Featured Post

පංච අභිඥා ලබාගන්නා ආකාරය



ආධ්‍යාත්මික වීම ලිපියේදී ධ්‍යාන ලබාගැනීම ඉර්ධි ලැබීම ශක්ති අවදි කිරීම ආදී සියලු දේ එකවර පැහැදිලි කල නිසා කියවීමේ පහසුව සදහා පංච අභිඥා ලබාගන්නා ආකාරය පමණක් වෙනම මෙම ලිපියේ අඩංගු කරනවා. ආධ්‍යාත්මික වීම ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න )


ඍධි ලැබීම 
වශී ආකාර 14 මගින් සියලු කසිණ වශී කරගත් යෝගියෙකුට ඛිප්පනිසන්ති භාවය හෙවත් අවශ්‍ය ඕනෑම වෙලාවක ක්ෂණයෙන් තමාට අවශ්‍ය ඉර්ධියක් දැක්වීමේ හැකියාව ලැබෙනවා.
මේ ආකාරයෙන් ලබාගන්නා ඉර්ධින් ප්‍රධාන ආකාර තුනක් වෙනවා

1. අධිෂ්ඨාන ඉර්ධිය - අධිෂ්ඨාන කිරීමෙන් තමන්ට අවශ්‍ය දෙයක් සිදුවීමට සැලැස්වීම, අවශ්‍ය දෙයක් මැවීම
2. විකුර්වන ඉර්ධිය - විවිද වේශයන් ගෙන ප්‍රාතිහාර්ය දැක්වීම
3. මනෝමය ඉර්ධිය - තමන් වැනි රුප මැවීම

* ඒ වගේම අභිඥා ලාභියෙකුට හිරු සදු ස්ඵර්ශ කිරීම, හිරු සදු අත සමීපයට ගෙන්වීම, හිරු සදු සමීපයට ගොස් ඇල්ලීම, කුඩා කිරීම, විශාල කිරීම සිදුකල හැකි බව සදහන් වෙනවා. එසේ කිරීමේදී හිරු සදු දෙකෙහි ගමනේ වෙනසක් නොවන බවත් ඍධියට විෂය වන ලෙස පමණක් සිතු දේ සිදුවන බවත් දැක්වෙනවා. අභිඥා ලාභියෙකු ඉර හද අතින් ස්ඵර්ශ කිරීමේදී වෙන්නේ සමාන්තර යතාර්ථයක් ඇතිවීම. මේ දේ උදාහරණ කීපයකින් විස්තර කරන්න පුළුවන්.

අභිඥා ලාභියෙක් ඉර තමන්ගේ අත ලගට පැමිණේවා කියල අධිෂ්ඨාන කළාම ඉර තමන්ගේ අත ලගට පැමිණීම සිද්දවෙනවා. ඒ වගේම ඉර සාමාන්‍ය විදියට තිබෙන අවකාශයේ තිබීමත් වෙනවා. අනිත් සාමාන්‍ය මිනිසුන්ට ඉර ලන්විමක් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ එකම අවස්ථාවේ ඉර තැන් දෙකක ස්වභාව දෙකකින් පැවතීමෙන්. සාමාන්‍ය මනසකින් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියල එකපාරට හිතාගන්න බැරි උනාට මෙතැනදී වෙන්නේ ධ්‍යාන ලාභියාට බලපාන යතාර්ථය හා ලෝකේ අනිත් ජිවින්ට බලපාන යතාර්ථය දෙකක් වීමක්. අභිඥා ලැබීමෙන් කාලය හා අවකාශය පාලනය කිරීමේ හැකියාව ලැබීමෙන් යතාර්ථය වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා. අභිඥා ලාභියා ඉර අතින් ස්ඵර්ශ කරන වෙලාවේදී සාමාන්‍ය ජිවිත ගත කරන අනිත් ජිවින්ට සුර්යයාගේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඔවුන්ගේ සාමාන්‍ය ජිවිත සාමාන්‍ය විදියට ගලාගෙන යනවා. ඔවුන්ට බලපවත්වන යතාර්ථය තුල ඉර පවතින්නේ ග්‍රහ මණ්ඩලයේ මැදින්මයි. ඒත් අභිඥා ලාභියාට බලපාන යතාර්ථය තුල ඉර තිබෙන්නේ අත ලගින්. මේ ඉර මවාගත් ව්‍යාජ ඉරක් නෙවෙයි. සත්‍යම සුර්යයාමයි. මේ සුර්යයා හා සාමාන්‍ය මිනිසුන් දකින සුර්යයා දෙන්නෙකුත් නෙවෙයි. මෙතැනදී වෙන්නේ සමාන්තර විශ්ව දෙකක් මැවීමක් වගේ දෙයක්. හැබැයි විශ්වයන් දෙකක් ඇතිවෙන්නේ නෑ යතාර්ථ දෙකක් හෙවත් විශ්වය තමන්ට ඇහෙන දකින විදි දෙකක් ඇතිවීමයි වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ "ලෝකය තිබෙන්නේ බාහිරයේ නොව තමන් තුලමයි" කියල කියන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති.


