Featured Post

භාවනාව හා නිර්මාංශ වීම Meditation & Vegan




මේ කාලයේ යෝගාචාර්ය වරැන් හා භාවනා යෝගීන් කියනා සමහරැන් භාවනා කරනවා නම් මස් නොකෑ යුතුයයි මත පලකරති. කුන්ඩලිනිය වඩන්නේ නම් නිර්මාංශ වියයුතුය, ස්වස්තික පලදින්නේ නම් නිර්මාංශ විය යුතුය ආදී මතපලකරයි. ජීව විද්‍යාව, මිනිස් පරිණාමය, ආහාර ජීර්ණ පද්ධතිය, මිනිස් දන්ත වින්‍යාසය ආදිය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති සමහරුන් මිනිසුන්ගේ ආහාර මාර්ග පද්ධතිය සැකසී ඇත්තේ ශාක ආහාර වලට පමණක් යයි මතද පලකරනු දක්නට ලැබේ.
ධ්‍යාන ලැබීමට, ආධ්‍යාත්මික වීමට නිර්මාංශ විම අනිවාර්ය වේනම් ඒ පිලිබදව සියල්ලට පෙර දේශනා කර තිබිය යුත්තේ බුදුරදුන් හා රිශිවරැන් විසිනි. මස් මාළු නොකා යුතුයයි බුදුන් කිසිදා දේශනා කර නැත. කිසිදු රිශීවරයෙක් දේශනා කර නැත. පංච අභිඥා අශ්ට සමාපත්ති ලාභින් ප්‍රකාශ නොකළ යමක් සාමාන්‍ය මානසික මට්ටමක යමෙක් ප්‍රකාශ කරයි නම් එය පරම සත්‍යක් ලෙස පිලිගැනීම සුදුසුදැයි නුවණින් විමසා බැලිය යුතුය. සියළු සතුන්ට මෛත්‍රී කරන්න කි බුදුන් මස් නොකෑ යුතුයැයි අමුතුවෙන් කිවයුතු නැතැයි සමහරුන් අන්ධ තර්ක පළකලද බුදුරදුන් හට මෙන්ම රහතන් වහන්සේලාට මාංශ සහිත දානය පිළිගැන්වූ අවස්ථා වල එම දාන පිළිගත් අවස්ථා මිස ප්‍රතික්ෂේප කල අවස්ථා සුත්‍ර දේශනා වල සදහන් වී නැත. මිනිසුන් සියදහස් ගණනක් මැරූ හිට්ලර් නිර්මාංශ පුද්ගලයෙකි. එසේනම් නිර්මාංශ වීමෙන් ඔහු තුල මෛත්‍රිය වැඩි තිබේද? එමෙන්ම භික්ෂුන් මාංශ වැළදීම පිළීබද ගැටළු ඇතිවූ අවස්ථා වල මාංශ වැළදීම තහනම් කර විනය නීති පැනවීමක් බුදුරදුන් සිදුකර නැත. එසේනම් ලංකාවේ නිර්මාංශ පණ්ඩිතයන් පවසන ආකාරයට බුදුන්ද මසට ගිජු වීද?

සත්‍ය යෝගියෙකු නම් සත්‍ය වශයෙන් ධ්‍යාන ලබා ඇත්නම් සත්‍ය වශයෙන් කුන්ඩලිනි චක්‍ර අවදි කර ඇත්නම් එවැනි හිස් මත පලකරන්නේ නැත. සත්‍ය යෝගිනට නිර්මාංශ දින මෙන්ම මස් අනුභව කල දිනද කිසිදු වෙනසක් නැතිව ධ්‍යානයත් ශක්තියත් ලැබෙන බව අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ශ වේ.

