Featured Post

දෙව්ලොව ඉපදීමට හේතු වන දේවතානුස්සති භාවනාව



මිනිස් භව වල සිටින අපට ඉදිරි භවය දෙව්ලොවක ඉපදීම ඉතා අපහසු දෙයක් බවත් ඒ සඳහා මහා දාන මාන, මහා පින්කම් කරන්න අවශ්‍ය බවත් බොහෝ අය මිත්‍යා මතයක් දරාගෙන සිටිනවා. ඒත් ත්‍රිපිටක දේශනා හොදින් පරිශීලනය කරනකොට දකින්න ලැබෙනවා අපට එදිනෙදා ජිවිතයේ කල හැකි පොඩි පින්කම් දිව්‍යලෝකයක උපතක් ලබාදෙන්න හේතුවන බව. විශේෂයෙන්ම ඛුද්දක නිකායේ විමානවත්ථු දේශනා කියවන විට ඒ බව හොඳින් ඔප්පුවෙනවා. ඉතා පොඩි පිනක් කර මහත්ඵල මහානිශංස දිව්‍ය ආත්ම ලබපු දෙවිවරු විශාල සංඛ්‍යාවක් පිළිබඳව ඒ දේශනා වල විස්තර වෙනවා.

අපේ සමාජයේ බොරු මතයක් තිබෙනවා දෙවියන්ට භාවනා කරන්න බෑ, පින්කම් කරන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ, සැප වැඩි, ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදීම දිව්‍ය ලෝකේ ඉපදීමට වඩා හොදයි කියන අදහසින්. මේ මතය සම්පුර්නයෙන්ම බොරු මිත්‍යා මතයක්. බොහෝ බුද්ධ දේශනා අවසානයේ සඳහන් වෙනවා ඒ දේශනා ශ්‍රවනය කරපු දෙවිවරු සෝවාන් ආදී මාර්ගඵල වලට පත් උන බව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන සුත්‍රයේ අවසානයේ සෝවාන් උනේ මිනිසුන්ගෙන් කොන්ඩඥ්ඥ තවුසා පමණයි. එත් ඒ වෙලාවේ එතැන සිටි දෙවිවරු කෝටි ගණනක් මාර්ගඵල ලැබූ බව දේශනාවේ සඳහන් වෙනවා. කවුරුන් හෝ දෙවියන්ට මාර්ගඵල ලබන්න බැරි බවක් ප්‍රකාශ කරනවා නම් ඒ කෙනා බුද්ධ දේශනා බොරු කියලා කියන පුද්ගලයෙක්. මොන දේශනා වල වැරදීම් තිබුනත් බුද්ධ දේශනා වල වැරදි තිබෙන්නේ නෑ. “ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ” කියලා අපි ධර්මයට වන්දනා කරන ගාථාවේ පාඨයෙන් කියන්නේ බුද්ධ දේශනා මුල මැද අග අඩුපාඩු රහිතව පරිපුර්ණව නිරවුල්ව දේශනා කරලා තිබෙන බව. ත්‍රිපිටකයේ අන්තර්ගත බුද්ධ දේශනා පරම්පරාවට මුඛ පරම්පරාගතව පැමිණීමේදී හෝ ග්‍රන්ථාරුඩ කිරීමේදී කිසිම අඩුවක් වැරද්දක් සිදුවෙලා නෑ. අතීත වර්තමාන අනාගත ත්‍රිකාලයේම ධර්මය කිසිම වෙනසක් නොවී පවතින නිසා හා ඕනෑම කාලයකට සුදුසු නිසයි ධර්මය අකාලික වෙන්නේ.

අකාලික වූ ධර්මයේ සඳහන් වෙනවනම් දෙවියන් මාර්ගඵල ලැබුවා කියල පෘතග්ජන පුද්ගලයෙක් කොහොමද කියන්නේ දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා? අපි විශ්වාස කරන්න ඕනි අපි සරණ ගිය බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය මිසක් පෘතග්ජනයන්ව නෙවෙයි.

දෙව්ලොව ඉපදුනු විට මිනිස් ලෝකයේ ඉපදුනාට වඩා ධර්මාවබෝධයට අවස්ථාව වැඩියි. දෙවියන්ගේ ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා බොහෝ වැඩි නිසා බුදුරජාණන් වහන්සේ මුණගැහුණු, බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය ශ්‍රවනය කරපු දෙවියන් තවමත් ඉන්නවා දිව්‍යලෝකයේ. ඒ වගේම මාර්ගඵල ලබපු දෙවිවරු ඉන්නවා දිව්‍යලෝකයේ. මේ දෙවිවරු අනිත් දෙවිවරුන්ට ධර්මය දේශනා කරනවා. ඒ වගේම අනාඝාමි බ්‍රහ්මයන් පෝය දිනවලට සුධර්මා දේව සභාවට වැඩලා දෙවියන්ට ධර්මය දේශනා කරන බව බුද්ධ දේශනා වල සඳහන් වෙනවා. ඉතින් අපි දෙව්ලොව ඉපදුනොත් අපිටත් මේ විදියට ධර්මය ශ්‍රවනය කරන්න, මාර්ගඵල ලබන්න අවස්තාව ලැබෙනවා.