මේ ක්‍රමවේදයම භාවිතා කරලා දෙවියන් හා යක්ෂයන් මිනිසුන්ට විවිද දේ සැගවීම සිදුකරනවා. උදාහරණයක් විදියට කියනවා නම් රාවණ රජුගේ මාලිගා ආදියට ඇතුල් විය හැකි දොරටු සාමාන්‍ය මිනිස්සු ගැවසෙන තැන් වල පවා තියෙනවා. ඒත් ඒවා ආරක්ෂා කරන දෙවියන් හෝ බලවත් යක්ෂයන් තමන්ට උපතින්ම ලැබෙන ඉර්ධින් භාවිතා කරලා "මෙතනට පැමිණෙන මිනිසුන්ට මෙය දොරටුවක් වෙනුවට ගල් පර්වතයක් වේවා" කියල අධිෂ්ඨාන කලොත් සාමාන්‍ය පුද්ගලයෙක් ඒ දොරටුව අසලට ගියාම පෙනෙන්නේ එතන ගල් පර්වතයක් තිබෙනවා වගේ. ඒක මවා පෑමක් නෙවෙයි. පර්වතය මනෝමය දෙයක් නෙවෙයි පදාර්තමය ඇත්ත පර්වතයක්. අතින් අල්ලන්න පුළුවන් පර්වතයක් එතන පවතිනවා. ඒ හරහා යන්න පුළුවන් වෙන්නේ නෑ. පර්වතය කඩල බැලුවත් කළු ගල මිසක් මාලිගාවක දොරටුවක් තියෙන්නේ නෑ. හැබැයි එතන ගල් පර්වතයක් තිබුනා කියල මාලිගාවේ දොරටුව නැතිවෙන්නෙත් නෑ. එකම ස්ථානයේ පර්වතයකුත් තියෙනවා දොරටුවකුත් තිබෙනවා. එකම ස්ථානයේ කම්පන තල දෙකක් තුල පර්වතය හා දොරටුව තිබෙනවා. සාමාන්‍ය මිනිසුන්ට ගෝචර වන කම්පන තලයේ තිබෙන්නේ ගල් පර්වතයක්. යක්ෂයන් හා දෙවියන්ට බලපාන කම්පන තලයේ පවතින්නේ දොරටුවක්. කම්පන තල දෙකක් කියල අදහස් කලේ යතාර්ථ දෙකක් කියන එකමයි.

මේ විදියටම දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට ගමන් කිරීමේ හැකියාවත් ලැබෙනවා. කැමතිනම් දෙව්ලොව බඹලොව තමන් වෙතට ගෙන්වා ගැනීම හෝ තමන් ඒවාට ගමන් කිරීම සිදුකරන්න පුළුවන්. දෙවි බඹුන්ට දර්ශනය වන ලෙස භෞතික ශරීරය සමග යාමත්, නොපෙනෙන ලෙස සිතින් (මනොකායෙන්) ගමන් කිරීමත් කරන්න හැකියාව ලැබෙනවා. අවශ්‍ය නම් තමන් පොලවේ සිටිමින් තමන් වැනි රුපයක් මවා දෙව්ලොව බ්‍රහ්මලොව ආදියට ගමන් කර ඒ නිර්මිත කය මගින් දෙවියන් සමග කතා බහ කිරීම, දෙව්ලොව නැරඹීම සිදුකරන්නත් පුළුවන් වෙනවා.




පංච අභිඥා ලබා නොගත්තත් ඕනෑම භාවනාවක් වැඩීමේදී ප්‍රථම ධ්‍යානය ලබාගැනිමෙන්ම භාවනා නිමිත්තට අදාළ ඉර්ධින් ලැබෙනවා. එක් එක් කසිණ භාවනා වලට අදාළව ලැබෙන ඉර්ධින් වෙන්නේ මේවා :-

පඨවි කසිණය
- තමන් වැනි ශරීර මැවීම
- මුතු මැණික් ගස් ගල් පර්වත මැවීම
- අහස හෝ ජලය මත පොළවක් මවා ඒ මත ඇවිදීම, හිදගෙන සිටීම ආදිය සිදුකිරීම
සහ තවත් ආකාර රාශියකින් පඨවි ධාතුව පාලනය කිරීම

ආපෝ කසිණය 
- පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීම
- වැසි ඇතිකිරීම
- ගංගා මුහුදු මැවීම
- පර්වත ප්‍රාසාද ආදිය සෙලවීම ,භූ කම්පා ඇතිකිරීම
ඇතුළු ආකාර වලින් ආපෝ ධාතුව පාලනය කිරීම

තේජෝ කසිණය ( භාවනා ලිපිය කියවීමට Click Here)
- දුම් ඇතිකිරීම
- දිලිසීම
- අගුරු වැසි ඇතිකිරීම
- තමන්ගේ තේජසින් අනුන්ගේ තේජස  කිරීම
- කපු පුළුන් දර ආදිය දැවීම හා එවැනි දේ එකලග ඇති විට තමන්ට අවශ්‍ය දේ පමණක් දැවීමට සැලැස්වීම
- දිවැසින් විවිද දේ දැකීම සදහා ආලෝක කිරීම
- පිරිනිවනේදී/ මරණයේදී ශරීරය ගින්නෙන් දැවීමට සැලැස්වීම

