Featured Post

ප්‍රථම ධ්‍යානයේ සිට ඉහල ධ්‍යාන වලට සිත නංවන ආකාරය Deep Meditation Dhyana





ආධ්‍යාත්මික වීම ලිපියේදී ධ්‍යාන වැඩිම ඉර්ධි ලැබීම ආදී සියලු දේ එකවර විග්‍රහ කල නිසා පහසුව සදහා ධ්‍යාන ලබාගැනීම පිලිබදව පමණක් වෙනම ලිපියකින් විග්‍රහ කරන්න අදහස් කළා.
ආධ්‍යාත්මික වීම ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න )

ප්‍රථම ධ්‍යානය
සිත එකම අරමුණක් ගැන මෙනෙහි කරමින් සමාධිගත කරනකොට මුලදී පුරුද්ද නිසා සිත නොදැනුවත්ව වෙන වෙන අරමුණු වලට යනවා. කාලයක් තිස්සේ හිතට පුරුදු වෙලා තියෙන්නේ සිතට එන එන අරමුණ ගැන කල්පනා කිරීම නිසා අපි භාවනා කරන්න හැදුවත් පුරුද්ද නිසා හිත ඉබේම වෙන අරමුණු ගැන අවධානය දක්වනවා. ඒත් කාලයක් තිස්සේ සිතේ ස්වභාවික පුරුද්දට විරුද්ධව සිත එකම අරමුණක පවත්වාගන්න පුරුද්දක් ඇතිකරගත්තම වෙනත් කිසිම අරමුණක් ගැන සිහි කරන්නේ නැතුව එකම අරමුණක් ගැන පමණක් සිහිය පවතින තත්ත්වයක් ඇතිවෙනවා. මේකට තමයි සරලව ධ්‍යානය කියල කියන්නේ.

භාවනා කිරීමට සිත කුමක් හෝ එක් අරමුණක පවත්වාගන්න අවශ්‍යයි. හැබැයි ඕනෑම අරමුණක් ගැන සිතමින් භාවනා කිරීමෙන් ධ්‍යාන හා ඉර්ධි ලැබෙන්නේ නෑ. ධ්‍යාන ලැබීම සිදුවන විශේෂ අරමුණු තිබෙනවා. ඒ අරමුණු තමයි කමටහන් හෙවත් කර්මස්ථාන කියලා හදුන්වන්නේ. බුදුදහම තුල ප්‍රධාන සමත භාවනා කමටහන් 40ක් තිබෙනවා.

ධ්‍යාන හතර පිලිබදව සියලු කර්මස්ථාන භාවනා වලට පොදුවේ විස්තර කරනවාට වඩා එක භාවනාවකට අදාලව පියවරෙන් පියවර එක එක ධ්‍යානය ලබාගන්නා ආකාරය පැහැදිලි කිරීමෙන් වඩා හොදින් අවබෝධ වන නිසා බහුලව භාවිතා කරලා තිබෙන තේජෝ කසිණ භාවනාවට අදාලව ධ්‍යාන හතර ලබාගන්නා ආකාරය මේ ලිපියෙන් පැහැදිලි කරනවා .


විශුද්ධි මාර්ගයේ සඳහන් තේජෝ කසිණ භාවනාව
තේජෝ කසිණ වඩන යෝගාවචරයා මුලින්ම ලොකු ගිනි ගොඩක් සකස් කරන්න ඕනි. ඉන් පස්සේ ඒ ගින්න දිහා පැදුරක, රෙද්දක හෝ හමක රවුම් සිදුරක් තුලින් බලා ඉදිමින් භාවනා කරන්න ඕනි. මේ සිදුර වියතක් හා ඇඟිලි සතරක් එකට තිබ්බාම එන ප්‍රමාණයේ පළල සිදුරක් වෙන්න ඕනි. සිදුර සහිත පැදුර හා තමන් අතර දුර රියන් දෙකක් වෙන්න ඕනි.

කසිණ නිමිත්ත/ පරිකර්ම නිමිත්ත 
මේ විදියට සකස් කරගත්තාම සිදුර තුලින් පෙනෙන රවුම් ගින්න තමා කසිණ නිමිත්ත කියන්නේ. රවුම් සිදුර තුලින් පෙනෙන්න ඕනි ගින්නේ මැද කොටසයි. ගින්නේ මුල තියෙන දර, තණකොළ වැනි ගිනිගන්නා දේවල් හෝ ගින්නේ අග තියෙන දුම් රොටු දිහා බලාගෙන භාවනා කිරීමෙන් වැඩක් නෑ.

මේ විදියට නියමිත පළල සහිත රවුම් සිදුරකින් පෙනෙන ගින්න දිහා බලා ඉදිමින් තේජෝ තේජෝ ලෙස හෝ ගින්දර ගින්දර ආදී විදියට හිතමින් සිත එකඟ කරමින් භාවනා කරන්න.  ගින්නේ වර්ණයන් හා උෂ්ණත්වය වැනි ලක්ෂණ ගැන හිතන්නෙපා. වෙනත් කිසිම සිතුවිල්ලක් නොහිතා තේජෝ තේජෝ විදියට හිතමින් භාවනා කරන්න. වෙනත් දෙයකට හිත ගියොත් ඒ සිතුවිලි පෝෂණය කරන්නෙත් නැතුව ඒවා සමග ගැටෙන්නේත් නැතුව ආපහු භාවනාවට සිත යොමු කරන්න. ටික වෙලාවක් ඇස් අරගෙන භාවනා කරලා ඇස් වහගෙන පෙනෙන කසිණ නිමිත්ත ( ගිනි රවුම ) අරමුණු කරගෙන තේජෝ තේජෝ ලෙස හිතමින් භාවනා කරන්න. කසිණ නිමිත්ත නොපෙනී යනකොට ඇස් ඇරලා නැවතත් කසිණ නිමිත්ත දිහා බලාගෙන ඉදිමින් භාවනා කරන්න.

උද්ග්‍රහ නිමිත්ත
මේ විදියට ඇස් අරිමින් වහමින් භාවනා කරනකොට එක අවස්ථාවකදී කසිණ නිමිත්ත ඇත්ත විදියටම ඇස් වහගෙන ඉද්දිත් පෙනෙන අවස්ථාවක් එනවා. මේ පෙනෙන කසිණ නිමිත්ත තමයි තමයි උද්ග්‍රහ නිමිත්ත කියල හදුන්වන්නේ. මේ උද්ග්‍රහ නිමිත්ත පෙනෙන්න ගත්තම ඇස් වහගෙනම ඉදිමින් උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා  කරන්න. වෙනත් තැනකට ගිහින් හෝ වෙන අතකට හැරී ඇස් වහගෙන භාවනා කිරීමත් සුදුසුයි. ටික වෙලාවකින් උද්ග්‍රහ නිමිත්ත නොපෙනී යන්න පුළුවන්. එතකොට නැවතත් ඇස් ඇරලා කසිණ නිමිත්ත දිහා බලන් ඉදිමින් භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න.

ධ්‍යාන මාර්ගයේ පළමු පියවර වෙන්නේ උද්ග්‍රහ නිමිත්ත ඇතිකරගැනීමට. පළමු වරට සිතේ සමාධියක් ඇතිවෙන්නේ උද්ග්‍රහ නිමිත්ත ඇතිවෙන අවස්ථාවේදී. මේ අවස්ථාවේදී සිතේ ඇතිවෙන ප්‍රාථමික මට්ටමේ සමාධිය පරිකර්ම සමාධිය විදියට හදුන්වනවා. ධ්‍යානය තරම් ප්‍රභල නොවුනත් උද්ග්‍රහ නිමිත්ත ඇතිවීම සදහාත් සැලකිය යුතු මට්ටමක සමාධියක් සිතේ ඇතිවීම අවශ්‍ය වෙනවා.