මිනිස් ලෝකයේදිට වඩා දෙව්ලොවදී ධර්මය අවබෝධ කරන්න අවස්තාව වැඩියි. මනුස්ස ලෝකෙදි වැඩ කියක්නම් කරන ගමන්ද ධර්මයට හිත යොමු කරන්න ඉඩ තියෙන්නේ? දිව්‍ය භවයකදී රැකියා කරන්න, දරු මුණුපුරන්ගේ වැඩ කරන්න, ගෙවල් දොරවල් හදන්න නෑ සියලු සැප සම්පත් ඉබේ පහල වෙනවා. විවේකි සුවයෙන් ඉඳිමින් බණ භාවනා කරන්න විතරයි තියෙන්නේ. දෙවි කෙනෙක් හට මනුෂ්‍යකුට වඩා උසස් බුද්ධියක් තියෙනවා, ඕනෑම දෙයක් දැකිය හැකි දිවැස් තියෙනවා, මේ දේවල් නිසා මනුෂ්‍ය ආත්මයෙදිට වඩා හරිම ලේසියෙන් හිත දියුණු කරන්නත් ධර්මාවබෝධ කරන්නත් අවස්ථාව ලැබෙනවා.


පොඩි පිනකින් මහානුභාව සම්පන්න දිව්‍ය ආත්ම ලැබූ දෙවිවරුන්ගේ විස්තර

ඛුද්දක නිකායේ විමානවත්ථු දේශනා වල සඳහන් වෙනවා දෙව් ලොව ඉපදුනු දෙවියන් දෙව්ලොව ඉපදීමට හේතු උනේ ඊට කලින් ආත්මයේදී කුමන පිනක් කිරීමෙන්ද කියලා. මේ දේශනා බොහොමයක් දේශනා කර තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වමත් ශ්‍රාවක වූ ඉර්ධිමතුන් අතර අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ විසින්. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලයෙන් දිව්‍යලෝකයට වැඩම කර දෙවියන්ගෙන් ප්‍රශ්න අහනවිට දෙවියන් දීපු පිළිතුරු විමානවත්ථු වල සදහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාත් අඩංගු වෙනවා.

(1) උක් දණ්ඩක් පුජා කර දෙව්ලොව උපතක්
දෙවැනි උච්චුදායිකා විමානයේ සඳහන් වෙනවා එක් දෙව්දුවක් දැක මුගලන් මහරහතන් වහන්සේ අහනවා
"පින්වත් දෙව්දුව ඔබ හිරු සඳු වගේ ආලෝකයෙන් බබලනවා, ඔබගේ සම රන්වන් පාටින් දිලිසෙනවා ,ඔබ දැන් ඉපදී ඉන්නේ තව්තිසා දෙව්ලොවේ ,ඔබ මහා දැන් පැන් දෙන්න ඇති නේද? මොන වගේ පිනක් හේතුවෙන්ද ඔබ මෙහි ඉපදුනේ?

එවිට දෙව්දුව පිළිතුරු දෙනවා "ස්වාමින් වහන්ස ,මම ගිය ආත්මයේ මනුස්ස දුවක්, මට මහා දාන දෙන්න සම්පත් තිබුනේ නෑ, එක් දවසක් භික්ෂුන් වහන්සේ නමක් පිඬු සිඟා වැඩියා, දන් දීමට කිසිවක් තිබුන් නෑ උක් දණ්ඩක් පමණයි ආහාරයකට තිබුනේ, මම ඒ උක් දණ්ඩ පුජා කළා. ස්වාමිනි හරිම ආශ්චර්යයි, ඒ ආත්මයේ මරණින් පසුව උක් දඬු පුජාවේ පිනෙන් මම තව්තිසාවේ ඉපදුනා..

අපි අපේ ජීවිතයේදී දාන කියක්නම් දීලා ඇත්ද, දාන කීයකට සහභාගී වෙලා ඇත්ද, ස්වාමින් වහන්සේලාට අවශ්‍ය සුළු සුළු දේවල් කොච්චර අරන් දීලා ඇත්ද. තව්තිසාවේ උපදින්න උක්දන්ඩක් ප්‍රමාණවත් උනානම් අපි කල පින් මදි වෙයිද.. බුද්ධ දේශනා වල සඳහන් වෙනවා තිරිසන් සතෙකුට කෑමට ආහාරයක් දුන්නත් ඒ පින ආත්ම 100ක් තරම් කල් විපාක දෙනවා කියලා. අපි සතුන් කොපමනකට දිනපතා කෑම දීලා තියෙනවද, මිනිසුන් කි දෙනෙකුට ආහාර දීලා තියෙනවද..


