Featured Post

බෞද්ධයන් අපාගත කරවන අසුර - යක්ඛ වන්දනා රැල්ල



ඔබ අසුරයෙක්ද?

ඔබ යක්ෂයෙක්ද?
එසේනම් ඔබට බරපතල ලෙස වැරදි ඇත!!!
මේ ඔබට වැරදුනු ආකාරයත් වැරදවූ ආකාරයත් පිළිබදවයි. 

ඔබ ඔබව යක්ෂයෙක් ලෙසත් අසුරයෙක් ලෙසත් හදුන්වමින් ඒ පිලිබදව ආඩම්බර වන කෙනෙකු නම් මෙම ලිපිය කියවීම මැදින් නොනවත්වා සම්පුර්ණයෙන් කියවා අවබෝධ කරගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමි. මෙහි ඇති දේ අන්ධ භක්තියෙන් පිළිගත යුතු නැති අතර විචාරශීලිව විමසා බලා සොයා බලා පිළිගැනීම ඔබට භාරය. මෙහි ඇති කරුණු කිසිවක් කිසිවෙකුටවත් රිදවිමටවත් පහර ගැසීමටවත් ඉදිරිපත් නොකරන බවද සිහපත් කරමි. ඔබ ඉදිරියේ ඇති මහා අනතුරින් ගැලවීමට මේ ඔබට ලැබෙන එකම හා අවසාන අවස්තාව විය හැක.

රාවණ ඉතිහාසය හෙළි කරනවා යයි කියමින් ව්‍යාජ මිත්‍යාවන් පැතිරීම පිලිබදව මිට පෙර ලිපි මගින් සාක්ෂි සාධක රාශියක් සහිතව පෙන්වා දෙන ලදී. 
ශිව තාණ්ඩවය පිළිබද ව්‍යාජ ඉගැන්වීම් හෙළි කල ලිපිය:- ( click here )
වජ්‍රය පිළිබද මිත්‍යා මත හෙලිකල ලිපිය :- ( click here )
සුර්ය නමස්කාරය පිළිබද මිත්‍යා හෙලිකල ලිපිය :- (click here)

මෙම විකෘතීන් හෙළි දක්වන්නේ මිත්‍යා විශ්වාස ඔස්සේ යමින් අපාගත වන මග නොදත් අසරණයන්ගේ නුවණ පෑදීමටය. ස්වස්තිකය, රාමායනය හා කතරගම දෙවියන් පිලිබදවත් මොවුන් මෙවැනිම ඉතාම අසත්‍ය මනෝ විකාර ප්‍රචාරය කරන අතර ඒවා පිළිබදවද නුදුරේදීම ලිපි පලකරනු ලැබේ.

රාවණ හොරුන්ගේ ඉතිහාස බොරු වලට වඩා සමාජයට ඉතාම අහිතකර වී ඇත්තේ ඔවුන්ගේ වැඩසටහන් වලදී බුදුදහම පිළිබදව ප්‍රචාරය කරනා මිත්‍යා දෘෂ්ඨින්ය. ධර්ම දැනුමක් හෝ සමත විදර්ශනා වැඩීමක් නැති, පොලවේ පය ගසා නැති, ලෝකය ගැන දැනුමක් නැති, වීරයන් සොයනා තරුණයන් විශාල පිරිසක් මෙම විකෘති පිළිගෙන මිත්‍යාදෘෂ්ටියට වැටි ඇති බව දකින්න ලැබේ.

මොවුන්  නිතර නිතර "ආධ්‍යාත්මික වන්න ආධ්‍යාත්මික වන්න" යයි ප්‍රකාශ කරයි. එහෙත් ශ්‍රාවකයන් ඔහුගෙන් අධ්‍යාත්මික වන්නේ කෙසේදැයි ඇසු විට දෙන පිළිතුරක් නැත. එයට හේතුව ඔහු ආධ්‍යාත්මික වීමක් පිළිබද හය හතර වත් නොදන්නා කෙනෙකු වීමයි.

තමන් අධ්‍යාපනය තුලින් නොව ධ්‍යාපනය හෙවත් ධ්‍යාන තුලින් දැනුම ලබාගන්නවා යයි ප්‍රකාශ කලද ඔවුන්ට ඉතාම ප්‍රාථමික මට්ටමේ වත් ධ්‍යානයක් නොමැති බව ඉතාම පැහැදිලි වේ. ධ්‍යාන ඇතිනම් ඒ තුලින් දැනුම ලැබේ නම් ඔවුන් කියනා සියල්ල බොරු වීමට හේතුවක් නැත. එසේම ධ්‍යානයෙන් තොරතුරු කියනවා නම් අරිසෙන් අහුබුදු ආදීන් කියා ඇති කරුණු තැන් තැන් වලින් අහුලා තමන්ගේ කරුණු මෙන් කීමේ අවශ්‍යතාවක් නැත. එමෙන්ම පෙර වැඩසටහන් වලදී මහා ඍෂිවරයෙකු මෙන් කතා කල පුද්ගලයන් අප විසින් ශිව තාණ්ඩව ආදිය පිළිබද සත්‍ය සමාජගත කල පසු තමන් පැතිරු බොරු සාධාරණීකරණය කරගැනීමට මෑත වැඩසටහන් වලදී තමන් ඉතාම සාමානය මනුෂ්‍යයෙක් බව ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබේ. වැරදි මිත්‍යා ප්‍රභාන්ධයන් සමාජගත කරනාවිට ධ්‍යාන ලාභී ඍෂිවරයන් වූ පුද්ගලයන් තමන්ගේ බොරු හෙළි වූ පසු වැරදි අතපසුවීම් කරනා සාමාන්‍ය මනුෂ්‍යයන් වී ඇත. තමන්ට නොතේරෙන දේ පිළිබද අසත්‍ය ප්‍රභන්ධ ප්‍රචාරය නොකළේ නම් මෙවැනි දිව දෙකේ මට්ටමට පහතට වැටීමට සිදුවන්නේ නැත.

* මෙම ව්‍යාජ මත පතුරවන්නන් අතරින් ප්‍රධාන පුද්ගලයා කිසිසේත්ම බෞද්ධයෙකු නොවන බව ඔහුගේ ක්‍රියා කලාප වලින් පැහැදිලි වේ. ඔහු අග්ගඥ සුත්‍රය වැනි බුදුන්ගේ දේශනා උපුටා ගැනීමේදීද ඒවා බුද්ධ දේශනා යයි සදහන් නොකිරීම නිතර දක්නට ලැබේ. ඒවා බුද්ධ දේශනා යයි කිවහොත් ඒවා තමන්ගේ ඥානයෙන් දකින ලද ඒවායයි අසන්නන්ට ඒත්තු ගැන්වීමට නොහැකි වී යයි. මෙය මොහු කරනා සියලු උපුටාගැනීම් වලදී දකින්න ලැබේ. මොහු විසින් පොත් පත් කියවා ලබා ගත දැනුමද කිසිවිටෙක උපුටාගත් තැනක් සදහන් කරන්නේ නැත. ධර්මයෙන් උපුටාගන්නා දේද උපුටාගත් බවක් ප්‍රකාශ කරන්නේ නැත. එයට හේතුව මොහු තුල කිසිදු ශ්‍රද්ධාවක් නැති වීමයි.

ධර්ම දැනුම ඇති අය මොහුගේ ප්‍රකාශ අසන විට ඒවා බුද්ධ දේශනාවේ සදහන් ඒවා බව හදුනාගනී. ධර්ම දැනුමක් හෝ ධර්මය ප්‍රායෝගික භාවිතයක් නැති පිරිස සිතන්නේ එම ඉගැන්වීම් ඔහු විසින් පළමු වරට ඔහුගේ ඥානයකින් ප්‍රකාශ කරන බවය.

පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභි වන, මහා පුරුෂ ලක්ෂණ  සහිත වන දෙවැනි බුදු කෙනෙකු වන් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ පවා තමන් වහන්සේගේ ධර්ම දේශනා අසා මිනිසුන් ගුණ කියනා විට "මේ ධර්මය මාගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කල ධර්මයයි. මා කරන්නේ එය උපුටා දැක්වීම පමණක්" යයි දේශනා කර ඇත. මෙලෙසින්ම තවත් බොහෝ රහතන් වහන්සේලා ධර්ම දේශනා කරන අවස්ථා වලදී තමන් උලුප්පා නොදක්වා බුදුන් හා ධර්මයම වර්ණනා කිරීම දක්නට ලැබේ.
සත්‍ය බෞද්ධයෙක් සත්‍ය ධ්‍යාන ලාභියෙක් සත්‍ය මාර්ගඵල ලාභියෙක් කිසිවිටෙක ධර්ම කරුණු තමන්ගේ මෙන් උපුටා දක්වන්නේ නැත. 

සත්‍ය ධ්‍යාන ලාභියෙක් කිසිවිටෙක "දෙවියන් යනු පිටසක්වල ජිවින්ය" වැනි බුදුන් දේශනා කර ඇති යමකට විරුද්ධ උන්මත්තක ප්‍රකාශ කරන්නේද නැත.
එයට හේතුව ප්‍රඥාව, සමාධිය යම් තරමකට වැඩේද ඒ තරමටම ශ්‍රද්ධාව අනිවාර්යයෙන් වැඩීමයි.