පටිග්‍රහ නිමිත්ත 
එකදිගට උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කලාම ඇස වැහුවත් කසිණ නිමිත්ත එකදිගට සිතින් පෙනෙන අවස්ථාවක් එනවා. මේ තත්ත්වයේදී කලින් පෙනුණුට වඩා පැහැදිලිව පේනවා. අළු, දුම්රොටු වැනි බාධා කරන දේවල් නැතුව පැහැදිලිව පේනවා. සමහරවිට ආලෝක එලි වගේ දේවල් පෙනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ පෙනෙන පැහැදිලි , නොසෙල්වෙන ගිනි රවුම තමා පටිග්‍රහ නිමිත්ත. මේ තත්වයට ආවම එකදිගට ඒ පටිග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න.
ප්‍රතිග්‍රහ නිමිත්ත ඇතිවන අවස්ථාවේ සිතේ පවතින සමාධිය උපචාර සමාධිය කියල හදුන්වනවා. උපචාර සමාධිය ඇතිවෙන්නේ පංච නිවරණ ධර්ම යටපත් වීමෙනුයි. ධ්‍යානයට  ආසන්න තත්ත්වයටයි උපචාර සමාධිය කියන්නේ. නිවරණ යටපත් උනත් ධ්‍යානාංග ප්‍රභල නැති නිසා ධ්‍යාන අවස්ථාවට වඩා උපචාර සමාධි අවස්තාව තරමක් දුර්වලයි.

මේ විදියට භාවනා කරනකොට හිත පටිග්‍රහ නිමිත්තෙන් මිදෙන්නේ නැති වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැති අවස්තාවක් එළබෙනවා, ආයාසයකින් අරමුණ මතක් කිරීමේ අවශ්‍යතාවක් නැතුව හිත විසින්ම අරමුණ එකදිගට රඳවාගෙන සිටීමක් සිදුවෙනවා, කයට ලොකු පහසුවක් සැපයක් දැනෙනවා, පාවෙනවා වගේ සැහැල්ලුයි වගේ දැනෙනවා. මේ අවස්ථාව තමයි ප්‍රතමධ්‍යානය කියන්නේ.

ප්‍රතමධ්‍යානය හදුන්වන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා සහිත ප්‍රතමධ්‍යානය කියල. ප්‍රතමධ්‍යානය තියෙන හිතක ලක්ෂණ 5ක් තියෙනවා. මේවාට කියන්නේ ධ්‍යාන අංග පහ කියල.

විතක්ක     - නැවත නැවත සිත අරමුණට නැංවීම, නැවත නැවත භාවනා අරමුණ සිහි කිරීම
විචාර        - සිතින් භාවනා අරමුණ ස්ඵර්ශ කිරීම, අරමුණ තුලට බැසගැනීම
ප්‍රීති           - සිතේ එක්තැන් බව නිසා, පංච නීවරණ යටපත් වීම නිසා ඇතිවෙන සතුට
සුඛ           - කය සැහැල්ලු වී, කායික වේදනා නොදැනී ගොස් දැනෙන සැපය
එකග්ගතා - සිතේ එකම අරමුණක් පමණක් පවතින ඒකාග්‍ර බව

පංච නිවරණ යටපත් වීම වගේම ධ්‍යාන අංග ප්‍රභල වීමත් සිදුවන ප්‍රථම ධ්‍යාන අවස්ථාවේ සිතේ පවතින සමාධිය අපර්ණා සමාධිය විදියට හදුන්වනවා.


* මෙම කසිණය වඩාත් සුදුසු වන්නේ භික්ෂුන් වහන්සේලා සදහා. මෙහිදී ලොකු ගින්නක් භාවිත කරන්න තිබෙන නිසා මෙය ගිහියන්ට අපහසු ක්‍රමයක්. මේ ක්‍රමය වෙනුවට නිවසක සිට වුවත් තේජෝ කසිණය වැඩිය හැකි ක්‍රමයක් තිබෙනවා. මෙහිදී ඉටිපන්දමක් හෝ පහනක් වැනි දෙයක පහන් දැල්ල දෙස බලා ඉදිමින් සිත එකග කිරීම සිදුකරනවා. පහන් දැල්ල භාවිතයෙන් තේජෝ කසිණය වැඩිම පිලිබද ලිපිය කියවීමට :- (කියවීමට Click Here)



ප්‍රථම ධ්‍යානය ලබාගත් යෝගියෙක් නිතර නිතර ප්‍රථම ධ්‍යානයට සමවැදිය යුතුයි. තමන්ට අවශ්‍ය වෙලාවක ධ්‍යානයට සමවැදිය හැකි තත්වයට පත්වීමටත් තමන්ට අවශ්‍ය කාලයක් ධ්‍යානය පැවැත්විය හැකි ලෙසත් ඕනෑම ස්ථානයකදී ඕනෑම ඉරියව්වකින් ක්ෂණයෙන් ධ්‍යානයට සමවැදිය හැකි ලෙසත් ඉතා හොදින් ධ්‍යානය ප්‍රගුණ කරන්න ඕනි. මේ විදියට තමන්ට අවශ්‍ය ලෙස ධ්‍යානයට සමවදිමටත් ධ්‍යානයෙන් මිදීමටත් හැකියාව ඇතිකරගැනීම ධ්‍යාන වශිතාව විදියට හදුන්වනවා. හොදින් ධ්‍යාන වශිතාව ලබාගත් යෝගියෙකුට භාවනා අරමුණ සිහි නොකර ධ්‍යානය පිලිබදව සිහිපත් කිරීමෙන්ම පවා ක්ෂණයෙන් ධ්‍යානගත වීමේ හැකියාව ලැබෙනවා.
මේ විදියට වශිතාව ඇති කරගත යුතු ආකාර පහක් පංචවිධ වශී කියල හදුන්වනවා.

1. ආවජ්ජන වශී

තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයක් කැමති තාක් වෙලාවක් ආවර්ජනය කිරීමේ සිහිපත් කිරීමේ හැකියාව. මේ සදහා තමන් නිතර භාවනා කරන ස්ථානය හැර වෙනත් ස්ථාන වලදීත් ධ්‍යානයට සමවැදීම පුරුදු කල යුතුයි.

2. සමාපජ්ජන වශී 
තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයකට කැමති තාක් වෙලාවක් සමවැදීමේ හැකියාව. (ක්ෂණයෙන් ධ්‍යානයට සමවැදීමේ හැකියාව)

3. අධිෂ්ඨාන වශී
තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයකට කැමති තාක් වෙලාවක් පැවැත්වීමට අධිෂ්ඨාන කිරීමේ හැකියාව.
( "මම පැය දෙකක් ධ්‍යානය පවත්වනවා" ආදී ලෙස තමන් අධිෂ්ඨාන කලවිට පැයකින්, පැය එකහමාරකින් ධ්‍යානයෙන් නොමිදී අධිෂ්ඨාන කළ පැය දෙකක කාලය සම්පුර්ණයෙන් නිමවන තෙක් ධ්‍යානයේ රැදී සිටීමේ හැකියාව.)
(ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපියේදී(Click Here to read ) මම සදහන් කල විදියට භාවනා කිරීමට පෙර කාලයේදී මුලින් පැයක් පමණ භාවනා ආසනයකින් වාඩිවී ශරීරය කිසිදු සෙලවීමක් නොකර තබාගැනීමේ අභ්‍යාසය කිරීමෙන් ධ්‍යාන ලබාගැනීමෙන් පස්සේ අධිෂ්ඨාන වශිය සිදුකිරීම පහසු වෙනවා.)