(2) මල් 8ක් පුජා කර දෙව්ලොව උපතක්
දස වැනි නාග විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දෙවියෙකුගෙන් අහනවා
"පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ අහසින් ගමන් කරන්නේ ශ්වේත හස්ති රාජයෙකු පිටේ , ඔබ මහානුභාව සම්පන්නව සියලු දිශා ආලෝකමත් කරමින් එලිය විහිදුවනවා, ඔබව පිනවීමට දිව්‍ය අප්සරාවන් තුර්යවාදන නාද කරමින් රංගනයේ යෙදෙනවා, මේ මහා සැප සම්පත් ඔබට හිමි උනේ කුමන පිනකින්ද?

"ස්වාමින් වහන්ස මම කාශ්‍යප බුදුරදුන් සමයේ මනුස්සයෙක් වෙලයි හිටියේ. දවසක් මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සහිත ස්තුපයට බුදු ගුණ අරුත් සහිතව සිහිකරමින් සුදු මල් 8ක් පුජා කළා. එපමණයි මා කරගත්තේ. ඒ පිනෙනුයි මේ සියලු සම්පත් පහල උනේ. පුජා කලේ ප්‍රමාණ වූ මල් 8ක් වුවත් පුජා උනේ අප්‍රමාණ ගුණ සහිත බුදුන් විෂයෙහි නිසා මහා පුණ්‍ය විපාකයක් ඇති උනා.



(3)බුදුන් වැඳීමෙන් දෙව්ලොව උපතක්
මට්ටකුණ්ඩලි විමානයේ සඳහන් වෙනවා බෙහෙතක් නැතිව මියගිය මසුරු සිටුවරයාගේ පුත්‍ර මට්ටකුණ්ඩලි පුත්‍රයා දෙවියෙකු වී දෙව්ලොව ඉපදී සිටිනවිට මුගලන් මහරහතන් වහන්සේ ඒ දෙවියන්ව මුණගැහෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රශ්න කරනවා
"මට්ටකුණ්ඩලි ඔබට මනුෂ්‍ය ආත්මයේදී දන් පින් කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ, සිල් රැක්කෙත් නැහැ, කුමන පිනකින්ද දෙව්ලොව ඉපදුනේ?


එවිට මට්ටකුණ්ඩලි දෙව් පුතු පිළිතුරු දෙනවා
"ස්වාමින් වහන්ස මම මරණාසන්නව ගිලන් වෙලයි හිටියේ, ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මට පෙනෙන්න වැඩියා, මගේ සිත පැහැදුනා, මම ගොඩක් සතුටු උනා, තථාගතයන් වහන්සේට මම වන්දනා කළා. එපමණයි මා කරගත්තේ. හරිම පුදුමයි වන්දනා කල පමණින්ම මේ සා පුණ්‍ය විපාකයක් ලැබුනා."

අප දිනපතා බුදුන් වදිනවා. හොදට බුදුගුණ තේරුම් සහිතව මතක් කරමින් වන්දනා කලොත් ඒ පින මට්ටකුන්ඩලිට වගේ අපටත් පිහිට වේවි.


(4) දවාලෙහි ප්‍රේතයෙක් රාත්‍රියෙහි දෙවියෙක්

මිගලුද්දක ප්‍රේත විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා
"පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ දිව්‍ය පුත්‍රයන් අප්සරාවන් පිරිවරාගෙනයි ඉන්නේ, සියලු සැපතින් සෝබමානයි, නමුත් දවල් කාලයේදී ඔබ ප්‍රේතයෙක් වී දුක් විදිනවා, කුමන කර්මයක්ද මේකට හේතු උනේ?

"ස්වාමිනි මම මුව වැද්දෙක් වෙලයි හිටියේ, එක් තාපස වරයෙක් මට අවවාද කළා පවින් වැලකි සිල් රකින්න කියා. මම කීවා මෙය මගේ ජීවිකාව කියා. එවිට එතුමා අවවාද කලා දඩයමේ යන දහවල් කාලයේ බැරිනම් රාත්‍රියේවත් පස්පවින් වැලකි සිල් රකින්න කියා. මම ඒ අනුව කටයුතු කළා. ඒ හේතුවෙන් මම දහවල් කාලයේ පව් ගෙවනවා ,පන්සිල් රැකගත් පිනෙන් රාත්‍රියේදී දිව්‍ය සැප ලබනවා..



