Featured Post

සියලු ධ්‍යාන පහසුවෙන් ලඟාකර දෙන "ඉරියාපථ සතිපට්ඨානය" හා "චිත්තානුපස්සනාව"

                                     

සතිපට්ඨාන භාවනාවන් කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා විදියට කොටස් හතරකට බෙදෙනවා. සති + පට්ඨාන කියන පාලි වචන දෙකේ තේරුම වෙන්නේ සිහිය පිහිටවීම කියන එක. සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සත්‍යාවබෝධය මුල් කරගෙන උනත් ඉතා ඉක්මනින් සමාධිය ඇතිකරගැනීමට උදවු කරන විදර්ශනා මට්ටම තරම් ගැඹුරට නොයන සරල මුලික සතිපට්ඨාන ක්‍රමයක් මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිපට්ඨානය ක්‍රමය සමාධිය දියුණු කරගැනීම හෝ සත්‍යාවබෝධ කිරීම කියන අරමුණු දෙකට අනුව කරන විදිය වෙනස් වෙනවා. මෙමගින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාධියක් දියුණු කරගැනීමට උපකාර වෙන මට්ටමට විතරයි. ඕනෑම සමාධියක්, ධ්‍යානයක් වඩන කෙනෙක්ට මේ සතිපට්ඨාන භාවනා වැඩීමෙන් ඉක්මනින් සමාධියට පත්වෙන්න පුළුවන් වෙනවා. භාවනාවක් උනත් එක තැන වාඩිවෙලා කල යුතු දේවල් නොවෙන නිසා එදිනෙදා වැඩ කරන ගමන් අභ්‍යාසයක් වගේ පුරුදු කරන්න පුළුවන්. සමථ ආදී භාවනා කිරීමට වෙලාවක් වෙන් කරගන්න අපහසු අයට එදිනෙදා කටයුතු කරන ගමන් වුනත් මේ භාවනා පුරුදු කරන්න පුළුවන්.

ඉරියාපථය
ඉරියාපථ භාවනාවේදී කරන්නේ සියලුම ඉරියවු සිහියෙන් යුක්තවම කරන එක. ඇවිදීම, හිදගෙන සිටීම, නිදාගෙන සිටීම , එක තැන සිටීම, අත පය හෙලවිම, කය එහා මෙහා කිරීම වගේ අපි කරන සියලුම කායික ක්‍රියාවලි සිහියෙන් කිරීම. අපි එදිනෙදා ජිවිතේ කරන බොහෝ ක්‍රියා අපි දැනුවත්ව සිහියෙන් කරන දේවල් නෙවෙයි පුරුද්දට ඉබේම වෙන දේවල්. බොහෝ දේවල් කරනකොට අපි ඉන්නේ ඒ කරන දේ ගැන සිහියෙන් නෙවෙයි වෙන වෙන දවල් හීන හිතින් දකිමින් හෝ වෙන දෙයක් කල්පනා කරමින්. මේ ලිපිය කියවන ගමන් උනත් සමහර විට ඔබ ඉන්නේ ඉබේම කකුල් හොලවමින්අ, ත පය ඔලුව කසමින්  වෙන්න පුළුවන්.

උදේ අහරින අවස්ථාවේ සිට රාත්‍රියේ නිදාගන්න තෙක්  කරන දේවල් කල්පනා කරලා බලන්න අපි දත් මදින්නේ කියක් දේවල් ගැන හිතන ගමන් ද? වැසිකිලි කැසිකිලි කරන්නේ ඒ ගැන සිහියෙන්ද? ඉගෙනීම් කටයුතු කරන කෙනෙක් පාඩම් කරන්න ගියොත් එකදිගට පාඩමේම හිත තියෙනවද? පාඩම් කරන අතරතුර කි පාරක් ෆේස්බුක් මතක් වෙනවද, දවල් හීන මැවෙනවද?
රැකියාවක කාර්යයන් කරද්දී කියක්නම් දේ පිලිබදව සිතමින්ද කටයුතු කරන්නේ?
තනියෙන් කෑම කන වෙලාවකට කියක් දේවල් මතක් වෙනවද?
වැඩක් කර කර ඉන්න ගමන් ඇඟ කැසුවොත් ඔලුව කැසුවොත් එතනට ඉබේම අත යන්නේ අපි දැනුවත්වද?  සින්දු අහන වෙලාවට කකුලෙන් තාලය තියන්නේ, අතින් මේසෙට තට්ටු වෙන්නේ සිහියෙන්ද? මදුරුවෙක් මරන්න අත යන්නේ සිහියෙන්ද? මේ හැමදේම ඉබේ වෙන්නේ අපිට කය පිලිබඳ සිහිය පිහිටලා නැති නිසා.
             