*** යමෙකු තුල ශ්‍රද්ධාව නොමැති වීම ඔහු තුල සමාධිය හා ප්‍රඥාව නොමැති බවට ඉතාම හොද නිදර්ශකයකි.



මොහු එක් අවස්ථාවකදී මහායානය හා ථේරවාදය ලෙස වෙන් නොකළ යුතු යයි අදහස් වන ප්‍රකාශයක් සිදුකරයි. එමෙන්ම එක් වැඩසටහනකදී වසවර්ති යනු බුදුන් හදුන්වන නමක් යයි සම්පුර්ණ මිථ්‍යා දෘෂ්ටික ප්‍රකාශයක් සිදුකරයි.
මොහු ඒ සදහා උපුටා දක්වන්නේ මහායානයේ ලංකාවතාර සුත්‍රයයි. එහි සදහන් වන්නේ "සියලු ධර්මයට වෂවර්ති වන බුදුරජාණන් " ලෙසිනි. මෙම පාඨය මත පදනම්ව මොහු වෂවර්ති යනු බුදුන්ටද යෙදු නමක් ලෙස ප්‍රකාශ කරයි. මෙය මොහුගේ භාෂා දැනුමක් නොමැති කම හෝ උවමනාවෙන්ම බුදුන්ට වසවර්ති යයි කීම සදහා කරන ප්‍රකාශයකි. මෙහිදී වෂවර්ති යන පදය යොදා ඇත්තේ "විශේෂණ පදයක්" ලෙසිනි. සියලු ධර්මයට අධිපති/ සියලු ධර්මය වසඟ කරගත් යන අර්ථයෙන් මෙහිදී එය යොදා ඇතුවා මිස බුදුන්ට වෂවර්ති යයි කිසිලෙසකින් නම් කර නැත.
මෙම කරුණ අඩංගු වන්නේ විකෘති ධර්මය ඇති මහායානය තුලය. මහායානය යනු පිරිසිදු බුද්ධ භාෂිතය විකෘති කිරීමෙන්ම ආරම්භ වූ ඉගැන්වීමකි. එහි ඇති කිසිදු ඉගැන්වීමක් බුදුවරයෙකුගේ දේශනාවට අනුගත නොවේ.

* හිස ගිනිගත් පුද්ගලයෙක් එම ගින්න නිවනවාට වඩා උත්සහ කල යුත්තේ ඒ මොහොතේද සත්‍යාවබෝධ කිරීමට යන්න බුදුන් දේශනා කල ධර්මයයි. නිවන ප්‍රමාද නොකිරීම කොතරම් අවධාරණය කලද යන්න එයින් පැහැදිලි වේ.

* එක් අනාගාමි වූ භික්ෂුවක් බුදුන් හමුවී තමන් වහන්සේට මරණින් මතු සුද්ධාවාස බඹලොව වාසය කර එහිදී පිරිනිවමට කැමති බවත් ප්‍රකාශ කළහ. එහිදී බුදුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇසිපිය හෙලන මොහොතක් වත් සංසාරයේ රැදීම නුසුදුසු බව එම අනාගාමි භික්ෂුවට දේශනා කළහ. නියත වශයෙන්ම මීලග භවයේ අරහත්වය ශාක්ෂාත් කරන බව ස්ථිර වූ අනාගාමි උතුමෙකු හටවත් නැවත උපදින්න යයි බුදුන් දේශනා කලේ නැත.

එවැනි ධර්මයක් දේශනා කරනා බුදුරජාණන් වහන්සේ මහායානයේ සදහන් ඇති ලෙස සියලු පෘතග්ජනයන්ට බුදුවෙන්න පෙරුම්පුරන්න යයි කිසිදාක දේශනා කරන්නේ නැත. එවැනි මිනිසුන් සසර තුල ප්‍රමාද කරවන මහායානය බිහිවීම වසවර්ති මාරයාගේ බලපෑමෙන්ම සිදුවූ ක්‍රියාවකි. එවැනි මත හිස දරා සිටිමින් බුදුන් පිලිබදව පවා විකෘති මත පලකරන්නා නියත මිථ්‍යා දෘෂ්ටිකයෙකු බව අමුතුවෙන් ඔප්පු කල යුතු නැත.

බුදුදහම විකෘති කල ඉගැන්වීම් පිලිගන්නවා මදිවට බුදුන් හට විරුද්ධ වාදී වන මාරයාගේ නමින් බුදුන් හැදින්වීමට උත්සාහ කිරීමෙන්ම මොහු මාරාවේශ වූ පුද්ගලයෙක් බව පැහැදිලිව සනාථ වේ. 


* මොහුගේ වැඩසටහන් තුල නිතර දෙවියන්ට ගැරහීමත් දෙවියන් වැඩකට නැති පිරිසක් ලෙස පෙන්වීමත් අසුරයන් හා යක්ෂයන් ඉතා උසස් කාණ්ඩ ලෙස පෙන්වීමත් සිදුකෙරේ. මොහු දෙවියන්ට ගරහා අසුර වන්දනාවක් පතුරවමින් සිටි. 
දෙවියන් පිළිබද ඉතිහාස තොරතුරු ව්‍යාජ මනස්ගාත මගින් වසමින් දෙවියන්ට වන්දනා කිරීම හා පින්දීම වලක්වා අසුර හා යක්ෂ වන්දනාවක් හදුන්වා දේ. බුදුන් විසින් සතර අපා විදියට දේශනා කල තිරිසන්, ප්‍රේත, නිරය, අසුර යන පහත් උපත් වල සිටින දුර්වල ආත්මිකයන් ආකර්ෂණය කර ඒ ලෝක වල සිත පිහිටවමින් සුගති භූමියක් වන දෙව්ලොවට ගැරහීමේ බරපතල කම මේ මෝඩ මිනිසුන් දන්නේ නැත. මෙවැනි පාපයන් කර ධර්මය නොදත් අසරණ මිනිසුන් විශාල ප්‍රමාණයක් මුලා කර ඔවුන්වත් මරණින් පසු සතර අපා වලටම යොමු කරයි. 

   


* බෝසත් උපතේ සිට පරිනිර්වාණය තෙක් බුදුන් හට උපස්ථාන කලේ දෙවිවරුන් හා බ්‍රහ්මයන්ය. බුදුරජාණන් වහන්සේ ලංකාවත් ධර්මයත් ආරක්ෂා කරන්න පැවරුවේ සක්‍ර දෙවියන් උපුල්වන් දෙවියන් ආදී දෙවි වරුන්ට මිසක් යක්ෂයන්ට හෝ අසුරයන්ට නොවේ. බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භව වලදී වාසය කලේ දිව්‍ය ආත්ම භව වල මිසක් යක්ෂ හෝ අසුර භව වල නොවේ.

* බුදුන් හා ධර්මය සමග දෙවියන් මිස යක්ෂයන් අසුරයන් සිටියේ නැත. අසුරයන්ට හා යක්ෂයන්ට ස්වභාවයෙන්ම බුදු බණ නොගැලපේ. පෙර භව වල බුදු බණට පිටුපා ගිය නිසාවෙනම ඔවුන් ඒ පහත් භුමි වල ඉපදුන බව දේශනාවේම සදහන් වේ. ආලවක, සාතාගිර, හේමවත යක්ෂයන්, රාහු අසුරේන්ද්‍රයා වැනි සුළු දෙනෙක් හැර යක්ෂ හා අසුරයන් කිසිවෙක් බුදුන් පිළිගෙන නැත.
මන්ත්‍ර තුලදීද මහසොහොන් යක්ෂයා හැර වෙනත් යක්ෂයන් බුදු බණ නොපිළිගන්නා බව දකින්න ලැබේ. පිරිත් සජ්ජායනයේදී බුදු බණ නොපිළිගන්නා යක්ෂයන් අසා සිටිය නොහැකිව පලා යන බවත් බුදුන් අදහන මහසොහොන් යක්ෂයා පිරිත් ඇසීමට ප්‍රිය බැවින් පිරිත් සජ්ජායනය මගින් ඔහු එළවිය නොහැකි බවත් මන්ත්‍ර තුල සදහන් වේ. ඒ තුලින්ද අනෙක් බොහෝ යක්ෂයන් පිරිත් ඇසීමට වත් ප්‍රිය නොවන බව දිස්වේ.

* ආටානාටිය සුත්‍ර දේශනාවේදී සතර වරම් දෙවියන් දේව පිරිවර සමග යක්ෂ ප්‍රේත පිසාච ආදී අමනුෂ්‍යයන් සමග බුදුන් හමුවට පැමිණි අවස්ථාවේ සමහර යක්ෂයන් බුදුන් හට ගෞරව නොකළ බව සදහන් වෙ. බුදුන් පස් පවින් වැළකීමට ධර්මය දේශනා කරන බැවින් පස් පව් සිදුකරනා යක්ෂයන් බුදු බණ ප්‍රතික්ෂේප කරන බව සදහන් වෙ.