(5)පුජා කර තිබු මල් පිළිවෙලකට සකස් කිරීමෙන් දෙව්ලොව උපතක්
මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා
"පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ මහානුභාව සම්පන්නයි, මැණික් වලින් නිමවුණු ඔබගේ විමානය හරිම අලංකාරයි, එහි ඉඳිමින් ඔබ දිව්‍ය භෝජන අනුභව කරනවා, මහා සම්පත් විදිමින් ඔබ වාසය කරනවා, කුමන පිනකින්ද ඔබ මේ සම්පත් ලැබුවේ?

ස්වාමින් වහන්ස දිනක් සුගතයන් වහන්සේගේ ස්ථුපයට මල් පුජා කර තිබෙනවා මම දුටුවා, ඒ මල් අපිලිවෙලටයි තිබුනේ, මම බුදු ගුණ මෙනෙහි කරමින් ඒ මල් පිළිවෙලට සකස් කළා. ඒ කුඩා පිනෙන් මහා විපාකයක් ලැබුනා. දැන් මම දෙව්ලොව ඉපදී සතුටෙන් වාසය කරනවා..

ඉතින් සිතා බලන්න, මල් පිළිවෙලකට සකස් කර සතුටු උන පිනෙන් විතරක් දෙව්ලොව සම්පත් ලැබුණානම් අප දිනපතා මල් පහන් සුවදදුම් පුජ කිරීමෙන් කොච්චර පිනක් රැස් වෙනවා ඇත්ද. පොඩි පිනකින් උනත් මහත්ඵල ආනිසංස ලැබෙනවා. එහෙම වෙන්නනම් අපි බුද්ධ පුජාවල් තියෙන අවස්ථා වලදී ඉතාම ශ්‍රද්ධාවෙන්, ඉතාම සතුටෙන් ඒ දේවල් කළ යුතුයි. බුද්ධ පුජාවන් තියනකොට ඔහේ ඉතිපිසෝ ගාථාවන් කියන්නේ නැතිව බුදු ගුණ වල තේරුම් හොදින් සිහි කරමින් ගාථා කීම කල යුතුයි. බුදු ගුණ වල තේරුම් මතක් කරලා බුදුරජාණන් වහන්සේගේ විවිද ගුණ සිහිකරලා මම මේ වගේ මහා ගුණස්කන්ධයකින් යුක්ත බුදු කෙනෙක්ටයි මේ මල් පහන් පුජා කරන්නේ කියලා සිහිකරගෙන පුජා කරනකොට ඒ පුජාවේ පින මහත්ඵල වෙනවා.
පුජාවන් කරන විට

" සියලු කෙලෙස් නැසූ, ගුරු උපදේශ නැතිවම සත්‍යාවබෝධ කරවූ, අෂ්ඨ විද්‍යා පසළොස්චරණ ගුණයෙන් සමන්විත වූ, නිවනට පැමිණ වදාළ, සියලු ලෝක පිළිබද මනාව අවබෝධ කළාවූ, ධමනය කල නොහැකි මිනිසුන් දෙවියන් ධමනය කරවූ, මිනිස්සුටද දෙවියන්ටද ශාස්තෘ වූ, ලෝ වැසියන් දුකින් මුදවාලන්නා වූ, මහා භාග්‍යවන්ත වූ "


මහා කරුණාවෙන් යුක්ත වූ , මහා ප්‍රඥාවෙන් යුක්ත වූ, මහා ශිලයෙන් යුක්ත වූ, මහා ගුණයෙන් යුක්ත වූ, මහා වීර්යයෙන් යුක්ත වූ, මහා සමාධියෙන් යුක්ත වූ, මහා ඉර්ධියෙන් යුක්ත වූ, දෙවියන්ට දෙවි වූ, රිශිවරුන්ට ඍෂි වූ, මනුෂ්‍ය දේව බ්‍රහ්ම සියල්ලන්ට වඩා උසස් වූ, විශ්වයෙන්ම උසස් වූ බුදුරජාණන් වහන්සේට මේ මල් පහන් පුජා කරමි
"

කියල හිතල පුජා කරන්න.

ඒ වගේම පින් කරනකොට ඉතාම සතුටෙන් ශ්‍රද්ධාවෙන් කලාම ඒ පින් වල විපාකය ප්‍රභල වෙනවා. ඒ වගේම අපි ජිවිත කාලේ කරලා තියෙන පින්, එදිනෙදා කරන පින් හැමදාම රෑට මතක් කරලා සතුටු වෙන්න ඕනි. පින් නැවත නැවත මතක් කරලා සතුටු උනාම ඒ පින් තවත් ප්‍රභල වෙනවා. පිං පොතක් ලිවිම තමන් කල පිං මතක් කර සතුටු වෙන්න උපකාර වෙනවා.



දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් එක් දෙව්දුවකගෙන් අහනවා
"පින්වත් දෙව්දුව, ඔබට රන්වන් දිව්ය සළු තියෙනවා, රන් ආභරණ වලින් සැරසිලා ඉන්නවා, ඔබගේ ප්‍රාසාදයත් රන්වන්, සයනාසනත් රන්වන්, දිවය රථ රන්වන්, රන්වන් අශ්වයන් සිටිනවා, ඔබ මෙවන් විපාකයක් ලැබුයේ කුමන කුසල කර්මයකින්ද?


"සක් දෙවිඳුනි, මම මනුස්ස ආත්මෙදි දිනක් වැටකොළු වැලකින් මල් 4ක් කඩාගත්තා, ඒ මල් අරන් බුදුරජුන්ගේ ස්ථුපය වන්දනා කරන්න ගියා. උතුම් බුදු සිරුරෙහි මංගල ලකුණු සිතද්දී මට මහා සතුටක් දැනුනා, ඒ උතුම් ධාතු සහිත ස්ථුපය ගැනම සිත සිත ඉදිද්දී වන්දනා කිරීමට පෙරම පසුපසින් ආ ගව දෙනක් ඇන මා මරණයට පත් උනා. පින්වත් දේවේන්ද්‍රයානි ඒ බුදුගුණ මනසිකාර පිනෙනුයි මේ සියලු සැප ඉපදුනේ.

ඒ අවස්ථාවේදී සක් දෙවිඳු ප්‍රකාශ කරනවා "මේ බලන්න මාතලී, හරිම අසිරිමත්, බුදුරජාණන් වහන්සේ ජීවමාන විටත් පිරිනිවන් පෑ පසුත් සම සිතින්ම යම් පුජාවක් කරගන්නවානම් විපාකයද සමවම ලැබෙනවා.
අපත් බුද්ධ පුජාවන් වන්දනාවන් කරන විට ජීවමාන බුදුන් හට කරන පුජාවක් කියලා හිතාගෙනයි කල යුත්තේ. එවිටයි ඒ පුජාව මහත්ඵල වන්නේ.


දෙවියන් අතර උපදින්නනම් දේවතානුස්සති භාවනාව කරන්න
දෙව්ලොව උපදින්න කැමති අයෙකුට දෙව්ලොව ඉපදිය හැකි භාවනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.  දේවතානුස්සති භාවනාව හරිම පහසු භාවනාවක්. කොහොමද මේ දේවතානුස්සතිය වඩන්නේ?

දෙව්ලොව ඉපදුනු දෙවියන් තුල ගුණාංග පහක් තිබෙනවා. ඒ ගුණාංග වෙන්නේ ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා කියන ගුණාංග. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් ඊට පෙර ආත්ම වලත් මේ ගුණාංග පුරුදු කල නිසා තමයි දෙව්ලොව ඉපදුනේ කියන කාරණය.

*ශ්‍රද්ධා කියන්නේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් පිලිබඳ පැහැදීමට. තෙරුවන් පිළිබද පැහැදීමෙන් දිනපතා මල් පහන් පුජා කිරීම, වන්දනා කිරීම, බුදුන් වදින විට දළඳා වහන්සේ නැමදීම හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කිරීම ආදී දේවල් තමයි ශ්‍රද්ධාවට අයිති වෙන්නේ.

*ශිල කියන්නේ සිල් රැකීම. දිනපතා පන්සිල් රැකීමත් පෝය දිනවල අටසිල් දසසිල් සමාදන් වීම තමයි මේකට අයත් වෙන්නේ.

*සුත කියන්නේ ධර්මය ඇසීම, බණපොත් කියවීම, රූපවාහිනියෙන් ධර්මය ශ්‍රවනය කිරීම වැනි ක්‍රියා.
*චාග කියන්නේ දන්දීම. මහා සංඝයාට දෙන දාන වගේම මිනිසුන්ටත් තිරිසන් සතුන්ටත් දෙන දාන මෙයට අයිති වෙනවා. ආහාර පාන දීම වගේම වෙනත් ද්‍රව්‍ය දීමත් චාග වලට අයත්.

*ප්‍රඥා කියන්නේ විදර්ශනා වැඩීමට, සතර සතිපට්ටාන ආදි විදර්ශනා වැඩීමත් මේ ලෝකයේ සියලු දේ අපට අවශ්‍ය විදියට පවතින්නේ නැතිව වෙනස්වෙන බවත් ඒ නිසා ඒ දේවල් වලින් දුක් ඇතිවෙන බවත් කිසිම දෙයක් තමන්ගේ වසඟයේ පවත්වන්න බැරි බවත් මෙනෙහි කිරීම.