4. වුට්ඨාන වශී
තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයකින් කැමති අවස්ථාවකදී අවදි වීමේ හැකියාව.
(තමන්ට අවශ්‍ය වෙලාවට ක්ෂණයෙන් ධ්‍යානයෙන් මිදීමේ හැකියාව.)
මුලින් මෙය පුරුදු වීම සදහා ධ්‍යානය පැවැත්වීමට කාලයක් තීරණය නොකර ධ්‍යානයට සමවැදී තමන්ට අවශ්‍ය වෙලාවට ධ්‍යානයෙන් මිදීමට සිත පුරුදු කල යුතුයි. පසුව තමන් ධ්‍යානය පැවැත්වීමට කාලයක් අධිෂ්ඨාන කර ඒ කාලය ගත වීමට පෙර අවශ්‍ය වෙලාවක අවදි වීමට පුරුදු විය යුතුයි.)

5. පච්චවේක්ඛන වශී
තමන් කැමති තැනක සිට කැමති වෙලාවක කැමති ධ්‍යානාංගයක් ප්‍රත්‍යවේක්ෂා කිරීමේ හැකියාව


දුතිය ධ්‍යානය ලබාගැනීම 
මේ විදියට ප්‍රථම ධ්‍යානය හොදින් වශී කරගෙන වැඩි වෙලාවක් ධ්‍යානය පවත්වා ධ්‍යානයෙන් අවදි වී ධ්‍යාන අවස්ථාවේ සිතේ පවතින ධ්‍යාන අංග පිළිබද ප්‍රත්‍යවේක්ෂා කල යුතුයි. ඒ ආකාරයට කරන විට ධ්‍යාන අවස්ථාවේදී සිතේ පවතින විතර්ක හා විචාර කියන ස්වභාව දෙකෙහි රළු බවක් තේරෙන්න ගන්නවා. ඒ මට්ටමට ආවම විතර්කය හෙවත් නැවත නැවත අරමුණ සිහි කිරීමත් විචාරය හෙවත් අරමුණ ස්ඵර්ශ කිරීමත්  සිතින් අත්හරින්න ඕනි.
විතක්ක විචාර වල රළු බවක් තේරෙන්නේ නැත්නම් ඒවා පිලිබදව ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒවායේ රළු බව කල්පනා කල යුතුයි. ධ්‍යානගත සිතෙහි තිබුණු ධ්‍යාන අංග පහ පිලිබදවත් ඒවායේ ස්වභාව පිලිබදවත් වෙනස්කම් පිලිබදවත් සිතින් විමසිය යුතුයි. මෙසේ විමසීමට ප්‍රත්‍යවේක්ෂා කිරීම කියල හදුන්වනවා. ඒ විදියට ප්‍රත්‍යවේක්ෂා කරමින් විතක්ක විචාර අංග වලින් මිදුණු විට සිතේ පවතින ශාන්ත ස්වභාවය පිලිබදව සිහිපත් කල යුතුයි. ප්‍රථම ධ්‍යානයට ඇති කැමැත්ත දුරු කර දුතිය ධ්‍යානයේ ගුණ මෙනෙහි කරන්න අවශ්‍යයි.
ඒ විදියට සිත සකස් කරගෙන ප්‍රීති සුඛ එකග්ගතා කියන ධ්‍යාන අංග විතරක් සිතේ පවතින දුතිය ධ්‍යානයට සමවැදීමට අධිෂ්ඨාන කරගෙන "තේජෝ තේජෝ" ආදී විදියට සිතමින් නැවතත් භාවනා කල යුතුයි. නැවත නැවත ඒ විදියට උත්සාහ කිරීමේදී විතක්ක විචාර සිතින් ප්‍රතික්ෂේප කරන නිසා ඒ අංග දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකග්ගතා පමණක් පවතින ධ්‍යාන තත්වයට සිත පත්වෙනවා. මෙන්න මේ අවස්ථාවට තමයි ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දුතිය ධ්‍යානය කියල කියන්නේ.

විතක්ක හා විචාර කියන අංග දෙක වෙන් කර හදුනාගත හැකි ආකාරය මම චිත්තානුපස්සනාව ලිපියේදී (Click Here) හා ජපමාල භාවනාව ලිපියේදී(Click Here ) විස්තර කරලා දුන්නා. විතක්කයේදී සිදුකරන්නේ තේජෝ තේජෝ වැනි වචන ආදිය සිතමින් සිතුවිලි පහල කරමින් භාවනා අරමුණ සිහිපත් කිරීම.
විචාරයේදී සිදුකරන්නේ භාවනා අරමුණ යන්තම් ස්ඵර්ශ කිරීම, සිහිකිරීම විතරයි. විචාරය විතක්කයට වඩා සියුම් සිතුවිලි පැවැත්වීමක්. එකවරම මේ දෙක වෙන් කර හදුනාගන්න බැරි කෙනෙක්ට මම ඉහතින් සදහන් කල භාවනා දෙක ඒ උපදෙස් අනුව කිරීමෙන් එක දවසකින්ම උනත් මේ දෙකෙහි වෙනස හදුනාගන්න පුළුවන්

ප්‍රථම ධ්‍යානය ලබාගන්නෙත් සිතේ අන් සියලුම සිතුවිලි ඉවත් කරලා එක සිතුවිල්ලක් විතරක් පැවැත්වීමෙන්. දුතිය ධ්‍යානයට යාමේදී සිදුකරන්නේ ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී සිතේ පවතින සිතුවිලි ප්‍රමාණයත් තවදුරටත් අඩු කිරීම.

* එක් ධ්‍යානයක සිට ඊට ඉහල ධ්‍යානයට සිත රැගෙන යන්නේ ධ්‍යාන අංග විමසීම හෙවත් ප්‍රත්‍යවේක්ෂා කිරීම මගිනුයි. ප්‍රථම ධ්‍යානය හොදින් වශී කරගන්නේ නැතිව කෙටි කාලයකින් දුතිය ධ්‍යානයට පත්වීම සදහා විතක්ක විචාර ප්‍රත්‍යවේක්ෂා කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. එසේ කරන්න යාමෙන් දුතිය ධ්‍යානයට පත් වෙන්න නොහැකි වෙනවා වගේම තමන් ලබාගත් ප්‍රථම ධ්‍යානයත් පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොදින් ප්‍රථම ධ්‍යානය වශී වෙන තෙක් සිදු කරන්න ඕනි නිතර නිතර ප්‍රථම ධ්‍යානයට සමවැදීම පමණයි. ධ්‍යාන අංග ගැන විමසීම මුල් කාලයේදී කරන්න හොද නෑ.

දුතිය ධ්‍යානය ලබාගත් යෝගියා ප්‍රථම ධ්‍යානයේදී වගේම දෙවන ධ්‍යානය වශී කරගන්න ඕනි. මුල් කාලයේදී භාවනාවට වාඩිවුන ගමන් දුතිය ධ්‍යානයට සමවැදීමේ අපහසු වෙන්න පුළුවන්. මුලින්ම ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ඊට පස්සේ දුතිය ධ්‍යානයට සමවැදෙන්න වෙනවා. ඒත් ධ්‍යාන වශිතාව සිදුකරගත්තාම ඕනෑම වෙලාවක ප්‍රථම ධ්‍යානයට සමවැදෙන්නේ නැතිව කෙලින්ම දුතිය ධ්‍යානයට සමවැදීමේ හැකියාව ලැබෙනවා.


