Featured Post

ආදරයට පිහිට සලසන අනංග හෙවත් කාමදෙවියන්





ඉන්දියාවේ වගේම ලංකාවේ සමාජයේ බොහෝ දෙනෙක් අතර සාමාන්‍ය භාවිතයේ තිබුනත් නිවැරදි දැනුමක් නැති අනංග දෙවියන් ගැනයි මේ ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. "මල්සරා" "අනංගයා" නම් මේ වෙනකොට විහිළුවට භාවිතා කරන නම් බවට පත්වෙලා තිබුනත් මේ නම් වලින් හදුන්වන්නේ ආදරය හා ආශාවට අධිපති කාම දෙවියන්වයි.

දෙව්ලොව විවිද තනතුරු දරන දෙවිවරු අතරින් අනංග, මන්මධන, පුෂ්පභාන හෙවත් කුසුමශාර (මල්සරා) විදියට හදුන්වන කාම දෙවියන් තමයි ප්‍රේමයට හා ආශාවට අධිපති දෙවියන්. කාමදෙවියන් විෂ්ණු හා ලක්ෂ්මි දෙවි වරුන්ගේ පුත්‍රයෙකු විදියටයි සලකන්නේ. සමහර අවස්ථා වලදී  ප්‍රජාපති දෙවියන්ගේ පුතෙකු විදියටත් සලකනවා. විෂ්ණු දෙවියන් ක්‍රිෂ්ණ අවතාරයෙන් මනුලොව ඉපදුන කාලයේදී ක්‍රිෂ්ණ හා රුක්මිනි හට දරුවෙකු ලෙස ඉපදුන ප්‍රාද්‍යුම්න කාමදෙවියන්ගේ අවතාරයක් විදියට සලකනවා.
අනංග දෙවියන් වැඩවාසය කරන්නේ වෛකුණ්ට විමානයේ. කොළ පැහැ ගිරවෙකු පිට නැගී කාම දෙවියන් සැරිසරනවා. කාම දෙවියන්ගේ ශරීරයත් කොළ පාටයි. කාමදෙවියන්ගේ අගමෙහෙසිය වෙන්නේ "රති" දේවිය. දුන්න හා මල්  හීසර තමයි අනංග දෙවියන්ගේ ආයුධය වෙන්නේ. එම දුන්නේ දණ්ඩ උක් දණ්ඩකිනුත්, තන්තුව මීමැස්සන්ගෙනුත් නිර්මාණය කරලා තියෙන බවයි වේද ග්‍රන්ථ වල දැක්වෙන්නේ. මල්හිසර නිර්මාණය කර තිබෙන්නේ සුදු නෙළුම් මල්, අශෝක මල්, අඹ මල්, සමන්පිච්ච මල් හා නිල් නෙළුම් මල් වලින් බව සදහන් වනවා.

වසන්ත ඍතුව කාම දෙවියන්ගේ නිර්මාණයක් විදියටයි සලකන්නේ. කොවුලා, ගිරවා, මිමැස්සා හා මෘදුසුළග කාම දෙවියන්ගේ නිර්මාණ විදියට සලකනවා. මේවා සහිත වසන්ත කාලය අනංග දෙවියන්ගේ සමය විදියට සලකනවා. මේ නිසා වසන්තය උදාකරන කාමදෙවියන් සැමරීමට හා විෂ්ණු දෙවියන්ගේ අසුර පරාජය සැමරීමට තමයි අතීතයේ ඉදන් අද වෙනකම් හෝලි උත්සවය පවත්වන්නේ.


