Featured Post

කතරගම දෙවියන් හා රාවණා God Katharagama & Rawana


ගනේ මිණි බැබළි තිරනෙව් සතපාය
රනේ යටඟ සැවුළිඳු දද ගලපාය
අනේ ලකර කළ අවි පුර නරපාය
පෙනේදකුණ මහසෙන් දෙව්රද පාය

 - සැළලිහිණි සඳෙස-
- තොටගමුවේ සිරි රහල් හිමි

ඇසළ මහා පෙරහැර පවත්වමින් කතරගම දෙවියන් වන්දනා කරන කාලය දැන් ආරම්භ වී තියෙනවා. කතරගම දෙවියන් ලංකාව පුරා වැඩිම දෙනෙක් වන්දනා කරන දෙවිවරුන්ගෙන් එක දෙවිවරයෙක්. ලංකාව තුල වගේම ලෝකය පුරා ඉන්දියාව තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව වගේම අප්‍රිකාව තුලත් කතරගම දෙවියන් ඔවුන්ගේ සමප්‍රදායන්ට අනුව වන්දනා කෙරෙනවා. ලංකාව තුල වැඩියෙන්ම දේවාල ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේත් කතරගම දෙවියන් වෙනුවෙන්. ඒ වගේම ලංකාවේ දෙවියන් වෙනුවෙන් නිර්මාණය වුනු ගීත අතරින් වැඩිම ගීත ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන්නේත් කතරගම දෙවියන් වෙනුවෙන්.



කතරගම දෙවියන් පිළිබඳ ජනප්‍රවාද

1. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ මතිමතාන්තර තිබෙනවා . ඈත අතීතයේ තාරක නම් අසුරයෙක්‌ ලක්‌දිව දකුණු දෙසෙහි ජනතාව පෙළමින් සිය අණසක පතුරවා ගෙන සිටි බව සඳහන් වනවා. ඒ කාලයේ ඉන්දියාවේ කීර්තිමත් නිර්භීත සෙන්පතියකුව සිටි කඳකුමරු ලංකාවට පැමිණ කාරක අසුරයා විනාශ කොට එහි බලය සිය අණසක යටතට ගෙන ජනතාවගේ අතිශය ප්‍රසාදයට භාජන වන පරිදි පාලනය ගෙන ගියා . ජන හදවත්හි ඇති වූ ප්‍රසාදයෙහි ඵල වශයෙන් එතුමා දේවත්වයෙන් පිදීමට ජනතාව පෙළඹුණු අතර සෙසු ප්‍රදේශවල ජනතාව අතරටද පැතිර ගියා .

2. තවත් ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියෝ විදියට හදුන්වන්නේ  ප්‍රතාපවත් නරපරයෙකු වූ මහසෙන් රජතුමන්. කතරගම රාජධානිය කොට රජකළ මොහු අභාවයෙන් පසු දේවත්වයට පත් වූ බව ජනතාව සලකනවා .

3. අනුරාධපුර යුගයේදී රුහුනේ මාගම විසූ ගැමුණු කුමරයා මැණික්‌ නදී තෙරෙහි පෙහෙවස්‌ සමාදන්ව භාවනානුයෝගීව සිටියදී කතරගම දෙවිදුන් ඔහු හමුවෙහි පෙනි සිට බුදුසසුන වනසන එළාර රජුට එරෙහිව නොබියව සටන් වදින ලෙසත් තමන් නිරතුරුවම ඔහුගේ සහායට පැමිණෙන බවත් සඳහන් කළැයි ජන ප්‍රවාදයෙහි සඳහන් වනවා . දුටුගැමුණු රජු විසින් දැන් කතරගම දෙවොල පවතින ස්‌ථානයෙහි එම දෙවොල මුලින්ම ගොඩ නගන ලද්දේ ද මෙයට කෘතගුණ වශයෙන් බව සලකනවා .

4. කාචරගමයෙහි මහා ස්‌ථුපය (කිරිවෙහෙර) පිහිටන බිමෙහි සමවත් සුවෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා ඝෝෂා නම් දෙවියෙකුට මතු සසුන බබුළුවන එම බිම ආරක්‌ෂා කරන්නැයි පැවරූ බව ධාතුවංසයේ සඳහන් වනවා . මේ මහා ඝෝෂ දෙවිඳුන් මහසෙන් හෙවත්  කඳ සුරිදුන්ම බව විශ්වාස කෙරෙනවා .

5. වැදි ජනයා අතර ඇති ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියන් ශිව දෙවියන් සමග කෛලාශයේ වාසය කල දෙවි කෙනෙක්. එහිදී තේවානි නම් බිරිදක් සහිතව සිටි කතරගම දෙවියන් ලංකාවේ වැදි පරපුරේ ප්‍රභූ කුමරියක් වුනු වල්ලි පිළිබද කැමැත්තක් ඇතිවී ලංකාවට පැමිණ වල්ලිය සරණපාවාගෙන තිබෙනවා. කතරගම දෙවියන් දෙපසින් බිරිඳන් දෙදෙනෙකු දක්වන්නේ මේ නිසා.

මේ ආකාරයෙන්  කතරගම දෙවියන් පිළිබඳව අතීතයේ පටන්ම එකිනෙකට වෙනස්  පුරාවෘත හා ජනශ්රුති රාශියක් ඇතිවී තිබෙන නිසා කතරගම දෙවි පුවත පිළිබඳව බොහෝ ගැටළු සහගත මත ඇතිවී තිබෙනවා. ඒ සියල්ලටම වඩා බරපතල අමුලික අසත්‍ය මතයක් මෑතකාලීන හතු පිපුණු රාවණ වාදීන් විසින් ප්‍රචාරය කරනවා. මේ නිසා සත්‍ය නොදැන බොහෝ දෙනෙක් මුලාවට පත්වී රැවටී ඉන්නවා. මේ නිසාම රට පුරා  කතරගම දෙවියන් වන්දනා කරන මේ කාලයේදීම කතරගම දෙවියන්ට වන්දනාවක් විදියට කතරගම දෙවියන් පිළිබඳව සත්‍ය දිගහැරීමට තීරණය කළා.

මීට පෙර ලිපි කිහිපයකින් රාවණ ඉතිහාසය මතුකරනවා යයි කියමින් අමුලික බොරු ප්‍රචාරය කරමින් මිනිසුන් මුලා කරනා ප්‍රොඩාකාරයන්ගේ බොරු ලිපි කීපයකින්ම හෙළි කළා. පහත මාතෘකා මත ක්ලික් කිරීමෙන් ඒ ලිපි කියවීමට යොමුවෙන්න පුළුවන්.

වජ්‍රය පිලිබඳ ලිපිය කියවීමට

සිව හිරු මිත්‍යාව පිළිබද ලිපිය

සුර්ය නමස්කාරය පිළිබද ලිපිය

දෙවියන් අසුරයන් හා බුදුදහම පිළිබද මිත්‍යාවන් ලිපිය

කතරගම දෙවියන් හා මහසෙන් දෙවියන් 

කතරගම පුදබිම දෙවිවරුන් දෙදෙනෙක් වැඩ ඉන්න භූමියක්. මුලින්ම මේ භූමියට අධිපතිව හිටියේ රාවණ යුගයේ සෙන්පතියෙකු හා පාලකයෙකු විදියට ජිවත් වී දේවාත්ම භාවයකට පත් මහසෙන් නම් දෙවියන්. මේ මෑතකාලීන ඉතිහාසයේ සදහන් වෙන මහසෙන් රජු නෙවෙයි. රාවණ යුගයේ ප්‍රාදේශීය පාලකයෙකු හා සේනාධිනායකයෙකු වුනු මහසෙන් දෙවියන් මිනිස් භවයේදී අංගම් ශිල්පයේ කෙලපැමිණි රණශුරයෙක් වගේම ප්‍රභල භාවනානුයෝගීයෙක් . ලංකාවේ ආදිතමයන් විදියට සලකන වැදි ජනතාව කතරගම දෙවියන් වන්දනා කිරීමට හේතුවෙන්න ඇත්තේ අතීතයේ පටන්ම කතරගම භුමිය මහසෙන් පාලකයා පිළිබඳව  ඔවුන්ගේ අතීත මුතුන් මිත්තන්ගේ දැනුම ලැබුන නිසා වියහැකියි. අංගම්පොර ශිල්පින් කතරගම දෙවියන්ගෙන් අවසර ගැනීම හා කතරගම දෙවියන්ට පුජා තැබීම කරන්නේ අංගම්පොර රණශුරයෙකු වුන මහසෙන් දෙවියන්ට අතීතයේ සිට කරන වන්දනාවක් ඔවුන්ගේ පරම්පරා ඔස්සේ ආ නිසයි. මේ වනවිට සමහර පරපුරවල් විසින් මහසෙන් දෙවියන් හා රාවණ රජු පටලවාගෙන සිටියත් දැනටත් මහසෙන් දෙවියන්ට හා රාවණ රජුට වෙන් වෙන් පුජා ක්‍රම යටතේ පුජා පවත්වන අංගම්පොර පරපුරවල් සිටිනවා.

කතරගමට ස්කන්ධ දෙවියන් වැඩමවීම 

 ඉන්දියාවේ බලපරාක්‍රමයෙන් වැඩි ගිය ස්කන්ධ දෙවිදුන් පිළිබඳ විශ්වාසය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූයේ  භාරතියන් සමග බවත් එසේ සංක්‍රමණය වූ ස්‌කන්ධ භක්‌තික පිරිස්‌ රුහුණේ මැණික්‌ ගඟ අසබඩ ජනාවාස ගොඩනගා ගැනීම නිසා එම විශ්වාසයෙහි ලාංකේය කේන්ද්‍රස්‌ථානය කතරගම වූ බවත් ඓතිහාසික තොරතුරු පරික්ෂා කිරීමෙන් වුනත් දැකගන්න පුළුවන් . කතරගම දෙවිඳුන් යන නමින් එතුමන් හැඳින්වෙන්නට වූයේ මේ හේතුව නිසා. කතරගම දේවාලයේ බෙත්මේ  1818 ඌව කැරැල්ලට සහය දුන් නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුව ඒ තනතුරින් ඉවත් කර හින්දු පුජකයෙකු එම තනතුරට පත්කිරීම තමයි  කතරගම දේවාලය තුල ස්කන්ධ වන්දනාව ඇතිවීමට මුල්වූ හේතුව .

මෙතැනදී සිදුවන්න ඇත්තේ ද්‍රවිඩයන් කතරගම ප්‍රදේශයේ  රැස් වී ජනාවාස වීම නිසා මහසෙන් දෙවියන් වෙනුවට ස්කන්ධ දෙවියන් ඇදහීම ප්‍රචලිත වීම නෙවෙයි. බුදුන්ගේ අණ පරිදි සුදුසු කාලය බලා මහාඝෝෂ හෙවත් ස්කන්ධ දෙවියන් කතරගම භූමියට වැඩමවීමට අදාළ පසුබිම සකස් කිරීමට ස්කන්ධ දෙවියන් වන්දනා කරන ද්‍රවිඩයන් කතරගමට පිටත් කිරීම සිදුවී තිබෙනවා . දෙවියන්ට පැමිණ වැඩ වාසය කිරීම සදහා මිනිසුන් දේවාල නිර්මාණය කර පුද පුජා පවත්වා දෙවියන්ට ආරාධනා කිරීම සදහායි ස්කන්ධ වන්දනාව සිදුකරන ද්‍රවිඩයන් කතරගමට ආවේ. ඒ වනවිටත් කතරගම මහසෙන් දේවාලය ඉදිකර තිබුණු නිසා වෙනම දේවාලයක් ඉදිනොකර මහසෙන් දේවාලය තුලම ස්කන්ධ වන්දනාව සිදුකලා.