අධ්‍යාත්මික වීමට නිර්මාංශ වීම අදාළ වන්නේ දෙවියන් හා බ්‍රහ්මයන් ආකර්ෂණය කරගැනීමේදී පමණි. කුණ්ඩලිනිය අවදි කරගැනීමට නිර්මාංශ වීම අනිවාර්ය යයි ශක්තියක් සහිත යමෙක් පවසන්නේ නම් ඒ දෙවියන්ගේ උපකාරයක් නොමැතිව කුණ්ඩලිනිය අවදි කර නොහැකි වූ අයෙක් පමණි. තමන් හට නොහැකි වූ නිසා අන් අයටද නොහැකි යයි ඔවුන් උපකල්පනය කරයි.
සත්‍ය වශයෙන් ධ්‍යාන හෝ ශක්ති නොමැත්තන් නිර්මාංශ වීම වැනි වෘත තුලින් තමන්ට උසස් බවක් ආරෝපණය කරගැනීමට උත්සහ කරති. ධ්‍යාන හෝ ශක්ති නොමැත්තන් වෘතය ආභරණයක් කරගනී. වෘතය හරහා ආධ්‍යාත්මික දියුණුවක් ඇගවීමට උත්සහ කරයි. තමන්ගේ සිත තුල ධ්‍යාන හෝ ශක්ති නොමැති අඩුව පිටතට නොපෙනෙන ලෙස වසාගන්නා පැලැස්තරය වෘතයයි.
බුද්ධ කාලින නිගන්ට වැනි පිරිස්ද තමන් තුල නැති අධ්‍යාත්මික දියුණුවක් සමාජයට පෙන්වීමට යොදාගත්තේ වෘතයන්ය. බුදුරජාණන් වහන්සේ ශීලය අනුමත කල නමුත් වෘත අනුමත කර නැත. නිර්මාංශ නොවි කිසිදු උසස් ලැබිමක් නොලැබේ යයි නිර්මාංශ විම තුල අන්තගාමි විම නිගන්ට වෘත සමාදන් වීමකි.

සෝතාපන්න වූ ශ්‍රාවකයෙකු වන උග්ග නම් ගෘහපතියා බුදුරජාණන් වහන්සේ "මනාප දේ දෙන්නා මනාප දේ ලබයි" යනුවෙන් දේශනා කල දේශනාව අසා තමන් කැවුම් හා ඌරු මස් ලැබීමට කැමති බැවින් බුදුන් හට කැවුම් හා උරුමස් සහිත දානයක් පිළිගැන්වූ බවත් බුදුන් එම ගෘහපතියාට අනුකම්පාවෙන් එය පිළිගෙන අනුභව කල බවත් අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සදහන් වේ. නිර්මාංශ පණ්ඩිතයන්ට අනුව මෙහිදී බුදුන්ද අකුසල් කර උග්ග හට මතු ආත්ම වලදීද අකුසල් වන ලෙස කටයුතු කර ඇතිද?

බුදුන් මස් මාංශ සහිත දාන පිළිගත් අවස්ථා රාශියක්ම ත්‍රිපිටකය තුල සදහන් වන අතර ඒවා අතරින් සීහ සේනාපතිගේ දානය පිළිබඳ සිදුවීමෙන් නිර්මාංශ වීම බුද්ධ දේශනාවක්ද නිගන්ට දේශනාවක්ද යන්න ඉතා පැහැදිලිව විසදාගත හැක. නිගන්ට නාථ පුත්තගේ ශ්‍රාවකයෙකු වූ සීහ සේනාපති බුදුන් සරණ යාමෙන් පසු තමන් පෙර ඇදහු නිර්මාංශ වෘතය අතහැර මාංශ සහිත දානයක් බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා හට පිරිනැමිය. බුදුන් මෙම දානය පිළිගන්නා ලදී. මෙය දැනගැනීමෙන් නිගන්ට නාථ පුත්ත බුදුන්ටත් සීහ සේනාපතිටත් තැන් තැන් වල ගරහා කරමින් බුදුරජාණන් තමන් උදෙසා සතුන් මරවා ආහාරයට ගන්නා බව කියමින් පිරිස රැස් කරන ලදී. එහිදී බුදුන් භික්ෂුන් අමතා මාංශ දාන ලැබීමේදී තමන් උදෙසාම සතෙකු මැරූ බව දුටුවේ නැති නම්, ඇසුවේ නැති නම්, සැක කලේ නැතිනම් එවැනි මාංශ අනුභවය අනුමත කරන බව වදාරන ලදී.
එකල බුදුන් දවස නිගන්ට වෘත රැකි පිරිස මෙකල ලංකාවේ බෞද්ධයන් වී ඉපදී බුදුබණ පිළිනොගෙන සසර පුරුද්දට නිර්මාංශ වෘත රකියි.
* දේවදත්ත තෙරුන් විසින් සංඝ භේදය කිරීම සදහා බුදුන් හමුවී ඉල්ලා සිටි ඉල්ලීම් අතර දිවි ඇතිතෙක් භික්ෂුන් නිර්මාංශ විය යුතු ලෙසද ඉල්ලා සිටි අතර බුදුන් එය ප්‍රතික්ෂේප කරන ලදී. මෙයින් ඉතා පැහැදිලිව බුදුන් නිර්මාංශ වීම අත්‍යවශ්‍ය නොවන කරුණක් ලෙස සැලකු බව තහවුරු වේ. භික්ෂුන් විසින් අනුභව නොකළ යුතු මාංශ වර්ග හතක් පමණක් බුදුන් දේශනා කර ඇති අතර ගිහියන් මාංශ ආහාරයට ගැනීම පිළිබඳව කිසිදු සීමාවක් තහනමක් පනවා නැත.