කිසිදු දෙවි කෙනෙක් එවැන්නක් කර ඇති බවක් කිසිම අවස්තාවක සදහන් වෙන්නේ නැත. බුදුන් හට විරුද්ධ වාදී වූ මාර දිව්‍ය පුත්‍රයා අධිපති වන පරිනිම්මිත වසවර්ති දෙව්ලොවේ දෙවියන් පවා ධම්මචක්ක පවත්තන දේශනාව අවසානයේ බුදුන් නමස්කාර කරමින් ඝෝෂා පැවැත්වූ බව ධම්මචක්ක සුත්‍රයේ සදහන් වෙ.

* යක්ෂයන් හා අසුරයන් හට කල හැකි වන්නේ බුදුන් සරණ යාම පමණයි. කිසිවෙකුට මගපල ලබාගත නොහැකි බව බුදුන් විසින්ම දේශනා කර තිබේ. ප්‍රේත, අසුර, තිරිසන්, නිරය යන සතර අපා වල සිටින අය හට කිසිදාක සත්‍යාවබෝධ කිරීමක් හෝ මාර්ගඵල ලැබීමක් කල නොහැකි බව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර තිබේ. (යක්ෂ රාක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ භූත බහිරව සියල්ලන් ප්‍රේත ලෙස පොදුවේ හැදින්වේ.)

* දේව, බ්‍රහ්ම හා මනුෂ්‍ය තල "සුගති භුමි" විදියටත් ඒවායෙහි උපදින්නන් හට මගඵල ලැබිය හැකි බවත් බුදුන් විසින්ම දේශනා කර තිබෙ. තිරිසන් , ප්‍රේත, අසුර, යක්ෂ, නිරය "දුගති භුමි" බවත් ඒවායේ උපත් ලැබුවන්ට ධ්‍යාන මගපල ලබාගත නොහැකි බවත් බුදුන් දේශනා කර ඇත.
ඒ නිසා රැල්ලට යමින් දෙවියන්ට ගරහා යක්ෂයන් අසුරයන් ඇදහීම තමන් විසින් තමන්ගේ විනාශය උදාකරගැනිමක් පමණය.

* "බුදුන් දේශනා කලේ නිවන පමණය දෙව්ලොව යාමට බුදුදහම අවශ්‍ය නැතය" යයි ත්‍රිපිටකය බාගයක් කියවූ සමහරුන් ප්‍රකාශ කලද දෙව්ලොව උපතක් ලැබිය හැකි භාවනාවක් බුදුන් දේශනා කර තිබේ. එය දේවතානුස්සති භාවනාවයි
දේවතානුස්සතියක් මිස බුදුරජාණන් වහන්සේ කිසිදිනක අසුරානුස්සතියක් හෝ යක්ශානුස්සතියක් දේශනා කර නැත. දෙව්ලොව උපත වර්ණනා කර තිබුනත් යක්ෂ අසුර උපත් කිසි දිනක වර්ණනා කර නැත.
දේවතානුස්සතියෙදී දෙවියන් තුල ශ්‍රද්ධා ශිල ශරුත චාග පඥ්ඥා යන උසස් සේඛ බල ඇති බවත් පෙර භව වලදී සේඛ බල වැඩිම නිසාම දෙව්ලොව උපත ලද බවත් දේශනා කර ඇත. නිවන් මාර්ගයේ යන පුද්ගලයන් සේඛ ලෙස හදුන්වනු ලැබේ.

* බුද්ධ ශාසනයක් ඇති කාලයකදී මිනිසුන් බොහෝ ගණනින් පින්කම් කර සේඛ බල වඩා දෙව්ලොව උපදින බවත් බුද්ධ ශාසනයක් ලොව නොමැති කාල වලදී දෙව්ලොව හිස් වීම නිසා දෙවියන් කම්පා වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. 
ඒ අනුව බුදුදහම අනුව උතුම් වන්නේ සුර හෙවත් දේව උපත මිස අසුර හෝ යක්ෂ උපත් නොවන බවද 
බුදුදහමට අනුකුලව දිවි ගෙවන්නන් උපදින්නේ සුරයන් අතර බවත් ඉතාම පැහැදිලිය.

* සක්‍ර දෙවියන් වැනි දෙවිවරුන් හා සහම්පති වැනි බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේ හටත් රහතන් වහන්සේලා හටත් උපස්ථාන කල අවස්ථා ත්‍රිපිටකය තුල සිය ගණනින් දැක්වේ. බුදුරජාණන් වහන්සේ දවසේ කාලය කොටස් කීපයකට බෙදා වෙන් කර කටයුතු කල අතර එයින් මැදියම් කිස ලෙස හදුන්වන රාත්‍රී 10 - 2 අතර කාලය දෙවියන් සදහාම වෙන් කල කාලයයි. එම කාලයෙහි දෙවියන් පැමිණ සතුටු සාමිචියෙහි යෙදීමත් ධර්ම කරුණු විමසීමත් කල බව දැක්වේ.

* බෝධිසත්වයන් වහන්සේ නමක් නියත විවරණ ලැබීමෙන් පසු නුපදින උපත් රැසක් දේශනාවේ සදහන් අතර අසුර නිකායකද බුද්ධත්වය තෙක් නුපදින බව දේශනා කර ඇත. එයින් අදහස් වන්නේ අසුර උපත බුද්ධත්වයට බාධාවක් බව නොවේද?

අසුරයන්ගේ ස්වභාවය පිළිබද සක්ක සංයුක්තයේ ඉසයෝසමුද්දක සූත්‍රයේ සදහන් වේ. 

“මහණෙනි මෙය පෙර සිදු වූ දෙයක්. බොහෝ සීලවන්ත, කල්‍යාණ ධර්මයෙන් යුතු වූ ඍෂිවරු මුහුදු තීරයේ පංසල් තනාගෙන වාසය කළා. ඒ කාලයේ දී සුර අසුර යුද්ධයක් හට ගත්තා. ඍෂිවරු මෙසේ හිතුවා "දෙවියන් ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි. අසුරයන් දිනුවොත් අපට කරදර වේවි. ඒ නිසා අපි සම්බර කියන අසුරයා වෙත ගිහින් ඔහුගෙන් අභය දානය ඉල්ලිය යුතුයි" .

ඊට පස්සේ ඍෂිවරු පිරිස එතැනින් නොපෙනී ගිහින් සම්බර කියන අසුරයා ඉදිරියේ පහළ වෙලා කියනවා. ‘අසුරේන්ද්‍රය, ඍෂිවරු ඔබ ඉදිරියේ මෙසේ ඔබෙන් අභයදානය ඉල්ලා සිටිනවා. ඔබට මනුෂ්‍යයාට භය දෙන්නත් පුළුවනි. අභය දෙන්නත් පුළුවනි. ඔබ කැමැති දෙයක් දෙන්න’ කියලා.

සම්බර අසුරයා පිළිතුරු දෙනවා ‘ඊශ්වරයා අපට විරුද්ධයි. ඔබ ඇසුරු කරන්නේ ඒ ශක්‍රයාවයි. ඒ නිසා අභය ඉල්ලන ඔබට මම බිය ම දෙමි’ කියලා.

එතකොට ඍෂිවරු කියනවා ‘අප අභය ඉල්ලද්දීත් ඔබ අපට බිය ම දෙනවා. අපට කරන්න දෙයක් නැහැ. ඔබේ බිය ද නැති නොවේවා’ කියා සම්බර අසුරයාට සාප කර යනවා.

ඒ අනුව ඊශ්වර, සක්‍ර ආදී කොට ඇති සුරයන් හෙවත් දෙවියන් බුදුන් හට පමණක් නොව ඍෂිවරුන්ටද මිත්‍ර බවත් අසුරයන් ඍෂිවරුන්ටද විරුද්ධ බවත් බුද්ධ භාෂිතය අනුවම පැහැදිලි වේ. අසුර යක්ෂ යනු කුමක්දැයි හරිහැටි නොදැන අසුර, යක්ෂ භුමි මත සිත පිහිටවාගැනීම තමන්වත් ඒ දුගති භුමි මට්ටමට පත්වෙන්න මාර්ගය පාදාගැනිමක් පමණි.




*ව්‍යාජ රාවන ප්‍රවාද ප්‍රචාරය කරන්නන් අසුර යක්ෂ උපත් උලුප්පා දෙවියන් පහත කිරීමට දෙවියන් යනු වෙනම තලයක් නොව පිටසක්වල ජීවින් කොටසක් යයි උමතු මතයක් වැඩසටහන් තුල ප්‍රකාශ කරනවා අසන්නට ලැබේ. 

මෙම ප්‍රකාශය මොවුන්බුදුන් සරණ ගිය බෞද්ධයන් නොවන බවටත්
ඔවුන් කිසිම ධ්‍යානයක් අතගා හෝ නොමැති බවටත් පැහැදිලිම උදාහරණයයි.

තවත් සමහරුන් ආභස්සර බ්‍රහ්ම ලොව යනු පිටසක්වල ලෝකයක් යයි ද මත පළකරයි.

බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව ලෝක හා තල පිලිබදව දේශනා කර ඇත. දේව බ්‍රහ්ම ලෝක යනු පරසක්වල ලෝක නොව මේ සක්වලෙහිම මිනිස් ලෝකය ආශ්‍රය කරගෙන පිහිටා ඇති ඉහළ තලයන් බවත් යක්ෂ අසුර ආදීන් මේ ලෝකය ආශ්‍රය කරගෙන ඇති පහල උපත් තලයන් බවත් දේශනා කර ඇත.