වායෝ කසිණය  ( ආකාෂචාරි බව ලබාදෙන වායෝ කසිණය ලිපිය Click Here)
- එක් තැනක සිට වෙනත් තැනකට වායුවක් මෙන් සීඝ්‍රව ගමන් කිරීම
- වාත වැසි ඉපදවීම ( සුළි සුලන්, කුනාටු ඇතිකිරීම)
- අහසින් ගමන් කිරීම

නීල කසිණය - නිල් පැහැ රුප මැවීම

පීත කසිණය
- රන් පැහැ රූප මැවීම,
- අධිෂ්ඨාන කිරීමෙන් විවිද ද්‍රව්‍ය රත්‍රන් බවට පත් කිරීම

ලෝහිත කසිණය - රතු පැහැ රුප මැවීම

ඕදාත කසිණය
- සුදු පැහැ රුප මැවීම
- ථිනමිද්ධය දුරු කිරීම
- අන්ධකාරය නැතිකිරීම
- දිවැසින් රුප දැකීමට ආලෝක කිරීම

ආලෝක කසිණය  ( දිවැස් උදාකරන ආලෝක කසිණය ලිපිය Click Here)
- ප්‍රභාශ්වර රූප මැවීම
- ථිනමිද්ධය දුරු කිරීම
- අන්ධකාරය නැතිකිරීම
- දිවැසින් රුප දැකීමට ආලෝක කිරීම
- ශරීරයෙන් ආලෝකය විහිදුවිම
- දුර ඈත සිටින අයෙකුට තමන් වැනි ආලෝකමය කයක් දර්ශනය වීමට සැලැස්වීම

ආකාශ කසිණය
- පොලව පර්වත ආදිය තුල අහස /අවකාශය මවා ඒ තුල ඉරියව් පැවැත්වීම
- බිත්ති පර්වත ආදිය විනිවිද යාම
- ඝන වස්තු එකිනෙක විනිවිද යැවීම

* මුලික හැකියාවන් මේවා උනත් මිට අමතරව බොහෝ හැකියාවන් ලැබෙනවා. අත්දැකීම් වැඩිවීමෙන් විවිද නව හැකියාවන් අත්විදින්න ලැබෙනවා. දෙවියන්ගේ හා ඍෂිවරුන්ගේ උපදෙස් ලබාගැනිමෙනුත් නව ඍධි මතුකරගැනීමට අවස්තාව ලැබෙනවා.
උද්ග්‍රහ නිමිත්ත පතුරවන ප්‍රමාණය වැඩිවන තරමට ඍධීන් වල බලවත් වෙනවා. ආලෝක හා තේජෝ කසිණ වලට අදාළ ප්‍රතිග්‍රහ නිමිති මෙලෙස වර්ධනය කරගැනීමෙන් දිවැස් ආදියෙන් තමන්ට දැකිය හැකි අරමුණු කල හැකි ප්‍රමාණයත් වැඩිවෙනවා. පිටසක්වල ලෝක දිව්‍ය අමනුෂ්‍ය ලෝක වල දේ පවා අරමුණු කිරීමේ හැකියාව ලැබෙනවා.


දිව්‍යශ්‍රෝතය   ලබාගන්නා ආකාරය 
වශී ආකාර 14 මගින් සියලු කසිණ වශී කරගැනීමෙන් පසු හෝ අඩුමතරමින් එක් භාවනාවකින් චතුර්ථ ධ්‍යානය ලබාගැනීමෙන් පසු දිව්‍ය ශ්‍රවනය ලබාගන්න පුළුවන්. ඒ සදහා පළමුවෙන් චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී පරිකර්ම සමාධි සිත පවත්වාගනිමින් අවටින් ඇසෙන සියලු ශබ්ද පිලිබද මෙනෙහි කල යුතුයි. ඉන් පසු මිනිසුන් ඇතුන් අශ්වයන් ගවයන් කුරුල්ලන් බල්ලන් පුසන් ආදී සතුන්ගේ ශබ්දත්, යාන වාහන උපකරණ ආදියේ ශබ්දත්, සුළග වැස්ස මුහුදු රළ අකුණු ගැසීම ආදී රළු ශබ්ද එකින් එක වෙන වෙනම සිහිපත් කල යුතුයි. එසේ කිරීමේදී තුන් යොදුනක් ඇතුලත සියලු ශබ්ද ඇසීමට පටන්ගන්නවා.