මස් මාංශ මෙන්ම ගොටුකොලද තැනී ඇත්තෙ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලිනි.
එලවළු පලතුරැ මෙන්ම මස් මාංශ දිරවීමෙන්ද සිරැරට අවශෝෂණය වන්නේ කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන ලිපිඩ විටමින ඛණිජයන්ය.

සතෙකුගේ මරණය එම සතා ඉපදෙන විටම තීරණය වී අවසන්ය. සතෙකු වේවා මිනිසෙකු වේවා කර්මය යෙදී ඇති කර්මය යෙදී ඇති ආකාරයට මරණයට පත් වේ. මස් සදහා මරණයට පත් කරන කුකුලෙකු එදින මරණයට පත් වන ලෙස කර්මය නිර්ණය වී ඇතිනම් මරණයෙන් ගලවාගෙන ගොස් රාජ මාලිගාවක තැබුවද කර්මය විපාක දෙන වෙලාවේදී පය පැටලී හෝ නියතවම මරණයට පත් වේ.
ගවයන්ට අභය දානය දෙනවිට ගවයන් විශාල ප්‍රමාණයක් අතරින් එකෙකු හෝ කිහිප දෙනෙකු තෝරාගැනීමේදී අභය දානය දෙන්නා හට තෝරාගැනීමට සිත පහල වන්නේ නොමැරී සිටීමට පින ඇති ගවයාගේ පිනෙහි බලපාමෙන්මය.
රටක සියලුම මිනිසුන් ගවමස් ආහාරයට ගැනීමෙන් වලකුනහොත් ගවයන් මරණයට පත්වීම වැළකෙන්නේ නැත. සිදුවන්නේ ගවයන් මරණයට පත්වීමට අදාළ කර්මය මිනිසුන් හරහා ක්‍රියාත්මක වීම නතරවීම පමණි. ගවයන් ගෙන ආ කර්මය මිනිසුන් හට දායාද නොවී ගවයාගෙන්ම කෙලවර වී යයි. මිනිසුන් අතින් මරණයට පත් නොවුනද ස්වභාවික බලයක් හරහා කර්මය විපාක දේ. මස් අනුභව කරන්නා පව් සිදුකරගනී යයි මත පළකරන්නේ මෙලෙස කර්මයේ හැසිරීම නොදත් පුද්ගලයන් විසිනි. කර්මයේ හැසිරීම අවබෝධ වී නැත්තේ සත්‍ය ලෙස භාවනා වඩන්නේ නැති බැවිනි.මස් මාංශ තුල සතෙකු දකිමින් ප්‍රාණයක් දකිමින් ප්‍රාණඝාත අකුසලයක් සිදුවන බව සිතා නිර්මාංශ වන්නේ සත්ත්ව පුද්ගල ආත්ම සංඥාව දුරු කරගැනීමට තරම් ප්‍රඥාව නොමැති බුද්ධිය මොට පුද්ගලයන්ය. මැරුණු සතෙකුගේ මාංශ තුල පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර රූප ධාතු පමණි. එහි නාම රූප සහිත සත්ත්වයෙකු නැත.
පෙර සිටි සත්වයාට මරණයට පත්වී මස් වීමට සිදුවුනේ එම සත්වයාගේ අකුසල කර්මයකින් පමණි. කර්මානුරුපව සංස්කාර සකස් කල ආකාරයට කර්ම විපාක අනුව එම සත්වයාගේ මරණය සිදුවේ. යම් ලෙසකින් එම සතා මරණයට පත්කරනා මොහොතේ මරණයට පත් කරන පුද්ගලයා නොසිටියද වෙනත් ආකාරයකින් කර්මය ක්‍රියාත්මක වී කර්මය විපාක දේ. නිර්මාංශ වීමෙන් අනුන්ගේ කර්ම පලදීම කිසිවෙකුටත් වැළක්විය නොහැක.


"නිර්මාංශ නොවී ධ්‍යාන ලබාගත නොහැක, ශක්ති අවදි කල නොහැක" ආදී ප්‍රකාශ සිදුකරන්නන් පිළිබද සොයා බැලු විට ඔවුන් සමහරෙක් මත්පැන් දුම්වැටි භාවිත කරන බවද කාමයෙහි වරදවා හැසිරෙන බවද පස්පව් කරන බවද දැනගැනීමට ඇත. බුදුන් සමාදන් විය යුතුයැයි දේශනා කල පන්සිල් නොරකින පුද්ගලයන් බුදුන් කිසිසේත් සදහන් කර නොමැති නිර්මාංශ වෘතයක් සමාදන් වීම නුවණට හුරු දැයි විමසිය යුතුය.