තෘතිය ධ්‍යානය ලබාගැනීම 
දුතිය ධ්‍යානය වශී කරගැනීමෙන් පස්සේ දිගු වෙලාවක් එකදිගට දුතිය ධ්‍යානය පැවැත්වීමේදී ධ්‍යාන අවස්ථාවේ සිතේ පවතින ප්‍රීති අංගයත් රළු බවක් වැටහෙන්න ගන්නවා.
එසේ නොවුනත් තමන් විසින්ම ප්‍රීති ධ්‍යාන අංගයේ රළු බව මෙනෙහි කරමින් එයින් මිදීමට උත්සාහ කරන්න ඕනි. සුඛ ඒකග්ගතා පමණක් පවතින සිතේ ශාන්ත බව සියුම් බව මෙනෙහි කරන්න ඕනි. ඒ විදියට ප්‍රත්‍යවේක්ෂා කර තෘතිය ධ්‍යානය ලබාගැනීමේ අරමුණින් නැවතත් "තේජෝ තේජෝ" ආදී විදියට සිතමින් සුපුරුදු විදියටම භාවනාව වැඩිය යුතුයි. ක්‍රම ක්‍රමයෙන් උත්සාහ කරනවිට සිතෙන් ප්‍රීති ධ්‍යාන අංගය නොපවතින  සුඛ ඒකග්ගතා කියන ස්වභාව විතරක් පවතින තත්ත්වයට සිත පත්වෙනවා. මේ මට්ටම තමයි සුඛ එකග්ගතා සහිත තෘතිය ධ්‍යානය කියල හදුන්වන්නේ.


චාතුර්ථ ධ්‍යානය ලබාගැනීම 
තෘතිය ධ්‍යානයත් පළමු හා දෙවන ධ්‍යාන වලදී විස්තර කරපු විදියටම වශී කරගැනීම සිදු කරගත යුතුයි. ඉන් පසු එකදිගට දිග වෙලාවක් තෘතිය ධ්‍යානය පුරුදු කරන්න අවශ්‍යයයි. ඒ විදියට තෘතිය ධ්‍යානය වැඩීමෙන් පසු ධ්‍යානයෙන් නැගී සිට තෘතිය ධ්‍යානයේ ධ්‍යානාංග ප්‍රත්‍යවේක්ෂා කල යුතුයි. එසේ කිරීමේදී සිත වඩාත් සියුම් වීම නිසා සිතේ පවතින සුඛ ස්වභාවයත් රළු බවක් වැටහෙන්න ගන්නවා. ඒ අවස්ථාවේදී සිත සුඛයෙනුත් විමුක්ත කරගන්න උත්සහ කරමින් භාවනා කරන්න ඕනි. මේ විදියට උත්සාහ කිරීමේදී සිත සුඛයෙනුත් මිදිලා ඒකග්ගතා පමණක් පවතින ස්වභාවයට සිත පත්වෙනවා. සුඛ බවක් සැප බවක් නැති උපේක්ෂා සහගත ඒකග්ගතාව කියන ධ්‍යාන අංගය පමණක් පවතින චතුර්ථ ධ්‍යාන මට්ටමට සිත පත් වෙනවා. චතුර්ථ ධ්‍යානය ලබාගත් යෝගියෙක් පෙර ධ්‍යාන වගේම චතුර්ථ ධ්‍යානයට අදාළවත් හොදින් වශිතාව අත්කරගන්න ඕනි. චාතුර්ථ ධ්‍යානයට පත් උනාම හුස්ම ගැනීම හා හෘද ස්ඵන්ධනය ඇතුළු සියලු කායික ක්‍රියාවලි නවතිනවා.

තුන් වන ධ්‍යානයට එද්දී සිතේ සිතුවිලි සියල්ලම වගේ ඉවත් වෙනවා. අභිධර්මයේදී සිත චිත්ත හා චෛතසික විදියට කොටස් දෙකකට බෙදනවා. චිත්ත කියන්නේ අපි සිතන විවිද සිතුවිලි වලට. චෛතසික කියන්නේ තරහව සතුට නිදිමත වගේ සිතේ ඇතිවන ගතිස්වභාව වලට. ධ්‍යානයට අදාළ අරමුණ සිහි කරමින් චිත්ත පරම්පරාවක් පැවැත්වීම සිදුකරන්නේ විතක්ක හා විචාර කියන ධ්‍යාන අංග දෙක මගින්. ඒ අංග දෙක නැති උනාම සිතේ භාවනා අරමුණ සිහි කිරීමක් සිද්දවෙන්නේ නෑ. ඒ නිසා චිත්ත හෙවත් සිතුවිලි පැවැත්වීමක් වෙන්නේ නෑ. ප්‍රීතිය සුඛය එකග්ගතාව කියන සිතේ ගති පවත්වා ගැනීම විතරයි සිදුවෙන්නේ. ඒ විදියට ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා යාමේදී සිත ක්‍රමයෙන් සියුම් කිරීමයි සිදුකරන්නේ.

චාතුර්ථ ධ්‍යානය පවතින සිතක සිතුවිලි නෑ. ඒකග්ගතා කියන ලක්ෂණය විතරයි පවතින්නේ. සමහර අවස්ථා වලදී මෙය උපේක්ෂා සහගත ඒකග්ගතාව කියලත් නම් කරනවා. තෘතිය ධ්‍යානයේදී සුඛ සහගත ඒකග්ගතාව පැවතුනා. සුඛය හෙවත් සැපවත් බව රහිත වීමේදී සිතේ සුඛ හෝ දුක්ඛ කියන ස්වභාව දෙකෙන්ම තොර උපේක්ෂා සහගත බවක් ඇතිවෙන නිසා මේ අවස්ථාවට උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියල හදුන්වනවා.

* අවශ්‍යනම් සිතුවිල්ලක් අරමුණක් නැතුව උනත් සිතේ ඒකාග්‍රතාව ඇතිකරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මනසකට ඒක ඉතාම අපහසුයි. දීර්ඝ කාලයක් තිස්සේ විවිද අරමුණු සිත සිතා ඉන්න නිසා අරමුණක් භාවිතා කරගෙනම චිත්ත ඒකාග්‍රතාව ඇතිකරගැනීම වඩා ලේසියි. ඒ නිසයි සමථ භාවනාවකදී එක් අරමුණක් ගැන සිතමින් සිත එක්තැන් කරන්නේ. ඒත් අරමුණක් භාවිතා නොකර භාවනා කිරීමෙන් සිත කෙලින්ම තුන්වන හෝ හතරවන ධ්‍යානයට පත්කරන භාවනා තියෙනවා. ඒවා අතරින් බුදුරජාණන් වහන්සේ අනුමත කල භාවනාව වෙන්නේ අනිමිත්ත භාවනාව (කියවීමට Click Here). මිට අමතරව වෙනත් භාවනා ක්‍රම යෝග ශාස්ත්‍රය තුලත් පවතිනවා. සිතේ කිසිදු සංකල්පනාවක් නැති චාතුර්ථ ධ්‍යානය නිර්විකල්ප සමාධිය විදියට යෝග ධර්මයේදී හදුන්වනවා.