මීලගට පිලිවෙලින් ඝන්ටාර ශබ්ද, සංගීත ශබ්ද දේශනා සජ්ජායනා කරන ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, මිනිස් කටහඩ, සුළගින් ඇතිවන ශබ්ද, ඇවිදීමේදී ඇතිවන අඩි ශබ්ද, උණුදිය නටන ශබ්ද, අව්වේ වේලෙන තල්පත් තණකොළ ආදියෙන් ඇතිවන ශබ්ද, කුඹින් ගේ ශබ්ද ආදී ලෙස රළු ශබ්ද වල සිට සියුම් ශබ්ද දක්වා අනුපිළිවෙලින් ශබ්ද නිමිති සිහි කල යුතුයි. ඒ ශබ්ද ඇසෙන තෙක් මේ විදියට අභ්‍යාස කල යුතුයි.

මීලගට නැගෙනහිර දිශාවේ ශබ්ද, දකුණු දිශාවේ ශබ්ද ආදී ලෙස සියලු දිශා වල ශබ්ද වෙන වෙනම අරමුණු කල යුතුයි. පරිකර්ම සමාධිය තුලදී මේ ශබ්ද ඉතා හොදින් ඇසෙනවා. නිතර නිතර පුරුදු කිරීමෙන් පස්සේ සාමාන්‍ය අවස්ථා වලදීත් ඇසෙන තත්ත්වයට පත්වෙනවා. මේ විදියට නැවත නැවත කිරීමේදී දිව්‍යශ්‍රොත ඥානය ඇතිවෙනවා.
එසේ ඥානය ලබාගැනීමෙන් පස්සේ තමන් වැඩු ධ්‍යානයේ පටිග්‍රහ නිමිත්ත ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් හැකිතාක් අවකාශයක් පුරා පැතිරවීම කල යුතුයි. එසේ කිරීමෙන් තමන් නිමිත්ත පැතිරවූ අවකාශයේ ඕනෑම ශබ්දයක් අරමුණු කර ඇසීමේ හැකියාව ලැබෙනවා. හොදින් ප්‍රගුණ කිරීමෙන් ධ්‍යානයට සමවැදීම නොකර කෙලින්ම අභිඥාව තුලින් අවශ්‍ය ශබ්දයක් ශ්‍රවනය කරන්න පුළුවන්. දිව්‍ය ශ්‍රොත ඥානය ලැබුණු විට අභිඥාව තුලදී ලෝකයේ විවිද ශබ්ද සියල්ල එකට ඝෝෂාවක් මෙන් ඇසුනත් තමන්ට අවශ්‍ය ශබ්දය පමණක් වෙන් කර ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා.

* මීට පෙර ලිපියකින් දැක්වූ බුදුදහමේ සදහන් නොවෙන ඔරලෝසුවක් උපකාරයෙන් සිදුකරන භාවනාව( කියවීමට Click Here ) හොදින් ප්‍රගුණ කිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පෙර ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදීම දිව්‍යශ්‍රොත ඥානය තරමක් දුරට ලබාගන්න පුළුවන්.


දිබ්බචක්කු ඥාණය   ලබාගන්නා ආකාරය 
තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් දැකීමේ හැකියාව වන දිවැස් නුවණ වගේම සතුන්ගේ පෙර භව අනාගත භව දැකීමේ හැකියාවත්, කර්ම - කර්මපල දැකීමේ හැකියාවත් අයත් වෙන්නේ දිබ්බචක්කු ඥානයට. දිබ්බ චක්කුව ඉපදවීමෙන් ඒ හැකියාවන් තුනම ලැබෙනවා.

දිවැස් ඉපදවීම සදහා තේජෝ කසිණ( Click Here) , ඕදාත කසිණ හා ආලෝක කසින(Click Here) යන කසිණ තුනෙන් එකකින් ධ්‍යානයට සමවැදි ඉන් අවදි වී උපචාර සමාධිය පවත්වා ගනිමින් අදාළ පටිග්‍රහ නිමිත්ත ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් කසිනාලෝකය පැතිරවිය යුතුයි. එක් එක් මට්ටමේදී තමන් නිමිත්ත පැතිරවූ ප්‍රදේශය පුරා ඇති සියලු රුප සියල්ල මෙනෙහි කල යුතුයි.
මේ විදියට කිරීමේදී කසිනාලෝකය නැතිවී යන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නැවතත් ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී නැවත කසිනාලෝකය පැතිරවීම කල යුතුයි. නැවත නැවත මෙලෙස උත්සාහ කිරීමේදී දිවා රෑ පුරා කසිනාලෝකය එකලෙසම පවතින තත්ත්වයට පත්වෙනවා. කසිනාලෝකය පැතිරවූ අවකාශය තුල ඕනෑම දෙයක් තමන්ට අවශ්‍ය වෙලාවක අවශ්‍ය වෙලාවක දැකීමේ හැකියාව ලැබෙනවා.

ලග ඇති දුර ඇති ඕනෑම දෙයක්, ශරීර අභ්‍යන්තර දේ, පොලව තුල ඇති දේ, බිත්ති පර්වත තුල ඇති දේ, මුහුදු පතුලේ ඇති දේ, යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන්, දිව්‍ය බ්‍රහ්මයන් හා ඒ ලෝකයන්, පරසක්වල ලෝක හා ඒ ජීවින්, අතීත අනාගත ආත්මයන්, අතීත අනාගත සිදුවීම් ආදී සියල්ල දිවැස තුලින් දකින්න පුළුවන් වෙනවා.