බුද්ධ ආඥාවට ගෞරව කරමින් මහසෙන් දෙවියන් කතරගම දේවාල භුමිය ස්කන්ධ දෙවියන්ට වැඩමවීමට ඉඩලබාදි කැබලිත්තට වැඩම කළා. අදටත් මහසෙන් දෙවියන් ප්‍රධානව වැඩ ඉන්නේ කැබලිත්ත පුජා භුමිය තුල. ස්කන්ධ දෙවියන් වැඩම කරන්නේ කතරගම දේවාල භූමියට.
කතරගම පෙරහැර පවත්වන කාල වලදී මහසෙන් දෙවියන් කතරගම දේවාලයට අධිගෘහිතව වැඩ වසනවා. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් පවා ගිනිපාගන භුමිය මතින් වැඩිය බව දැක තිබෙන්නේ මහසෙන් දෙවියන්වයි.
අදටත් පෙරහැර ආරම්භයට පෙර කපු මහතුන් ගිනි පෑගීමේදී පළමුවෙන් දෙවියන් ගිනි මතින් වැඩම කරනතෙක් බලා ඉන්නවා. දෙවියන් දර්ශනය වී  ගිනි මතින් වැඩම කර දේවාලය තුලට වැඩම කරන බව දුටුවාට පසුවයි දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු අනිත් පිරිස ගිනි පෑගීම ආරම්භ කරන්නේ.

මහසෙන් දෙවියන් වගේම ස්කන්ධ දෙවියන් යුද්ධයට අධිපති රණශුරයෙක්. ස්කන්ධ දෙවියන් ලංකාව තුල වැඩ හිදීමට කතරගම දේවාලය තෝරාගැනීමට මේ සමානතාව ප්‍රධාන සාධකයක්. පුරාණ ග්‍රන්ථ වල සමහර ස්ථාන වලදී කාර්තිකේය දෙවියන් හටත් මහාසේන යන නම භාවිත වෙලා තිබෙනවා. සමහරවිට මෙයට හේතුව අතීතයේ සිට ස්කන්ධ දෙවියන් හා මහසෙන් දෙවියන් සම්බන්ධ කතා පුවත් පැවතීම වෙන්න පුළුවන්. ස්කන්ධ ගයාත්‍රි මන්ත්‍රයක

ඕම් තත්පුරුශාය විද්මහේ
මහාසේනාය ධිමහි
තන්නඃ ශන්මුඛ ප්‍රශෝදයාර්ථ     

ලෙස සදහන් වෙනවා. කෙසේ නමුත් ලංකාවේ මහසෙන් දෙවියන් හා ශිව පුත්‍ර ස්කන්ධ දෙවියන් කියන්නේ වෙනම දෙවිවරුන් දෙදෙනෙක්.


* ධ්‍යාන ලාභී මගඵල ලාභී හිමිනමක් වන රාජගිරියේ අරියඥාන හිමියන් විසින් කතරගම දෙවියන් හා මහසෙන් දෙවියන් දෙවියන්  දෙදෙනෙකු බවත් එම දෙවිවරුන්ගේ ලක්ෂණ පිළිබඳවත් දේශනා කරන හඬපටය ශ්‍රවණය කිරීමට :-


ස්කන්ධ දෙවි උපත 


ස්කන්ධ දෙවියන් ශිව හා පාර්වතී දේවියගේ ශක්තින් එක් වීමෙන් බිහිවූ බව මහාභාරතය ඇතුළු ග්‍රන්ථ වල  සඳහන් වෙනවා. ඉතා බලවත් අසුරයෙකු වූ තාරක හෙවත්  තරු දිගින් දිගටම දෙවියන් සමග යුධ කර දෙවියන් හට හානි කිරීම නිසා තාරක අසුරයා මරණයට පත් කල හැකි ශක්තියකින් යුක්ත දෙවිකෙනෙකුන් බිහිවිය යුතු බව සක්‍ර දෙවියන් තීරණය කළා. ඒ සදහා  ශිව හා ශක්ති දේවි හෙවත් පාර්වතියගේ ශක්තින් එකතු විය යුතු බව දෙවියන් ඉල්ලීමෙන් පසු එය පිළිගත් ශිව හා පාර්වතී දේවිය ස්කන්ධ කුමරා බිහිකළ බව සදහන් වෙනවා.
මෙහිදී ශිව හා පාර්වතී දේවියගේ ශක්තින් මුසුවීමෙන් හටගත් ජීව ධාතුවක් නිර්මාණය උන බවත්  එය ඇතිවීමේදී සුර්යයෙකු පහල වෙනවා මෙන් අධික ආලෝකයක් හා තාපයක් ඇතිවුන බවත් සදහන් වෙනවා.
 එහි අධික තේජෝ ශක්තිය වෙනත් කිසිදු දෙවියෙකුට දරාගත නොහැකි නිසා අග්නි දෙවියන් හට බාරදුන් බවත්  අග්නි දෙවියන් එම ජීව ධාතුව ගංගා නදියේ පා කල බවත් එමගින් ජීව ධාතුවට පදාර්ථ එක් වී ස්කන්ධ කුමාර බිහිවුන බවත් සඳහන් වෙනවා. ගංගා නදියේ පාවී ආ කුමරුන් සරවන නම්  විලෙහි උණ ගස් අතර රැදී තිබියදී දැක දිව්‍යමය මාතාවන් සය දෙනෙකු විසින් හදාවඩා ගත් බවත් දැක්වෙනවා.

ශිව දෙවියන් තම  ශක්තිය ප්‍රධානය කිරීමේදී තම ඊශාන, සදාශිව, වාමදේව, අඝෝර , තත්පුරුෂ, සද්යෝජාත
යන ස්වරූප හයෙන් යුත් මුහුණු හයම අවදි කර ශක්තිය ප්‍රධානය කල නිසා මෙම එක කුමරා දෙවියන් හය දෙනෙකුට සමාන බලයක් සහිත වූ බවත් ඒ  නිසා මාතාවන් සය දෙනෙකු විසින් පෝෂණය කල බවත් සදහන් වෙනවා. කතරගම දෙවියන් හට මුහුණු හයක් උරුම උනේත් මේ නිසයි .

ස්කන්ධ කුමාරයන් පෝෂණය කිරීමට ඉදිරිපත් වූ දිව්‍ය මාතාවන් හත්දින්නත් තරු වලට අධිපති දිව්‍යාංගනාවන් බව සදහන් වෙනවා. හත් දින්නත් තරු පන්තිය සංස්කෘත බසින් නම් කරන්නේ කෘතික නමින්. එය දෙමළින් කාර්තික විදියට නම් කරනවා ස්කන්ධ දෙවියන් හට කාර්තිකේය යන නම යෙදී තිබෙන්නේ මේ නිසා .

ස්කන්ධ කුමරුන්ගේ උපතට අග්නි දෙවියන්ගේ හා ගංගා දේවියගේ දායකත්වය නිසා මහාභාරතයේ වාන පර්වය තුල හා රාමායනය තුලදී ස්කන්ධ කුමරුගේ දෙමව්පියන් ලෙස අග්නි හා ගංගා නම් කර තිබෙනවා. එහෙත් මහාභාරතයේ ශල්‍ය හා අනුශාසනා පර්ව වලත්, ස්කන්ධ පුරාණ, ශිව පුරාණ හා කාලිදාසගේ කුමාරසම්භව වැනි බොහෝ ප්‍රධාන මුලාශ්‍ර වල සදහන් වෙන්නේ ස්කන්ධ කුමරුගේ දෙමව්පියන් ශිව හා පාර්වති දේවිය විදියටයි.

* ස්කන්ධ කුමරුන් බිහිවීම පිලිබඳ විස්තරය සුරංගනා කතාවක් මෙන් සමහරුන් බැහැර කලත් මෙම තොරතුරු  තුල සත්‍ය රහස් සැඟවී තිබෙනවා. මිට අවුරුදු 30 - 40  කට පෙරදී  ක්ලෝන තාක්ෂණයෙන් මිනිසුන් හෝ සතුන් බිහිකළ හැකි බව කවුරුන් හෝ  ප්‍රකාශ කළා නම් එයට විද්‍යාඥයන් පවා හිනාවෙන්න ඉඩ තිබුනා. ඒ වගේම මේ කාලයේදී සිදුකරන නල දරු  උපත්, පටක රෝපණ ක්‍රම ආදි මිනිස් කුසකින් බැහැරව දරුවන් බිහි කිරීමක් ගැන පෙර කාලයේදී ප්‍රකාශ කලානම් ඒවාට මිනිසුන් සිනාවෙන්න ඉඩ තිබුනා. නමුත් අද ඒවා සත්‍ය බවට පත්වී තිබෙනවා. මේ වගේම දෙවිකෙනෙකු වීමට තරම් පිං ඇති ගන්ධබ්බයෙකු දේව සිරුරක් තුලට ඇතුල් කල හැකි ක්‍රමවේදයක් අනන්ත දැනුමක් ඇති දෙවියන් අතර පවතිනවා වෙන්න පුළුවන්.

නවීන විද්‍යාගාර තුල න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා කරවීමේදී අධික තාපයක් හා ආලෝකයක් පිටවෙනවා. ස්කන්ධ දෙවියන්ගේ උපතට සම්බන්ධව ශිව හා පාර්වතී දෙදෙනාගේ ශක්තින් එකතු කර ජීව ධාතුවක් නිර්මාණය කිරීමේදී දෙවියන් හටවත් දරාගත නොහැකි අධික තාපයක් ඇතිවුන බව කියන කතා පුවත තුල එවැනි ශක්ති විද්‍යාත්මක සත්‍යයක් තිබෙන්න පුළුවන්.

මිනිසුන් විනාශ වන භෞතික හානි වලදී දෙවියන් හට කිසි බලපෑමක් නැති වුවත් ලෝක විනාශය වන අවස්තාවේදී සුර්යයන් හත්දෙනෙකු ඇතිවීමෙන් ඇතිවන ගින්නෙන් අකනිටා බඹලොව තෙක් දේවලෝක බ්‍රහ්ම ලෝක පවා විනාශ වන බව බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා. සූර්යයාගෙන් ආලෝකය හා තාපය පිටවීම සිදුවෙන්නේ සුර්යයා තැනී තිබෙන හීලියම් පරමාණු න්‍යෂ්ඨික විඛන්ඩනයට ලක්වීමෙන්.
ඒ අනුව ස්කන්ධ කුමාර උපතේ ජීව ධාතුව ඇතිවීමේදී හටගත් ආලෝකය හා තාපය දෙවියන් හටත් දරාගත නොහැකි  වුනේ ශිව හා පාර්වතියගේ අධික ශක්තිය මුහුවිමෙන් න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවක් වැනි ක්‍රියාවලියක් සිදුවීමෙන් වෙන්න පුළුවන්.
මහා බ්‍රහ්ම, ශිව, විෂ්ණු, සක්‍ර හා පාර්වතී යන දෙවිවරුන් දෙව්ලොව අනෙක් දෙවියන්ට දැරිය නොහැකි අධික ශක්තියක් දරා සිටින මහා දෙවිවරුන් බව  වජ්‍රය පිලිබඳ ලිපියේදී(click to read)  බව පැහැදිලි කළා.

ස්කන්ධ දෙවියන් 



වේද ඉගැන්වීම් අනුව යුද්ධයට අධිපති දෙවියන් වන කඳ සුරිඳුන්ට මුහුණු හයක් හා අත් දොළසක් තිබෙනවා. සිරුර රන්වන් පැහැතියි. මයුර වාහනාරූඩව දෙවියන් වැඩම කරනවා. කෙටේරියක්‌, දුන්නක්‌, හීයක්‌, පළිහක්‌, පොතක්‌, කඩුවක්‌, අඬකුසයක්‌, මුගුරක්‌, සැවුල් ධජයක්‌, සංඛයක්‌, තෝමරයක්‌ යන අවි දොළසක්‌ අත් දොළොසින් දරා සිටිනවා. ප්‍රධානම ආයුධය වෙන්නේ වේලය.
ලග්න රාශි අතුරින් සිංහ ලග්නයට අධිපති වෙන්නේ කතරගම දෙවියන්. සිංහ ලග්න හිමියන්ගේ ඉෂ්ට දේවතාවා වශයෙන් කතරගම දෙවියන් හා ශිව දෙවියන් කටයුතු කරනවා.
ග්‍රහයන් අතරින් අඟහරු ග්‍රහයාට අධිපති වෙන්නේ කතරගම දෙවියන්. ඒ නිසා අඟහරු ග්‍රහයෙන් නිකුත් වන අහිතකර කිරණ හේතුවෙන් ඇතිවන අපල මගහරවා ගැනීමට කතරගම දෙවියන් හට පුජා තැබීම සිදුකරනවා.