.
ධ්‍යාන හතරක් වෙනුවට පහක් දැක්වීම සමහර අවස්ථා වලදී සිදුකරනවා. එසේ ධ්‍යාන පහකට වෙන් කිරීම සිදුකරන්නේ පළමුවෙන් විතර්කය පමණක් ඉවත් කර දුතිය ධ්‍යානය ලබාගැනීමත්, ඊලග පියවරේදී විචාරය  ඉවත් කර තෘතිය ධ්‍යානය ලබාගැනීමත් විදියට වර්ග කිරීමෙනුයි. ඒ අනුව ධ්‍යාන පහ නම් කරන්නේ;

1 විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත   ප්‍රථම ධ්‍යානය
2 විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත   දුතිය ධ්‍යානය
3 ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත   තෘතිය ධ්‍යානය
4 සුඛ එකග්ගතා සහිත   චතුර්ථ ධ්‍යානය
5 උපේක්ෂා ඒකග්ගතා සහිත   පංචම ධ්‍යානය        විදියටයි.

විතක්ක හා විචාර කියන අංග වල රළු ස්වභාවය වැඩි නිසාත් ධ්‍යානයෙන් නැගී සිට ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී ඒ ධ්‍යානාංග පැහැදිලිව අරමුණු වෙන නිසාත් එක එකෙන් වෙන වෙනම මිදීම වෙනුවට එකවර ධ්‍යාන අංග දෙකෙන්ම මිදුණු ධ්‍යාන තත්වයට පත්වීමට පුළුවන්. හැබැයි අවශ්‍ය කෙනෙකුට ඒ අංග එක එකක් වෙන වෙනම ඉවත් කරමින් ධ්‍යානයෙන් ඉහලට යන්න පුළුවන්.

* ප්‍රථම ධ්‍යානය ලබාගෙන ධ්‍යාන වශිතාව ලබාගැනීමෙන් පසු ධ්‍යානයෙන් මිදිලා පරිකර්ම සමාධිය තුල ඉදිමින් ප්‍රතිග්‍රහ නිමිත්ත උඩ යට පුරා පැතිරී සිටින ලෙස හැකිතාක් විශාලව පැතිරවිය යුතුයි. වියතක් තරමට පෙනෙනවා නම් රියනක් පමණ විශාල වේවා කියල අධිෂ්ඨාන කර ප්‍රතිග්‍රහ නිමිත්ත රියනක් ප්‍රමාණයට විශාලව දකින්න උත්සාහ කරන්න ඕනි. නැවත නැවත එසේ කිරීමේදී උද්ග්‍රහ නිමිත්ත විශාල වී දර්ශනය වීම සිදුවෙනවා. ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් රියන් දෙකක් තරමට, මිනිසෙක් තරමට, ගෙයක් තරමට, නගරයක් තරමට, ලෝකයක් තරමට, සක්වල තරමට, දස දහසක් සක්වල තරමට, ඊටත් විශාල ආදී ලෙස විශාල කරගත යුතුයි.


අරූප ධ්‍යාන ලබාගැනීම  ( 5 - 8 ධ්‍යාන )

1.ආකාසානඥ්චායතනය ලබාගන්නා ආකාරය 
සියලු අරූප ධ්‍යාන සමවැදීමට භාවනාවක් මගින් චතුර්ථ ධ්‍යානය ලබාසිටීම අත්‍යවශ්‍යයි. රූප ධාතු හෙවත් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඝන ධාතුන් අරමුණු කරගෙන ලබාගත් රූප ධ්‍යාන වලට වඩා සියුම් වූ ශාන්ත වූ අරුප ධ්‍යාන ලබාගැනීම වඩා ශ්‍රේෂ්ඨ බව සිහිපත් කර අරුප ධ්‍යානයේ උසස් බව කල්පනා කර භාවනා ආරම්භ කල යුතුයි.
පළමු අරූප ධ්‍යානය ලබාගැනීම සදහා මුලින්ම ආකාශ කසිණය හැර වෙනත් භාවනාවකින් චතුර්ථ ධ්‍යානයට සමවැදිය යුතුයි. ඉන් පසු ධ්‍යානයෙන්  නැගී සිට තමන් වැඩු ධ්‍යානයට අදාළ කසිණ නිමිත්ත ක්‍රමයෙන් විශාල වීමට අධිෂ්ඨාන කර මුළු සක්වල පුරා හෝ ඊටත් විශාල ප්‍රමාණයකට පැතිරවිය යුතුයි. මේ ආකාරයට උද්ග්‍රහ නිමිත්ත පැතිරවූ අවකාශය කසිනුග්ඝාටිමාකාසය හෙවත් කසිණ ඉගිලු ආකාශය කියල හදුන්වනවා. ඒ විදියට නිමිත්ත පැතිරවූ ආකාසය සිතින් අරමුණු කර "ආකාශය අනන්තය ආකාශය අනන්තය" හෝ "අනන්ත ආකාශය අනන්ත ආකාශය" හෝ "ආකාශය ආකාශය" විදියට සිතමින් නැවත නැවත ආවර්ජනය කරමින් ඒ තුල සිත එක්තැන් කල යුතුයි.
ඒ විදියට සිතමින් භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී ආකාසානඥ්චායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේ චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.


2. විඥ්ඥානඥ්චායතනය ලබාගන්නා ආකාරය 
මේ සදහා ආකාසානඥ්චායතනය හොදින් වශී කරගැනීමෙන් පසු භාවනාවට පැමිණ ආකාසානඥ්චායතන ධ්‍යාන අවස්ථාවේ සිතේ පැවතුන ආකාසානඥ්චායතන සමාපත්ති සිත හෙවත් විඥ්ඥානය අරමුණු කර "විඥ්ඥානය විඥ්ඥානය" විදියට සිතමින් භාවනා කල යුතුයි. අනන්ත ආකාශය පුරා පැතිරවූ ආකාසානඥ්චායතන සමාපත්තියෙදී පැවතුනු විඥ්ඥාන අරමුණ තුල සිත එක්තැන් කල යුතුයි.
 භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී විඥ්ඥානඥ්චායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න ඕනි. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේත් චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.


3.ආකිඥ්චඥ්ඥායතනය  ලබාගන්නා ආකාරය 
විඥ්ඥානඥ්චායතනය හොදින් වශී කරගැනීමෙන් පස්සේ භාවනාවට පැමිණ විඥ්ඥානඥ්චායතනය ලබාගැනීම නිසා  ආකාසානඥ්චායතන සිත නැති බව අරමුණු කර "නැත නැත" හෝ "ශුන්‍යය ශුන්‍යය" හෝ "හිස් හිස්" ආදී විදියට සිතමින් භාවනා කල යුතුයි.
ආකාසානඥ්චායතන සිත පිලිබදව මෙනෙහි කිරීමක් මෙතැනදී සිදුකරන්නේ නෑ. ආකාසානඥ්චායතන  සිත නැති බව ගැනයි සිත එක්තැන් කරන්නේ. මෙය තේරුම්ගන්න පහසු උදාහරණයක් විශුද්ධි මාර්ගයේ සදහන් වෙනවා.
භික්ෂුන් වහන්සේලා පිරිසක් ශාලාවක රැස්වී සිටින ආකාරය දැකපු පුද්ගලයෙක් ඉවත් වී ගිහින් භික්ෂුන් වහන්සේලා පිටවී ගිය පසු නැවත එනවා. එවිට එම ශාලාවේ භික්ෂුන් සිටි බවක් හෝ භික්ෂුන් පිටවී ගිය බවක් නොසිතා එතැන භික්ෂුන්ගෙන් හිස් බව සලකනවා.
ඒ ආකාරයටම විඥ්ඥානඥ්චායතනය වැඩීම සදහා ඊට පෙර වැඩු ආකාසානඥ්චායතන සිත අරමුණු කරගෙන භාවනා කල යෝගියා දැන් ඒ ආකාසානඥ්චායතන සිත නැති බව හිස් බව අරමුණු කරගෙන  ආකිඥ්චඥ්ඥායතනය වැඩිය යුතුයි.
ඒ විදියට සිතමින් භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී ආකිඥ්චඥ්ඥායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න ඕනි. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේත් චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.