චේතෝපරිය ඥානය  ලබාගන්නා ආකාරය 
පරචිත්ත විජානනය ඉපදවිමටනම් ඊට පෙර දිබ්බචක්කු උපදවාගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සදහා තේජෝ කසින , ආලෝක කසින හා ඕදාත කසින යන කසින තුනෙන් එකක් මගින් ධ්‍යානගත වී ඉන් අවදි වී පරිකර්ම සමාධිය තුල සිටිමින් ප්‍රතිග්‍රහ නිමිත්ත හෙවත් කසිනාලෝකය ඇතිකර කසිනාලෝකය තුලින් අනුන්ගේ හෘදය තුල පවතින ලේ ධාතුවෙහි වර්ණය පරික්ෂා කල යුතුයි. ඉන් පසු ඒ ඒ වර්ණයට අනුව සිතේ ස්වභාවය හා සිතුවිලි දැකීමට උත්සාහ කල යුතුයි.
මේ විදියට නැවත නැවත උත්සාහ කිරීමේදී  හෘදය දෙස නොබලාම සිත දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ මට්ටමට ආ විට හෘදයක් නොපවතින අරුපාවචර බ්‍රහ්මයන්ගේ පවා සිත් දැකීමේ හැකියාව ලැබෙනවා.


පුර්වේ නිවාසානුස්මෘති ඥාණය  ලබාගන්නා ආකාරය 
තමන්ගේ පෙර භවයන් දැකගැනීමේ ඥාණය උපදවාගැනීම උපදවා ගැනීම සදහා යම් භාවනාවකින් චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට මුලින්ම තමන් හිදගත් ඉරියව්ව සිහිපත් කල යුතුයි. ඉන්පසු හිදගැනීමට ආසනය සකස් කල ආකාරය සිහිපත් කල යුතුයි. ඒ ආකාරයට පිලිවෙලින් භාවනා කරන ස්ථානයට පැමිණීම, ආහාර ගැනීම, අවදිවීම ආදී විදියට අනුපිළිවෙලින් තමන් භාවනා කිරීමට හිදගත් අවස්ථාවේ සිට පිටුපසට කල කි දේ සිහිපත් කල් යුතුයි. මේ ආකාරයට ක්‍රමයෙන් පෙර දිනයේ රාත්‍රියේ සිදු කල දේ, සවස් කාලයේ සිදු කල දේ දවල් සිදු කල දේ උදයේ සිදු කල දේ ආදී විදියට දෙවෙනි දින තුන්වෙනි දින හතරවන දින පස්වන දින, 10 වන දින, අඩ මාසයකට පෙර, මාසයකට පෙර අවුරුද්දකට පෙර, අවුරුදු  දහය විස්ස ආදී විදියට ක්‍රමයෙන් පිටුපසට අතීතය මතක් කල යුතුයි.
අතීතය මතක් කරමින් යාමේදී මතක් කිරීම අපහසු වෙනවානම් නැවත ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී නැවත සිහිපත් කිරීම කල යුතුයි. නැවත නැවත මෙසේ ප්‍රගුණ කිරීමෙන් පෙර භව සිහි කල හැකි පුර්වේ නිවාස ඥාණය පහළවෙනවා. ඒ මගින් තමන්ගේ පෙර භව වල ඉපදී සිටි තැන්, නම් ගම, කල කි දේ ආදී සියල්ල මතක් කිරීමට හැකිවෙනවා.

සමථ භාවනාවෙන් ලබාගත හැකි උසස්ම තල වෙන්නේ මේ අෂ්ට සමාපත්තීන් හා පංච අභිඥාවන්. එක් එක් පුද්ගලයන්ගේ සංසාරගත පුරුදු අනුවත් පින් අනුවත් ලැබෙන අභිඥා වල ප්‍රභල බව වෙනස් වෙනවා. සියලු අභිඥාවන් පවතින්නේ ධ්‍යානය පවතින තාක් පමණයි. පංච නිවරණ වලින් සිත අපිරිසිදු වී ධ්‍යානය පිරිහුනොත් අභිඥා හැකියාව ඒ සමගම නැතිවී යනවා. එතකොට නැවතත් මුල සිට භාවනා කර ධ්‍යාන අභිඥා උපදවා ගත යුතුයි.

මේ භාවනා වැඩීමෙන් ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..



ඉර්ධින් ලබාගැනීමට උපකාර වන සතර ඉර්ධිපාද පිළිබද ලිපියක් වැදගත් යයි සිතුනු නිසා dahammargaya.blogspot.com බ්ලොග් අඩවියෙන් උපුටාගෙන පහලින් පලකරනවා.