* "දෙවියන් යනු පිටසක්වලයන්ය, අසුරයන් යනු මිනිස් ගොත්‍රයක්ය" ආදී ප්‍රකාශ කරන්නේ එම ලෝක දිවැසින් දැකීමට හැකියාවක් තබා සම්මා දිට්ඨියවත්  නොමැති අබෞද්ධ මිත්‍යාදෘෂ්ඨිකයන්ය.
ලෞකික හා ලෝකෝත්තර ලෙස සම්මා දිට්ටිය ආකාර දෙකකි. ලෝකෝත්තර සම්මා දිට්ටිය චතුරාර්ය සත්‍ය පිළිබද අවබෝධයයි.
ලෞකික සම්මා දිට්ඨිය විවිද අංග වලින් සමන්විතව බුදුන් දේශනා කර ඇති අතර එයින් දස වත්තුක සම්මා දිට්ඨියට අයත් අංග 10ක් බුදුන් දේශනා කර ඇත.
* ඒවායින් 8 වන අංගය දෙවියන්, යක්ෂයන් ආදී ඕපපාතික උපත් විශ්වාස කිරීමයි.
දෙවියන්, යක්ෂයන් අසුරයන් ප්‍රේතයන් ඕපපාතික උපත් බව දේශනා කලේ තුන්ලොව පිරිසිද දක්නා බුදුරජාණන් වහන්සේය. බුද්ධ දේශනා සිය ගණනක එම උපත් පිලිබදව සදහන් වේ.
ධ්‍යාන අභිඥා සහිත පුද්ගලයන් දෙවියන් හා අමනුෂ්‍යයන් දැකීමෙන්ම එම උපත් පිළිගනී. ධ්‍යාන අභිඥා නොමැති උවද බුදුන් සරණ ගියේ නම් සම්මා දිට්ඨිය ඇති නම් බුද්ධ වචනය පිළිගනී.

එක් දෙවියෙකු බුදුන් හමුවට පැමිණ දේව ස්වභාවයෙන්ම සිටියදී ක්‍රමයෙන් පොළව පොළව තුලට ගිලාබැසිය. දෙවියන් ඉර්ධියෙන් පොළව මතුපිටට නැග ගත්තද නැවතත් ගිලා බැසීමට මෙන් පොළව තුලට යාමට පටන් ගැනුනි. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම දෙවියන් හට මිනිස් ලොව තුල දේව ස්වභාවයෙන් සිටිය නොහැකි බවත් ශරීරය ඝන කරගන්නා ලෙසත් උපදෙස් දුන්හ. දෙවියන් යනු පිටසක්වල ජීවින් වැනි භෞතික ශරීර නොමැත්තන් බව මෙයින් පැහැදිලි වේ.

අනාථ පිණ්ඩික සිටු වරයාගේ නිවසෙහි විසු දේවතාවියක් එම නිවසට නිතර භික්ෂුන් පැමිණීමේදී නිතර නිතර තමන් සිටි තැනින් බිමට පැමිණ ගෞරව කරන්න වූ නිසා එය කරදරයක් ලෙස සිතා දිනක් අනාථ පිණ්ඩික සිටුවරයාට දර්ශනය වී මෙතරම් දන් දීමේ පලක් නැති ආදී ප්‍රකාශ සිදු කළාය. ඒ අසා අනාථ පිණ්ඩික සිටුවරයා අපැහැදි දේවතාවිය හට තම නිවසින් පිටවී යන ලෙස අණ කළේය. එයින් ශෝකයට පත්ව වැඩසිටීමට ස්ථානයක් නොමැතිව දේවතාවිය සක්‍ර දෙවියන් හමුවී තමන් හට පිහිට වන ලෙස ඉල්ලා සිටියාය. එවිට සක්‍ර දෙවියන් අනාථ පිණ්ඩික සිටුවරයාගේන් මුදල් ගෙන යලි නොදී සිටින ණයකරුවන් සිහිනෙන් බිය කර මුදල් නැවත ලබාදීමට මෙහෙයවන ලෙස දේවතාවියට පැවරු අතර ඒ තුලින් නැවත සිටු නිවසේ විසීමට අවසර ලබාදුන් බව දේශනාවේ සදහන් වේ.

දෙවියන් යනු ඕපපාතික උපත් මිස පිටසක්වලයන් නොවන බවට මෙවැනි උදාහරණ දහස් ගණනක් ත්‍රිපිටකය පුරා ඇත.

ඒවාට අමතරව ඛුද්දක නිකායේ විමානවත්ථු පේත වත්ථු දේශනා වල දෙවියන් හා අමනුෂ්යන් පිලිබදව ඉතා පැහැදිලිව තොරතුරු සදහන් වේ. දෙව්ලොව යනු පුණ්‍ය කර්ම වල විපාක නිසා උපත ලබන උසස් තලයක් මිසක් පිටසක්වල මිනිස් ලෝකයක් නොවන බව විමානවත්ථු දේශනා කියවීමෙන් ඉතා පැහැදිලිව පෙනේ. දෙව්ලොව උපන් එක් එක් දෙවියන් දෙව්ලොව උපදීමට හේතු වූ මිනිස් ලොවේදී තමන් කල පුණ්‍ය විපාකය කුමක්දැයි එම දෙවියන් විසින්ම ප්‍රකාශ කරන දේශනා විමාන වත්ථු දේශනා වේ.

* බුදුරජාණන් වහන්සේ චතු සහස්සී, දස සහස්සී ආදී ලෝක ධාතු පිළිබද දේශනා කරන විට පරසක්වල ලෝක පිළිබද අංගුත්තර නිකායේ අභිභු සූත්‍රයේදී දේශනා කර ඇත.
ආනන්ද තෙරුන් නැවත නැවතත් ප්‍රශ්න කරන ලදුව විශ්වය නිර්මාණය වී ඇති ලෝක ධාතු ප්‍රභේද තුනක් පිළිබඳව කරුණු දක්වා ඇත. ඒ ලෝක ධාතු තුන වනාහි, 

සහස්සී චූලනිකා ලෝක ධාතුවය, 
ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුවය 
තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවය. 

එම සූත්‍රයට අනුව, 
එක ඉරකුත්, එක සඳකුත් වශයෙන් හිරු සඳු දෙදෙනකු ආලෝකය විහිදුවමින් පරිභ්‍රමණය වන්නේ යම්තාක් දුරක්ද එය සක්වළක් වන්නේය. එබඳු වූ සක්වළ දහසක් ‘සහස්සධා’ ලෝක ධාතුව වන බව පැහැදිලි කර ඇත. සහස්සී ලෝක ධාතුවෙහි අන්තර්ගත ප්‍රභේද 16ක් (සොළොසක්) දැක්වේ. 

චන්ද්‍රයන් - 1000 (දහසකි) 
සූර්යයන් - 1000 (දහසකි) 
සිනේරු පර්වත - 1000 (දහසකි) 
ජම්බුදීප - 1000 
අපර ගෝයාන - 1000 
උතුරුකුරු දිවයින් - 1000 
පූර්ව විදේහ - 1000 
සිවුමහා මුහුදු - 1000 
සිවුමහා දෙවි රජවරු - 1000 
චාතුම්මහාරාජික - 1000 
තවුතිසා - 1000 
යාම - 1000 
තුසිත - 1000 
නිම්මානරති - 1000 
පරනිම්මිත වසවර්ති - 1000 
බ්‍රහ්මලෝක - 1000 

ඒ අණුව සහස්සී ලෝක ධාතුව තුල මිනිස් ලොව 1000ක් තිබෙන බව පැහැදිලිය. මෙම දේශනාව ආනන්ද හිමියන් තෙවරක් විමසන තෙක් බුදුන් නිහඩව සිටියහ. එයින් අදහස් වන්නේ මෙම කරුණු එකල මිනිසුන් හට අවබෝධ කරගැනීමට අපහසු බැවින් දේශනා කිරීමට කැමැත්තක් නොදැක්වූ බවයි.
සිනේරු පර්වත, ජම්බුදීප, අපර ගෝයාන, උතුරුකුරු දිවයින්, පූර්ව විදේහ, සිවුමහා මුහුදු තිබෙනවා යයි අදහස් කරන්නේ මිනිස් ලෝකයක් පවතින බවය. ඒ පිලිබදව බුදුන් ඍජුව දේශනා නොකලේ එවැනි ධර්මයක් විමසීමට තරම් එකල විද්‍යාත්මක දැනුමක් නොතිබුණු නිසා විය හැක. විශ්ව විෂය අචින්ත්‍ය බවත් ඒ ගැන සිතීමට යාමෙන් සිහිවිකල් විය හැකි බවත් බුදුන් විසින්ම දේශනා කර තිබේ.