යම් පුද්ගලයෙකුට දෙව්ලොව උපදින්න අවශ්‍යනම් ඒ කෙනා හැමදාම භාවනාවක් ලෙස මේ ගුණාංග පහ තමන් තුලත් තියෙන බව මතක් කල යුතුයි . අපි හැමදාම ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා වැඩෙන ක්‍රියාවන් කළ යුතුයි. ඒ වගේම හැමදාම බුදුන් වදිනකොට හෝ නිදාගන්න වෙලාවෙදි පොඩි වෙලාවක් භාවනා කිරීමට වෙන් කරගෙන දෙවියන් තුල තිබෙන ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා ගුණ පහ අපි තුලත් තියෙන බව මෙනෙහි කළ යුතුයි. භාවනා කරන්න ඕනි මේ විදියටයි :

චාතුර්මහාරජිකයේ
*දෙවියන් තුල ශ්‍රද්ධා ගුණය තියෙනවා. මමත් දිනපතා තිසරණ සරණ යනවා, බුදුන් වදිනවා ,මල් පහන් පුජා කරනවා මා තුලත් ශ්‍රද්ධාව තියෙනවා.

*දෙවියන් තුල ශිල ගුණය තියෙනවා. මමත් සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වැලකි ඉන්නවා. පොහොය දින වල අටසිල් සමාදන් වෙනවා, මා තුලත් ශිල ගුණය තියෙනවා.

*දෙවියන් තුල සුත ගුණය තියෙනවා.  මමත් නිතර ධර්ම දේශනා අහනවා, බණ පොත් ආදිය කියවනවා, ඒ නිසා මා තුලත් සුත ගුණය තිබෙනවා.

*දෙවියන් තුල චාග ගුණය තිබෙනවා. මමත් හැකි පමණින් සංඝයාට දන් දි තිබෙනවා, දාන වලට සහභාගී වී තිබෙනවා, මිනිසුන්ට දන් දෙනවා, තිරිසනුන්ටත් දන් දෙනවා,  මා තුලත් චාග ගුණය තිබෙනවා.

*දෙවියන් තුල ප්‍රඥා ගුණය තියෙනවා. මමත් සියලු දේවල් වල අනිත්‍ය බව දුක් බව මෙනෙහි කරනවා, මා තුලත් ප්‍රඥා ගුණය තිබෙනවා.


මේ විදියට තාවතින්සයේ දෙවියන් තුල...,
යාමයේ දෙවියන් තුල...,
තුසිතයේ දෙවියන් තුල...,
නිර්මානරතියේ දෙවියන් තුල...,
පරිනිම්මිත වසවර්තියේ දෙවියන් තුල..., ආදී විදියටත් හිතමින් භාවනා කරන්න.


ඉන්පසු මේ විදියට හිතන්න.

* චාතුර්මහාරාජිකය. තාවතිංසය ඇතුළු සදෙව් ලෝක වාසි දෙවියන් තුල ශ්‍රද්ධාව තිබෙනවා, ශිලය තිබෙනවා, සුතය තිබෙනවා, චාගය තිබෙනවා, ප්‍රඥාව තිබෙනවා.

* මාතුලත් දෙවියෙකු මෙන් ශ්‍රද්ධාව තිබෙනවා, ශිලය තිබෙනවා, සුතය තිබෙනවා, චාගය තිබෙනවා, ප්‍රඥාව තිබෙනවා.

*දෙවියෙකු මෙන් මම ශ්‍රද්ධාවෙන් යුක්තයි ශිලයෙන් යුක්තයි සුතයෙන් යුක්තයි චාගයෙන් යුක්තයි ප්‍රඥාවෙන් යුක්තයි
*දෙවියෙකු මෙන් මම ශ්‍රද්ධාවෙන් යුක්තයි ශිලයෙන් යුක්තයි සුතයෙන් යුක්තයි චාගයෙන් යුක්තයි ප්‍රඥාවෙන් යුක්තයි
*දෙවියෙකු මෙන් මම ශ්‍රද්ධාවෙන් යුක්තයි ශිලයෙන් යුක්තයි සුතයෙන් යුක්තයි චාගයෙන් යුක්තයි ප්‍රඥාවෙන් යුක්තයි
දෙවියන් පෙර ජිවිත වල පරුදු කරපු ගුණ මා තුලත් තිබෙනවා, මරණින් මතු දෙව්ලොව උපදීමට අවශ්‍ය ගුණ මා තුලත් තිබෙනවා,
දෙව්ලොව ඉපදීමට මේ සියලු පින් හේතුවේවා..!



තමන් කැමති එක් දෙව්ලොවක් තියෙනවනම් ඒක ගැන පමණක් හිතමින් භාවනා කලත් කමක් නෑ.