එහෙනම් අපි ඉර්ධි කියන්නේ මොනවාද කියලා පළමුවෙන් ම තේරුම් ගනිමු. ඉර්ධි යනු; එක් කෙනෙක්ව සිට බොහෝ අය ලෙස පෙනී සිටීම, බොහෝ දෙනෙකු ලෙස පෙනී සිට නැවත එක් අයෙකු ලෙස පෙනී සිටීම, කිසිවෙකුට නොපෙනෙන ලෙස සිටීම, බිත්ති – ප්‍රාකාර – පර්වත හරහා කිසි බාධාවකින් තොරව විනිවිද ගමන් කිරීම, ජලයෙහි මෙන් පොළොවෙහි කිමිදීම සහ උඩට මතුවීම, කුරුල්ලෙකු අහසෙහි ගමන් කරන්නාක් සේ පළඟක් බැඳගෙන අහසෙහි ගමන් කිරීම, මහත් ඉර්ධි ඇති, මහත් ආනුභාව ඇති හිරු සඳු අතින් ස්පර්ශ කිරීම, බඹලොව සීමාකොට තමන්ගේ කයින් වසඟයෙහි පැවැත්වීම යන මේවා යි.

   මෙම ඉර්ධීන් ලැබීම පිණිස පවතින යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඉර්ධිපාද කියන්නේ එයට යි. එබඳු ඉර්ධිපාද සතරක් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් එම ඉර්ධිපාද සතර ගැන දේශනා කරන ලද්දේ මේ ආකාරයට යි.

   "චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා. කතමේ චත්තාරෝ. ඉධ භික්ඛවේ භික්ඛු ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විරියසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්තසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. මහණෙනි, මේ ඉර්ධිපාද සතරක් තිබෙනවා. ඒ සතර මොනවාද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව බලවත් ඡන්දය (කැමැත්ත) තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා. බලවත් වීරිය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා. බලවත්ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඉර්ධිපාදය වඩනවා.

ඉමේසං ඛෝ භික්ඛවේ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති වුච්චතීති. මහණෙනි, මේ සතරක් වූ ඉර්ධිපාදයන් දියුණු කරගත් නිසයි බහුලව ප්‍රගුණ කරගත් නිසයි තථාගතයන් වහන්සේට ‘අරහං, සම්මා සම්බුද්ධ කියලා කියන්නේ”

ඉහතින් දක්වා තිබෙන පාළි පාඨයේ ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගත යනුවෙන් විශේෂ වචන දෙකක් ඔබට දකින්න ලැබෙන්න ඇති. මේ වචන දෙකේ අර්ථය මොකක්ද? ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරයට යි.

   “ඡන්දං චේ භික්ඛවේ භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්සේකග්ගතං. අයං වුච්චති ඡන්දසමාධි. අයං වුච්චති ඡන්දසමාධි. මහණෙනි, භික්ෂුවක් ඡන්දය (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් කැමැත්ත) උපදවාගෙන කටයුතු කිරීම නිසා සමාධියක් ඇතිකර ගන්නවා. සිතෙහි එකඟ බවක් ඇතිකර ගන්නවා. ඡන්ද සමාධිය කියන්නේ එයටයි. සෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය… උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය… අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය… උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිසත්, උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්, නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත්, උපන් කුසල් දහම් වැඩි දියුණු කරගෙන පරිපූර්ණ කරගැනීම පිණිසත් කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩිකර ගන්නවා. ප්‍රධන් වීරියට අයත් සංස්කාර කියන්නේ මේවාටයි. ඉති අයඤ්ච ඡන්දෝ අයඤ්ච ඡන්දසමාධි ඉමේ ච පධාන සංඛාරා. අයං වුච්චති භික්ඛවේ ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතෝ ඉද්ධිපාදෝ. මෙසේ ඡන්දයත් ඡන්ද සමාධියත් ප්‍රධන් වීරියට අයත් සංස්කාරයත් ඇද්ද, ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගත ඉර්ධිපාදය කියන්නේ මෙයටයි.”

   වීරිය (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් වීරිය), චිත්ත (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් අධිෂ්ඨානය), වීමංසා (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් නුවණින් විමසීම) යන අනෙක් ඉර්ධිපාද තුන ගැනත් ඉහත පෙන්වා දුන් පරිදි තේරුම් ගන්න.

   අති දුර්ලභ වූ සම්මා සම්බුදු සසුනක පමණක් අසන්ට ලැබෙන මෙම සතර ඉර්ධිපාද ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප තුළ පැහැදිලි නිරවුල් තේරුම් ගැනීමක් හා අවබෝධයක් තිබිය යුතුයි. සසර කතරින් එතෙර වීමට උපකාරී වන මෙම සතර ඉර්ධිපාද දියුණු කරගත්තොත්, බහුලව ප්‍රගුණ කළොත් දුකට අයත් දේ ගැන අවබෝධයෙන් යුතු කළකිරීමක් ඇතිවෙනවා. නො ඇල්මක් ඇතිවෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. කෙලෙස් සංසිඳිලා යනවා. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙනවා. අමා මහ නිවන සාක්ෂාත් කරනවා. යම් කෙනෙක් මේ සතර ඉර්ධිපාද වරදවා ගත්තොත් ඔහුට මැනවින් දුක් ක්ෂය වී යන ආර්ය මාර්ගය වැරදී යනවා.