* බුදුවරු පහල වන බැවින් අප සිටින මෙම සක්වල මගුල් සක්වල ලෙසින් හැදින්වෙන බව දේශනාවේ සදහන් වේ. එයින්ද පැහැදිලි වන්නේ බුදුවරු පහල නොවන වෙනත් මිනිස් ලෝක සහිත සක්වල තිබෙන බවයි. එම මිනිස් ලෝක ආශ්‍රය කරගෙනද මෙම සක්වලෙහි මෙන්ම දේව බ්‍රහ්ම හා සතර අපා තලයන් පවතී

* නියත විවරණ ලත් මහබෝසත්වරයෙක් සසර සැරිසරන විට උන්වහන්සේ වෙත හිමිවන විශේෂතා 18ක් බුදුන් දේශනා කර ඇත. ඒවා නම් 

1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම.
2.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම.
3.උන්මත්තකයෙකු නොවීම.
4.ගොතගසමින් කථා කරන්නෙකු නොවීම.
5.අත් පා කොර වූවෙකු නොවීම.
6.ම්ලේච්ඡයන් සිටින ප්‍රදේශයක නො ඉපදීම.
7.දාසියකගේ කුසෙහි නොඉපදීම.
8.මිනිසත් බවක් ලැබුවේ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයෙකු නොවීම.
9.ලිංග පරිවර්තනයකට හසු නොවීම. (ස්ත්‍රියක නොවීම.)
10.පඤ්චානන්තරීය පාපකර්ම නොකිරීම.
11.කුෂ්ඨ ‍රෝගියෙකු නොවීම.
12.තිරිසන් ආත්ම භවයක ඉපදුණත් වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක නොඉපදීම හා හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සතෙකු නොවීම.
13.ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්මභාවයන්හි නොඉපදීම.
14. අසුර නිකායයන්හි නොඉපදීම.
15.අවීචි මහා නිරයෙහි නොඉපදීම.
16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම.
17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ,රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම.
18.වෙනත් සක්වලකට නොයෑම.

මෙයින් අවසාන අංගය වන්නේ පරසක්වල ලෝකයක උපත නොලබන බවයි. එයින් අදහස් වන්නේ පරසක්වල මිනිස් ලෝක ඇති බවයි.

* යශෝධරා තෙරණිය පිරිනිවන අවස්ථාවේ දක්වන ඉර්ධි ප්‍රාතිහාර්ය නැරඹීමට වෙනත් සක්වල වල දෙවිවරුන්ද පැමිණි බව එම කතා ප්‍රවෘත්තිය සහිත දේශනාවේ සදහන් වේ.

* එක් දිනක් බුදුරජාණන් වහන්සේ හා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එකම මගක පිණ්ඩපාතය සදහා වැඩියහ. එක් මහළු කාන්තාවක් පළමුවෙන් වැඩි බුදුරජානන් වහන්සේ වෙත දන් පිළිගැන්විය. මද වෙලාවකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩියහ. මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ පෙනුමෙන් බුදුරජාණන් වහන්සේ හට ඉතාම සමාන බැවින් පළමුව වැඩියේ වෙනත් ස්වාමින් වහන්සේ නමක් බවත් මේ පැමිණ සිටින්නේ බුදුරජානන් වහන්සේ බවත් සිතු මහළු කාන්තාව දිව ගොස් බුදුන් හට පිරිනැමූ දානය නැවත ඉල්ලගෙන විත් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ හට පිළිගැන්විය.
මෙයට හේතුව කුමක්දැයි බුදුරජානන් වහන්සේ බුදු නුවනින් විමසා බලන විට එම මහළු කාන්තාව බුදුන් බෝධිසත්ත්ව අවදියේදී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාම වෙනත් සක්වලක මිනිස් ලොවක උපත ලබා සිටි බවත් එමනිසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට කිසිදාක බෝධිසත්ත්වයන් හට එම කාන්තාවට දානයක් දීමට අවස්තාවක්   නොලැබී ඇති බවත් දිවැසින් දකින ලදී.


මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පිටසක්වල ලෝක පිලිබදව වෙනම සදහන් කර ඇති අතර දේව තල බ්‍රහ්ම තල පිලිබදව වෙනම සදහන් කර ඇත. ඒ අනුව දෙවියන් හෝ බ්‍රහ්මයන් යනු කිසිසේත්ම පිටසක්වල ජීවින් නොවේ. මෙම මිනිස් ලොව මෙන්ම වෙනත් මිනිස් ලොවද ඇති බවත් මෙහි මෙන්ම ඒවායේද දෙවියන් බ්‍රහ්මයන් වාසය කරනා බවත් බුදුන් දේශනා කල කරුණු අණුව පැහැදිලි වේ.

"දෙවියන් යනු පිටසක්වලයන්ය, ආභස්සර බ්‍රහ්මයන් පිටසක්වලයන්ය" කියන්නේ මේ කිසිවක් නොදත් ධ්‍යාන අහලකවත් නොමැති ධර්ම දැනුම නොමැති සම්මා දිට්ඨිය නොමැති පුද්ගලයන්ය. තමන් නොදත් දේ ප්‍රකාශ කරනවා මදිවට ඒවා අවසානයේ "ඒ තමයි පරම සත්‍ය" යයි දෙසාබෑම ඉතාම හාස්‍යජනකය.



** බුදුන් වැඩ සිටි සමයේ වෘත සමාදන් වීමෙන් මෝක්ෂය ලැබෙන බව විශ්වාස කල සුනඛ වෘත හා ගෝ වෘත සමාදන් වූ පුද්ගලයන් දෙදෙනෙක් බුදුන් හමුවට පැමිණ මරණින් මතු තමන් මොක්ෂයට පත් වෙනවාදැයි බුදුන් ගෙන් අසා සිටියහ. එහිදී සුනඛයෙක් ලෙසින් යාම් ඊම හිදීම් කරමින් සුනඛයෙකු ලෙස සිත පවත්වන්නා මරණින් මතුද සුනඛ භවයක උපත ලබන බව ගවයෙකු ලෙසින් සිත පවත්වන පුද්ගලයා මරණින් මතු ගවයෙකු ලෙස උපත ලබන බවද බුදුන් දේශනා කළහ.
එසේ නම් යක්ෂයෙකු ලෙසින් අසුරයෙකු ලෙසින් සිත පැවැත්වීමෙන් නිතර නිතර සිතුවිලි පහල කිරීමෙන් මරණින් මතු උපදින්නේ කුමන භවයකදැයි ඔබම සිතාගත යුතුය.

ධර්ම දැනුමක් හෝ ප්‍රායෝගික භාවිතයක් නොමැති පුද්ගලයන් හට ධර්මය නමින් පෙන්වන මෙවන් විකෘති වල සත්‍ය අසත්‍ය වෙන් කරගැනීමේ හැකියාවක් නැත. මෙවන් විකෘති වලට හසු නොවීමට නම් ඔබ කල යුත්තේ රාවණා ඉතිහාසයක් සොයන්න යාමට පෙර බුදුදහම අධ්‍යනය කර ඒ අනුව සමත විදර්ශනා ආදී ප්‍රතිපදාව ප්‍රායෝගිකව වැඩීමයි. සිත දියුණු කරගත් විට අමුතුවෙන් රාවණ ඉතිහාසයක් සෙවීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැත. දියුණු කල සිතින් ඕනෑම ඉතිහාසයක් දැකීමේ හැකියාව ඇත. එහෙත් සිත නොදියුණු තාක් ඔබට සිදුවන්නේ සිත දියුණු කරගත්තා යයි මවා පානා හොරුන්ගේ ප්‍රතිරුප වලට හසුවී ඔවුන්ගේ බොරු වලට මුලා වීමයි. එමනිසා දෙවනුව ආ අන පළමුව ආ කනට වඩා ලොකු කරගැනීමෙන් වලකින්න. පසුව ආ රාවණ ඉතිහාසය සෙවීමට පෙර පළමුව ආ බුදුදහම අධ්‍යනය කිරීමටත් වැඩීමටත් යොමුවන්න.

රාවණ හොරුන් ආධ්‍යාත්මික වීම නම් ෆැන්ටසි එකක් පෙන්වා මිනිසුන් මුලා කරනවා මිස ඔවුන් තුළ ආධ්‍යාත්මික බවක්ද නැති අතර ඔවුන් ශ්‍රාවකයන් ආධ්‍යාත්මික කරවන්නේද නැත. ඔවුන් විසින් තනන්නේ අන්ධ භක්තිය මිස ආධ්යාත්මය් නොවේ. ඔවුන්ට හිතට එකගව මිනිසුන් ආධ්‍යාත්මික කරවියද නොහැක. එයට හේතුව මිනිසුන් සත්‍ය ලෙස ආධ්‍යාත්මික වුවහොත් ඔවුන්ගේ සියලු මුලාවන් හෙළිවන බැවිනි. 

ඔවුන් තුල සම්මා දිට්ටිය නැති අතර ඔවුන්ගේ අනුගාමිකයන්ද සම්මා දිට්ටිය නැති කර මිථ්‍යා දෘෂ්ටිකයන් බවට පත් කරමින් සිටි.