4. නේවසංඥානාසංඥායතනය  ලබාගන්නා ආකාරය 
ආකිඥ්චඥ්ඥායතනය හොදින්  වැඩීමෙන් පස්සේ එයට වඩා උසස් ගුණ සහිත පංච අභිඥා ලබාගැනීමට උපකාර වන නිරෝධ සමාපත්තිය වැඩීමට උපකාර වන නේවසංඥානාසංඥායතනය වැඩීමට සිත පහදවාගත යුතුයි.
නේවසංඥානාසංඥායතනය වැඩීමේදී සිදුකරන්නේ ආකිඥ්චඥ්ඥායතන ධ්‍යාන සිත අරමුණු කර ඒ සිත "ශාන්තයි ශාන්තයි" ලෙස සිතමින් ආකිඥ්චඥ්ඥායතන ධ්‍යාන සිතේ ශාන්ත භාවය පිලිබදව සිත එක්තැන් කිරීමයි.
ඒ විදියට සිතමින් භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී ආකිඥ්චඥ්ඥායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න ඕනි. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේත් චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.

නේවසංඥානාසංඥායතනය කියන වචනයේ අර්ථය වෙන්නේ සංඥාවක්  ඇත්තේත් නැති නැත්තෙත් නැති අවස්තාව කියන එකයි. භාවනාවට නිමිති කරන රළු සංඥාවක් නැති නිසාත්, හිස් බවක් පිළිබද අරමුණක් මෙනෙහි කිරීමේ ඉතා සියුම් සංඥාවක් පවතින නිසාත් මේ තත්ත්වය ඒ නමින් හදුන්වනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන කිසිම නාම හෝ රූප ධර්මයක් නැති තරමට ඉතා සියුම් වන නිසා නේවසංඥානාසංඥායතනය කියන නම යෙදෙනවා. මේ ධ්‍යාන තත්ත්වයේදී සිතේ කිසිම සංඥාවක් නැති වීමට ඉතාම ආසන්නයි. ඒත් සම්පුර්ණයෙන්ම නැති වීමක් වෙලා නෑ. ඉතාම ක්ෂුද්‍ර මට්ටමේ සංඥාවක් පමණක් පවතිනවා. "සංඥාවක් නැති තත්ත්වය" කියල නම් කරන්න සාධාරණ නැති නිසා "සංඥාවක් නැතිම වාගෙයි" කියන අදහසින් ඇත්තෙත් නැති නැත්තෙත් නැති අවස්තාව කියල හදුන්වනවා.

* අරූප ධ්‍යාන වලින් ලබාගන්නේ කුමක්ද කියල එකවර තේරුම්ගන්න අපහසු උනත් අරුප ධ්‍යාන වැඩීමේදී සිදුකරන්නේ ඉතාම ගැඹුරු මානසික ක්‍රියාවලියක්. තමන් විසින්ම තමන්ගේ සිත අවශ්‍ය අවශ්‍ය විදියට එහා මෙහා හරවමින් හසුරවමින් සිදුකරන ඉතාම සංකීර්ණ මානසික ව්‍යායාමයක් මේ තුල තියෙන්නේ. ඒ නිසා කිසිම විටෙක චතුර්ථ ධ්‍යානය නොලබා අරූප ධ්‍යාන වැඩීමට උත්සහ කිරීමක්වත් කරන්න එපා. තමන් පළමු, දෙවන, තුන්වන ධ්‍යාන මට්ටම් වල සිටියත් අරූප ධ්‍යාන වඩන්න යාමෙන් ධ්‍යානය තුලදීම උන්මත්තක භාවයට පත්වෙන්න පුළුවන්. ඒ වගේම ධ්‍යාන වශිතාව හොදින් ලබාගන්නේ නැතිව ඉහල ධ්‍යාන වලට ඉක්මනින් යන්න උත්සාහ කරන්නෙපා.


සම සතළිස් කමටහන්
ඉහත ආකාරයට සමථය දියුණු කරන්නන් හට ධ්‍යාන උපදවා ගැනීමට භාවනා කමටහන් 40ක් බුදුදහමේ ඉගැන්වෙනවා. ඒවා සම සතලිස් කමටහන් විදියට නම් කරනවා.

දස කසිණ  10
පඨවි කසිණය        - පස් ආදී ඝන පදාර්ථ අරමුණු කර
ආපෝ කසිණය      - ජලය අරමුණු කර
තේජෝ කසිණය        ( භාවනා ලිපිය කියවීමට Click Here)
වායෝ කසිණය         ( ආකාෂචාරි බව ලබාදෙන වායෝ කසිණය ලිපිය Click Here)
නීල කසිණය          - නිල් වර්ණය අරමුණු කර
පීත කසිණය           - රත්‍රන්/ කහ වර්ණය අරමුණු කර
ලෝහිත කසිණය    - රතු වර්ණය අරමුණු කර
ඕදාත කසිණය        -  සුදු වර්ණය අරමුණු කර
ආලෝක කසිණය       ( දිවැස් උදාකරන ආලෝක කසිණය ලිපිය Click Here)
ආකාශ කසිණය      - අවකාශ ධාතුව අරමුණු කර

දස අසුභ  10 
උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විජ්ජිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තකය, හත්ඛිත්තය, ලෝහිතකය, පුලවකය, අට්ඨිකය

දස අනුස්සති  10
බුද්ධානුස්සතිය(බුදුරුව දර්ශනය වන බුද්ධානුස්සතිය ලිපිය කියවීමට Click Here )
ධම්මානුස්සතිය
සංඝානුස්සතිය
සිලානුස්සතිය
චාගානුස්සතිය
දේවානුස්සතිය -  ( දෙව්ලොව උපත ලබාදෙන දෙවතානුස්සතිය ලිපිය Click Here )
මරණානුස්සතිය -  ( මරණය පාලනය කිරීම හා අමරණිය භාවනාව ලිපිය Click Here)
කායගතාසතිය
ආනාපානසතිය  ( ශරීරයෙන් සිත වෙන් කරවන ආනාපානසතිය ලිපිය Click Here )
උපසමානුස්සතිය

බ්‍රහ්ම විහාර භාවනා  4 
මෙත්තා  -  ( මෛත්‍රී භාවනාවේ ඉර්ධින් ලිපිය Click Here )
කරුණා
මුදිතා
උපේක්ඛා