ධ්‍යාන හා ශක්ති ලබාගැනීමට නිර්මාංශ වීමේ කිසිම අවශ්‍යතාවක් නැත. මස් මාංශ අනුභව කළත් ප්‍රතිපදාව හරියට වඩනවා නම් ධ්‍යාන හා ශක්ති අනිවාර්යෙන් ලැබේ. නිර්මාංශ වීමෙන් ප්‍රතිපත්තියක් රැකීම සිදුවෙන නිසා සීලයක් රැකීමේදී වනවා මෙන් සිත ශක්තිමත් වීම සිදුවේ. ඒ තුලින් වක්‍රාකාරව සමාධියට උපකාරයක් ලැබිය හැකියි. එමෙන්ම නිර්මාංශ වීමෙන් ශරීරයෙන් හමන ගන්ධය ප්‍රසන්න වේ. ඒ තුලින් දෙවියන්ව ආකර්ෂණය කරගැනීමේ හැකියාව වැඩිවේ. ඒ නිසා දෙවියන්ගේ උපකාර පහසුවෙන් ලබාගෙන භාවනා දියුණු කරගන්න අවස්තාව ලැබේ. එහෙත් නිර්මාංශ වූ පමණින් දෙවියන් තමන් ලගට පැමිණෙන්නේ නැත. දෙවියන්ට වන්දනා කිරීම හා පින් අනුමෝදම් කිරීමෙන් දෙවියන් ආකර්ෂණය වෙ. එමෙන්ම මස් මාංශ අනුභව කලද සිත පිරිසිදු නම් දෙවියන් ආකර්ෂණය වේ.

දේව ආකර්ෂණය පහසු වීම හරහා වක්‍රාකාරව උපකාරයක් ලැබීම හැරෙන්න නිර්මාංශ වීමෙන් සමාධියට ඍජු බලපෑමක් වන්නේ නැත. එසේ වෙනවානම් මුලින්ම නිර්මාංශ වීම අනිවාර්ය කරන්න ඕනි බුදුරජානන් වහන්සේමය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ටවත් මස් මාංශ අනුභවය තහනම් කර නැත. ධ්‍යාන ලබාගැනීමටත් ශක්ති අවධි කරගැනීමටත් නිර්මාංශ වීම අනිවාර්යයි කියන මත පල කරන්නේ භාවනාව පිළිබද අත්දැකීම් අඩු, භාවනා දැනුම අඩු, ධර්ම දැනුම අඩු, ආධුනික මට්ටමේ සිටින අය පමණි.
සමහරවිට ධ්‍යාන පිලිබදව සමස්ත දැක්මක් නැති ධ්‍යාන ලාභියෙක් උනත් නිර්මාංශ වීම අනිවාර්යයි වැනි මත පලකල හැක. එසේ වන්නේ ඒ පුද්ගලයා පුද්ගලිකව ඒ ක්‍රමය හරහා සමාධිය ලබාගැනීම නිසා අන් අයත් ධ්‍යාන ලබාගැනීමටනම් අනිවාර්යෙන් තමන් කල විදියටම කල යුතුමයි කියා සිතීම නිසාවෙනි. මෙවැනි සිදුවීම් බුද්ධ කාලයේ පවා සිදු වී තිබේ. රහතන් වහන්සේලා පවා එකම කරුණක් පිලිබදව විවිද මත දරන අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් නිවැරදිම මතය කුමක්දැයි විමසු බවත් ඒ අවස්ථා වලදී රහතන් වහන්සේලා කිහිප දෙනාම නිවැරදි බව බුදුන් දේශනා කල බවත් සුත්‍ර දේශනා කිහිපයකම දක්නට ලැබේ. එක කරුණකට අදාළ සියලු දේ පිලිබදව සමස්ත දැක්මක් නොමැති වීම නිසා, අත්දැකීම් අඩු බව නිසා ධ්‍යාන ලාභින් හා ශක්ති ලාභින් විසින් වුවද වැරදි මත ප්‍රකාශ කල හැක. කෙසේ නමුත් මෙකල අන්තර්ජාලය හා මාධ්‍ය හරහා අන්තගාමි නිර්මාංශ මත පතුරවන කිසිවෙකුත් සත්‍ය වශයෙන් ධ්‍යාන හෝ ශක්ති ලාභින් නොවේ.
කෙසේ නමුත් නිර්මාංශ විය හැකිනම් එය තමන්ට මෙන්ම අසරණ සතුන්ටද හිතකර ක්‍රියාවකි. පිරිසක් එකතුවී නිර්මාංශ වනවානම් මස් මාංශ වලට තිබෙන වෙළඳපොල ඉල්ලුම එකවර සැලකිය යුතු ලෙස අඩුවන බැවින් සතුන් මරණ ප්‍රමාණය අඩුවෙ. එමනිසා නිර්මාංශ වීමට කැමති අය නිර්මාංශ වීම ඉතාම හොද පුරුද්දකි. එහෙත් එය වෘතයක්, අන්ධ භක්තියක් කරගනිමින් සියලු උසස් දේට නිර්මාංශ වීම ආදේශ කිරීම අන්ධ බාල ක්‍රියාවකි.