   අතීතයේ යම්කිසි කෙනෙක් කලින් කියපු ආකාරයේ ඉර්ධීන් උපදවා ගත්තා නම්, එම ඉර්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගත්තා නම් ඒ මේ සතර ඉර්ධිපාදයන් වැඩීම තුළින් ම යි. අනාගතයේ යම්කිසි කෙනෙක් ඉර්ධීන් උපදවා ගන්නවා නම්, එම ඉර්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගන්නවා නම්, ඒ මේ සතර ඉර්ධිපාදයන් වැඩීම තුළින් ම යි. වර්තමානයේ යම්කිසි කෙනෙක් ඉර්ධීන් උපදවා ගනියි නම්, එම ඉර්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගනියි නම් ඒත් මේ සතර ඉර්ධිපාදයන් වැඩීම තුළින් ම යි.

   අපගේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර චාපාල චෛත්‍යස්ථානයේදී ආනන්දයන් වහන්සේ අමතා වදාළ මේ කාරණය ඔබට මතක ඇති.

   “ආනන්දය, යමෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, හොඳින් පිහිටුවා ගන්නා ලද සතර ඉර්ධිපාදයන් තිබෙනවා නම්, ඔහු කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙන් සිටිය හැකියි. ආනන්දය, තථාගතයන් වහන්සේ තුළත් දියුණු කරල ලද, බහුල කරන ලද, හොඳින් පිහිටුවා ගන්නා ලද සතර ඉර්ධිපාදයන් තිබෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේටත් කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් සිටිය හැකියි.”

   භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගොරෝසු නිමිති පහළ කළත් ආනන්දයන් වහන්සේගේ සිත මාරයා විසින් වසාගෙන සිටි නිසා ආයුෂ් කල්පයක් වැඩ සිටින ලෙස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්නට උන්වහන්සේට නොහැකි වුනා.

   බුදු සසුනක හැර වෙනත් ආගමක කතා නොකරන මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත්, බහුලව ප්‍රගුණ කරගත් අතීතයෙහි වැඩසිටි භික්ෂූන් වහන්සේලා ඉර්ධිවිධ ඤාණය (නොයෙක් ඉර්ධි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව), දිබ්බ සෝත ඤාණය (දිව්‍ය – මානුෂීය, දුර – ළඟ තිබෙන ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකියාව), පරචිත්ත විජානන ඤාණය (අන් අයගේ සිතෙහි ස්වභාවය දැන ගැනීමේ හැකියාව), පුබ්බේ නිවාසානුස්සති ඤාණය (පෙර විසූ ජීවිත දැකීමේ හැකියාව) චුතූපපාත ඤාණය (සත්වයන් කර්මානුරූපව චුතවෙන – උපදින ආකාරය දැකීමේ හැකියාව), ආසවක්ඛය ඤාණය (සියලු ආශ්‍රවයන් ක්ෂය කළ බව දන්නා නුවණ) යන ෂඞ් අභිඥාවන් ලබා ගත්තා.

   ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන භික්ෂුව තුළ මේ සතර ඉර්ධිපාදයන් ද වැඩි දියුණු වී යනවා. ඡන්ද, විරිය, චිත්ත, වීමංසා යන මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරන කෙනා, බහුල වශයෙන් ප්‍රගුණ කරන කෙනා මේ ජීවිතයේදීම අරහත්වයට පත්වීම හෝ අනාගාමී වීම යන මේ ප්‍රතිඵල දෙකෙන් එකක් කැමති විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

   දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ ලෝකයේ ඉර්ධිමතුන් අතර අග්‍ර වන්නේ අපගේ බුදුරජාණන් වහන්සේයි. භාග්‍යවතුන් වහන්සේ ඒ සා මහා ඉර්ධිමත් වූයේ, මහානුභාව සම්පන්න වූයේ මේ සතර ඉර්ධිපාදයන් සම්පූර්ණ කිරීම තුළින් ම යි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂූන් වහන්සේලාත් මෙම සතර ඉර්ධිපාද වඩා ඉර්ධිබල ලබා ගත්තා. ඒ සියලු ඉර්ධිබල ලාභී භික්ෂූන් අතර එක භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් අග තනතුරු ලබාගත්තා. ඒ අපගේ ශාස්තෘන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ යි.

   සක් දෙවිඳුන්ගේ “වෛජයන්ත ප්‍රාසාදය” ගැන ඔබ අහල ඇති. ඒ ප්‍රසාදය තට්ටු සීයක් උසයි. එක තට්ටුවක කූටාගාර ශාලා හත්සීය ගානෙ තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම කූටාගාර ශාලා හැත්තෑදාහයි. ඒ එක් එක් කූටාගාර ශාලාවක දිව්‍ය අප්සරාවෝ හත්දෙනා ගානේ ඉන්නවා. එක් එක් දිව්‍ය අප්සරාවට උපස්ථානය පිණිස දිව්‍ය සේවිකාවෝ හත්දෙනා ගානේ ඉන්නවා. ඒ කියන්නේ දිව්‍ය අප්සරාවෝ හාර ලක්ෂ අනූ දාහයි. දිව්‍ය සේවිකාවෝ තිස් හතර ලක්ෂ තිස් දාහයි.