කාර්තිකේය දෙවියන්ගේ ආයුධය වන්නේ වේලායුධය. වේලායුධය කියන්නේ හෙල්ලක්. මෙය තාරක අසුරයාගේ සහෝදරයෙකු වන සූරපද්මන් නම් අසුරයා විනාශ කිරීම සදහා පාර්වතී දේවිය විසින් කාර්තිකේය දෙවියන්ට ලබාදුන් ආයුධයක්. අසුර සේනාව සියල්ල විනාශ වීමෙන් පසු සුරපද්මන් අසුරයා ස්කන්ධ දෙවියන්ගෙන් බේරීමට අඹ ගසක ස්වරුපයක් ගෙන සැඟවෙනවා. එහෙත් අසුරයා හදුනාගන්නා ස්කන්ධ දෙවියන් තම වේලායුධය එල්ල කර අඹ ගස දෙකඩ කර දමනවා. එවිට සුරපද්මන් විසින් මවාගත් මායාව බිදවැටි එක් අර්ධයකින් කතරගම දෙවියන්ගේ වාහනය වන මොණරාත් අනෙක් අර්ධයෙන් කතරගම දෙවියන්ගේ ධජයේ පිහිටවූ කුකුළාත් ඇතිවූ බව දේව කතා තුල සදහන් වෙනවා. යුධ පරාජයෙන් පසු සුරපද්මන් අසුරයා කතරගම දෙවියන්ගේ වාහනය වන මොනරා ලෙස සේවය කරනා බව සඳහන් වෙනවා.

මෙම අසුර ජයග්‍රහණය සමරමින් ඉන්දියානුවන් තයිපුසම් උත්සවයත් ලාංකික හින්දුන් අඩි වේල් උත්සවයත් සැමරීම සිදුකරනවා.


* 14 වන සියවසට අයත් නිකාය සංග්‍රහය තුල ස්කන්ධ දෙවියන් ලක්දිව සතරවරම් දෙවිව්වරුන්ගෙන් කෙනෙකු ලෙස පළමුවරට සදහන් වී තිබෙනවා.

* ඉපැරණි පුස්කොළ පොතක් වන අමරකොශයෙහි කතරගම දෙවියන්ගේ නම් මේ විදියට සදහන් වෙනවා;
කාර්තිකේයෝ මහා සෙනඃ 
ශරජන්මා ශඩානනඃ
පාර්වතී නන්දනඃ ස්කන්දඃ
සේනානිරග්නිභුර් ගුහඃ
බහු ලේයඃ තාරකජිත්
විශාකඃ ශිඛිවාහනඃ
ශාන්මාතුරඃ ශක්තිධරඃ
කුමරඃ ක්‍රවුන්ච ධාරනඃ 


* නාමාවලිය නම් පැරණි ග්‍රන්ථය තුල කතරගම දෙවියන් හදුන්වන නම් දහතුනක් දැක්වෙනවා
දෙවි සෙනෙවි කුමර සරයොන් සවත්   කඳ
මහසෙන් සිකියහන් බරඅත්       කොතායුද
අඩයටිදර හුතැස්යෝන් ගුරු      බරනෙතද
මෙකි තෙලෙස් නම් වේ කුමර හට      කඳ 


* හෙළදිව අභිදානවත නම් ඉතා පැරණි ග්‍රන්ථය තුලත් සරයොන්, සවත්, මහසෙන්, උමාපුත්, බරනුවන්, අඩයටිදර, දොලොසත්, නරනා, කුමර, බරනෙත් ආදී නම් 12ක් දක්වා තිබෙනවා.

* පරම විඥානාර්ථ වාදීන් ( theosophical society) කතරගම දෙවියන් යනු ටිබෙටයේ ආධ්‍යාත්මික ඍෂිවරුන් වන මාස්ටර් වරුන් හට පමණක් ඇතුල්විය හැකි අදෘශ්‍යමාන නගරයක් වෙන ශාම්බාලා නම් දිව්‍යමය නගරයේ අධිපති වන සනත් කුමාර නම් මාස්ටර් වරයා බව විශ්වාස කරනවා. සනත් කුමාර යන සංස්කෘත පද දෙකෙහි අර්ථය සදාකාලික-තාරුණ්‍යය කියන එකයි.

* දෙමළ භාෂාවෙන් මුරුගන් හෙවත් මුරුකන් යන්නෙන් අදහස් වෙන්නේ තරුණයා යන අර්ථය. මුරුගන් හෙවත් ස්කන්ධ දෙවියන් සදාකාලික තාරුණ්‍යය සහිත ඉතා කඩවසම් දෙවියෙකු බව සියලු පුරාණ ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මේ නිසා තාරුණ්‍යය නොපිරිහෙන යන අර්ථයෙන් මුරුගන් යන නම භාවිත වෙනවා.

* ස්කන්ධ දෙවියන් මුහුණු සයකින් පෙනී සිටින නිසා ශන්මුඛ යන නමින් හඳුන්වනවා. මහනුවර යුගය වනවිට කතරගම දෙවියන් ලංකාරක්ෂක සතර වරම් දෙවිවරුන් අතරින් එක් දෙවි කෙනෙකුන් ලෙස පිළිගත් බව ගඩලාදෙණියේ ඇති සේනා සම්මත වික්‍රමබාහු රජුගේ ශිලා ලේඛනයේ සදහන් වෙනවා.
" සුමන, විභීෂණ, ශන්මුඛාදී සතරවරම් දෙවියන්ගේ ආඥාය" යන ලෙස එහි සදහන් වෙනවා.

* හින්දු ඉගැන්වීම් තුල  සෘග්වේද සමයෙහි "වස්‌කන්ධ" යන නමින් හැඳින්වුණු දෙවියන් පසු කලෙක ස්‌කන්ධ නමින් ප්‍රකට  වී තිබෙනවා. ස්කන්ධ යන්නේන් අදහස් වෙන්නේ පහර දෙන්නා යන අර්ථය.

* ඊශ්වර හෙවත් ශිවගේත් පාර්වතියගේත් පුතකු ලෙස ස්‌කන්ධ දෙවියන් හඳුන්වන දකුණු ඉන්දියයන් කුමාර, කාර්තිකේය, සුබ්‍රමනියම්, මුරුගන් යන නම්වලින් කතරගම දෙවියන් හඳුන්වනවා.



* කතරගම දෙවියන් වනදනා කරන හරෝහරා යන නාදය ඇතිවුනේ කතරගම දෙවියන්ගේ පිය දෙවියන් වන ශිව දෙවියන් වනදනාවට ගායනා කරන හර් හර් මහා දේව යන යෙදීමෙන්. මේ බව නොදත් මෑතකාලීන අන්ධ රාවණ භක්තිකයන් මන්ත්‍ර විද්‍යාවේ අයන්නවත් නොදැන තමන් විසින් නිර්මාණය කරන විකෘති මන්තර තුලට හරෝහර පදය යොදා තිබෙනවා දකින්න ලැබෙනවා.


කතරගම දෙවියන් දර්ශනය වන ආකාරය ගැනත් කතරගම දේවාලයේ ආරම්භය ගැනත් කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් පලකල අදහස් බැලිමෙන්  කතරගම දෙවියන් යනු කිසිසේත්ම රාවණා නොවන අසුරයෙකුද නොවන සුර දෙවිකෙනෙක් බව ඉතා පැහැදිලිව තේරුම්ගන්න පුළුවන්.


"දෙවියන් ජීවමානව ලෙහෙසි පහසු කෙනෙකුට දකින්න අමාරුයි.ඒකට හේතුව දෙවියන් කියන්නේ මනුස්සයින්ට වඩා උසස් තත්ත්වයකින් ජීවත්වන අය වීමයි.දෙවියන් ජීවත් වෙන්නේ තවුතිසා දිව්‍ය ලෝකයේ.කතරගම දෙවියන් වුවත් වැඩ වාසය කරන්නේ එම දිව්‍ය ලෝකයේ.අපි කරන පුද පූජා වලට දිවැස් බලනඑක තමයි දෙවියන් සිදුකරන්නේ.අපි පිරිසිදුව වතාවත් වතාවත් කරනකොට උන්වහන්සේලා කරන්නේ දිවැස් බලන එක.දිවැස් බලනකොට අපිට අමුතු ආලෝකයක් තමයි බලාගන්න තියෙන්නේ.සමහරු දෘශ්‍යමාන වෙනවා හා ජීවමාන වෙනවා කියන්නේ එකක් කියලයි හිතන්නේ.දෘශ්‍යමාන වෙනවා කියන්නේ ජීවමාන වෙනවා කියන එකට නෙමේ.ඒ දෙක වෙනස්.දෙවියන් ජීවමාන තමයි. නමුත් ලෙහෙසියෙන් පහසුවෙන් දෙවියන් දැකගන්න බැහැ.සිහිනෙන් දෙවියන් දුටුවත්,අපට පේන්නේ ඒ දිව්‍ය ශරීර නොවෙයි.එක්කෝ සාමි කෙනෙක් වගේ,එහෙම නැත්නම් අපේ මුතුන් මිත්තන්ගෙ කෙනෙක් වගේ. රුහුණු මහා කතරගම දේවාලයේ විශේෂ අවස්ථා තිබෙනවනේ. ඇසල මංගල්‍ය වගේ පෙරහර පටන්ගන්නා දවසට, දියකපන දවසට, එහෙම ඒ ස්ථානවල අමුතු ආලෝකයක් අපිට දැකගන්න පුළුවන්.එතකොට අමුතු සුවදක් එනවා.ඒකෙන් තමයි අපි තේරුම් ගන්නේ දෙවියෝ දිවැස් බලනවා කියලා.

පෞරාණික අත්දැකීමක් තියෙනවා. ඕලන්ද යුගයේදී මේ රෝහණ ජනපදය සම්පූර්ණයෙන්ම විනාශ කළානේ.පස්සේ මේවා ජනශූන්‍ය වුණා. ඒක තමයි මෙහෙ තාමත් තියෙන්නේ.අපේ තාත්තලා උපන්නේ මේ කටගමුවෙමයි.රුහුණු මහා කතරගම දේවාලයේ නිලපංගු,ප‍්‍රවේණි පංගු ලෙස පත්කර, පසුව ඒ ඒ කපුගොල්ලන්ට නින්දගමක් ලෙස දුන්නු ඉඩම් තමයි මේ කටුගමුව.මේ ගොල්ලන්ගේ කාර්යය තමයි ඇසල සමයේ දේව කටයුතු කිරීම.බැද්දේ කණු කැපීම, මණ්ඩපයේ කණු කැපීම, දෙවියන් වැඩම වීම කියන කාර්යය සදහා තමයි මේ නින්දගම දීලා තියෙන්නේ. ඕලන්ද ජාතිකයන් වැව් අමුණු පවා කඩලා රෝහණ ජනපදය විනාශ කළාට පස්සේ ගැටලූවක් ඇති වුණා.එදා තිබුණේ කෘෂිකාර්මික වටපිටාවක්. එතකොට තේ,රබර්,පොල් ආර්ථිකයට දායක වුණේ නෑ.ඒවා අඩපණ වුණාට පස්සේ ඇසළ උත්සවය කරන්නේ කොහොමද කියලා මේ අය කල්පනා කළා.වර්ථමාන බස්නායක නිළමේ නිලය එදා මහ බෙත්මේ කියලයි හැදින්වුයේ. මේ අය හිටියේ මාගම.මෙහේ හිටිය කපුගොල්ල ගිහින් ඒ අය එක්ක සාකච්ඡුා කළා ඇසළ උත්සවය කොහොමද පවත්වන්නේ කියලා.අවසානයේ තීරණය වුණා ඇසල උත්සවය නවත්වන්න.ඒ තීරණය ගන්නාවිටම මෙහි ඇති නිදන් ගල උඩ සුදු ඇදගත්ත අත්භූත පුද්ගලයෙක් මේ අය දැක්කා.ඊට පස්සේ මේ අය බැලූවා කවුද මේ අත්භූත පුද්ගලයා කියලා.එතකොට ඒ පුද්ගලයා ඇහුවා ‘මගේ මංගල්‍ය කරන්නේ නැද්ද කියලා’ එතකොට ඒ අය දැනගත්තා ඒ කතරගම දෙවියන් කියලා. දොහොත් මුදුන් දීලා වැදලා ‘ඔබ වහන්සේට පේන්නැද්ද අපට සිදුවී ඇති විනාශය’කියලා ඔවුන් ඇසුවා.දෙවියන් වහන්සේ එවිට කිව්වා ‘බයවෙන්න එපා මගේ මංගල උත්සවය කරන්න.මගේ මුළුතැන් මංගල්‍ය කරලා අවසර ගන්න සක්පිඹ වදිනවානේ.අන්න ඒ අවස්ථාවේ මේ හතර දික්භාගයෙන් මගේ පූජෝපහාර අලංකාර කරගැනීමට පැමිණෙන බැතිමතුන්ට සෙත් පතන්න කිව්වා.එවිට සාර්ථකව එය කරගෙන යා හැකියි’යනුවෙන්.ඒ චාරිත‍්‍රයතමයි අදටත් පවත්වාගෙන යන්නේ.එදා දෙවියන් දෘෂ්‍යමාන වෙලා තිබුණා.