මිත්‍යා දෘෂ්ඨියට පත්වී දෙවියන් ප්‍රතික්ෂේප කර යක්ෂයන් අසුරයන් වන්දනා කරන මිනිසුන් හට මරණින් මතු කිසිදා සුගති උපතක් අත්වන්නේ නැත. එමනිසා අන්ධ භක්තියෙන් මිනිසුන් වන්දනා කිරීමට පෙර රාවණා ඇදහීමට පෙර බුදුදහම නිවැරදිව හදාරා ඒ අනුව ධර්ම මාර්ගය වඩා සමත විදර්ශනා වඩා ධර්මය ස්ඵර්ශ කරවත් තිබීම මෙවැනි මිත්‍යාදෘෂ්ටිකයන් පසුපස යන පුද්ගලයන්ගේ අර්ථය පිණිස පවතිනු ඇත.

සුරයන් හෙවත් දෙවියන් ඉන්දියාවට අයිති කොටසක් බවත් ලංකාවට අයිති යක්ෂ හා අසුර කොටස් බවත් මවාපාමින් දේවත්වය ප්‍රතික්ෂේප කරවීම මගින් මොවුන් සිදුකරන්නේ තමන්ව අදහන පිරිස මරණින් මතු පහල ආත්මික තල වලට තල්ලු කිරීමකි. අන්ධ ජාත්‍යාලයෙන් මත්වී රැල්ලට යමින් "අපි යක්කු බොලව්" "අපි හෙළ අසුරයෝ" කියමින් එම සංකල්ප හිස දරා ගණිමින් ඔබ මේ ගමන් කරන්නේ තෙරක් නොපෙනෙන ආගාධයකටය.

ඔබ සරණ යන්නේ ධ්‍යානයක්වත් නැති අතේ පත්තු වෙන බොරු කියමින් මිනිසුන් රවටන පෘතග්ජනයාද? පංච අභිඥා අෂ්ට සමාපත්ති අසම සම බුද්ධ ඥාණ සහිත බුදුරජාණන් වහන්සේද ?

අසුර වන්දනාවේ භයානක බව පිළිබද  කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් පල කල ලිපියක් :- (click here)

ව්‍යාජ රාවණ ප්‍රවාද වැඩසටහනකදී නාලන්දා ගෙඩි ගෙය පිලිබදව බොරු පතුරවන එක් වැඩසටහනකදී නාලන්දා ගෙඩි ගෙය ඇත්තේ ලංකාවේ මධ්‍යයේ බවත් , "බුදුවරුන් ඉපදෙන්නේ මධ්‍ය මණ්ඩලේ බව ඔබ අසා ඇති" යයි ප්‍රකාශයක් සිදුකරයි. මෙයින් මෙම මිත්‍යාදෘෂ්ඨිකයා උත්සහ කරන්නේ බුදුන් (සිදුහත් කුමරු) ලංකාවේ ඉපදුන බව වක්‍රාකාරව ශ්‍රාවක ඔලු තුලට ඇතුල් කිරීමයි.
බුදුන් ලංකාවේ උපන් බව කියමින් පැතිරවූ පට්ටපල් බොරුව මේ වනවිට සම්පුර්ණයෙන්ම බොරු බව ඔප්පු කර හමාරය. එම මත පැතිරවූ භික්ෂුන් මහා විහාර විසින් සාමනේර භාවය අවලංගු කර ශාසනයෙන් පන්නා දමා අවසන්ය. එම මත පැතිරවූ භික්ෂුන් කියාගන්නා බහුතරය ගිහි කල කට්ටඩි කම් කල මානසික රෝගීන් වන අතර බහුතරය උපසම්පදාව වත් නොමැති සාමනේර වරුන්ය. 

ඔවුන්ට උපකාර කරනා ජයරත්න පතිආරච්චි නම් මානසික ව්යාකුලතා දරන පුද්ගලයෙකුද සිටින අතර ඔහු විසින් ව්‍යාජ සෙල්ලිපි ප්‍රදර්ශනය කිරීම්, සෙල්ලිපි වල අර්ථ වෙනස්කිරීම් ආදී ඉතාම නින්දිත ක්‍රියා මගින් ඉතිහාසය විකෘති කර පෙන්වන අතර එම වික්රුතින්ද සියල්ල එකින් එකට මේ වන විට ව්‍යාජ ඒවා බවට ඔප්පු කර හමාරය.

ඔවුන් විසින් ඉදිරිපත් කල ඉතිහාස සාධක, පාලි අර්ථ දැක්වීම ආදී සියල්ල මේ වන විට විශ්ලේෂණ කර ඒවා සියල්ල ව්‍යාජ ඒවා බව සාක්ෂි සාධක ඇතුව පෙන්වා එම විකෘතිය සම්පුර්ණයෙන්ම නිෂ්ප්‍රභා කර අවසන්ය. 

** එම සියලු හෙළි කිරීම් ධර්ම යාත්‍රා සමුහයට පැමිණීමෙන් ඔබට කියවා දැක බලා විශ්ලේෂණය කල හැක ------>   (click here)
** බුදුන් උපන්නේ ඉන්දියාවේ බවට සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇති ලිපියක් (click here)
** බුදුන් ලංකාවේ ඉපදුනා කියන හොරුන්ගේ බොරු විග්‍රහ කර ඇති ලිපි පෙළක් -->  (click here)
*** බුදුන් ලංකාවේ ඉපදුනු බවට ව්‍යාජ මතයක් ගොඩනැගීම සදහා ඉතිහාස හා පුරාවිද්‍යා කරුණු විකෘති කරන අයුරු එකින් එකට විග්‍රහ කර ලිපි "එදා හෙළදිව හා බෞද්ධ රාජධානි" ෆේස්බුක් සමුහය තුල කියවිය හැක 


බුදුන් ලංකාවේ ඉපදුන බව මතුරවමින් ධර්මය හා ඉතිහාසය විකෘති කරන්නන් තමන්ගේ බොරු ඔලු තුලට පැටවීම සදහා ප්‍රධාන ලෙසම ජාත්‍යාලය, හෙළ බව හා රාවණ ඉතිහාසය උපයෝගී කරගනී. ඔවුන් බොහෝ විට රාවණ ඉතිහාසයට සම්බන්ධ සමුහ තුල තම විකෘති පැතිරවීමට උත්සහ කරති. රාවණ ඉතිහාසය සොයන්නන් බහුතරය තුල ධර්ම දැනුමක් නොමැති බවත් සමත විදර්ශනා වඩා ප්‍රායෝගික භාවිතයක් නොමැති බවත් "අපේ දේ" "හෙළ කම" "රාවණ උරුමය" ආදී ස්වභාව වලින් එන ඕනෑම සංකල්පයක් කිසිදු විමසීමකින් තොරව අනුමත කරනා බව ඔවුන් දනී.
ව්‍යාජ රාවන ප්‍රවාද සමාජගත කරනා පුද්ගලයන්ද භාවිතා කරන්න මෙම අංගයන්මය. ඔහුද ඔවුන්ගේම අතකොලුවෙකු බව මෙම මධ්‍ය මණ්ඩල විහිළුවෙන් පැහැදිලි වේ.

*** මධ්‍ය මණ්ඩලය යනු කුමක්ද යන්නත් එහි සීමාවන් මොනවාද යන්නත්, ඒවායේ දිග ප්‍රමාණයත් බුද්ධ දේශනා මෙන්ම අටුවා තොරතුරු ඉතා පැහැදිලිව සදහන් වී ඇත.
-----------------------------------------------------------------------------------------------------

තව ද බුදුරජාණන් වහන්සේ සිය සම්බුදු දිවිය තුළදී නිබඳව සැරිසැරූ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සීමාවන් පවා, භාග්‍යවතුන් වහන්සේ විසින් ම මෙසේ පෙන්වා දී තිබේ.

“මහබෝමැඩට පෙරදිගින් කජංගල නම් නියම්ගම ය. ඉන් පිටත මහා ශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. පූර්ව දක්ෂිණ දිශාවෙන් හෙවත් ගිණිකොණින් සලලවතී නම් ගංගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශය යි. දකුණු දිගින් ශ්වේත කර්ණිකා නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. බස්නාහිරින් ථූණ නම් බමුණු ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. උතුරු දිගින් උසීරධ්වජ නම් පර්වතය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි.”

(පුරත්ථිමාය දිසාය කජංගලං නාම නිගමෝ. තස්සාපරේන මහාසාලා. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සලලවතී නාම නදී. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. දක්ඛිණාය දිසාය සේතකණ්ණිකං නාම නිගමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ්මණගාමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. උත්තරාය දීඝාය උසීරද්ධජෝ නාම පබ්බතෝ. තතෝ පරා පච්චත්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ.)

--------------------------------------------------------------------------------------------------------

වර්තමානයේ දී ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන සුවිශාල රාජ්‍යය බුද්ධ කාලයේ හැඳින්වූවේ ජම්බුද්වීප හෙවත් දඹදිව යනුවෙනි. එය අපේ අටුවාවලින් දැක්වෙන ආකාරයට කොටස් තුනකට බෙදී තිබුණි. එනම් මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය සහ අන්තර් මණ්ඩලය යනුවෙනි. මෙයින් මහා මණ්ඩලය මධ්‍ය දේශය වූ බව කියවේ. යොදුන් නවසියයක් වූ මෙම මහා භූමි ප්‍රදේශය බුද්ධාදී උතුමන් වහන්සේලාගේ ජන්ම භූමිය ලෙස සැලකේ. මෙම මධ්‍ය මණ්ඩල ප්‍රදේශයේ සීමා වශයෙන් සඳහන් වන්නේ නැගෙනහිරින් කජංගලා නියම් ගම, ගිනි කොනින් සළලවතී ගඟ, උතුරින් උශීරධ්වජ පර්වතය, බටහිරින් ථූනා නම් බමුණුගම වශයෙනි. මෙසේ පැවති ජම්බුද්වීපය මහා ජනපද මෙසේ විය. අංග, මගධ, කෝසල, කාසි, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර සහ කාම්බෝජ යන දහසයයි. 