දෙවියන් අතර ඉපදීම ඉතා අපහසු දෙයක් නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේදී ඒ සඳහා අවශ්‍ය ගුණාංග සම්පුර්ණ කරනවා. එත් අපි ඒ ගැන නිතර සිහි කරන්නේ නෑ. හැමදාම පොඩි වෙලාවක් අරගෙන මෙම දේවතානුස්සතිය වඩනවානම් අපේ හිත දෙව්ලොව පිහිටීමට හේතුවෙනවා..


*දේවතානුස්සති භාවනාව වැඩීමෙන් උපචාර ධ්‍යාන මට්ටමට සිත දියුණු කල හැකි බව දේශනාවේ සදහන් වෙනවා.
ඉර්ධින් අභිඥාවන් ආදිය නොලැබුනත් දේවතානුස්සතිය තුලින් ඉතා ඉක්මණින් සිත එක්තැන් වීමත් , සිත ආලෝකමත් ප්‍රීතිමත් ස්වභාවයට පත්වීමත් සිදුවෙනවා.
දේවතානුස්සති භාවනාව තුලින් උපචාර ධ්‍යාන මට්ටමට සිත එක්තැන් කරගත් විට වෙනත් භාවනා වලදීට වඩා ශරීරයේ ජෛව ප්‍රභාව හෙවත් ඕරාව දෙවියෙකු මෙන් ආලෝකමත් ස්වර්ණමය ස්වභාවයක් ඇතිවන බව අත්දකින්න ලැබෙනවා.





* දෙවතානුස්සතිය තුලිනුත් බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් මෙහෙයවා තිබෙන්නේ නිවනට උපකාර වන සේඛ බල වඩවා ගැනීමටයි.
 බුදුන් දේශනා කලේ නිවන් සසර කෙලවර කිරීම පමණයි කියන ධර්මය අර්ධයක් කියවූ පිරිසක් දැන් බිහිවී තියෙනවා. මේ විමානවත්ථු දේශනා හා දේවතානුස්සති දේශනා කියවුවානම් ඕනෑම අයෙකුට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සසර කෙලවර කිරීම දේශනා කළා වගේම නිවන් දක්නා තුරු සතර අපා ආදී පහත් භවයන්ට නොවැටී සුඛ සහගතව සිටීමේ ප්‍රතිපදාවත් දේශනා කර තිබෙනවා. සසර කෙළවර කිරීමට මෙහෙයවූවා වගේම එයට සමත් නොවන පිරිස එය සාක්ෂාත් කරගන්නා තෙක් නිවනට උපකාර වන භූමියක උපත ලැබීමට අවශ්‍ය මග පෙන්වා දීමත් සිදුකර තිබෙනවා.

* මෑත කාලීනව පිරිසක් දෙවියන්ට ගරහා අසුර වන්දනාවක් පතුරවමින් යනවා. දෙවියන්ට වන්දනා කිරීම හා පින්දීම වලක්වා අසුර හා යක්ෂ වන්දනාවක් හදුන්වා දෙනවා. බුදුන් විසින් සතර අපා විදියට දේශනා කල තිරිසන්, ප්‍රේත, නිරය, අසුර යන පහත් උපත් වල සිටින දුර්වල ආත්මිකයන් ආකර්ෂණය කර ඒ ලෝක වල සිත පිහිටවමින් සුගති භූමියක් වන දෙව්ලොවට ගැරහීමේ බරපතල කම මේ මිනිසුන් දන්නේ නෑ. මෙවැනි පාපයන් කර ධර්මය නොදත් අසරණ මිනිසුන් විශාල ප්‍රමාණයක් මුලා කර ඔවුන්වත් මරණින් පසු සතර අපා වලටම යොමු කරනවා.
බෝසත් උපතේ සිට පරිනිර්වාණය තෙක් බුදුන් හට උපස්ථාන කලේ දෙවිවරුන්. බුදුරජාණන් වහන්සේ ලංකාවත් ධර්මයත් ආරක්ෂා කරන්න පැවරුවේ සක්‍ර දෙවියන් උපුල්වන් දෙවියන් ආදී දෙවි වරුන්ට මිසක් යක්ෂයන්ට හෝ අසුරයන්ට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භව වලදී වාසය කලේ දිව්‍ය ආත්ම භව වල මිසක් යක්ෂ හෝ අසුර භව වල නෙවෙයි.


 Facebook පිටුවට සම්බන්ධ වන්න:- ( මෙතන ක්ලික් කරන්න )

Comments

  1. ගොඩක් වටිනවා. පුලුවන් නම් ලෝකේ තියෙන දීව්‍ය ලෝක මොනවද ඒවා තියෙන්නේ කොහෙද කියල ලිපියක් ලියන්න. දැනගන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/path.nirvana/?hc_ref=NEWSFEED&fref=nf kiyawanna...

      Delete
    2. https://www.facebook.com/path.nirvana/?hc_ref=NEWSFEED&fref=nf kiyawanna...