දුටුගැමුණු මහරජතුමා කතරගම දෙවියන්ට භාරවුණා යුද්දෙන් ජයගන්න ලැබුණොත් රන් උළු මාලිගාවක් හදල දෙන්නම් කියලා.දුටුගැමුණු රජතුම දිය කපන්න යද්දි තමයි කතරගම දෙවියන් දෘශ්‍යමාන වුණේ. යුද්දෙන් ජයගත්තට පස්සේ රජතුමා වැඩිහිටි කන්දට ඇවිත් අධිෂ්ඨාන කළා.එවිට දෙවියන් දෘශ්‍යමාන වුණා.මම ඔබවහන්සේට භාරය ඉෂ්ඨ කරන්නම් කියලා කියනවිට
අනාගතයේ කළුවර කාලය කියලා කාලයක් එනවා.ඒ  කාලයේදී බිහිවන මිනිසුන් දෙමාපියන්ට සලකන්නේ නෑ.වැදගත් අයට සලකන්නේ නෑ.දෙවියන්ට සලකන්නේ නෑ.ඒ නිසා මට අපකීර්තියක් වෙනවා.රන් උළු මාලිගයක් නෙමේ,රන් කොත් මාලිගයක් හදන්න’කියලා දෙවියක් කිව්වා. ඔබ වහන්සේ හදන තැන පෙන්වන්න කිව්වා. හීයක් විදින්න,ඒ හීය වැටෙන තැන හදන්න කියලා දෙවියන් කිව්වා. අන්න ඒ ස්ථානයේ තමයි දුටුගැමුණු රජතුමා දේවාලය ඉදිකළේ. ඉදිකරලා ඉරහද පවතිනතුරු කරගෙන යන්න කියලා භාරවුණා.
කතරගම දේවාලය පිහිටා ඇත්තේ විශාල ගල් පුවරුවක් උඩ බවත් එම පුවරුව මත මහානුභාව සම්පන්න යන්ත්‍ර චක්‍ර එකසිය අටක් ඇති බවත් දේවාලය ඉදිකර ඇත්තේ එම යන්ත්‍රය උඩින් බවත් ගල් පුවරුවේ සතරකොන නිධාන පිහිටවා ඇතිබවත් කතරගම දේවාලය පිළිබඳව පාරම්පරික ඉගැන්වීම් වල සඳහන් වෙනවා.



* බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් කතරගම පෙරහැර දැකීමට ගිය අවස්ථාවේදී ගිනි පෑගීමේ චාරිත්‍රය වන අවස්ථාවේදී දෙවියන් ගිනි මතින් වැඩමකිරිම දුටු බව සාකච්චාවකදී සදහන් කර තිබෙනවා.
“බළන්ගොඩ පිරිවෙන කරන කාලයේ, මට හරියට වර්ෂය මතක නැහැ. ඒ කාලයේ අපේ මෛත්‍රීමූර්තිට වයස අවුරුදු පහළොවක් විතර ඇති. ඇලපාත රටේ මහත්තයාලාගේ වලව්ව අසල තියෙන අල්පිටියේ පන්සලේ වසකට මට ආරාධනා ලැබුණා. මාත් මගේ ගෝල දෙනමත් (මෛත්‍රීමූර්ති හා ශාන්තිදේව) එක්ක එහාට ගියා. ඒ දෙනම සාමණේරයි. ඉගෙනීමට පාඩු වන නිසා ඒ අයට එහේදීත් පොත් කියෙව්වා. මා ඔය වයසට ගිය ළඟදීම ඇලපාත රටේ මහත්මයා ඇහුවා. ‘හාමුදුරුවනේ දැන් කතරගම පෙරහැර කාලේ, ගිනි පාගන දවසත් කිට්ටුයි. හාමුදුරුවන් ගිනි පාගනවා බලන්න කැමතිද? කියලා. මා කිව්වා, ‘මා කවදාවත් කතරගම ගිහිල්ලා නැහැ. කතරගම නම් බලන්න යන්න ආසයි’ කියලා ‘එහෙනම් හාමුදුරුවන් ලෑස්ති වෙන්න’ කියලා , කොළඹ වජිරාරාමයේ වැඩ ඉන්න නාරද තෙරුන් වහන්සේටත් ඇලපාත රටේ මහත්මයා ටැලිග්‍රෑම් පනිවුඩයක් යැව්වා. ‘ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් මාත් එක්ක කතරගම යනවා. ඔබ වහන්සේත් වඩින්න කතරගම ගිනි පාගනවා බලන්න යන්න කියලා. ඉතින් නාරද ස්ථවීරයනුත් වැඩියා.”


“ඇලපාත රටේ මහත්තයයි, වතු වවන එල්ලාවල මහත්තයගේ සහෝදරයකුයි එක කාර් එකක. අනික් කාර් එකේ නාරද ස්ථවීරයොයි, මායි අර සාමණේර දෙනමයි. අප පිටත්වෙලා ගිහිල්ලා තිස්සමහාරාමයේදී කාර් නැවැත්තුවා. ඒ කාලයේ එයින් එහා කාර් යන්න පුළුවන් පාරක් තිබුණේ නැහැ. මේ සැතපුම් දහය පයින් යන්න අමාරුයි කියලා බර කරත්තයක් ලෑස්ති කරලා තිබුණා. අප ඒකේ නැගලා කතරගමට ගියා. මෙගොඩදී බැහැලා පයින් ගඟින් එගොඩ වුණා. අපට නතර වෙන්න එතන කූඩාරමක් හදලා තිබුණා. ඒකේ අප නතර වුණා. ඇලපාත රටේ මහත්තයාගේ මස්සිනා වන දිවිතොටවෙල රටේ මහත්තයා තමයි ඒ කාලේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ වෙලා සිටියේ. ඉතින් උන්නැහේ අපට අවශ්‍ය පහසුකම් සියල්ල සලසලා තිබුණා. කතරගම පන්සල් කොහේ තියෙනවද කියා අප එතකොට දන්නෙත් නැහැ.
“දවස් කීපයක් අප කතරගම හිටියා. පෙරහර හෙමත් බැලුවා. ගිනි පෑගීම තිබුණේ පහුවදා උදේට. සෙනග වැඩිවුණාම එතෙන්ට යන්ට අමාරුයි. කල් ඇතිව එතන්ට ගිහින් ඉන්න එක හොඳයි කියලා අප හතර නමට දේවාලේ ඉස්සරහ එක පැත්තක ටිකක් දුරින් පුටු හතරක් තියලා දුන්නා වාඩිවෙලා ඉන්න. ඒ කාලේ ගිනි පාගන්නේ දේවාලේ ඉස්සරහ. එළිවන ජාමයේ හතරහමාරට විතරයි අප එතනට අඬගහගෙන ගියේ. අප අර පුටුවල වාඩිවෙලා උන්නා. එතකොට අර ලොකු ගිනිවලේ ගිනි අවිලෙනවා. රස්නය වැඩි නිසා බඹ ගණනකටවත් කිට්ටු වෙන්න බැහැ. මහා දර ගොඩක් තදින් ඇවිලෙනවා.”
“වෙලාව පහට විතර වෙන්න ඇති. අපට ඉතින් වෙන මොකවත් දකින්න බලන්න ඕනෑ කමක් තිබුණේ නැහැ. අප නිකන් ඔහේ හිටියා. තරමක පිරිසකුත් කල් ඇතිව ඇවිදිල්ලා වටවෙලා හිටියා. ඔහොම ඉන්න කොට ඔන්න අර ගිනිවල අද්දර ළඟම කවුදෝ කෙනෙක් හිටගෙන ඉන්නවා. ගේට්ටුව දිහා බලාගෙන. වම් උරහිස වැහෙන සේ ගුරුපාට රෙද්දක් දාගෙන, පපුවෙන් පහළටත් ගුරුපාට රෙද්දක් ඇඳගෙනයි හිටියේ. හිස බාපු කෙනෙක් වගෙයි. මට පෙනුණේ රතුපාට හොඳ සුද්දෙක් වාගෙයි. මුණ හීන්දෑරියි. දිගටියි. වැඩිය මහතත් නැහැ. මධ්‍යම ප්‍රමාණයේ උස ශරීරය. බොහාම ලස්සණයි. කියන්න බැරි තරම් ලස්සණ රූපයක්. තාපස කෙනකු වගෙයි. බලාගෙන ඉන්නවා ගිනි මැලේ දිහා. මා ඉස්සරවෙලා හිතුවේ මේ කපුරාළ කෙනකු වෙන්න ඇති කියලා. ඒ එක්කම මා හිතුවා අපට බඹ ගාණකට කිට්ටු වෙන්න බැරි මේ මහා රස්නය තියෙන තැන කොහොමද මනුෂ්‍යයකු ඉන්නේ කියලා.


“මා ළඟම හිටිය නාරද ස්ථවිරයන්ගේ ඇඟට තට්ටු කරලා නාරද ස්ථවීරයො, කියා හෙමින් කතා කළා. මොකවත් කතා කරන්න එපා බලා ගනිමු කියලා මා කිව්වා. ඉතින් අප බලා හිටියා. මෙන්න අර පුද්ගලයා හෙමින් හෙමින් ගිනිවලට බැස්සා. අර උඩට නගින ගිනි දලු මැදින් පියවර මනින්නා වගේ බොහොම හීන්සැරේ එහාට එහාට යනවා හොඳට පැහැදිලිව පේනවා. එතන හිටිය සියලු දෙනාම මේක දැක්ක බව පසුව දැන ගන්ට ලැබුණා. එහාට එහාට බොහොම හීන්සැරේ ගමන් කළා. මිනිත්තු දෙකක් හෝ තුනක් විතර යන්න ඇති. එච්චර හීන්සැරේ තමයි ගියේ. එගොඩට ගිහිල්ලා අනික් පැත්තෙන් ගොඩ වුණා. ගොඩවෙලා ගේට්ටුව දිහා බලාගෙන හිටියා ටික වෙලාවක්. එක පාරට නොපෙනී ගියා. ඉතින් අප තේරුම් ගත්තා මේ කවුද? කියලා.”
“ඊට පැයකටවත් විතර පස්සෙ යි, ඒ වෙනකොට ගිනි අඟුරු බැහැලා. අන්න ඒ වෙලාවේ තමයි අර ගේට්ටුව පැත්තෙන් කපුරාළ මුලින්ම ඇවිත් ගිනිවල මැදින් ගියේ. ඊට පස්සේ අනිත් අය ගිනිවල පාගගෙන දේවාලයට ගියා. අර ගින්දර නිවුණායින් පස්සේ ගිනි අඟුරු විතරයි. මේක උණේ උදේ හයට විතර. අප මේ දැක්ක දර්ශනය ප්‍රධාන කපු මහත්තයා හමුවෙලා මා කිව්වා. මෙන්න මෙහෙම දර්ශනයක් අප දුටුවා කියලා. ඒ වෙලාවේ කපු මහත්තය කිව්වා, ‘හාමුදුරුවනේ, හැමදාම දෙවියන් ඔය විදියට වඩිනවා මට විතරයි පේන්නේ.
දෙවියන් ගිනි ගොඩ උඩින් වැඩියාම ගිනි සිසිල් වෙනවා. හැමදාම ගිනි පාගන දවසට ඔය දර්ශනය එනකල් මා බලාගෙන ඉන්නවා. ඔය දර්ශනය නොපෙණුනොත් මා ගිනිවලට බහින්නේ නැහැ. ඉතින් අද කල් ඇතිව ඔබ වහන්සේලාට පෙනිලා තියෙනවා. සමහරවිට ඔබ වහන්සේලාගේ සැකයක් දුරු කරන්නත් වෙන්න ඇති. කොයි එකද මා දන්නේ නැහැ. වෙනදා නම් උදේ ගිනි පාගන්න කිට්ටුවයි ඔය දර්ශනය පෙනෙන්නේ. අනික් අයට බොහෝ විට ඔය දර්ශනය දකින්න ලැබෙන්නේ නැහැ. කියලා කපු මහත්තයා කිව්වා. නාරද ස්ථවිරයන් ඕක කොළඹට ආවට පස්සේ පත්තරේට දැම්මා. පත්තරකාරයා ඒක දැකලා. ඔන්න නාරද හාමුදුරුවන්ට දෙයියන් පෙනිලා. කියලා සමච්චල් කරලා තිබුණා.