මෙයින් සිදුහත් කුමරු උපත ලද මගධ දේශයේ එදා දේශ මායිම් වූයේ උතුරෙන් ගංගා නදිය ද නැගෙනහිරින් චම්පා නදිය ද නිරිත දිගෙන් වින්ධ්‍යා කඳු වැටිය ද බටහිරෙන් සෝනා නදියට ද වට වූ මගධ දේශය රාජගහ නගරය අගනගරය කොටගෙන පැවතියේය. රජගහනුවර සිට යොදුන් හැටකට ඈතින් පිහිටි කපිලවස්තු නගරය ප්‍රධාන කොටගත් ශාක්‍ය ජනපදය පිහිටියේය. හිමාල කඳුවැටියේ දකුණු පැත්තේ බෑවුම් ප්‍රදේශය ශාක්‍ය ජනපදයට අන්තර්ගත වූවේය. මෙකී ප්‍රදේශය ශුද්ධෝදන රජතුමා විසින් ආණ්ඩු කරන ලදී. පසුව සිද්ධාර්ථ බෝසත් තුමන් දහතුන් වසරක් රාජ්‍ය කළ බව කියවේ. උන්වහන්සේ ගිහිගෙය හැරයාමෙන් පසුව නැවතත් ශුද්ධෝදන රජ යටතට පත්වූ මෙම රාජධානිය භද්දිය නම් ශාක්‍ය රජුද ඉන්පසු මහානාම රජුද මෙම ජනපදය පාලනය කළ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

------------------------------------------------------------------------------------------------------------

පින් මෝරා ගිය පුද්ගලයන් උන්වහන්සේගේ නුවණ දැළට හසු වූ විට ඔහු ළඟ සිටියත් දුර සිටියත් ඔහු කරා වහා වැඩිය යුතු නම් තුරිතචාරිකාවෙන් වැඩම කොට ඔහුට හෝ ඔවුන්ට දහම් දෙසා සිවුසස් අවබෝධ කරවති. මහාකාශ්‍යප හා අංගුලිමාල සොයා වැඩියේ තුරිත චාරිකාවෙනි. ලෝ වැසිය, කෙරෙහි අනුකම්පාවෙන් පිණ්ඩපාතය සඳහා දවසක් දවසක් පාසා ගම් නියම්ගම් නගර සිසාරා පිළිවෙළින් යොදුන වශයෙන් පියෙවි ගමනින් වැඩම කිරීම අතුරිත චාරිකාවයි. එයට සපදාන චාරිකාවයි කියාද කිය හැකියි.

මෙම ක්‍රම දෙකෙන් චාරිකාවේ වැඩම වන බුදුරජාණන් වහන්සේ දඹදිව මහාමණ්ඩලය, මධ්‍ය මණ්ඩලය හා අන්තර් මණ්ඩලය යන මණ්ඩල තුනෙහි වරින්වර සැරිසරණ සේක. මෙයින් මහා මණ්ඩලය යොදුන් (නව යොජන සතිකං) නවසියයකි. මධ්‍ය මණ්ඩලය යොදුන් (ඡ යොජන සතිකං) තුන් සියයකි. අන්තර් මණ්ඩලය යොදුන් (තියොජන සතිකං) තුන්සියයකි. මහ මණ්ඩලයෙහි මෙසේ සැරී සරන්නට නවමසක් ද මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරන්නට අටමසක්ද අන්තර් මණ්ඩලයෙහි සැරිසරන්ට සත්මසක් ද ගතවන බව සඳහනි. (ධර්ම ප්‍රදීපිකාව බලන්න) යම් අවස්ථාවක බුදුන් වහන්සේට මහා මණ්ඩලයෙහි සැරිසරන්නට සිත් වුවහොත් වප් පුන් පෝ දවස් මහා පවාරණයෙන් වස් පවරා පෑලවිය (පසළොස්වක දිනට හෝ මාසෙපෝය දිනට) දිනට පසුදා මහා භික්ෂූ සංඝයා පිරිවරාගෙන විහාරයෙන් නික්ම නවසියයක් යොදු නැති මහා මණ්ඩලයෙහි චාරිකා කොට නව මසකින් නිමා කරන සේක.

බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්නට පෙරාතුව උන්වහන්සේ චාරිකාවේ වඩින පුවත යොදුන් සියයක් ප්‍රදේශයෙහි පැතිර යයි. ඒ බව අසන මහජනයා අතර ‘බුදුන් වඩිනවා, බුදුන් වඩිනවා’ යන මහා ඝෝෂාව තුඩ තුඩ පැතිරයයි. කිසියම් මණ්ඩලයකට බුදුන් වඩින බව හෙවත් සැරිසරණ බව සැලවත්ම ඒ මණ්ඩලයෙහි මහාජනයා පමණක් නොව අසල මණ්ඩලවල මහාජනයා ද තම තමන්ගේ දේශයේදී බුදුන් පුදන්නට ඒ ඒ දිශාවෙන් ආහාර පාන, රෙදිපිළි, ගඳ මල් ආදිය රැගෙන අවුත් බුදුන් කොහිද? බුදුන් කොහිද? යනුවෙන් අස අසා උන්වහන්සේ සොය සොයා ඇදෙති. උන්වහන්සේ සමීපයට පළමුවෙන් ළඟාවිය හැකි වූ අයට දානයට ආරාධනා කරන්නට අවකාශ ලැබෙතත් පමාවන්නන්ට අවකාශ නොලැබේ. ඈත දුරසිට සිය ගණන් ගැල් පුරවා ගෙනෙන ලද සිවුපසය පිර වූ ගැල් සාත්තු ගව්වක් පමණ ප්‍රදේශයෙහි එකින් එක පැහැර සිිටින සේ නවතා තබති. මෙසේ මෙහි දී බුදුරජාණන් වහන්සේට මෙන්ම මහාසංඝයාට ද ලැබෙන මහා ලාභ සත්කාර අපමණ වේ. මෙසේ ලාභයෙන් හා යසසින් අගතැන්පත් වූවන් අතර භික්ෂු සංඝයා හැර වෙනත් කිසිම පිරිසක් ලොව මම නොදනිමියි බුදුන් වහන්සේම චුන්දට වදාළේ ඒ නිසයි. ‘ස්වාමීනි, මහවැස්සක් වටකල්හි ගංගා දෙකකින් එක්ව ගලා බස්නා මහා ජලකඳ නිසා පහත් තැන් ජලයෙන් පිරී ඉතිරී දෙගොඩ තලා ගමන් කරන්නාක් මෙන් බුදුන් වහන්සේ යම් යම් තැනෙකට චාරිකාවෙහි වඩින්නේ ද බ්‍රාහ්මණ ගෘහපතියෝ ද ගම් නියම්ගම් ජනපද වැසියෝ ද ඔබවහන්සේ වඩිනා දෙසටම යන්නේ ඔබවහන්සේගේ සුසිල්වත්භාවය හා ප්‍රඥා මහිමය නිසායැයි නාගිත තෙරණුවන් ප්‍රකාශ කළේ ඒ නිසයි.

මධ්‍ය මණ්ඩලයෙහි හා අන්තර් මණ්ඩලයෙහි පෙරමෙන් සැරිසරණ බුදුන් වහන්සේට ඒවායෙහි දී ද ලැබෙන සත්කාර මහා මණ්ඩලයෙහි දී මෙන්ම කිසි අඩුවක් නැත. එහිදී බුදුන් වහන්සේ ඒ ඒ ගම්වල දිනක් දෙකක් තුනක් වැඩ වෙසෙමින් දානමානාදිය පිළිගෙන මහාජනතාවට අනුග්‍රහ දක්වමින් ධර්ම දේශනා කරමින් ඔවුනට නිවන් සැප ළඟාකර ගැනීමට පිහිට වන සේක. මෙසේ කුසල් වඩාගැනීමට ඔවුනට පිහිට වෙමින් මහාමණ්ඩල චාරිකාව නවමසකින් සමාප්ත කරන නමුත් ඇතුළු වස් කාලය තුළ භික්ෂූන්ගේ සමථ විදර්ශනා භාවනා තරුණ වී නම් (මාර්ගඵලබෝධයට තරම් මුහුකුරා නොතිබුණි නම්) බුදුන් වහන්සේ මහාපවාරණයෙන් පවාරණය නොකොට ඉල්මස පුර පෝදා වස් පවාරණය කොට පළමු මහා භික්ෂු සංඝයා සමඟ විහාරයෙන් නික්ම සයසියයක් යොදුනැති මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරා අටමසකින් පෙරලා වඩින සේක. වෙනත් කරුණක් සඳහා මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරනු කැමැත්තේ නම් සිවු මසක් වැස ඉන් නික්මී වඩින සේක. මෙකී පරිදිම සෙසු මණ්ඩල දෙක්හි මෙන් මධ්‍ය මණ්ඩලයෙහි දී ද සත්කාර නොවඩුව ලැබේ. මෙසේ ලෝකයාට අනුග්‍රහ පිණිස පෙරමෙන් මධ්‍ය මණ්ඩල චාරිකාව ද අටමසකින් නිමා කෙරේ.