මේ වගේ සිහියකින් තොර ඇවතුම් පැවතුම් තියෙන සිතකට ඉක්මනින් සමාධියකට එළබෙන එක අමාරු වැඩක්. ඒ වගේ කෙනෙක්ට ඉක්මනින් හිත එකඟ කරගන්න ඉරියාපථය පුරුදු කිරීමෙන් පුළුවන් වෙනවා.

මෙම භාවනාව වඩන්නේ මේ විදියටයි. මුලින්ම එක වාඩිවෙලා   වෙනත් කිසිවක් නොහිතා තමන්ගේ කය තිබෙන  විදිය අරමුණු කරගෙන ඉන්න. මේ දේ භාවනා කිරීමට වෙලාවක් වෙන් කරගෙන කරනවා වගේම බස් එකක, වාහනයක යන ගමන් උනත් පාඩම් කරන කොට උනත්, රැකියාවක් කරන වෙලාවක උනත් ආදී විදියට ඕනෑම වෙලාවක කලත් කමක් නෑ. විනාඩි 5ක් 10ක් තමන්ගේ කයට සිහිය පිහිටවාගෙන ඉන්න. මේ දේ පොඩි වෙලාවක් උත්සාහ කලාම තේරෙයි වාඩිවෙලා ඉන්න පොඩි කාලයේදී හිත කොච්චර වෙන අරමුණු වලට ගියාද කියන එක.  

 
මීලගට ඇවිදින වෙලාවට තමන්ගේ කකුල් දෙක ගැන සිහියෙන් ඇවිදින්න. මුලදී "වම දකුණ" කියල හිතමින් කලාට වරදක් නෑ. ඒත් හොදම දේ හිතෙන කිසිවක් නොකියා  කකුලේ චලනය ගැන සිහිය පිහිටවාගෙන ඇවිදින්න.
නිදහස් වෙලාවක ටිකක් වෙලා සක්මන් භාවනා කරන්න පුලුවන්නම් මේ විදියට සිහියෙන් ඇවිදින්න. සක්මන් භාවනා කිරීම අවශ්‍ය නෑ. අපි සාමාන්‍ය ජීවිතේදී ඕනෑතරම් ඇවිදිනවා, ඒ හැම වෙලාවේම සිහියෙන්ම ඇවිදින්න.  

කෑම කනකොට අතෙන් කෑම අනාගැනීම, පිගානේ ඉදන් කටට අතෙන් කෑම ගැනීම, කටෙන් කෑම හැපීම සිහියෙන් කරන්න. වෙන දේවල් හිතන්නෙපා.  එක වෙලාවක එක වැඩක් විතරක් කරන්න, එකවර වැඩ දෙකක් කරන්නෙපා.


TV බලනකොට, රේඩියෝ අහනකොට, පරිඝනක භාවිත කරනකොට ඔලුව කසනවානම්, අත පය හොලවනවන් ඒවා නොදැනුවත්ව වෙන්න නොදී සිහියෙන් කරන්න.

ඇඟ සෝදනකොට ,වැසිකිලි කරනකොට, ඇඳුම් සෝදනකොට සිංදු කියන්නේ නැතුව, වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව සිහියෙන්ම ඒ හැමදේම කරන්න.