'බුදුබව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි' පොතෙන් උපුටා ගන්නා ලදී. කෙතරම් දැනුමෙන් සන්නද්ධ වුවත් භාවනානුයෝගී ජිවිතයක් ගත කල බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන හට කතරගම දෙවියන් වගේම මහත්මා කුතුමි, මහාවතාර් බාබාජි වැනි රිෂීවරයනුත් දර්ශනය වී තිබෙනවා.


කතරගම දෙවියන් හා රාවණ 



* කතරගම දෙවියන් නම් කරන සිංහල දෙමළ සංස්කෘත නාමයන් කිසිවක් තුල රාවණ රජුට කිසිදු සම්බන්ධයක් ඇති නමක් සදහන් වෙන්නේ නෑ.

* රාවණ රජුගේ තාක්ෂණ භාවිත කළා යයි අනුමාන කළහැකි සිගිරි කාශ්‍යප රජුගේ සහෝදර මුගලන් ගේ පුතෙකු වන කුමාරදාස විසින් රචිත ජානකීහරණය තුළදී ඉතාම පැහැදිලිව රාවණ රජු හා කතරගම දෙවියන් යනු දෙදෙනෙකු බව සදහන් වෙනවා. එහිදී රාවණ රජුගේ ක්‍රියා වලින් දෙවියන් පීඩිතව සිටියදී රාවණ පරපුරේ පෙර රජෙකු වන තාරක අසුරයා මරා දැමු කන්ද කුමාර දෙවියන් ඊට විරුද්ධව ක්‍රියා නොකළේ ඇයිදැයි විෂ්ණු දෙවියන් කන්දකුමාර දෙවියන්ගෙන් ප්‍රශ්න කරන බව සඳහන් වෙනවා.

" ස්වශක්තියෙන් හෙළන ලද තාරකාවන් ඇති , ස්වකීය වාහනය වූ මයුරයා මෙහෙයවන්නා වූ, අඩයටින් තාරක නම් අසුරයා හෙලා දැම්මා වූ, කල්පාන්තයෙහි පවනක් සේ භයන්කාර වූ, නොවැලක්විය හැක්කා වූ, මේ කඳ කුමර තෙමේ කිමෙක්ද මේ දීන බැව්හි සිටියේ? "
- ජානකීහරණය- දෙවන සග - 28

* ගඩලාදෙණියේ  ඇති සෙල්ලිපිය තුලත් කතරගම දෙවියන් ශන්මුඛ ලෙස නම් කිරීමෙන් පෙනෙන්නේ ඒ කාලයේදී පවා කිසි විටෙකත් කතරගම දෙවියන් මුහුණු දහයක් ඇති කෙනෙක් ලෙස පිළිගැනීමක් නොතිබුණු බව. ඒ නිසා ඒ තුලිනුත් කතරගම දෙවියන් යනු රාවණා නොවන බව පැහැදිලි වෙනවා.

* රාමායනයේ බාල කාන්ඩම් තුලදී විශ්වමිත්‍ර ඍෂි විසින් කුඩා රාම හා ලක්ෂමන දෙදෙනාට ස්කන්ධ දෙවියන්ගේ උපත පිලිබඳ කතාපුවත කියාදෙන ආකාරය දැක්වෙනවා. ඒ තුලින් කතරගම දෙවියන් යනු රාවන නොවන බවත් කතරගම දෙවියන් රාවන යුගයට පෙර තරු හෙවත් තාරක සමයේ උපත සිදුවූ දෙවි කෙනෙක් බව තහවුරු වෙනවා.

* කතරගම දෙවියන් රාවණ රජු යයි සනාත වන කිසිම සාධකයක් කිසිම තැනක නෑ. කතරගම දෙවියන් රාවණ රජුනම් රාවණ ඇල්ල, සීතාවක, මුන්නේශ්වරම්, වාරියපොළ ආදිය පිලිබදව අදටත් පවතින ජනප්‍රවාද තියෙද්දී කතරගම දෙවියන් පිලිබදව එක ජනප්‍රවාදයක් වත් නොපවතින්න හේතුවක් නෑ. කතරගම දෙවියන් පිළිබද එක තොරතුරකවත් රාවණ නාමයක් හෝ ගෑවී නෑ. ජනප්‍රවාද කියන්නේ සුද්දන් නිර්මාණය කරන දේවල් හෝ ඉන්දියානුවන් නිර්මාණය කරන දේවල් නෙවෙයි. ජනප්‍රවාද නිර්මාණය වෙන්නේ රටේ මිනිස්සුන්ගේ පරම්පරානුගත ඇදහිලි විශ්වාස වලින්.
මෙලෙස ඉතා පැහැදිලිව කතරගම දෙවියන් සුර දෙවියෙකු බවට සාක්ෂි සාධක තිබියදී මානසික රෝගීන් මොණරා හා දඬුමොණරය සමාන කරමින් ,
ඝන දෙවියන් හා කුම්භාකර්ණගේ බඩ සමාන කරමින් කතරගම දෙවියන් යනු රාවණා යයි උන්මත්තක ප්‍රවාද සමාජගත කිරීම කෙතරම් අමනෝඥ ක්‍රියාවක්දැයි බුද්ධිමතුන් තේරුම්ගත යුතුයි.

* රාවණ රජු පිළිබඳව මහාචාර්ය මිරැන්ඩෝ අබේසේකර හට ගවේෂණය කිරීමට උපදෙස් දුන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් කතරගම දෙවියන් සියැසින් දැක තිබියදීත් කිසිවිටෙක කතරගම දෙවියන් යනු රාවණා යයි ප්‍රකාශ කර නෑ. එමගිනුත් මෑත කාලින රාවණ හොරුන් ප්‍රචාරය කරන කතරගම දෙවි- රාවණ ප්‍රවාදය අමුලික බොරුවක් බව ඔප්පු වෙනවා.

* කතරගම දෙවියන් මුහුණු 6 කින් යුක්ත අතර රාවණ රජු මුහුණු 10 කින් යුක්තයි. රාවණ රජු කතරගම දෙවියන් කිරීමට උත්සහ කරන පුද්ගලයන් 10 හා 6 එකම ඉලක්කම යයි සිතා සිටීමෙන් ඔවුන්ගේ බුද්ධි මට්ටම තේරුම්ගන්න පුළුවන්.

* කතරගම දෙවියන්ගේ ආයුධය වෙන්නේ වේලය නම් හෙල්ල. රාවණ රජු කිසිදාක වෙලායුධය භාවිත කල බවක් කිසි තැනක සදහන් වෙන්නේ නෑ. ඒ වගේම රාවණ රජුගේ ආයුධ වෙන්නේ චන්ද්‍රහාස් අසිපත(click here) ඇතුළු මගුල් කඩු දහය. කතරගම දෙවියන් සම්බන්ධ කිසිම ප්‍රවෘතියක කඩු භාවිත කිරීමක් සදහන් වෙන්නේ නෑ.

* කතරගම දෙවියන්ගේ පියා ශිව දෙවියන්. රාවණ රජු චන්ද්‍රහාස් අසිපත ලබාගැනීමට ශිව දෙවියන් වන්දනා කළා මිස ශිව දෙවියන්ගේ පුතෙක් නෙවෙයි. රාවණ රජුගේ පියා වෙන්නේ විශ්‍රව මුනිවරයායි.

* කතරගම දෙවියන්ගේ බිරිඳන් ලෙස සලකන්නේ වල්ලි හා තේවානි මිස මන්දෝදරිය නෙවෙයි. රාවණ රජුට සමබන්ධ කිසිදු පුද්ගලයෙක්ගේ නාමයක් කතරගම පුරාවෘත තුල අඩංගු වෙන්නේ නෑ.

* පුරාණයේ පටන් කතරගම දෙවියන් වන්දනාවට යොදාගන්නා කවි, ස්තෝත්‍ර මන්ත්‍ර තුල කතරගම දෙවියන් පිළිබඳව සදහන් වෙන්නේ අසුරයන් පරාජය කල දෙවි කෙනෙකු විදයටයි. විශේෂයෙන්ම බලි තරු රාවණ පරපුරේ තරු හෙවත් තාරක අසුරයා මරණයට පත්කරවීම සදහාමයි කාර්තිකේය උපත සිද්ද වුනේ. එහෙමනං කතරගම දෙවියන් රාවණා වෙන්න කිසිම ඉඩක් නෑ.



* කතරගම දෙවියන් රාවණාට ඈදන පුද්ගලයන් සරවනභව යන්නෙහි අර්ථය රාවණ භවය සහිත යයි  මිත්‍යාවක් ප්‍රචාරය කරනවා. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව හෝ කතරගම දෙවියන් පිළිබඳව ප්‍රාථමික මට්ටමෙවත් දැනුමක් මොවුන්ට නැති බව මෙයින් තහවුරු වෙනවා. සරවනභව යන නාමය ලාංකීය මහසෙන් දෙවියන්ට අදාළ යන්ත්‍ර මන්ත්‍ර ස්තෝත්‍ර කවි කන්නලව් කිසිවක භාවිත වෙන්නේ නෑ.  සරවනභව නාමය මුරුගන් දෙවියන්ට අදාළ දෙමළ යෙදීම් වලයි භාවිත වෙන්නේ. එය මුරුගන් වන්දනාවෙන් පසු ලංකාවෙත් කතරගම දෙවියන් වෙනුවෙන් භාවිත වුවා මිසක් අතීතයේ සිට ආ සිංහල යෙදීමක් නෙවෙයි.

සරවනබව යන්නෙහි අර්ථය රාවණ භවය සහිත යන්න නෙවෙයි. සරවනභව යනු රාවණ භවය සහිත යයි ඔප්පු  වන කිසිම ඓතිහාසික සාධකයක් හෝ ජනප්‍රවාදයක් හෝ යන්ත්‍ර මන්ත්‍ර යෙදීමක් ඇත්තේ නෑ. සරවනභව යන්න මුලින්ම යෙදිලා තියෙන්නේ ශිව පුරාණය තුලදී. එහි තේරුම සර - වනයේ - උපන් කියන එකයි. සර හෙවත් ශර කියන්නේ ගංගා නදිය වගේම ආසියාව පුරා ගංගා ආශ්‍රිතව වැවෙන බට පඳුරු (පන් ගස්) වලට.



ස්කන්ධ කුමාරයන්ව අග්නි දෙවියන් ගංගා නදියේ පා කර හැරීමෙන් පස්සේ දිව්‍ය මාතාවන් හයදෙනා හට කුමාරයන්ව ලැබෙන්නේ බට පඳුරු අතර රැඳී තිබියදීයි. මේ නිසාවෙනුයි බට වනයේ උපන් කියන අර්ථයෙන් සරවනභව කියන නම කතරගම දෙවියන්ට යෙදෙන්නේ.

කතරගම දෙවියන් යනු රාවණා යයි අමුලික මිත්‍යා පතුරවන ගයාන් සඳකැළුම් නම් පුද්ගලයා තමාගේ මිත්‍යාව තහවුරු කිරීමට ඉදිරිපත් කරන එක අසත්‍ය සාධකයක් තමයි සරවන භව කියන එකේ අර්ථය ස-රවන-භව හෙවත් රාවණ භවය සහිත යන මන්ද මානසික විග්‍රහ කිරීම. මොහුගේ සියලු අසත්‍ය ප්‍රචාර වගේම මේකත් අමුලික බොරුවක්.