                                                           මදන භෂ්මය - කාම දහනය


අනංග දෙවියන් සම්බන්ධ පුරාවෘත වලින් වැඩියෙන්ම ප්‍රචලිත කතාවක් වෙන්නේ ශිව දෙවියන් විසින් අනංග දෙවියන් දවා අළු කිරීමේ කතා පුවත. අතීතයේ එක් කාලයකදී තාරක නම් අසුරයෙක්  දිව්‍යලෝකය ආක්‍රමණය කිරීමෙන් සක්‍ර දෙවියන් ඇතුළු සියලු දෙවියන් අපහසුතාවයට පත් උනා. කිසිම දෙවි කෙනෙකුට පරාජය කරන්න නොහැකි උන තාරක අසුරයාගේ බලය නිසා ඔහුව යටපත් කරන්න පුළුවන් ශිව දෙවියන්ගේ පුතෙකුට පමණක් බව මහා බ්‍රහ්මයන් දෙවියන්ට පැහැදිලි කර දුන්නා. මේ නිසා තාරක අසුරයා පරාද  කිරීමට ශිව හා පාර්වතී එක්වීමෙන් ඔවුන්ගේ ශක්ති උරුම වුනු පුතෙකු බිහිවීමට අවශ්‍ය බව මහා  බ්‍රහ්මයන් දේවේන්ද්‍රයන්ට උපදෙස් දුන්නා. ශිව දෙවියන් භාවනානුයෝගිව සිටි නිසා භාවනාවට බාධා කර මෙම ඉල්ලීම සිදුකිරීමට කිසිම දෙවි කෙනෙකු ඉදිරිපත් උනේ නෑ. ඒ නිසා සක්‍ර දෙවියන් කාම දෙවියන් හට ශිව, පාර්වතී එක් කිරීමේ කාර්යය බාරකලා. කාම දෙවියන් ශිව දෙවියන්ගේ භාවනාව බිද කාම සිතුවිලි උපදවීමට ශිව දෙවියන් භාවනා කරමින් සිටි කෛලාශකුටය අවට ප්‍රදේශයේ අකාල වසන්ත සමයක් ඇතිකළා. කාම දෙවියන් ශිව දෙවියන්ගේ මුරකරු වෙන නන්දි ට හදුනාගන්න නොහැකි විදියට මගහැර ශිව දෙවියන්ගේ භාවනා කුටියට පැමිණීම සදහා දකුණු දිගින් හමන සුගන්ධ සුළගක ස්වරුපයක් මවාගනු ලැබුවා. මහා දේවයන් බවුන් වඩමින් සිටි කුටියට ඇවිත් අනංගයන් මල්හිසර ශිව දෙවියන්ට එල්ලකළා. භාවනාවට උන බාධාවෙන් එක්වරම අවදි වී කෝපයට පත් වුන ශිව දෙවියන්  තම තෙවැනි ඇසෙන් කාම දෙවියන් සම්පුර්ණයෙන්ම දවා අළු කළා.




කොහොම උනත් භාවනාවෙන් ඇහැරුණු ශිව දෙවියන් අනංග සමග ආපු පාර්වතී දේවිය  දැකලා ප්‍රසාදයට පත්වී තොරතුරු විමසා දැනගෙන දෙවිවරුන්ගේ ඉල්ලීමට එකගත්වය පල කළා.  ඔවුන්ගේ එකතු වීමෙන් බිහි උන ස්කන්ධ කුමාර දෙවියන් තාරක අසුරයා පරාද කර දිව්‍යලෝකය අසුර පාලනයෙන් මුදවාගත්තා. ශිව දෙවියන් විසින් කිසිදු අංගයක් ඉතිරි නොවන ලෙස සම්පුර්ණයෙන් අළු බවට පත් කල නිසා  අන + අංග = අනංග කියන නම කාම දෙවියන්ට ලැබුන බව සදහන් වෙනවා. කාම දෙවියන්ගේ ශරීරය මුල ධාතු වලට කොටස් වුන බවත් සිත විශ්වයට ශක්තියක් ලෙස එක්වුණු බවත් වේද ග්‍රන්ථ වල දැක්වෙනවා. පසුව පාර්වතී දේවියගේ ඉල්ලීම අනුව ශිව දෙවියන් නැවත කාම දෙවියන්ගේ දිව්‍යමය සිරුර නිර්මාණය කර ප්‍රාණය ලබාදුන්නා.