      Delete
  2. නමුත් ගොඩක් හාමුදුරුවරුන් දේශනා කරන්නෙ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලනේ..
    දෙවියන්ට ඇත්තටම බන භාවනා කරලා මාර්ගඵල ලබන්න පුලුවන් ද.. ?

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවෝ හැමෝම දිවැස් තියෙන අය නෙවෙයිනේ.දෙවියන්ට අනාගාමී වෙන්නත් පුළුවන්.පින් දෙන්නේ ස්තුති කිරීමක් විදියට නැතුව දෙවියන්ට මිනිස්සුන්ගේ පින් ඕනි නෑ.

      Delete
    2. දෙවියෝ අනාගාමී වීම ගැන නම් සැකයි
      තුසිත දෙවි ලොවින් මෙලොවට ඇවිත් බුදුවෙන්නේ නැතුව එහෙදිම බුදු වෙන්න පුලුවනිනේ බෝසතාණන් වහන්සේට

      Delete
    3. එතකොට මිනිස්සු නිවන් දකින්නේ කොහොමද?
      එහෙදි බුදු නොවී මෙහෙට එන්නේ මනුස්සයන්ට සත්‍යාවබෝධ කරවන්න.
      සැක දුරුකරගන්න පුළුවන් භාවනා කරල මේවා හොයල බැලුවම

      Delete
  3. මෙම භාවනාව හෝ බුද්ධානුස්සති වැනි භාවනා වල පළමු ධ්‍යානය ලබා ගෙන දිවැස් ලබා ගත හැකිද? පළමු ධ්‍යානයට ඉහළ ධ්‍යානයන් ලබා ගත හැකිද? ඔබේ අත්දැකීම් අනුව?

    ReplyDelete
  4. Apita darmaya asannata salaswima oyalata godak pin..

    ReplyDelete
  5. හ්ම් ඔබතුමා කියන සියලු කරුණු නිවැරදි.. මමත් භාවනා කරන කෙනෙක් ළඟදි තමා පටන් ගත්තෙ එච්චර අත්දැකීම් නැ.. මට ප්‍රශ්න කිහිපයකට උත්තර දැනගන්න ඕන ඔබතුමාගෙන්

    1. ⁣අපි අතර දේව වන්දනාව තියනව නේ. එතකොට දැන් ඔය දේවාල වලට ගිහින් අපෙ ප්‍රශ්නය කිව්වම දෙවියන් අපිට පිහිට වෙනවද ඇත්තටම. දෙවියෝ අපිට උදව් වෙනවද නැත්නම් කොහොමද අපි උදව් ඉල්ලන්න ඕන

    2. දෙවියෙක් උන කෙනෙක් නැවත මනුස්ස ලෝකේ උපදිනවද.

    3. රාවණා රජතුමා මරණින් පස්සෙ දෙවියෙක් ලෙස ඉපදුනාද

    4. හවසට ඔය කෙම්මුර දවස් වලට අපි ගම්භාර දෙවියන්ට පහන් පත්තු කරන එක සුදුසුද.
    එවිට දෙවියන් අපට පිහිට වෙනවාද ?

    5. අවසාන ලෙස. එතකොට මේ අපාය කියන එක අදාල වෙන්නෙ බෞද්ධයන් වන අපිට පමණද? වෙනත් ආගම් වල එවැනි අපායක් ගැන ඉගැන්වීම් නම් නැත නමුත් ඔවුන් විවිධ පව් වල යෙදෙනව එවිට මතු භවයෙ ඔවුන්ට කුමක් සිදු වේද.. ඔවු⁣න්ගෙ ආගමෙහි එලෙස නිරය ගැන සදහන් නොවීම ඔවුනට අසාධාරණයක් නොවේද

    ReplyDelete
    Replies
    1. 1 ඔවු. සිල්වත් කම ගුණවත් කම දෙවියන්ට ගරු කිරීම පින් පවු බලපානවා
      2 පුළුවන්
      3 නෑ
      4 දෙවියන්ට පහන් තියන්න ඕනි ඒක ගැන සම්පුර්ණයෙන් හරියට දන්නවා නම් විතරයි
      5 බෞද්ධයන්ට විතරක් අපායවල් හැදෙන්නේ නෑනේ ලෝකේ. කිසිම අසාධාරණයක් නෑ. වෙන ආගම් වල ඉදලත් පවු නොකරන අය ඉන්නවා. අනුන්ට අයහපතක් නොකරන්න කවුරුවත් වෙනම උගන්නන්න ඕනි නෑ ඒක තමන් දැනගන්න ඕනි දෙයක්

      Delete
  6. යෝගතුමනි,
    භාවනාවක් කිරීමෙන් පසු සිහි කිරීම හොද ද? (චේතනාව බලවත් වන නිසා)

    ReplyDelete

Post a Comment