මේ විදියට හැම දේම සිහියෙන් කරන්න. මේ විදියට සිහිය පවත්වාගන්න පටන් අරන් පොඩි වේලාවකින්ම තේරෙන්න පටන්ගන්නවා මෙය පුරුදු කිරීම ඉතාම අමාරු බව. කය ගැන සිහියෙන් ඉන්නවා කියල අධිෂ්ඨාන කරගෙන හිටියට ටික වෙලාවකින් නොදැනුවත්වම අපි ඉන්නේ වෙන දෙයක් කල්පනා කරමින් හෝ හීන මවමින්.
අපහසුවෙන් හෝ එකදිගටම උත්සහ කලොත් ටික දවසකින් හොදට තමන්ගේ සිහිය දියුණු වෙනවා. වෙනදට වඩා සැහැල්ලුවක් හිතේ රැදිලා තියෙනවා. ඒ වගේම භාවනා කරන්න ගියාම වෙනදට වඩා ගොඩක් ඉක්මනට හිත එක්තැන් වෙනවා අත්දකින්න පුළුවන්.

* මීට අමතරව හොදින් සිහිය පිහිටිමේදී අත්දකින්න පුළුවන් තවත් දෙයක් තමයි තමන් අහන දකින දේවල් වල වෙනදා නොදකින ගැබුරු අර්ථයක් වැටහෙන්න ගැනීම. හැමදාම දකින දෙයක් ගැන උනත් වෙනදා නොතේරුණු දේවල් සිහිය නිසා හොදින් තේරෙන්න ගන්නවා. වෙනදා නොදැකපු පැති වලින් දෘෂ්ටිකෝණ වලින් පෙනෙන්න තේරෙන්න ගන්නවා. ඉගෙනගන්න දරුවෙක්ට තමන්ට නොතේරුණු පාඩම් උනත් තේරෙන්න ගන්නවා. ධර්මය හදාරන කෙනෙකුට වෙනදා නොතේරුණු ධර්ම කරුණු වැටහෙන්න ගන්නවා. එදිනෙදා ජීවිතයේදී අපිට සාමාන්‍යයෙන් ග්‍රහණය වෙන්නැති කරුණු හිතට හොදින් වැටහෙන්න ගන්නවා. මේකට හේතුව සිහිය පුරුදු නොකරපු හිතකින් දෙයක් කල්පනා කලාම ඒ දේ සම්පුර්ණයෙන් තේරුම් යන්නේ නෑ ඒ දිහා හරියටම බලන්නේ නැති නිසා. ඒත් සිහිය පිහිටුනාම යම් දෙයක් දිහා බැලුවත් යම් දෙයක් ගැන කල්පනා කලත් ඒ කාරණය ගැන හොදින් හිත යොමු වෙලා තියෙන නිසා ඒ දේ ගැන සම්පුර්ණ අවබෝධයක් ලැබෙනවා.


චිත්තානුපස්සනාව 
හිතේ සමාධිය ඉක්මනින් ඇතිවෙන්න උපකාර වෙන අභ්‍යාසයක් විදියට කරන්න පුළුවන් අනිත් භාවනාව චිත්තානුපස්සනාව. මේ භාවනාවත් ඉරියාපථය වගේම එදිනෙදා වැඩ කරන ගමන් වඩන්න පුළුවන්. චිත්තානුපස්සනාවේදී කරන්නේ හිතන දේවල් ගැන සිහියෙන් සිටීම.

භාවනා ආසනයකින් ඉදගෙන සිතට එන සිතුවිලි ගැන අවදානයෙන් ඉන්න. සාමාන්‍ය ජීවිතය ගත කරන අතරත් හිත ගැනත් හිතන දේවල් ගැනත් සිහියෙන් ඉන්න. මේ භාවනාවත් ටිකක් වෙලා කලාම තේරෙනවා අපි නොදැනුවත්ව කොච්චර දේවල් අපිට හිතෙනවද, කොච්චර සංකල්පනා මැවෙනවද  කියලා.