මීට පෙර  සක්‍ර දෙවියන් පිළිබද ලිපියේදී (Click Here)  සදහන් කළා වගේම ඉන්දියානු කාම දෙවියන්ට සමාන දෙවි කෙනෙක් ග්‍රීක හා රෝම දේව ඇදහිලි තුලත් දැක්වෙනවා. පියාපත් දරන දුන්නක් අතින් දරාගෙන සිටින ආදරයට අධිපති ග්‍රීක දේව කාණ්ඩයක් විදියට ඊරොට්ස් Erotes දෙවි වරුන් සලකනවා.


 


මේ දේව පුරාණ වල තියෙන කතා අසාමාන්‍ය විදියට පෙනුනත් මේවා තුල සත්‍ය තොරතුරු අඩංගු වෙලා තියෙනවා. ආශාව කාමය ඉස්මතු වෙන අවස්ථා වලදී ශරීරයෙන් පිටවන රශ්මිය (Aura) කොළ පැහැ වෙනවා. කාම දෙවියන්ගේ ශරීර වර්ණය ඉතා පරණ වේද ග්‍රන්ථ වල සිට දක්වලා තියෙන්නේ කොළ පැහැයෙන්. සාමාන්‍ය මනසට අරමුණු කරගන්න බැරි වුනත් මේ පුරාණ වල සත්‍ය තොරතුරු අඩංගු වෙනවා.



කාම දෙවියන් වන්දනාව මගින් ප්‍රේමය හා විවාහය හා ලිංගිකත්වය සම්බන්ධ ගැටළු වලට දෙවියන්ගේ පිහිට ලබාගන්න පුළුවන්. තමන් ආදරය කරන කෙනෙකු ආකර්ෂණය කරගැනීමට, කායික සෞඛ්‍ය වර්ධනයට,  කායික ආකර්ෂණය ඇතිකරගැනීමට, ශ්‍රියාව වර්ධනය කරගැනීමට, ආදරය ලබාගැනීමට, විවාහ ප්‍රමාද නැතිකරගැනීමට හා දරුවන් ලබාගැනීමට අනංග දෙවියන් වන්දනා කිරීම හා පින් අනුමෝදම් කිරීම මගින් පුළුවන්.
තමන් කැමති  කෙනෙක් බලෙන් කැමති කරවගන්න භූතයෝ පෙරේතයෝ ලවා වශී ගුරුකම් කරගන්නවාට වඩා තමන් පින්කම් කරලා කාම දෙවියන්ට අනුමෝදම් කරලා පිහිටක් ඉල්ලීම වඩා හොදයි. ඉල්ලන සියලු දේ දෙවියන් ලබාදෙයි කියල බලාපොරොත්තු වෙන්නෙපා. සමහර වෙලාවට අපේ සංසාරගත වෛරක්කාරයන් පිලිබදවත් අපිට ලොකු ආකර්ෂණයක් ඇතිවෙනවා කර්ම විපාක වල බලපෑමෙන්. ඒ වගේ අයව ජිවිතයට ලං කරගත්තම වෙන්නේ මාස කීපයක් හොදින් ඉදලා ජිවිත කාලයම විදවන්න වීම. ඒ නිසා ඒ වගේ ඉල්ලීම් වලට දෙවියන් උදවු කරන්නේ නෑ.

නිතර කාමදේව ගයාත්‍රි මන්ත්‍ර වාදනය වෙන්න සැලැස්වීම අනංග දේවආකර්ෂණය හා දේව බැල්ම ලැබීමට හේතු වෙනවා.  තමන් කරන පිංකම් අනංග දෙවියන් හට අනුමෝදම් කිරීමෙන් දෙවියන්ගේ ප්‍රසාදය උදාකරගැනිම මගින් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න උපකාර ලබාගන්න පුළුවන්.

                                                             ඕම් කාමදේවාය විද්මහේ
                                                                  පුෂ්පභානාය ධිමහි
                                                         තන්නෝ අනංග ප්‍රචෝදයාර්ත්




Comments

  1. goda kaleka indan illanne astral travel gana post ekak danna kiyala karana widi gana ehema .... puluwanda ilanga post eka e gana danna :).. obata saha obe guruwarayata boho pin...

    ReplyDelete

Post a Comment