   දිනක් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කළ විට ශක්‍ර දේවේන්ද්‍රයාත් වෛශ්‍රවණ දිව්‍ය රාජයාත් උන්වහන්සේව එම අසිරිමත් ප්‍රාසාදය පෙන්වීමට වඩමවාගෙන ගියා. වෛජයන්ත ප්‍රසාදයේ විසිතුරු පෙන්වමින් ඒ ගැන වර්ණනා කරමින් යන ශක්‍ර දේවේන්ද්‍රයාත් වෙසමුණි දිව්‍ය රාජයාත් සංවේගයට පත් කිරීමේ අරමුණින් මහා මොග්ගල්ලානයන් වහන්සේ තමන් වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් ඉර්ධිබලයෙන් වෛජයන්ත ප්‍රසාදය කැරකෙව්වා. කම්පා කෙරෙව්වා. සෙලෙව්වා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ එතරම් ම මහා ඉර්ධිමත් ශ්‍රාවකයන් වහන්සේ නමක්.

   ශ්‍රාවකයෙකුගේ ඉර්ධිය එතරම් නම් ශාස්තෘන් වහන්සේගේ ඉර්ධි බලය කොයිතරම් ද කියලා අපට සිතින් සිතාගන්නවත් බැහැ. අපගේ මහා මොග්ගල්ලානයන් වහන්සේ පවා මෙතරම් ඉර්ධි බල සම්පන්න වුනේ මේ සතර ඉර්ධිපාද ප්‍රගුණ කිරීම නිසා ම යි.







Comments

  1. Obathumata aneka warayak pin Me karana samaja sewawata.bavanavedi Ekama akarayata sitinavita kakul 2ka hiriwatima samanya thathwayakda?

    ReplyDelete
  2. කුන්ඩලනී ශක්තිය තුළද වැඩි ශක්තියk තියෙන්නේ panchaabichna තුළද නැත්නම් dekama samanayida

    ReplyDelete
    Replies
    1. එක දරන කෙනා අනුව වෙනස්වෙනවා
      හරියට කියන්න බෑ

      Delete
  3. ධ්‍යාන පිරිහීමට හේතු මොනවද ?

    ReplyDelete
  4. යෝගිතුමා,
    පූර්වේනිවාසානුස්සති ඣානයේදී අපට පෙර භවයේ තොරතුරු රූප දර්ශන ආකාරයෙන් පෙනෙනවාද? නැත්නම් නම් ගම් ආදී විස්තර පමණක් සිහි වෙනවා පමණද?

    ReplyDelete
    Replies
    1. සංවේදන 6ම එක්ක සියල්ල අත්දකිනවා

      Delete
  5. මම ගොඩ කාලෙකින් කියවපු පැහැදිලිබව සහ කොටස් වලින් ඉදිරිපත් කිරීමේ විවෘත ශෛලියකින් යුතු හොද ලිපියක්....මට ඔබ තුමා හෝ ඔබ වහන්සේ ගැන යමක් ඉදිරිපත් කලහැකිද ? ඒ වගේම කරුණු අතර ගැලපීම ඉතාම හොඳයි

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් පිටුවට මැසේජ් කරන්න

      Delete
  6. Patawi kasina bhawanawa krnne khmda yogithumani

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදී ලිපියක් දානවා

      Delete
  7. පංච අභිඥා ලබාගැනීමට අරූපාවචර ධ්‍යාන වැඩිය යුතුමද නැත්නම් රූපාවචර ධ්‍යාන පමණකින් හැකිද?.

    ReplyDelete
    Replies
    1. චතුර්ථ ධ්‍යානය අනිවාර්යෙන් ඕනි.
      අරුප ධ්‍යාන නැතිව අමාරුයි

      Delete
    2. මහත්මයාණෙනි! අභිඥා සියල්ලම වැඩෙන්නේ හතරවන රූප ධ්‍යානය තුලමද? නැත්නම් අනෙකුත් අරූප ධ්‍යාන හතර දක්වාත් විහිදෙනවා ද? නව වෙනි ධ්‍යානය නැතහොත් නිරෝධ සමාපත්තිය තුලදීද නිර්වාණය සාක්ෂාත් වෙන්නේ? ස්තුතියි!

      Delete
    3. ආධ්‍යාත්මික වීම ලිපිය කියවන්න

      නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන් අවබෝධ කල රහතන් වහන්සේලා සමවැදෙන සමාපත්තිය. නිවන් මගපල ලබන්නේ ඊට කලින්

      Delete
  8. Yogithumani, sema kasina maginama diwes lebenne nedda?
    e sadaha thejo / aloka kasinama wadanna oneda?

    ReplyDelete

Post a Comment