සරවනභව යන්නේ අර්ථය සර-වන-භව හෙවත්  බට (පන් ) -වනයේ-උපන් කියන එකයි. ස්කන්ධ දෙවියන්ගේ උප්පත්ති කතාවේ සඳහන් විදියට  ස්කන්ධ කුමරුන්ව අග්නි දෙවියන් ගංගා නදියේ පා කල පසු ගංගා නදී දේවතාවිය විසින් කුමරුන්ව සරවන විල වෙත රැගෙන එනවා. ස්කන්ධ කුමරුන් පෝෂණය කල මාතාවන් හයදෙනා හට කුමරුන්ව ලැබෙන්නේ සරවන විලේදියි. අදටත් එම සරවන පොකුණ "සරවන පොයිහායි" (සරවනගේ පොකුණ) නමින් හැදින්වෙනවා වගේම එම ස්ථානයේ ස්කන්ධ දෙවියන් සදහා කෝවිලක් ඉදිකර වන්දනා කරනවා.




සර -වන යන්නේ තේරුම උණ - වනය කියන එකයි. ජලයේ පාවී ආ ස්කන්ධ කුමරුන්ව මේ උණගස් අතර රැඳුනු බව පුරාණ ග්‍රන්ථ වල සදහන් වෙනවා. මෙම සිදුවීමට සම්බන්ධ නොවුනත් මෝසස් පිලිබඳ කතා පුවතේදීත් මේ හා සමාන තොරතුරක් දැකගන්න පුළුවන්. ඊජිප්තු රැජිණ හට මෝසස් බිලිඳා ව ලැබෙන්නෙත් මාලිගාව අසල පොකුණේ පඳුරු අතර රැඳී තිබියදීයි.



* සරවන විල පිළිබඳව ශිව පුරාන ස්කන්ධ පුරාණ වැනි ඉතා පැරණි ග්‍රන්ථ වල කාර්තිකේය දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් සඳහන් වෙනවා




පැරණි පුස්කොල ග්‍රන්ථයක් වෙන අමරකෝෂය තුල ස්කන්ධ දෙවියන් පිළිබඳව ශර ජන්මා යනුවෙන් දක්වා තිබෙන්නේ ශර-වනයේ උපන් යන කාරණයයි. ඒ අනුව ස්කන්ධ කුමරු ශර-වන විලෙහි උපන් ප්‍රවෘත්තිය මේ මගිනුත් තහවුරු වෙනවා. කිසිදු සාක්ෂියක් නැති  ස-රවණ -බව යන ව්‍යාජ අර්ථ දැක්වීම බොරුවක් බව මේ තුලිනුත් පැහැදිලි වෙනවා.

ඒ  වගේම සරවනභව මන්ත්‍රය ඉන්දීය කාර්තිකේය, මුරුගන්, ස්කන්ධ දෙවියන් වෙනුවෙන් තැනුණු මන්ත්‍ර හා යන්ත්‍ර දහස් ගණනක යෙදුනත් කිසිදා ලාංකීය මහසෙන් දෙවියන්ට අදාළ ඉතිහාසමය සාධකයක හෝ මන්ත්‍රයක හෝ කවියක් ආදී කිසිවක සදහන් වෙන්නේ නෑ. සරවනභව යන්න කතරගම දේවාලයට වඩින ඉන්දීය ස්කන්ධ දෙවියන්ට අයත් යෙදුමක් මිසක් හෙළ මහසෙන් දෙවියන්ට අදාළ යෙදුමක් නෙවෙයි. සරවනභව යන්න රාවණ රජුට කිසිසේත්ම සම්බන්ධ දෙයක් නෙවෙයි.

සමහරුන් සරවනභව යන ස්කන්ධ මන්ත්‍රය විකෘති කර රාවණ රජු වන්දනාවට ඕම් සරවන භව සිද්ධම් සිද්ධි බලවරම් ලෙස විකෘති ප්‍රචාරය වෙනවා. මෙවැනි අඥාන විකෘති මන්ත්‍ර භාවිත කිරීමෙන් වෙන්නේ වස් වැදී ජීවිතය විනාශවීම පමණයි.

තවත් සමහරුන්
ශිව මස්තු නමෝ රාමඃ
කන්දසේනා සමාගමඃ
වඩිගතන්ත්‍ර මණි  ඛණ්ට
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

යන සුනියම් දැහැන විකෘති කර ඉතා ලාමක ආකාරයෙන් එය තුලට රාවණ නාමය යොදා විකෘති මන්ත්‍රයක් ප්‍රචාරය කරනවා දකින්න ලැබෙනවා.

යන්ත්‍ර මන්ත්‍ර ශ්ලෝක දිෂ්ටි ජීවම් පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව අක්ෂර පිහිටවීම් ඝන පිහිටවීම් පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව ශබ්ද විද්‍යාව සමග සෙල්ලම් කිරීම තමන් විසින් තමන්ගේ විනාශය උරුම කරගැනීමක් පමණයි. තමන් විනාශ වෙනවා මදිවට මොවුන් මුළු සමාජයක් විනාශ කරනවා.



කාම්බෝජයේ රාමායන් පන්සල තුල අඩංගු රාවණා හා ඝන දෙවියන් සහිත මුර්තියක් පෙන්වමින් අන්ධ රාවණ භක්තිකයන් රාවණ යනු කතරගම දෙවියන් බව ඔප්පු කිරීමට උත්සහ කරනවා. මෙය රාවණ ශිව තාණ්ඩව නටන බව පෙන්වන මුර්තියක් යයි මොවුන් ප්‍රකාශ කරනවා. විචාරශීලි බවක් නැතිකමේ ප්‍රතිපලයයි මේ. මෙහි දැක්වෙන්නේ රාවණා ශිව තාණ්ඩව නැටීමක් නෙවෙයි. රාමායනය හා ශිව තාණ්ඩව පුරාවෘතය අනුව රාවණා විසින් චන්ද්‍රහාස් අසිපත ලබාගැනීම සදහා ශිව තාණ්ඩව ස්තෝත්‍රය නිර්මාණය කර ගායනා කිරීමෙන් ශිව දෙවියන් පහදිනවා. එවිට චන්ද්‍රහාස් අසිපත ලබාදී ශිව ලිංගයක් රාවණ රජුට ලබාදෙනවා.( ශිව ලිංග යනු ප්‍රජනන ඉන්ද්‍රියක් නෙවෙයි. ශක්තිය ආකර්ෂණය කරන උපකරණයක්. ශිව ලිංග ලිපිය කියවීමට : { මෙතන ක්ලික් කරන්න } ) මෙම ශිව ලිංගයේ අධික ශක්තිය නිසා එය රාවණා ලංකාවේ පිහිටුවහොත් රාවණ රජු හට අධික බලයක් ලැබෙන බව දැනගත් ඝන දෙවියන් රාවණ රජු සමග ගමන් කර උපක්‍රමිකව රාවණ රජු රවටා ශිව ලිංගය ඉන්දියාව තුලම පොලවේ බිම තැබීමට සලස්වනවා. ශිවලිංගය පොලවේ පිහිටි පසු නැවත පොළවෙන් වෙන්කළ නොහැකි බව නොදත් රාවණ රජු ශිව ලිංගය බිම තබා වෙනත් කටයුත්තකට ගොස් නැවත පැමිණ ශිව ලිංගය එසවීමට උත්සහ කලත් එය පොලවට බද්ධ වී තිබෙනවා. මේ නිසා එම ශිවලිංගය එම ස්ථානයේම තබා යාමට සිදුවූ බව පුරාවෘත තුල සදහන් වෙනවා. රාවන රජු කෛලාශය එසවීම නිරුපනය කරන මුර්ති වලදී ඝන දෙවියන් දක්වා තිබෙන්නේ මේ පුරාවෘතය නිසා.
රාවණ රජු කෛලාශය එසවීම නිරුපනය කරන මුර්ති ආකාරය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ගුප්ත සම්ප්‍රදායට අයිති මුර්ති ක්‍රමයක්. ගුප්ත සම්ප්‍රදාය තුල මෙය අතිශයින් ජනප්‍රිය වූ නිසා මේ ආකාරයේ මුර්ති රාශියක් ඒ කාලයේ ඉන්දියාවේ විවිද ප්‍රදේශ වල නිර්මාණය වෙලා තිබෙනවා. මෙම මුර්ති හදුන්වන්නේ "රාවණානුග්‍රහ" විදියටයි. පැරණිම රාවනානුග්‍රහ මුර්තිය තිබෙන්නේ "තිරුවනමලායි" නගරයේ අන්නමලයියාර් කෝවිල තුලයි.





මෙය අනුකරණය කරමින් පසුකාලීනව රාවනානුග්‍රහ මුර්ති රාශියක් බිහිවී තිබෙනවා.





කාම්බෝජය තුල රාමායනය පැතිර යාමෙන් පසුකාලිනවයි රාමායන ටෙම්පල් තුල රාවනානුග්‍රහ මුර්තියක් නිර්මාණය කර තිබෙන්නේ. එහි ඝන දෙවියන් නිරුපනය කරන්නේ ශිවලිංගය සම්බන්ධ පුරාවෘතය නිසා මිස කතරගම දෙවියන් රාවණා නිසා නෙවෙයි.



* කතරගම දෙවියන් හා රාවණා සමාන කරන පුද්ගලයන් කතරගම දෙවියන් අඟහරු ග්‍රහයාට අධිපති බව ඇතිවුනේ රාවනා අගහරු ග්‍රහයා තුල න්‍යෂ්ඨික අවි ගබඩා කල නිසායයි ප්‍රකාශ කරනවා. මොවුන්ගේ මොලය පිහිටා තිබෙන්නේ කොහේදැයි මටනම් හිතාගන්නත් අපහසුයි.
රාවණා අගහරු ග්‍රහයා තුල න්‍යෂ්ඨික අවි හෝ වෙනත් අවි ගබඩා කල බවක් කිසිදු තැනක සදහන් වෙන්නේ නෑ.
කතරගම දෙවියන් අගහරු ග්‍රහයාට අධිපති බව ප්‍රකාශ වෙන්නේ ජොතිශය තුලදී. ජොතිශය තුල ග්‍රහයන් නව දෙනාටම අධිපති දෙවිවරුන් ඉන්නවා. එහෙනම් මේ අනිත් දෙවිවරු තමන්ගේ ආයුධ ඒ ග්‍රහයන් තුල සඟවලා තියෙනවද? සෙනසුරු ග්‍රහයාට අධිපති විෂ්ණු දෙවියෝ ලංකාවේ රජෙක්ද? ජොතිශය තුලදී කතරගම දෙවියන් ගැන විස්තර කරන්නේ අසුරයන් මැරූ ස්කන්ධ දෙවියන්ගේ තොරතුරු මිසක් රාවණ රජුගේ තොරතුරු නෙවෙයි.

ජොතිශය වැනි ඍෂි භාෂිතයක් පිළිබඳව කිසිදු අදහසක් නැති අඥානයෙක් තමයි රාවණා අගහරු ලොවේ ආයුධ සැගවුවා වැනි මෝඩ මත ප්‍රචාරය කරන්නේ. එක් එක් ග්‍රහයාගෙන් පිටවන කිරණ වර්ග තිබෙනවා. ඍෂිවරුන් එක් එක් ග්‍රහයාට ආරුඩ වී එහි කම්පනය දැනගෙන එයට අදාළ ප්‍රතිකර්ම ජොතිශය තුල ඉගැන්වූ බව බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන් පවා දේශනා කර තිබෙනවා.
මේ කිරණ වලට සමාන ශක්තියක් තිබෙන ග්‍රහයාගේ කිරණ පාලනය කිරීමේ හැකියාවක් තිබෙන දෙවිවරුන්වයි ග්‍රහයාට අධිපති භාවය ලබාගන්නේ.


* කතරගම දෙවියන් රාවණා කිරීමට උත්සහ කරන පුද්ගලයන්  කතරගම දෙවියන්ගේ මොණර වාහනය හා රාවණ රජුගේ දඬුමොනරය සමාන කිරීමක් කරනවා. මොණරා හා දඩුමොනරය ලගින් යන වචන දෙකක් නිසා තමන්ගේ මනොවිකාර පැතිරවීමයි මොවුන් කරන්නේ.
මොණර ස්වභාවයෙන් කතරගම දෙවියන්ගේ සේවකයෙකු ලෙස සුරපද්මන් අසුරයා පත්වුණේ කොහොමද යන්න වේලායුධය සම්බන්ධ කතා පුවතේ පැහැදිලිව සදහන් වෙනවා. ඒවා පුරාණයේ පටන් පැමිණෙන කතා පුවතක්. කතරගම දෙවියන් දඬු මොනරය භාවිත කාලයයි කිසිම පුවතක් අතීතයේ සිට පැවතගෙන එන්නේ නෑ. ඒ සදහා කිසිම සාධකයක් ඇත්තේ නෑ. එය අවුරුදු කිහිපයකට පෙර නිර්මාණය කල මිත්‍යාවක් පමණයි.