මේ භාවනාව ටිකක් කල් පුරුදු කලාම හිතේ වෙන අමුතු ක්‍රියාවලියක් දැකගන්න පුළුවන් වෙනවා. ඒ දේ තමයි අපි සිතුවිල්ලක් හිතනකොට එකම දෙය දෙපාරක් හිතනවා. මුලින්ම අපි හිතන දේ ගැන හිතේ සංඥාවක් වගේ දෙයක්/  සියුම් සිතුවිල්ලක් ඉබේ ඇතිවෙනවා. දෙවෙනියට ඒ සියුම් සිතුවිල්ලට වචන හෝ හැඩයක් එකතු වෙලා රළු ගතියක් ඇති වෙනවා. අපි හිතින් හිතනකොට ඒ හිතන ඒවා හිතින් කියවන එකත් ගොඩක් වෙලාවට කරනවා. ඒත් ඕනිනම් හිතින් කියවන්නේ නැතුව ඒ දේ හිතන්න පුළුවන්. මුලින්ම අපේ හිතේ අදහස් සංඥාවන් විදියට විතරයි ඇතිවෙන්නේ. ඒවාට වචන දාලයි අපි හිතින් හිතන්නේ.

මේ ක්‍රියාවලිය දකින්න භාවනාමය ඥාන අවශ්‍ය නෑ. හිත ගැන සිහිය පිහිටවාගෙන හිටියොත් දවසක් දෙකක් ඇතුලත මේ දේ අත්දකින්න ලැබෙනවා.  සාමාන්‍ය සිහියක් තියෙනකොට දෙවෙනි රළු සිතුවිල්ල විතරයි පෙන්නේ. සිත ගැන සිහිය පිහිටුනාම මුලින් ඇතිවෙන සියුම් සිතුවිලි ස්වභාවය ඇතිවෙලා ඊටපස්සේ ඒක වචන වලින් නැවත හිතනවා කියල පෙනෙනවා.
මේ ස්වභාව දෙක ධ්‍යාන අංග වල පවතින විචාර හා විතක්ක කියන අංග දෙකට සමානයි. විචාරය කියන්නේ යම් කිසි අරමුණක් සිතින් ස්ඵර්ශ කර ඒ ගැන මෙනෙහි කිරීම. විතක්කය කියන්නේ විවිද සිතුවිලි පහල කරමින් යම් අරමුණක් සිහි කිරීම.

ජපමාල භාවනාව (click here to read ) කිරීමේදීත් මේ ස්වභාවය දකින්න පුළුවන් වෙනවා. මුලදී අංක සිතින් සිතමින් ගණන් කලත් පසුව අංක සිතින් කියවන්නේ නැතිව එක් එක් අංකය පිලිබදව සංඥාව පමණක් යන්තම් මෙනෙහි කර ගණන් කිරීම කරන්න පුළුවන්.

මේ විදියට චිත්තානුපස්සනාවත් කලක්  පුරුදු කිරීමෙන් හොදින් සිහිය පිහිටීම ඇති වෙලා ඉක්මනට සමාධියට පත් වෙන්න පුළුවන් වෙනවා.

* සිහිය දියුණු කිරීම බොහෝ අයට මුලදී අපහසුයි. සතිය පමණක් වඩනවාට වඩා ඉක්මණින් සතිය දියුණු කරගන්න පුළුවන් සතිය පුරුදු කරන කාලය තුල අටසිල් සමාදන් වෙලා කරනවානම්. දවස් 3ක් 5ක් 7ක් වගේ දවස් ගණනක් තීරණය කරගෙන ඒ දවස් ඇතුලත සිල් රකින ගමන් සති භාවනා වඩන්න. සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් සතිය දියුණු කරගන්න කොහෙත්ම බැරි උන අයට උනත් සීලයක් රකින ගමන් සතිය පුරුදු කරන්න ගත්තොත් ඉක්මණින් දියුණු වෙනවා.

එයට හේතුව සිල් මගින් සිහිය ඇතිවීම. වෙනත් දින වලදී  විමසීමකින් තොරව කරන ක්‍රියා සිල් රකින විට කලොත් කලොත් වැරදි බව මතක් වෙනවා. ඒ නිසා සිල් බිදෙනකොට එකවරම තමන් වැරද්දක් කරන බව මතක් වී සිහිය පිහිටනවා.  ඒ නිසා සීලය කියන්නේ සිහිය උපදවන අංගයක්. ඒ නිසා සතිය වැඩිම අපහසු අය අටසිල් හෝ දසසිල් ආරක්ෂා කරන ගමන් සති භාවනා කිරීම උත්සහ කරන්න.