__________________________________________________________________
මෙම තොරතුරු අනුව ඉතා පැහැදිලිව මධ්‍ය මණ්ඩලය යනු ඉන්දියාවේ වර්තමානයේ මධ්‍ය ප්‍රදේශ් ලෙස හදුන්වන ඉන්දියාවේ මධ්‍යය බව පැහැදිලි වේ.

--------------------------------------------------------------------------------------------------------------


වසවර්ති මාරයා කලින් කලට එක් එක් මනුෂ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගනී. ඔවුන් වෙත මිනිසුන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ඔහු හරහා බුදුදහමට විරුද්ධ මත ප්‍රචාරය කරයි. එම පුද්ගලයාගේ ප්‍රතිරූපයට හසුවන මිනිසුන් ඔහු කියනා සියලු දේ විමසීමෙන් තොරව පිළිගෙන ඔහු දේවත්වයෙන් පිළිගන්නා නිසා සියල්ලම එම මිත්‍යා දෘෂ්ඨියට හසුවේ. රාවණ හොරුන්ගේ ප්‍රධානියාගේ ක්‍රියා කලාපයන් දුටු විට ඔහු සම්‍යක් දෘෂ්ඨික සුර දෙවියන් ප්‍රතික්ෂේප කිරීමත්, යක්ෂ අසුර වන්දනා ප්‍රචලිත කර මිනිසුන් යක්ෂ අසුර භව වෙත තල්ලු කිරීමත්, මහායාන ඉගැන්වීම් ඉස්මතු කිරීමත්, බුදුන් උපන්නේ ලංකාවේ වැනි අමුලික මිත්‍යාවන් අනුමත  කිරීමත් යන කරුණු මගින් ඔහුට නොදැනුවත්ම ඔහු මාර ග්‍රහණයට පත්වී ඇති බව නිරුපණය වේ. අසුරයන්ද යක්ෂයන්ද ඔහුගේ සිත පාලනය කරමින් රූකඩයක් මෙන් නටවන අතර මාරයාද රූකඩ නැටවීමට දායක වී ඇත.
දෙවියන් පිළිබද අමුලික බොරු ගොතමින් සිටීමත් අනුන්ගේ තෙවැනි ඇස පරික්ෂා කිරීමට ප්‍රශ්න පත්‍ර තැනීමත් වෙනුවට තමන් ආධ්‍යාත්මික වීම ආරම්භ කලේ නම් අවම තරමින් මාර ග්‍රහණයෙන් වත් ගැලවීමට තරම් සිත දියුණු වනු ඇත. මෙතෙක් ඔහු විසින් දෙවියන් හට කල අපහාසයන්ට හා මිත්‍යාවන් සමාජගත කල පාපයන්ට ඔහු වෙත සිදුවූ ශාපයෙන් කිසිදු ගැලවීමක් නැත! ඔබද ඔවුන් අනුව යමින් රාමායනය පිලිබදවත් දෙවියන් පිලිබදවත් දේව අවතාර පිලිබදවත් දේව හා ඍෂි නිර්මාණ පිලිබදවත් අසත්‍ය මිත්‍යාවන් පිළිගෙන ඒවා ප්‍රචාරය කරන්නේ නම් ඔබටද උරුමවන්නේ ශාපය පමණි!
දසිස් ශ්‍රී රාවණ හටවත් ඔබව ශාපයෙන් ගලවා ගත නොහැක! 

Comments

  1. Itha watina lipi pelak..godak pin ape katiyage dasa padana ekata...eth mahayana concept ekedi eyalage gnna deval tynwa..eyala kynneh hama mohotema thaman bodhi satweyek wge hithanna kyla...e kiyanne hama mohetema pramitha sapuragnna try krnna kyl..ethkota thaman bodhi satweyekwge hasirenna kyla...me mohete inna kyl...ethkota buduwareyek wenna kyl withrai nvi kynneh...thunthara bodhiya danweneh...budu , pasebudu, arahat...me wge bodhiyak enna thman ada idn hithnna kyl de thamai tynneh...eka athtm wadagath deyak...api hamoma thaman bodhi satweyek wge hithnwa nm api niwan yama israhata dan nathiwa me mohete sita pramaitha sapuragnimin inna puluwn..eth dharama awabodyt ape therawadi dharamaya thamai gdk watinneh...
    Hoda mahayana hamiduruwo innwa me yoniso mansakaraya gana deshana krna...mge adahas nm api hamadekama hari de gnna omneh...

    https://youtu.be/PYD-Gx_9K_M

    https://youtu.be/xD7i6VUOriI

    https://youtu.be/pwCfjVxsZXA

    ReplyDelete
    Replies
    1. ත්‍රිපිටක ධර්මයෙන්ව
      කඩලා ගත්ත
      කැල්ලක්
      නිසා මහායානය තුල හොදදෙේ තියෙනවා
      හැබැයි බහුතරය විකෘති. අර හොද ඒවා තියෙන්නෙ නිකන් මිනිස්සුන්ව රවටිටන උගුලකට වගේ

      Delete
  2. ආනාපානසති භාවනාව කෙරෙහි සිත යොමු කරන විට නොදැනීම හුස්ම මා විසින් පාලනය කිරීමට සිත යොමුවේ. ඉන් පසු ගන්නා හුස්ම රැල්ල කෙරේ සිත යොමු නොකොට මා සිතින් බලෙන් හුස්ම ගන්නා බවක් සිතට වැටහේ. මෙය දුරු කර ගැනීමට උපදෙසක් ලබා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ආනාපානසති භාවනාව ගැන වෙනම ලිපියක් පල
      කලා. ඒක
      කියවන්න

      Delete
  3. මට දැනගන්න දෙයක් තියෙන යෝගි තුමනි දැන් දැන් කාලි මෑනියන් පත්තිනි මෑනියන් යන දෙවිවරුන්ගේ වරම් ගත්තා යැයි කියන කට්ටඩියො විවිධ දේවල් කියනව

    කාලි මෑනියන් කියන්නෙ බුදුදහමෙහි එන කාලි යක්ශනියද ?

    පත්තිනි මෑනියො බුදු දහම හා සම්බන්ධ දෙවිතාවියක්ද

    මේ දෙවිවරු දෙදෙනාට ඉක්මනින් කේන්තියනවද

    ගෙදර පූජාසනයේ පත්තිනි මෑනියන්ට ගාථ කීමෙන් කරදර වෙනවද

    ReplyDelete
    Replies
    1. කාලි යකින්නම තමයි. පසුකාලිනව දේවත්වයට පත් කලා දෙවියන්.

      පත්තිනි මැනියන් එහෙම ඍජු සම්බන්ධයක් නැ බුදුදහමට ඒ උනාට බෞද්ධ දෙවිවරැ

      පත්තිනි මැනියන් සෞම්‍ය කාලි මැනියන් රැද්‍රයි. තරහ යනවා නෙවෙයි හරියට වැඩ නොකලොත් දඩුවම් දෙනවා කාලි.
      පත්තිනි මැනියනුත් එහෙමයි ඒ උනාට තරමක් සෞම්‍යයි සමාව දෙන්න පෙලබෙනවා.

      කිසි දෙවිකෙනෙක්ට නොදැන වන්දනා කරන්නෙපා. දේවාලයක් කරන කෙනෙක්ගෙන් මුල ඉදන් අහගෙන කරන්න.
      පිංදෙන ගාතා හා සාමාන්‍ය නමස්කාර පොඩි ගාතාවක් කිව්වට කමක් නැ
      ලොකු හැලි, හන්තර, ස්තෝත්‍ර කියන්නෙපා

      Delete
  4. පරම ධර්ම සෞසීල්‍ය මහත්වම්
    චරම රම්‍ය භෝදාමෘත තත්වම්
    දේව ශාස්ත්‍ර දේවාංකීත බුද්ධිම
    ත්වම් නමාමි ධීරම් ගුරු දේවම්

    ReplyDelete
  5. Athakota RAVANA kiyanne......Yakekda,Manussayekda?
    RAVANA Gena Post akak dannako

    ReplyDelete
  6. Asura kiyana eka pahadili.asurayan saula gathanaya kara kena rawana kiyla ahla tynva.namuth yakka kiyla hadunvnne aththma yakshayoda.nttn yakka dewa naga vasayen tibba kulada

    ReplyDelete
    Replies
    1. kula gothra
      ewa athiwune amanussa yaksha nagayo adahima nisa

      Delete
  7. dewiyanta pin dedddi Asura kiyana dewa kotastat pin denda oneda?

    ReplyDelete
  8. බොහොම හොඳ ලිපියක් තවත් මෙවැනි වටිනා ලිපි පලකරන්න ධර්ම දානය උතුම්ම දානයයි

    ReplyDelete

Post a Comment