එක් එක් දෙවිවරුන්ට වාහනය වන විවිද සතුන් ඉන්නවා. මන්තර ගුරුකම් වැනි කටයුතු වලදී එක් එක් දෙවියන් පැමිණීම පෙන්නුම් කරන්නේ මේ සතුන් එම ස්ථානයට පැමිණීමෙන්. ඒ සතුන් මතින් දෙවියන් වඩින බව නිරුපනය වෙනවා.
කතරගම දෙවියන්ට සමබන්ධ බලගතු  මන්ත්‍ර යන්ත්‍ර භාවිතයේදී මොණරුන් පැමිණීම,
දැඩිමුන්ඩ දෙවියන්ට සම්බන්ධ මතිරීම් වලදී කුකුලන් පැමිණීම.
සක්‍ර දෙවියන්ට සම්බන්ධ මැතිරීම් වලදී මුගටියන් පැමිණීම,
මහසොහොන් දෙවියන්ට සම්බන්ධ මතිරීම් වලදී සුනඛයන් හෝ ඌරන් පැමිණීම.
හනුමන් දෙවියන්ට සම්බන්ධ අංජනම් කටයුතු වලදී වදුරන් පැමිණීම
මන්ත්‍ර භාවිත කරන පළපුරුදු ඇදුරන් අත්දැක තිබෙන කාරණයක්. මන්ත්‍ර කටයුතු නිවැරදිව සිදුවූ බවට ලක්ෂණයක් විදියට එලෙස සතුන් මතින් දෙවියන් වැඩමවීම පෙන්නුම් කරනවා. කතරගම දේවාල භුමිය පුරා මොණරුන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මේ දේවාලයේ ඇදුරන් හෝ වෙනත් පිරිසක් ගෙනවිත් බෝ කල මොනරුන් නෙවෙයි ඒ භූමියට ස්වාභාවිකවම ආකර්ෂණය වුනු සතුන්. මේ ආකාරයට කතරගම දෙවියන් මොනරා මතින් වැඩමවීම දක්වන්නේ දඩුමොනරයක් නිසා නෙවෙයි දෙවියන්ගේ වැඩමවීම නිරුපනය කිරීම සදහා.


* කතරගම දෙවියන් හා රාවණ සමාන කරන පුද්ගලයා කතරගම දෙවියන්ගේ භුමිය කතරගම බවත් රාවණ රජුගේ උපන් ගම රුහුණ බවත් කියමින් සමානකම් පෙන්වීමට උත්සහ කරනවා. මෙයත් කිසිම පදනමක් නැති මිත්‍යා මතයක්. රාවණ රජුගේ පුරාවෘත කිසිවක් රුහුණට සම්බන්ධ නෑ. රුහුණ තුල රාවන රජුගේ සම්බන්ධයක් ඇති සාධක කිසිවක් ඇත්තෙත් නෑ. රාවණ රජුගේ මාලිගා, යුධ බිම් ආදී සියල්ල පිලිබඳ ජනකතා පවා තිබෙන්නේ කුරගල, බලන්ගොඩ, සිගිරිය ආදී ප්‍රදේශ වලට සම්බන්ධවයි. රාවණ කුමරු ඉපදුනේ රුහුණේ බවට කිසිම සාධකයක් නෑ.


* බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති කඳ කුමරු වෙනුවෙන් ලියැවුණු "කදිරපුර දෙවි උපත” කන්ද කුමාර අෂ්ටක” කන්දකුමාර සැහැල්ල” කන්දකුමාර සිරිත” කඳසුර වරුණ , වල්ලිමාතා කවි, කදිරාපරලය  කවි පොත ආදිය තුලත් කතරගම දෙවියන් පිළිබඳව සදහන් වෙන්නේ ස්කන්ධ හා මහසෙන් දෙවි පුවත් පමණයි. රාවණ රජුට කිසිම සම්බන්ධයක් ඇති දෙයක් ඒවා තුල නෑ.


* නුවර යුගය හා ඊට පසුකාලීනව කතරගම දෙවියන් පිළිබඳව ලියවුනු "කදිරපුර දෙවි උපත" කන්දමාලය" ආදී හෙළ ජනශ්රුති ආශ්‍රයෙන් ලියවුනු කවිපොත් වල පවා කතරගම දෙවියන් පිළිබඳව සදහන් වෙන්නේ ස්කන්ධ දෙවියන් හා මහසෙන් දෙවියන් පිළිබද තොරතුරු පමණයි. ඒ කිසිවක් තුල රාවණ රජුගේ එකදු සම්බන්ධයක් හෝ දකින්න ලැබෙන්නේ නෑ.


* කතරගම දෙවියන්ට අයිති හීයක් රාම රාවණ යුද්ධයේදී රාවණ පරාද කිරීමට භාවිත වුනු බව "වදන් කවි පොත" නම් ඉපැරණි ග්‍රන්ථයේ සදහන් වෙනවා.

සිද්ද රන්දුනු තදව ගනිමින් එරන් හීයක්               අරගෙනා
සද්ද වූ ලෙස නොගොස කරවා මගුල් පෙරහැරයෙන් යානා
යුද්ද වන් තද රොසින් දසහිස්
රාවණා බිඳ            ජයගෙනා
ඇද්ද තව මට වෙනින් පිහිටක් කතරගම සුරිඳුන්          විනා 


ඒ අනුවත් කතරගම දෙවියන් හා රාවනා දෙදෙනෙකු බවත් කතරගම දෙවියන් යනු රාවණා ඇතුළු අසුරයන්ට විරුද්ද දෙවියෙකු බවත් තහවුරු වෙනවා.


කතරගම දෙවියන් පිලිබදව මන්තර තුල අඩංගු රහස් තොරතුරු රැසක් සහිත ලිපිය කියවීමට :- (මෙතන ක්ලික් කරන්න )

* කතරගම දෙවියන් වන්දනා කරන ලාංකික මන්ත්‍ර, ස්තෝත්‍ර, ගාථා කිසිවක් තුල රාවණ රජුට සම්බන්ධ කිසිවක් සඳහන් වෙන්නේ නෑ.
ශ්‍රී නාමං නාම දේවං
ද්වා දශ හස්‌තං
කාචර ග්‍රාම වාසී

තං දේවං ක්‍ෂීර ෙච්ත්‍යං
රක්‌ඛති තිදසේ
වල්ලිමාතා ච සද්ධිං

පුරන්තෝ පාරමී ධම්මා
සබ්බ සුඛ විනා
තණ්‌හක්‌ඛයෝ විනස්‌සතු

පූජෙත්වා පූජති සදිසා
සරවණ රාජා
වන්දේ පුණ්‍යානු මෝදනං

ලංකාය දක්‌ඛිණ දිසාය පධාන භූතෝ
දේවිද්ධි තුංග බල වික්‌කම භූරි තේජෝ

අම්හේහි සඤ්චිත මිධං
කුසලං පහට්‌ඨෝ
පුඤ්ඥනු  මොදථ
සළානන දේව රාජා

සළානනෝ මහා දේවා
බලෝ මයුර වාහනෝ
දේවින්දො කාචර ගාමේ
ඉමං පුඤ්ඥානු  මෝදතු

සම්බුද්ධ ශාසනං වරං - ඉධ රෝහණස්‌මිං
සම්පාලනාය ජිත දත්ථා - වරෝ මහිද්ධි
පුඤ්ණු මේ දිය - සළානන දේව රාජා
පාලෙන්තු මං සතත -සාත හිතා වහන්තෝ



* මහසෙන් දෙවියන් පිලිබදව ජනශ්රුතියේ එන කවි පෙළක මෙලෙසින් සදහන් වෙනවා
බෙරලා මහසෙන් එන රඟ  කෙලෙසේ 
පෙරළාගෙන එන සිදු රළ        විලසේ 
අනිලා විලසින් බියපත්            වනසේ  
ජයලා දෙව මට රජසිරි            තිදසේ 

සුරලොව ගණනින් දහසක්        පසුවෙති 
නරලොව අවුරුදු දස දහසක්          වෙති 
වැර සැර කම් මිස අසුරෝ නැණ    නැති
කර යුද මෙලෙසට දින දින          පරදිති
 


මේ ආකාරයෙන් කතරගම දෙවියන් යනු රාවණ රජු නොවන බවට ලිඛිත, ජනප්‍රවාද, මන්ත්‍ර, පුද්ගලික අත්දැකීම්, ධ්‍යානලාභී අත්දැකීම් වැනි විවිදාකාරයේ  සාක්ෂි සාධක දහස් ගණනක් තවත් තිබෙනවා. ඒ සියල්ල මෙහි පළකිරීම කියවීමට අපහසු නිසා ඉතාම වැදගත් කොටස් පමණක් මෙහි දක්වා තිබෙනවා. වරම් ලැබීමෙන් හා අංජනම් ආදිය භාවිතයෙන්  කතරගම දෙවියන් දකින, කතාබහා කරන පුද්ගලයන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම ධ්‍යාන වැඩීමෙන් දෙවියන් දකින, කතාබහ කරන ගිහි/ පැවිදි යෝගීන් ඕනෑතරම් ලංකාවේ සිටිනවා. ඒ කිසි කෙනෙක් කිසිදාක කතරගම දෙවියන් ලෙස කිසිදාක රාවණ රජු දැක නෑ.

රැල්ලට රාවණ භක්තික වී මාධ්‍ය සංදර්ශන දක්වන ප්‍රෝඩාකරුවන් ගේ බොරු පිළිගනිමින් අපටද ගරහන පුද්ගලයන් කිසිවෙක් රාවණ රජු දැකවත් නොතිබුනත් අපගේ ලිපි වලින් ඉදිරිපත් කල භාවනා තුලින්ම චක්‍ර දියුණු කර සිත එක්තැන් කර රාවණ රජු දර්ශනය වූ යෝගීන් අපට සම්බන්ධව සිටිනවා.


අමුලික බොරු හා සෝබන පිරි කාඩ්බෝඩ් රාවණ වංශිකයන් හා සත්‍ය රාවණ වංශිකයන් හදුනාගැනීමට විචාර  බුද්ධියක් නැතිකම නිසා බොහෝ දෙනෙක් ව්‍යාජ ප්‍රතිරුප වලට රැවටී මුලාවට පත්වී දෙවියන්ට ගරහමින් රිශිවරුන්ට ගරහමින් විනාශ මුඛයට ගමන් කරනවා.


කතරගම දෙවි - රාවණ බොරු පතුරවන පුද්ගලයා මෙවැනිම අමුලික මිත්‍යාවන් ශිව තාන්ඩවය ගැනත් නාලන්දා ගෙඩි ගෙය ගැනත් ප්‍රකාශ කර තිබුනා. ශිව තාන්ඩවයේ අර්ථය යන්තම් පරික්ෂා කලත් එය හිරු වන්දනාවක් නොවෙන බව පැහැදිලි වෙනවා. නාලන්දා ගෙඩිගෙය ගැන යන්තම් හොයා බැලුවත් එය පිහිටි ස්ථානය වෙනස් කර නැති බව දැනගන්න ලැබෙනවා.