(ලිපිවල  සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් සේවාවන් ලබාගැනීමට  Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )


(මෙම ලිපි අවසරයකින් තොරව උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. මේ ලිපි සරල සිංහලෙන් ලියවෙන එක හොඳයි. යකාගේ අඩවිය හරහා ආවේ. මේක නෙලුම් යායේ පල කරන්නද?

    ReplyDelete
  2. ගොඩක් පොත් වල ගැඹුරින් තියෙනකොට එකපාරට හිතට යන්නැති නිසා සරලව ලියන්න හිතුව. වෙන තැනක පළකලාට කමක් නෑ. හැබැයි බ්ලොග් එකේ ලින්ක් එකත් දාලම පලකරන්න ගත්තේ මේකෙන් කියල.. :)

    ReplyDelete
  3. හැබැයි එතකොට නිකං දවල් හීන දකිනව වගේ. නිකමට හිතේ ඇඳගෙන බලන්න කන බත් පතටම හිස නැඹුරු කරගත් ඒ ගැනම සිතමින් කෑම ගන්නා පුද්ගලයෙකු පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙන්නම් තේරෙන්නේ භාවනා නොකරන කෙනෙක් වගේ...සිහියෙන් නැති වෙලාවටයි දවල් හීන මැවෙන්නේ. සිහියෙන් ඉදීම විකුර්තිතාවක් වගේ පේන්නේ අසිහියට ගොඩක් හිත බැදිලා නිසා. ඒත් ඇත්තටම විකෘති ස්වභාවය තියෙන්නේ අසිහියෙන් ඉන්නකොට. ඒක තේරෙන්නේ සිහිය දියුණු උනාම.මේ විදියට ටික දවසක් මේ විදියට කරලා බලන්න.එතකොට තේරෙනවා මෙච්චරකල් දවලුත් ජිවත් උනේ හීන ලෝකෙක කියලා....

      Delete
  4. ලිපි කියෙව්වා. ඔබ ඉතා සරලව කියල තියෙනවා. මම හිතන්නේ යමක් සරලව කියන්න පුළුවන් වෙන්නේ ඒ කාරණය ගැන පුළුල් දැනුමක්,පළපුරුද්දක් සහ ඒ පළපුරුද්ද තුලින් ලැබුණු අවබෝධයක් ඇත්තෙකුට විතරයි.මගේ නම් චිත්තානුපස්සනාව ගැන ඇති දැනුම 0 යි.

    සමරසේකර

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති.. මම පුරුදු කරාපු දේවල් විතරයි බ්ලොග් එකේ පොස්ට් කලේ..පොස්ට් ටික ලියන්න පළපුරුද්දත් උදවු උනා :)

      Delete
  5. ඔබ ධ්‍යාන ලාභියෙක්ද??

    ReplyDelete
  6. ඔබ ධ්‍යාන ලාභියෙක්ද??

    ReplyDelete
  7. හරිම ප්‍රයෝජනවත් පොස්ටුවක්. දිගටම මේවගේ දේවල් ලියන්න. ඔබට ගොඩක් ස්තුත්යි

    ReplyDelete
  8. කල්පනාව වැඩි දුර ගෙනියන්නේ කොහොමද?

    මාධවී

    ReplyDelete
    Replies
    1. ඉරියාපථය වඩන්න .කරගෙන යනකොට තමන්ට තේරෙනවා

      Delete
  9. Bohoma pin obata.. me gawuthama budu sasunema uthum chathurarya sathaya awabodaya pinisa me darma danamaya punya karmaya hethu upakara wewa.. Theruwan saranai obata..

    ReplyDelete
  10. Bohoma pin obata.. me gawuthama budu sasunema uthum chathurarya sathaya awabodaya pinisa me darma danamaya punya karmaya hethu upakara wewa.. Theruwan saranai obata..

    ReplyDelete
  11. බොහොම පින්, තේජෝ භාවනාව ගැන පොස්ට් එකෙන් තමයි මෙතනට ආවේ.

    ReplyDelete
  12. obage guruwarayata saha obata boho pin

    ReplyDelete
  13. මෙය නිවැරැදි ඉරියාපඨ භාවනාව නොවේ.