ආහාරේ පටික්කුල සංඥා  1

ධාතු මනසිකාර  1

අරූප භාවනා  4
ආකාසානන්චායතනය
විඥ්ඥානන්චායතනය
ආකිංචන්ඥායතනය
නේවසංඥානාසංඥායතනය

* සම සතලිස් කර්මස්ථාන වලට අයත් නොවන සතර සතිපට්ටානය, අනිමිත්තය( Click here to read ) වැනි තවත් භාවනා බුද්ධ භාෂිතයේ පවතිනවා. මේ සියලුම භාවනා වලින් ධ්‍යාන හතරම ලබාගන්න බෑ.  මේ එක් එක් භාවනාවෙන් ලබාගත හැකි ධ්‍යාන පහත ආකාරයි :-


* ප්‍රධාන වශයෙන් ධ්‍යාන ලැබීම මේ ආකාර උනත් මුලික කමටහන යම් යම් වෙනස්කම් කිරීමෙන් මෙහි සදහන් නොවන ධ්‍යාන පවා ලබාගන්නා ක්‍රම භාවනා සෙනසුන් වන භාවිත වනවා. උදාහරණයක් විදියට බුද්ධානුස්සති භාවනාවෙන් චතුර්ථ ධ්‍යානය තෙක්ම ධ්‍යාන ලබාගත හැකි ක්‍රමයක් දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ භාවනා අත්දැකීම් චරිතාපදානයේ සදහන් කර තිබෙනවා.

මේ භාවනා වැඩීමෙන්  ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..



ධ්‍යාන යනු ලෞකික දෙයක් යයි කියමින් සමත භාවනාවට ගරහමින් ධ්‍යාන වලට ගරහමින් ඒවා ප්‍රතික්ෂේප කරනා මහදැනමුත්තන් පිරිසක් දැන් බිහිවී සිටිනවා. සමතයට ගරහමින් විදර්ශනාව පමණක් නිවනට උපකාර වන බවත් බුදුන් ධ්‍යාන පිලිබදව දේශනා නොකළ බවත් සමත භාවනා හින්දු ඉගැන්වීම් බවත් මෙම බක පණ්ඩිතයන් ප්‍රකාශ කරනවා. එහෙත් බුදුරජානන් වහන්සේ විසින්ම ධ්‍යාන වර්ණනා කල අවස්ථා හා ධ්‍යාන නිවනට උපකාර වන ආකාරය පැහැදිලි කල අවස්ථා සිය ගණනක් ත්‍රිපිටක දේශනා වල සදහන් වෙනවා.


1. දේවාසුරසංගාම සූත්රය
අංගුත්තර නිකාය.
නවක නිපාතය.
මහා වර්‌ගය.



මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි.

දේව අසුර යුද්ධයක් ආරම්භ වූයේ ය. මහණෙනි, ඒ යුද්ධයෙහි අසුරයෝ ජයගත්තාහු ය.දෙවියෝ පැරදුණාහු ය.මහණෙනි, පරාජිත දෙවියෝ උතුරු දිශාවට අභිමුඛ ව පළාගියහු ය. අසුරයෝ දෙවියන් පසුපස හඹා ගියාහු ය.ඉක්බිති මහණෙනි, දෙවියන්ට මේ අදහස ඇතිවූයේ ය.

'අසුරයෝ අප ව ලුහු බඳිත් ම යී.ඉදින් අපි අසුරයන් හා දෙවෙනි වරට ත් යුද්ධ කරන්නෙමු නම් යහපති' යි.

මහණෙනි, දෙවෙනි වතාවේ ත් දෙවියෝ අසුරයන් හා යුද වැදුණාහු ය.මහණෙනි, දෙවෙනි වතාවේ ත් අසුරයෝ ම ජයගත්තාහු ය.මහණෙනි, පරාජිත දෙවියෝ බියට පත් ව උතුරු දිශාවට අභිමුඛ ව පළාගියාහු ය.අසුරයෝ දෙවියන් පසුපස හඹා ගියාහු ය.ඉක්බිති මහණෙනි, දෙවියන්ට මේ අදහස ඇතිවූයේ ය.

'අසුරයෝ අප ව ලුහු බඳිත් ම යී.ඉදින් අපි අසුරයන් හා තුන්වෙනි වරට ත් යුද්ධ කරන්නෙමු නම් යහපති' යි.

මහණෙනි, තුන්වෙනි වතාවේ ත් දෙවියෝ අසුරයන් හා යුද වැදුණාහු ය.මහණෙනි, තුන්වෙනි වතාවේ ත් අසුරයෝ ම ජයගත්තාහු ය.මහණෙනි, පරාජිත දෙවියෝ බියෙන් තැති ගෙන දෙව්පුරයටම පිවිසියාහු ය.

මහණෙනි, දෙව්පුරයට ගිය ඒ දෙවියන් හට මේ අදහස ඇතිවිය.

'දැන් අපි මෙකල නිර්‌භය ස්ථානයට පැමිණ වාසය කරම්හ. අසුරයන් විසින් දැන් කිසිවක් කළ නොහැක්කේ ය'.

මහණෙනි, අසුරයන්ටද මේ අදහස ඇතිවූයේ ය.

දැන් දෙවියෝ මෙකල නිර්‌භය ස්ථානයට ගොස් වාසය කරති.අප විසින් ඔවුන්ට කිසිවක් කළ නොහැක්කේ ය'.



එසෙයින් ම මහණෙනි, යම් කලක භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව පළමු වෙනි ධ්යානය උපදවාගෙන වාසය කරයි නම්, මහණෙනි, එසමයෙහි භික්ෂුවට මෙසේ සිතෙයී.

'මම දැන් මෙකල නිර්‌භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරමී.මාරයා විසින් කිසිවක් කළ නොහැක්කේ ය'.

මහණෙනි, පවිටු මාරයාට ද මෙසේ සිතෙයි.

'දැන් මෙකල භික්ෂුව නිර්‌භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරයි.මා විසින් කිසිවක් කළ නොහැක්කේ ය'.

මහණෙනි, යම් කලක භික්ෂුව විතර්‌ක විචාරයන් සංසිදුවීමෙන්....දෙවෙනි ධ්යානය....තුන්වෙනි ධ්යානය.
....සතරවෙනි ධ්යානය උපදවාගෙන වාසය කරයි නම්,මහණෙනි,එසමයෙහි භික්ෂුවට මෙසේ සිතෙයී.

'මම දැන් මෙකල නිර්‌භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරමී.මාරයා විසින් කිසිවක් කළ නොහැක්කේ ය'.

මහණෙනි, පවිටු මාරයාට ද මෙසේ සිතෙයි.

'දැන් මෙකල භික්ෂුව නිර්‌භය ස්ථානයට පැමිණි සිතින් වාසය කරයි.මා විසින් කිසිවක් කළ නොහැක්කේ ය'.

මහණෙනි, යම් කලක භික්ෂුව සියලු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්,ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්භාවය මෙනෙහි නොකිරීමෙන් 'අනන්ත ආකාසය' යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි.මහණෙනි,මේ භික්ෂුව මාරයාට පැමිණෙන්නට ඇති ඉඩකඩ නසා අවසන් කළේ ය.මාරයාගේ ඇසට නොපෙනී ගියේ යැයි කියනු ලැබේ.

මහණෙනි, යම් කලක භික්ෂුව සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, 'විඤ්ඤාණය අනන්ත' යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයී..... සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් 'කිසිවක් නැතැ' යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයී..... සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ..... සියලු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයී.ප්රඥාවෙන් දැක ඔහුගේ ආශ්රවයෝ ත් ක්ෂය වූවාහු වෙති.මහණෙනි, මේ භික්ෂුව මාරයාට පැමිණෙන්නට ඇති ඉඩකඩ නසා අවසන් කළේ ය.මාරයාගේ ඇසට නොපෙනී ගියේ ය.ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළේ යැයි කියනු ලැබේ.