නිර්මාංශ විම ඉතාම හොද පුරැද්දක් වුවද තමන්ගේ නිර්මාංශත්වය උලුප්පා දක්වමින් සියලු උසස් ලැබිම් වලට නිර්මාංශ වීම අනිවාර්ය යයි ව්‍යාජ මත පතුරවා මිනිසුන් මුලා කිරිම රන් තලියකින් ගොම එක් කරනවා වැනි පහත් ක්‍රියාවකි.

නිර්මාංශ නොවී ධ්‍යාන ශක්ති වැඩිය නොහැකි නම් ජලය පානය කිරීමෙන්ද ඔබ වැළකිය යුතුය!!!
ජලය තුල නොපෙනෙන සතුන් දහස් ගණනක් සිටි. නවීන පිරිසිදු කරීමේ යාන්ත්‍රණ හරහා පැමිණෙන ජලයේද සතුන් දහස් ගණනක් සිටි. නවීන පිරිසිදු කිරීම් හරහාද ඔවුන් 100%ක් කිසිසේත්ම ඉවත් නොවන අතර සෞඛ්‍යට අහිතකර නොවන මට්ටමට පාලනය කිරීම පමණක් සිදුකෙරේ.
දිනක් දිවැස් ලාභින් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ පානය කිරීමට ගත් ජලය තුල ඇසට නොපෙනන ජීවින් ඉන්නා බව දිවැසින් දකින ලදී.එවිට බුදුන් හමුවී කලයුතු දේ ඇසු විට ජලය පෙරහන් කඩකින් පෙරා පානය කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී. පෙරීමෙන් පසුද ඇසට නොපෙනෙන ජීවින් සිටිනා බව දිවැසින් දැක නැවතත් බුදුන්ගෙන් විමසන ලදී. මෙලෙස තුන් වරක්ම පෙරුවද තවදුරටත් ජීවින් සිටින බව දැක බුදුන් හමුවට ගිය විට බුදුන් අනුරුද්ධ හිමියන් හට වදාළේ දිවැස් නොබලා ජලය පානය කරන ලෙසයි. මෙතුලින් ඉතා පැහැදිලිව බුදුන් නිගන්ටයන් මෙන් අන්තගාමි වෘත අනුමත නොකළ බව සනාථ වේ.


*** ත්‍රිපිටක දේශනා ඇසුරින් භික්ෂුන් ඇත් මස්, ගව මස්  සිට අමු මස්, මිනි මස් වැළඳීම පිළිබඳවත්  නිර්මාංශ වීම පිළිබඳත්  මස් මාංශ අනුභවය පිළිබඳත්  බුදුන් දෙසු සියලු කරුණු ඇතුලත් ඉතාම සවිස්තරාත්මක  විග්‍රහයක් කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )


* නිර්මාංශ වීම පිළිබඳව රාජගිරියේ අරියඥාන හිමියන් කල විග්‍රහ සවන්දීමට :-
(මෙතන ක්ලික් කරන්න )
හා (මෙතන ක්ලික් කරන්න )


Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. kiribathgoda swaminwahansege nirmaansha book eka man kalin kiyawala thiyenawa, e karunui me karunui eththa. ariyaghana swaminwahansege banath okkoma ahala thiyenawa, anda bakthikayanta hoda pilithurak me lipiya.

    ReplyDelete
  4. ගොඩාක් දේ දැනගත්තා ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏

    ReplyDelete
  5. රෑට භාවනා කෙනෙක් රාත්‍රියට ආහාර ගැනීම සුදුසුද ?

    ReplyDelete

Post a Comment