩින් කියපු දේශනාවෙමද ඒක සදහන් වෙන්නේ/

      Delete

Post a Comment