Hallucinations & Delusions හෙවත් මායාවන් ඇතිවීම යන මානසික රෝගී තත්ත්ව වලදී Delusions විදියට නම් කරන්නේ අසත්‍ය දේ සත්‍ය බව තමන් විසින් තහවුරු කරගන්නා මානසික රෝගී තත්ත්වය. මෙය වැළඳුනු පුද්ගලයන් තමන් විසින් මිත්‍යා විශ්වාසයන් ඇතිකරගන්නවා. එය මොනතරම් අසත්‍ය වුනත් ඔවුන්ට කිසිසේත්ම එය අසත්‍යක් බව තේරෙන්නේ නෑ.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පවා අවසන් සමයේ මෙම තත්වය පෙන්නුම් කර තිබෙනවා. සමහර සෙල්ලිපි වල වාක්‍ය දෙකක් අතර වෙනත් කිසිවෙක්ට නොපෙනෙන ප්‍රකාශ සටහන් කිරීමක් ඔහු සිදුකර තිබෙනවා.
මෙම තත්වයට මොලයේ ස්නායු සම්ප්‍රේෂ්ක වල අක්‍රමිකතා හේතුවෙනවා. aripiprazole., olanzapine. ziprasidone. quetiapine. clozapine වැනි ඖෂධ වලින් මෙම තත්ත්වය සම්පුර්ණයෙන් සුවකරගන්න පුළුවන්. මේ නිසා රාවණ ඉතිහාසයක් මතුකරනවා යයි කියමින් කිසිදු සත්‍යතාවක් නැති අමුලික මිත්‍යා මත පතුරවන පුද්ගලයාගේ හිතවතුන් හෝ දැනුවත් කර ඔහුව මානසික සායනයකට ගෙනයාම සුදුසු බව මගේ අදහසයි.


කතරගම දේවාලයේ කපු මහතා සදහන් කල පරිදි කතරගම දෙවියන් දුටුගැමුණු රජුන්ට වදාළ මිනිසුන් දෙවියන්ට ගරු නොකරන "කළුවර කාලය" මේ කාලය බව මගේ මතයයි. දෙවියන් පිළිබඳව අමුලික මිත්‍යා මත පතුරවමින් ,දෙවියන්ට ගරහමින් අසුර වන්දනා පතුරවමින්  කළුවර කාලය උදාකළ මිත්‍යාදෘෂ්ඨිකයන්ට ඒකාන්තයෙන්ම මේ පවුකම් වලට වන්දි ගෙවන්න සිදුවෙයි!


මෙම නිවටයන් විසින් මෙවැනි බොරු සමාජගත කිරීම නිසා දැනටමත් බොහෝ අන්ධ භක්තිකයන් පිරිසක් තමන්ගේ ජිවිත විනාශ කරගෙන අවසානයි.  සියත වැනි නාලිකා මගින්  කිසිදු පදනමක් නැති අමුලික මිත්‍යා රාමායන ප්‍රචාරය කිරීම නිසා එම බොරු පිලිබදව කිසිදු ගවේෂණයකින් තොරව අන්ධ භක්තියෙන් පිළිගත් බොහෝ පිරිසක් විෂ්ණු දෙවියන් හටත් රාම අවතාරය හටත් ද්වේශ කරමින් ඉන්නවා. නාලිකා ඔස්සේ ප්‍රචාරය වෙන මිත්‍යා කතාවන් සත්‍ය යයි ඔවුන් විශ්වාස කරනවා.

ඔවුන් කිසිවෙකුට ජෝතිෂ ප්‍රතිකර්ම කරගනිමටවත් යන්ත්‍ර මන්ත්‍ර අඳුන් මගින් පිහිටක් ලබාගැනීමටවත් ඉඩක්  ලැබෙන්නේ නෑ. ග්‍රහ දෝෂ වලට මිනිසුන්ට පිහිට වෙන්නේ විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්. එම දෙවිවරුන් හැර ග්‍රහ දෝෂ ඉවත් කල හැකි කිසිදු අසුරයෙක් යක්ෂයෙක් තබා දෙවි කෙනෙකුවත් නෑ.

මන්ත්‍ර ශාස්ත්‍රය බොහෝ අංග ආරම්භ වෙන්නේ විෂ්ණු, ශිව නමස්කාරයෙන්. මන්ත්‍ර මිනිසුන්ට ලබා දි තිබෙන්නේ එම දෙවිවරුන් විසින්. අංජනම් අඳුන් බොහොමයකට වැඩම කරන්නේ හනුමන් දෙවියන්. කිසිදු යක්ෂයෙකුට අසුරයෙකුට ඒ මන්ත්‍ර කර්ම කිරීමේ හැකියාවක් නෑ. තමන් කොතරම් යක්ෂයන් අසුරයන් වන්දනා කලත් දෙවිවරුන්ට අපහාස කරනවා තමන්ට කිසිදාක මන්ත්‍ර ශාස්ත්‍රයේ පිහිට ලැබීමක් වෙන්නෙත් නෑ.

දෙවියන් පිලිබඳ අසත්‍ය මිත්‍යාවන් පතුරවමින් දෙවියන්ට ගරහමින් මිනිසුන් මුලා කරන උන්මත්තකයන් වගේම ඒවා කිසිදු විචාරයකින් තොරව පිළිගෙන මෙතෙක් කල් මිනිසුන්ට පිහිට වූ , ලංකා භූමියත් බුදුදහමත් ආරක්ෂා කල දෙවියන්ට ගරහමින් විකෘති මන්ත්‍ර තනමින් ක්‍රියා කරන පුද්ගලයන් නිසා මෙම කරුණු පිලිබඳ දැනුමක් නොමැති ගවේෂණය කිරීමක් නොමැති පුද්ගලයන් දහස් ගණනක් මුලා වී සිටිනවා. මුලාවෙන් අන්ධ වී ජාතියක්ම විනාශයට පත්වෙමින් සිටිනවා. මේ සදහා පාර කැපූ සියල්ලන්ටම ඒවායේ විපාකයන් විඳවීමට සිදුවේවි...

මොවුන් විසින් ප්‍රචාරය කරනා
වජ්‍රය පිලිබඳ මිත්‍යාවන් ලිපිය කියවීමට(මෙතන ක්ලික් කරන්න )

ශිව තාන්ඩවය හා සිව හිරු මිත්‍යාව පිළිබද ලිපිය කියවීමට(මෙතන ක්ලික් කරන්න )

සුර්ය නමස්කාරය පිලිබඳ ලිපිය කියවීමට(මෙතන ක්ලික් කරන්න )

අසුරයන්, දෙවියන් හා බුදුදහම පිළිබද මිත්‍යා ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න )


Comments

  1. Professor kalo fonseka veni aya arakku bee katharagama gini paga..deviyan neti bawata pawasanawa neda...

    ReplyDelete
    Replies
    1. දෙවියෝ තමන් අදහන මිනිස්සුන්ට පිහිට වෙනවා මිසක් අහක ඉන්න යට බලෙන් තමන් ඉන්න බව ඔප්පු කරන්නේ නෑ. කාලෝ කියන්නේ ක්‍රිස්තියානි කෙනෙක්
      ලෝකෙට හංගන හිටියට ඔය කරපුවට දඩුවම් විදලා තියෙනව්

      Delete
  2. Guruthumani,mata prashna tikak tiyenawa denaganna. 1.katharagama deviyanta plathuru walata amatharava kiribath pooja lalata kamak nedda.api pooja karana dewal deviyan aharayata gannawada. 2.mage lagnaya lion nisa shiva deviyangen ha katharagama deviyangen pihita labageneemata kala uthu special dewal tiyenawada. 3.mama denata auruddaka pamana sita 3 rd eye bhawanawa husma kramayen wadanawa.mata akunu gahanawa(lightning) ona tharam dekala tiyenawa.bhawana karana time eka thama madi peya 2,3 withara.mama idiriyata yanne kohomada sir. 4.thama 3 rd eye open karagannda beriunath maga slakunu dekala tiyena nisa gamananthaya pilibadawath me bhawana krama pilibadawath obathuma pilibadawath kisima sekayak ne.
    Obata bohoma pin guruthumani..

    ReplyDelete
    Replies
    1. 1. kamak ne. dewiyan aharayata ganne ne suwadai ganne. dewiyange sharira siyum sharira. ewata ahara awashya ne. ahara wala suwada labagattama pramanawath. ekath athyawashya ne. suwadin dewiyan sathutu wenawa, pranawath wenawa wage wenne. katharagama dewiyanta vitarak neweyi oya puja ayath wenne dewiyan yatathe minisunta pihita wena dewi dewatha yaksha hemotama e puja labadenne

      2. pinkam karala pin denna
      budun wendata passe wandana karanna
      pahan thebima gena sampurna awabodayak thiyenawa nam vitarak dewiyanta wenama pahanak thibbath kamak ne.
      e dewiwarunge dewala walata gihin oyata awashya deyak thiyenawa nam illala bara wenne. e de itu unoth baraya oppu kranna

      3.
      (1) ekadigata hemadama bawana karanna eka dawasakwat magarinnepa
      (2) bawana karana welaawa tika tika wedi karanna. peya 5-6 pramanayata wedi karaganna utsaha karanna

      Delete
  3. මේ කරන පැහැදිලි කිරීමට ඔබතුමාට බොහොම පින්.

    1. තිත්තගල්ලේ ආනන්දසිරි හිමි කරන දේශනා බොරුද? කිරිබත්ගොඩ ඤාඤානන්ද හිමි බොරු කියන බවද පිටිදූවේ
    සිරිධම්ම හෙවත් සමන්තබඳ්‍ර හිමි සත්‍ය පවසන බවත් පවසනවා. පහත videos බලන්න.
    https://www.youtube.com/watch?v=GDl-jUuxiYg
    https://www.youtube.com/watch?v=PPahhVzQV_U
    https://www.youtube.com/watch?v=7qff1t5dr6g

    2. තිත්තගල්ලේ ආනන්දසිරි හිමි උගන්වන අභිධර්මය බොරුද?
    https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7-WTGe-vJw7xNTTk6an8gi

    කරුනකර මෙය පැහැදිලි කර දෙනවද?

    ReplyDelete
  4. මේ හරක් පැටියා කරන්නෙ වැඩකට නැති ගොන් තර්ක බව සියලු දෙනාටම පැහැදිලියි. ඒ උනාට දාල තියන comments දැක්කම තේරෙනවා ඔක්කොම කට්ටිය logics වලින් හිතන්න පටන් අරන් කියලා. ඒත් මේ බූරුවා කියන සමහර ගොන් logics වලට පිලිතුරු දෙන්න මට බැහැ. කරුනාවෙන් මෙ video එකෙන් කියන කරුනු වැරදි බව සියලු දෙනාට තේරෙන විදිහට උදාහරණ සමගින් පහැදිලි කර දෙන්න පුලුවන්ද්?

    https://www.youtube.com/watch?v=p43KKWbkUuQ

    ReplyDelete
  5. 1. ශිව දෙවියන්ගෙ උපත ගැන පැහැදිලි කරලා දෙන්න පුලුවන්නද?
    2. ශිව දෙවියන් වාසය කරන දිව්‍ය ලෝකය කුමක්ද?
    3. ලෝක විනාශයත් සමගම ශිව දෙවියනුත් විනාශ වෙනවද?
    4. ශිව දෙවියන් බුදුන්ට වඩා උසස්ද? ශිව දෙවියන්ට බුදුන්ට වඩා ඉහල ශක්තියක් තියනවද? (පහත video එක මගින්)
    5 . මේ video එකේ කියන කරුනු ඇත්තද?
    https://www.youtube.com/watch?v=GPINIZmQDwI

    මා බෞද්දයෙකි. මා හට අමාමෑනි සම්මා සම්බුදු රජාණන්වහන්සේ පිලිබදවත් එතුමා දෙසු ධර්මය පිලිබදවත් කිසිදු සැකයක් නැත. Internet එකේ ඉහත video එක දැකපු නිසා ඇහුවෙ. කරුනාකර ඉහත video එක සම්පුර්නයෙන් නරඹා ඉහත ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.

    ReplyDelete
  6. මම මේ blog අඩවියේ සෑම ලිපියක්ම කියවල තියනවා. ගොඩක් වටිනා ලිපි. ගොඩක් දැනුම ලැබුනා. ඉදිරියට තව තවත් භාවනා ලිපි පල කරන්න. මේ කරන සත්කාරයට ඔබතුමාට ගොඩක් පින්. කරුනාකර ඉහත සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න. ස්තුතියි!!

    I wish good luck to you. Please keep posting about meditation and yoga. Thanks You!!

    ReplyDelete
    Replies
    1. 1 වෙනම ලිපියක් දානවා

      2 තාවතිංසය
      දෙවලොකෙට වඩා වැඩියෙන් ඉන්නෙ කෛලාශය

      3 නැ

      4. දෙකම නැ

      Delete
    2. Thank you. Please answer the other questions I asked.

      Delete
  7. thawath dewiwaru gena kiyala dennako.egena ganna harima asaie.ehema kiyala denawanam godakma pin...

    ReplyDelete

Post a Comment