2. දීඝ නිකාය
සීලඛන්ධවග්ග පාලි
සාමඤ්ඤඵලසුත්තං


පඨමජ්ඣානං කොටස 

“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාම යන්ගෙන් වෙන් වූයෙමි, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණෙවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්යාන කුසල චිත්තය තමා තුළ ඉපදීම් වසයෙන් ඊට පැමිණ එම ධ්යානයෙහි වාසය කෙරේ. ඔහු විවේකයෙන් හටගත් ප්රීති සැපයෙන් මේ (සකල) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණයෙන් පුරවයි. සැමතින්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවෙනි විවේකයෙන් උපන් ප්රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවෙනි ධ්යානයෙන් යුත් සැපය පැතිරෙයි.
227
‘‘සෙය්යථාපි , මහාරාජ, දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය, සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන, න ච පග්ඝරණී; එවමෙව ඛො, මහාරාජ, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. ඉදම්පි ඛො, මහාරාජ, සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුරිමෙහි සන්දිට්ඨිකෙහි සාමඤ්ඤඵලෙහි අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
227
“මහරජ, යම්සේ දක්ෂවූ ස්නාන ද්රව්ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලොහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩුගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද. “මහරජ, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ, විවේකයෙන් හටගත් ප්රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැමතන්හි පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයෙහි විවේකයෙන් හටගත් ප්රීති සැපයෙන් පැතිරෙයි. මහරජ, මෙයද මේ ආත්මයෙහි දැක්කයුතු විපාක ඇත ඵලයකි. මෙය ඉහතකී මේ ආත්මභාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්රෙෂ්ඨද වෙයි.


3. අං: ඡ: නි: ම: ව: සීහනාද සුත්‌ත

“තත්ර, භික්‌ඛවෙ, යම්‌පිදං ඨානඤ්‌ච ඨානතො අට්‌ඨානඤ්‌ච අට්‌ඨානතො යථාභූතං ඤාණං තම්‌පි සමාහිතස්‌ස වදාමි නො අසමාහිතස්‌ස. යම්‌පිදං අතීතානාගතපච්‌චුප්‌පන්‌නානංකම්‌මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං තම්‌පි සමාහිතස්‌ස වදාමි නො අසමාහිතස්‌ස. යම්‌පිදං ඣාන විමොක්‌ඛ සමාධි සමාපත්‌තීනං සංකිලෙසං වොදානං වුට්‌ඨානං යථාභූතං ඤාණං තම්‌පි සමාහිතස්‌ස වදාමි නො අසමාහිතස්‌ස. යම්‌පිදං පුබ්‌බෙනිවාසානුස්‌සතිං යථාභූතං ඤාණං තම්‌පි සමාහිතස්‌ස වදාමි නො අසමාහිතස්‌ස. යම්‌පිදං සත්‌තානං චුතූපපාතං යථාභූතං ඤාණං තම්‌පි සමාහිතස්‌ස වදාමි නො අසමාහිතස්‌ස. යම්‌පිදං ආසවානං ඛයා…පෙ.… යථාභූතං ඤාණං තම්‌පි සමාහිතස්‌ස වදාමි නො අසමාහිතස්‌ස. ඉති ඛො භික්‌ඛවෙ, සමාධි මග්‌ගො, අසමාධි කුම්‌මග්‌ගො”ති.

මහණෙනි! යමක් සිදුවීමට කාරණා මෙය ය. සිදු නොවීමට කාරණා මෙම යැයි මෙසේ ස්ථාන ස්ථාන වශයෙන් ද, අස්ථාන අස්ථාන වශයෙන් ද දන්නා වූ යම්බඳු යථාභූත ඤාණයක් වේද, එය සමාහිත පුද්ගලයාටම වේ යැයි කියමි. අසමාහිතයාට නොවේ. අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ ස්ථාන වශයෙන් හේතු වශයෙන් විපාක පිළිබඳ යථාභූත ඤාණයක් වේද, එය සමාහිත පුද්ගලයාටම වේ යැයි කියමි. අසමාහිතයාට නොවේ. ධ්යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ දියුණුවට කාරණා පිරිහීමට කාරණා පිළිබඳ වූ යථාභූත ඤාණයක් වේද, එය සමාහිත පුද්ගලයාටම වේ යැයි කියමි. අසමාහිතයාට නොවේ. පෙර විසූ ආත්ම දැකිය හැකි පූර්වෙනිවාස ඥානය නම් යථාභූත ඤාණයක් වේද, එය සමාහිත පුද්ගලයාටම වේ යැයි කියමි. අසමාහිතයාට නොවේ. සත්වයන් ගේ ච්යුති උප්පත්ති දැකිය හැකි දිබ්බචක්ෂු ඥානය නම් වූ යථාභූත ඤාණයක් වේද, එය සමාහිත පුද්ගලයාටම වේ යැයි කියමි. අසමාහිතයාට නොවේ. සියලු සසර දුකින් අත මුදවන ආශ්රවක්ෂය ඥානය නම් වූ යථාභූත ඤාණයක් වේද, එය සමාහිත පුද්ගලයාටම වේ යැයි කියමි. අසමාහිතයාට නොවේ. මහණෙනි, මෙලෙස චිත්තේකාග්රතා සංඛ්යාත සමාධිය ඥාන අධිගම උපාය සංඛ්‍යාත මාර්‍ගය වෙයි. සමාධියෙන් තොරබව අමාර්‍ගය වෙයි.






Comments

  1. Yogithumani,
    1.kumana bawanawakin dyana labuwath 3 weni dyanayen udata thiyena dyana awastha waladi yogiwarayata e hith wala swabawayan ekama
    akarayakata neda watahenne?

    2.dyana labagattot e dyanaya digatama pawathwaganna loku utsahayak daranna onida?e kiyanne mithuran samaga vihilu thahalu kireem adi yen bawanawa nokarana awastha waladi walaki inna onida?

    ReplyDelete
    Replies
    1. 1, hithe swabhawaya eka wage unata dhyanayata pathwenna bhawitha kala nimiththa anuwa hithe wenasak thiyenawa

      2. muladi rekaganna oni. passe tika tika samnya jiwitayata huruwenna oni. samanya jiwithaye weda nokara inna oni ne. ewa karana gaman dhyana rekaganna puluwan. dhyana washithawa purudu karanakota ewa prashnayak wenne ne

      Delete
  2. Dhyana laba geneemata karanna ona pin/kusal monawada?ewa karanne kohomada?pahada denam obata pin...

    ReplyDelete
    Replies
    1. ධ්‍යාන ගන්න නම් ඉතින් භාවනා කිරීමම තමයි කරන්න ඕනි. භාවනා කිරීමත් පිනක්

      Delete
  3. Yogi thumani, mama vandanaa katayuthu karanakota ha saamaanya velaavata magee sithata vivida naraka sithuvili enava eek nisaa mn godak peeda vidhinava obathumaata puluvanda mata eekata piliyamak hoyala denna

    ReplyDelete
  4. යෝගීතුමනි සුකඤ්ඤත සමාධිය පිළිබඳ කියන්න.

    ReplyDelete
  5. Prathama dyanayata ava kiyala danagane komada

    ReplyDelete
    Replies
    1. ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ මම දාලා තියනවා ලිපියේ

      Delete

Post a Comment