    ReplyDelete
  14. ගොඩක් වටිනවා.. තවත් මේ වගෙ හොද දේවල් ලියන්න. මම මේ හැම දේම මගේ ජීවිතයට හොද දෙයක් හැමදාම ලබාගන්නවා. මේ වගේ ධර්මඥානය දෙන එකට නම් ලොකු පිනක්. මොකද ගොඩක් අය කියලා දෙන්නෙ නෑනෙ

    ReplyDelete
  15. yogithumani,
    සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන පරිදි නින්ද අඩු කිරීමට සිහිය දියුණු කිරීම උදව්වක් වේ ද?[මම උසස්පෙළ කරන සිසුවෙක් වන අතර දුර බැහැර පාසලක ඉගෙනුම ලබමි.විභාගයෙන් උසස් ප්‍රතිඵලයක්ලබා ගැනීමට නම් නින්ද සඳහා උපරිම කැප කළ හැක්කේ පැය 4 ක පමණ කාලයකි.එහෙත් බොහෝ වෛද්‍යවරුන්ගේ මතය නම් මේ වයසේදී පැය හයක පමණ නින්දක් ලබාගත යුතු බවයි.]atheethayee adigama sadahaa uthsuka uu uththamayan nidi nolabama ee sadahaa katayuthu kala neda?ee wagema rahathan wahansela thama sihiya diyunu kireema hethuwen wadi kalayak nidi warjithawa gatha kala neda?warthamaanaye sihiya diyunu kireemen ewan de kala nohakida?pahadaa denna yogithumani

    ReplyDelete
    Replies
    1. අතීතේ හිටපු රහතන් වහන්සේලා වගේ අය පැය හතරක විතරක් නිදාගත්තේ එයාලගේ ධ්‍යාන බලයෙන්. ධ්‍යාන නැතුව ඇගට ඇතිවෙන වෙහෙස දරාගන්න බෑ. ධ්‍යාන නැති අය වෙහෙස දරාගන්න අඩුමගානේ පැය හයක නින්දක් ගන්න ඕනි. ඇගේ වෙහෙස කෙසේ වෙතත් මොලේ හරියට වැඩ කරන්න පැය හයක් අඩුමගානේ නිදාගන්න ඕනි. නැත්තන් කොච්චර පාඩම් කලත් වැඩක් නෑ. දිස්ත්‍රික් රෑන්ක් ගන්න කවුරුවත් ඔහොම දුක් විදලා නිදිමරන්නේ නෑ අඩුමගානේ පැය හයක් නිදාගන්නවා. මම අදුරන අයත් ඔහොම පැය තුන හතර පාඩම් කළා. ඒ උනාට ඒ කවුරුවත් ලොකු රිසාල්ට් ගත්තේ නෑ. ඒ නිසා නිදාගන්න අඩුමගානේ පැය 6ක් 6හමාරක් වෙලාව වෙන් කරලා ඉතුරු වේලාවෙන් පාඩම් ප්ලෑන් කරන්න

      Delete
  16. bohoma sthuthii....mn danatanam bawana karana knk 2020 thamai A/L karanne.iilaga awrudu 2 sampuurnayenma wibage wenuwen kapa kireemata sidu wana nisa bawana karana eka nawaththanna wenawa.obathuma sadahan kara athi paridi sihiya nisa sammadiyath samaadiya nisa sihiyath athiwena nisa bawana karanakota sihiya pawathwaa ganeema lesi unath bawana nokara sihiya pawathwaganeema amaruda?

    ReplyDelete
    Replies
    1. sihiya pawatwima kiyannet bawanawak. wena bawanawak nokalat sihiya hariyata rakagattot hari

      Delete
  17. yogithumani,kisima wadak nokara hitagena ho idagena inna welawata papuwe pimbeem hakileem walata awadanaya yomu karannada? ehema nathnam aasana purudu kireemedi wage thamange iriyawwe sihiya pihituwagena innada?karunaakara pahadili kara denna yogithumani...

    ReplyDelete
    Replies
    1. ehema kalat kamak ne.
      me post eken kiyala thiyenne e dekama newei

      Delete

Post a Comment